පුරවැසි කොලම

19 අවුල සහ 20 වියවුල

October 17, 2020 2:16 pm | Lanka Lead News

මේ වන විට 20 වැනි සංශෝධනයට එරෙහිව සහ පක්ෂව බරපතල සංවාදයක් සමාජය තුළ මතු වී ඇත. එදා 2015 දී 19 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේදී ප්‍රමාණාත්මකව හෝ ගුණාත්මකව මෙවැනි සමතුලිත සංවාදයක් පැනනැගුනේ නැත. එදා 19 ට පක්ෂව බොහෝ පාර් ශව පෙනී සිටියද විපක්ෂය දුර්වලව සිටි බැවින් ඊට එරෙහිව ප්‍රභල මතවාද ගොඩ නැගුනේ නැත. ඒ නිසා අවසානයේදී විපක්ෂය 19 වැනි සංශෝධනය නම් වූ ව්‍යවස්ථා විකෘතියේ පාර් ශව කරුවෙකු බවට පත්විය. විපක්ෂය එසේ එම ක්‍රියාවලියට ගොදුරු විමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එම සංශෝධන ක්‍රියාවලිය තුළ භාවිතා වූ කූඨ සහ සූක්ෂම උපක්‍රමයක් නිසාය. එනම් තීරණාත්මක සංශෝධන කෙටුම්පතට ඇතුලත් කිරීමෙන් තොරව ඒවා ඉතා බලහත්කාරී ලෙස පාර් ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඇතුල් කිරීමය. ඒ ආකාරයට මහා කලබලකාරී තත්වයක් තුළ පැය 2 කදී සංශෝධන 40 ක් පමණ ඇතුළත් කරනු ලැබීය. තත්වයේ බරපතලකම විපක්ෂයට සහ සමාජයට අවබෝධ වූයේ එම සංශෝධන ක්‍රියාත්මක වීම ආරම්භ වූ පසුවය. කෙසේ වෙතත් 20 වැනි සංශෝධනයට අදාළව සුවිශේෂි තත්වයක් එනම් ආණ්ඩුවේ පාර් ශව වලින් විරෝධතා මතුවන තත්වයක් දැකිය හැක.

එදා 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී එහි කතෘවරුන්ට, ප්‍රකාශකයින්ට සහ අනුග්‍රහය දැක්වූවන්ට පොදු අරමුණු ත්‍රිත්වයන් තිබූ බව ඉතා පැහැදිළිය. පළමුවැන්න මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ප්‍රභල සටන් පාඨයක් මතුකර ගැනීම සහ ඒ මත පදනම්ව මහින්ද විරෝධී ජනබලවේගයක් ගොඩ නැගීමය. 19 වැනි සංශෝදනයේ මුල් පිටපත සකස් කෙරෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දරමින් සිටියදි ඔහු දේශපාලන වශයෙන් අමාරුවේ දැමීම හෙවත් ඔහු සමඟ කේවල් කිරීම සඳහාය. දෙවැනි අරමුණ වූයේ සමස්ථයක් ලෙස රාජය්‍ය දුර්වල කිරීමය.ඒ මඟින් රාජ්‍යය බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේගවල ගොදුරක් බවට පත්කෙරෙන අතර දේශපාලන අස්ථාවරත්වය යොදා ගනිමින් බාහිර බලවේගවල වලට මැදිහත් විම් සඳහා අවස්ථා නිර් මාණය වේ. තුන්වන අරමුණ ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කිරීමට විභවයක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනපති අභිබවා ක්‍රියාකිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය බලය ලබා දීමය. ඉන්දු – පැසිපික් සාගර කලාපයේ ඉන්දු – ඇමෙරිකානු භූ දේශපාලන උවමනාවන් ඉටුකරදිම සඳහා දේශපාලන උවමනාව සහ මානසික සූදානම්කම සහිත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවට විවාදයක් තිබිය නොහැක.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස 2002 දී ආරම්භ කළ ක්‍රියාවලිය ඔහුගේ ස්වාමීවරුන්ට අවශ්‍ය පරිදි අවසන් කිරීමට නොහැකි වන්නේ මූලික වශයෙන් ව්‍යවස්ථාමය බලයට අදාළ ගැටළු නිසාය. ඊට යම් පමණකට චන්ද්‍රිකා – රනිල් පුද්ගලික සහ පටු දේශපාලන ප්‍රතිවිරෝධතා හේතු වූ බවට විවාදයක් නැත. ඔහුට 2003 දී ඔහු නැවැත් වූ තැනින් නැවත පටන් ගැනීමට නම් මහින්ද රාජපක්ෂ පාලනය පමණක් නොව රාජපක්ෂ පවුල සහ එම කඳවුරේ පැවැත්ම තහවුරු කෙරෙන දේශපාලන සාධකද අභාවයට යැවිය යුතුය. මෙම තත්වය සහ ඊට අදාළ දේශපාලන උවමනාවන් සහ හැසිරීම් පිළිබඳ ඉතා ගැඹුරු අවබෝධයක් ලැබිය හැකි ලේඛන දෙකක් ඇත. පළමුවැන්න ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් 2009 දෙසැම්බර් මාසයේදී එනම් යුධ ජයග්‍රහණයෙන් මාස 6 කට පසුව ඇමරිකානු සෙනේට් මණ්ඩලයට ඉදිරිකපත් කළ “ යුද්ධයට පසුව ශ්‍රී ලංකාවට අදාළ උපායමාර් ගය නැවත සිතියම්ගත කිරීම ” නම් වූ ලියවිල්ලයි. දෙවැන්න නොරාඩ් නම් වූ නෝර් වේජියානු ආධාර සංවිධානය විසින් 2010 දී සකස්කොට 2011 දී ප්‍රකාශයට පත් කළ ‘සාමයේ ඉත්තෝ’ නම් වූ පර් යේෂණ නිබන්ධනයයි. එම වාර් තාව මඟින් නොර් වේජියානු මැදිහත්වීම් මත දියත් වූ ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමේ ක්‍රියාවලිය සාර් ථක නොවූයේ කුමක් නිසාදැයි විග්‍රහ කෙරේ.

කෙසේ වෙතත් 19 වැනි සංශෝධනයට අදාළ ඉහත සඳහන් කළ පළමු අරමුණ හෙවත් රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අවශ්‍ය ජනමතය ගොඩනැගීම සඳහා භාවිතාකළ මූලික සටන්පාඨය වූයේ දූෂිත සහ අන්තනෝමතික රාජ්‍ය පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට පණ දීමය. 19 වැනි සංශෝධනය තුළ දක්නට ලැබෙන යහපත් ලක්ෂණ ඊට ඇතුල් වන්නේ එම සටන් පාඨය ශක්තිමත් කිරීම සහ ඒ තුළ අඩංගු වූ විෂ ආවරණය කිරීම සඳහා සීනි තැවරුමක් ලෙසය. නමුත් එම උපායමාර් ගික ප්‍රවේශය ආයුධයක් ලෙස හෝ උපාංගයක් ලෙස 20 වැනි සංශෝධනයට යොදා ගැනීමේ හැකියාව ඇත. එනම් 19 ට ජනතා සහය ලබා ගැනීම සඳහා යොදාගත් යහපත් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන 20 වැනි සංශෝධනයේදී ආරක්ෂා කළ යුතුය. එසේ නොවේ නම් එදා 19 ට පක්ෂව ගොඩනැගූ ජනතා මතය මෙදා 20 ට එරෙහිව යොදා ගැනීමේ හැකියාව ලැබේ.

මේ වන විට සිදුවෙමින් පවතින්නේ එය නොවේද? 20 වැනි සංශෝධනයට එරෙහිව එල්ලවන සියළු චෝදනා සහ විරෝධතා පදනම් වන්නේ 19 තුළ අඩංගු වූ යහපත් දේ ඉවත් කිරීම මතය. 19 වැනි සංශෝධන මඟින් සිදුකළ වැරදි නිවැරදි කිරීම ප්‍රභල මහජන අපේක්ෂාවකි. ඒ සඳහා 20 වැනි සංශෝධනයක් කඩිනමින් ඉදිරිපත් කිරීම පිළිබඳව මහජන විරෝධයක් පැන නැගී ඇත. නමුත් යහපත් දේ ඉවත් කිරීම නිසා 20 වන සංශෝධනයේ  සමස්ථයට එරෙහිව විරෝධතා නිර් මාණය කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර් මාතෘවරුන්ට අවස්ථාව ලැබී ඇත. එනම් 19 ට පක්ෂව හෙවත් 20ට එරෙහිව අධිකරණය හමුවට යන දේශපාලන සහ රාජ්‍යෙනාවන සංවිධාන වලට ‘පිනා චාන්ස්’ එකක් කඩා වැටී ඇත. මහජනයා විසින් ඉතා දරුණු ලෙස දඬුවම්කොට දේශපාලන වේදිකාවෙන් පිටුවහල් කළ පිරිසකට නැවත කරලියට පැමිණීමට අවස්ථාව ලැබී ඇත්තේ 20 වැනි සංශෝධනය නිර් මාණය කළ පිරිස විසින් සිදුකළ එම ඓතිහාසික දේශපාලන වරද නිසාය. සටන්පාඨ නොමැතිව අසරණව සිටි එම පිරිසට දැන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට දීර්ඝකාලීනව අභියෝගකළ හැකි සටන්පාඨ ලැබී ඇත. එනම් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව ඉතා නරක මානසික පින්තූරයක් ඇඳීමට ඔවුන්ට අවස්ථාව ලැබී ඇත.

කෙසේ වෙතත් 20 වැනි සංශෝධනයට 19 වැනි සංශෝධනයේ තිබූ යම් යහපත් දේ ඇතුල් කිරීමට ආණ්ඩුව ක්‍රියාකොට ඇත. උදාහරණයක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිගේ ධූරකාලය සහ පාර් ලිමේන්තුවේ කාලය වසර 05 කට සීමා කිරීම මෙන්ම ජනාධිපතිධූරය වාර දෙකකට පමණක් සීමා කිරීම ආදීය සඳහන් කළ හැකිය. ඒ ආකාරයට යම් ප්‍රතිපාදන නැවත ඇතුල් කිරීමට සිදුවන්නේ පවතින ව්‍යවස්ථාව සමස්ථයක් ලෙස ගෙන අවශ්‍ය ප්‍රතිපාදන එසේම තිබියදී අනවශ්‍ය දේ පමණක් ඉවත් නොකර 19වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම නිසාය. ඊට හේතුව කුමක්දැයි‍ පැහැදිලි නැත. එසේ වුවත් අනවශ්‍ය හෝ නරක දේ පමණක් ඉවත් කළා නම් ඉවත් කළ හැක්කේ ඒවා පමණි. නරක දේ සමඟ හොඳ දෙයක් ඉවත් කළ හොත් එය විශේෂයෙන් අවධානයට ලක්වේ. කෙසේ වෙතත් දැන් 19 සම්පූර් නයෙන්ම ඉවත්කොට යම් යහපත් දේ පමණක් නැවත ඇතුල් කිරීමේ ක්‍රමවේදය තුල එසේ නැවත ඇතුල් නොකළ යහපත් දේ පිළිබඳ සංවාදය යටපත් නොවීය. එසේ නැවත ඇතුල් කළ යුතු බවට මහජන සංවාදයට ලක් වූ ප්‍රතිපාදන 12 ක් පමණ හඳුනාගත හැක. ඉන් 03 ක් ඉතා සංවේදී බව පෙනේ.

මෙම ලිපියේ මූලික අරමුණ විස්සේ කොස්ස ලෙස හඳුනාගත හැකි නැවත ඇතුල් කළ යුතු එම ප්‍රතිපාදන ත්‍රිත්වය පිළිබඳ අදහස් දැක්වීමයි. ඒ අතුරින් පළමුවැන්න සමාගසම් පනත යටතේ ලියාපදිංචි කොට ඇති රාජ්‍ය සමාගම් විගණකාධිවරයාගේ විගණනයෙන් ඉවත් කිරීම සහ විගණකාධිපති වරයා පත් කිරීමේ ක්‍රමවේදය මෙන්ම විගණන සේවා කොමිසම අහෝසි කිරීමය. ඒ අනුව විගණකාධිපතිවරයා ලෙස ඕනෑම කෙනෙකු පත්කර ගත හැකි අතර ඔහුගේ ස්වාධීනත්වයද අහෝසි වේ. ඒ මඟින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ස.තො.ස, මිහින් ලංකා ආදී වංචා දූෂණ එල්ල වූ සමාගම් මෙන්ම ටෙලිකොම් වැනි මහා ආදායම් උපයන සමාගම් ඇතුළු සමාගම් 150 කට අධික ප්‍රමාණයක් රජයේ විගණකාධිපතිවරයාගේ සොයා බැලීමෙන් නිදහස් වේ. එහිදී එම සමාගම් පුද්ගලික විගණන සමාගම් මඟින් විගණනය කෙරෙන බවට ව්‍යාජ තර් ක ඉදිරිපත් කළද එම ක්‍රමවේද දෙක මඟින් අවධානයට ලක් කෙරෙන කරුණු අතර වෙනසක් ඇත. ඊට අමතරව එම සමාගම්වල ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය පාලනය කෝප් කමිටුව හරහා පාර් ලිමේන්තුවේ අධීක්ෂණයට ලක් වන්නේ විගණකාධිපතිගේ වාර් තාව පදනම් කර ගනිමිනි.

ඒ අනුව 20 වැනි සංශෝධනය මඟින් පාර් ලිමේන්තුවේ මූල්‍ය පාලන බලයද අභියෝගයට ලක් වේ. එසේම පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යටතේ සිදු කෙරෙන විගණන පරීක්ෂණ කටයුතු 20 වැනි සංශෝධනය සම්මත වීම සමඟ අත්හිටුවීමට සිදුවේ. ඒ මඟින් ඊනියා යහපාලන රජය සමයේදී සිදු වූ දුෂණ වංචා ප්‍රමාණයකට අදාළ පරීක්ෂණ යටපත් වේ. උදාහරණයක් ලෙස සීමා සහිත ගල් අඟුරු සමාගම විසින් රජයට සිදුකළ රු. මිලියන 4145 ක පාඩුව පිළිබඳ පරීක්ෂණ වලින් අදාළ චූලිතයින් නිදහස් වේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රජයට සිදු කළ රුපියල් මිලියන 17000 කට අධික අලාභය පිළිබඳ පරීක්ෂණද යටපත් වේ. ඊට අමතරව කන්තලේ සීනි කර් මාන්තශාලාවට අදාළ ගිවිසුම අත්සන් කිරීමේදී සිතාමතා සිදුකළ වැරදි නිසා රජය විසින්ගෙවීමට සිදු වූ සිංගප්පූරු ඩොලර් 894,516 ක වන්දිය හෙවත් අලාභය පිළිබඳව පරීක්ෂණ ද යටපත් වේ. එසේම පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ සංවිධානය කිරීමේ නාමයෙන් 2017 දී පිහිටවූ සී.ඩබ්.ජී නම් වූ රාජ්‍ය සමාගම විසින් රජයට සිදුකළ රු. මිලියන 689 ක පාඩුව පිළිබඳ පරීක්ෂණද කුණු කූඩයට විසිවේ. ඒ සියල්ල මඟින් වාසි සැලසෙන්නේ යහපාලනයට සම්බන්ධ හොරු රැළකටය. ඒ සඳහන් කළේ සමාගම් 150 කට අධික ප්‍රමාණයෙන් අතලොස්සක පැටිකිරිය පමණි. ඒ නිසා එම සමාගම් විගණනය නොකළ යුතු බවට ඉදිරිපත් කරන තර් ක මහජනයා ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ කෙසේද?

කෙසේ වෙතත් එම වරද නිවරදි කරන බවට අමාත්‍ය මණ්ඩලයේදී සහ පක්ෂ නායක රැස්වීමේ දී  අගමැතිවරයා විසින් පොරොන්දුවක් ලබා දුන් බව වාර් තා විය. එසේ වුවත් අධිකරණ අමාත්‍යවරයා ගුවන් විදුලි සංස්ථාවේ සුභාරතී වැඩසටහනට සහභාගී වෙමින් ආණ්ඩුවේ පළමු තීරණය එනම් කෙටුම්පතේ දැනට අඩංගු වන ප්‍රතිපාදනය  සාධාරණීකරණය කරනු ලැබීය. ඔහු විසින් එසේ අගමැතිවරයාගේ පොරොන්දුව අභියෝගයට ලක් කිරීම නිසාමහජන අවිශ්වාසය තවදුරටත් වර් ධනය වේ. එසේම අධිකරණ ඇමතිවරයා විසින් 20 වන සංශෝධනයට අදාල  අධිකරණ තීන්දුවඑලෙසම ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශයක් සිදු කිරීම නිසා තව දුරටත් වැරදි වැටහීමක් ඇතිවේ. එනම් අධිකරණය විසින් යම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කළහොත් ජනමත විචාරණයක් මගින් හෝ තමන්ට උවමනා ආකාරයට 20 වන සංශෝධනය සම්මත කරන බවට දැඩි ස්ථාවරයක් ඒ මඟින් ප්‍රකාශයට පත් වේ.

ඊට අමතරව එසේ රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විගණනයෙන් ඉවත් කිරීම නිසා එම්.සී.සී ගිවිසුම නීතියක් ලෙස පාර් ලිමේන්තුව මගින් සම්මත කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය ඉඩ කඩ සහතික වන බවටද චෝදනාවක් එල්ල වේ. ඊට හේතුව ඇමරිකාවේ එම්.සී.සී පනත සහ එම්.සී.සී සමාගමේ රෙගුලාසි අනුව අදාළ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලබන ‘එම්.සී.ඒ ශ්‍රී ලංකා’ නම් වූ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරනු ලබන රාජ්‍ය සමාගම විගණකාධිපතිවරයා විසින් විගණනය කළ නොහැකි වීමය.ඒ නිසා 19 සංශෝධනයේ අඩංගු රාජ්‍ය සමාගම් විගණනයට අදාළ ප්‍රතිපාදන ඉවත් නොකර එසේම තිබේ නම් එම්.සී.සී ගිවිසුමට අදාළ පනත පාර් ලිමේන්තුව මගින් සම්මත කිරීම ව්‍යවස්ථා විරෝධී වේ. එනම් එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීමට සහ පනතක් ලෙස පාර් ලිමේන්තුව මඟින් සම්මත කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ඒ නිසා එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීමේ උවමනාව නිසා එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඉවත් කරන බවට එල්ල වන  චෝදනාවට පිළිතුරු බැඳීම ආණ්ඩුවටම පහසු වන්නේ නැත. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනය මඟින් පනවා තිබූ එම විගණන ක්‍රියාවලියට අදාළ 154(1) වගන්තිය ඉවත් කිරීමට අමතරව 154 (2) වගන්තියද එම අරමුණට අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම නිසා චෝදනාව වඩා බරපතල වේ.

මහජනයා අතර විවේචනයට ලක් වන 20 වන සංශෝධනය මගින් ඉවත් කළ 19 අඩංගු වූ දෙවන යහපත් ප්‍රතිපාදනය වන්නේ ආණ්ඩුව හදිසි පනත් සම්මත කිරීම වැලැක්වීමය. එනම් පූර් ව ගැසට් කිරීමකින් තොරව මහජනයා අඳුරේ තබා දින තුනකින් පනතක් සම්මත කිරීමට ආන්ඩුවට අවස්ථාව ලැබේ. එයද අනාගතයේදී හදිසි පනතක් ලෙස එම්.සී.සී. ගිවිසුමට අදාල පනත සම්මත කිරීමේ උවමනාව සඳහා සිදු කරන සංශෝධනයක් ලෙස මහජනයා අතර කතා බහට ලක් වේ.  මහජන අවධානයට ලක් වී ඇති 19 අඩංගු වූ තුන්වන යහපත් ප්‍රතිපාදනය වන ද්විත්ව පුරවැසියන් විසින් පාර් ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීම වළක්වමින් පනවා තිබූ බාධකය 20 වැනි සංශෝධනය මඟින් ඉවත් කිරීමද බරපතල ගැටළුවකි. ඇත්ත වශයෙන්ම 19 වැනි සංශෝධනයට එම බාධකය ඇතුල් කරනු ලැබුවේ රාජපක්ෂ පවුල ඉලක්ක කරමින් බව රහසක් නොවේ. නමුත් විදේශ පුරවැසියෙකු වූ අර් ජුන් මහේන්ද්‍රන් විසින් මහබැංකුව කොල්ලකා පැනගිය පසුව ඊට අදාළව බරපතල මහජන සංවාදයක් පැන නැගුණි. ඒ තුළ එම බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව මහ බැංකු අධිපතිධූරයට, නීතිපතිධුරයට, විගණකාධිපතිධූරයට, පොලිස්පතිධූරයට, ත්‍රවිධ හමුදාපති ධූර වලට, අමාත්‍යංශ ලේකම්වරුන්ට ආදී වශයෙන් තවදුරටත් දීර්ඝ කළ යුතු බවට දැඩි ජනමතයක් ඇති විය. එවැනි මහජන මතයන්ට ගරු නොකරන්නේ නම් ජනවරමේ අධ්‍යාත්මය ආරක්ෂා කර ගන්නේ කෙසේද? අධ්‍යාත්මය මරණයට පත් වූ පසුව ආණ්ඩුවේ භෞතික ශරීරයට පමණක් ඉදිරියට යා හැකිද?

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉ...


Read More

20ට එරෙහි මහජන විරෝධය හේතුවෙන් ආණ්ඩුව පස්ස දොර විවෘත කිරීමේ නිර්ලජ්ජිත උත්සහායක-ජාතික සංවිධාන එකමුතුව

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ...


Read More

ජනතා ආශිර්වාදය නැතිව 20 සම්මත කිරීම පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන ...


Read More