පුරවැසි කොලම

මේ වන විට කොවිඩ්19 වෛරසය නොසිතූ විරූ ලෙස සමාජය තුළ පැතිරෙමින් පවතිනවා. නැවත වතාවක් රටම වසා තැබීමට කටයුතු කිරීම සාමාන්‍යය ජන ජීවිතය පවත්වා ගෙන යාමට ඉතා අපහසු කාර්යයක්. ඉදිරිපත්වී තිබෙන එකම විකල්පය සමඟ කොවිඩ්19 සමඟ ජීවත්වෙමු යන්නයි. ඒ සඳහා දේශීය දැනුමෙන් උකහා ගත හැකි දේ ඇති දැයි සොයා බැලීමට හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් ආයුර්වේද වෛද්‍යය නිමල් කරුණාසිරි මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව පහත පළවේ…

—————————————————————————————————————————————–
වරක් කොවිඩ්19 වෛරසය සාර්ථකව පාලනය කළ අප රට මේ වන විට කළින් වරටත් වඩා වේගයෙන් මෙන්ම සංඛ්‍යාත්මකව ඉහළ අගයකින් කොවිඩ්19 වෛරසය ආසාදිතයින් සමාජය තුළින් හමුවෙන මට්ටමට ළඟාවී තිබෙනවා.මුල් වතාවේදී මාස තුනක් පමණ රට සම්පූර්ණයෙන්ම වසා දමා වෛරසය පාලනය කළ රජය මෙවර එය එසේ නොකරන බවක් තමයි දකින්නට ලැබෙන්නේ. මේ අළුත් කොවිඩ්19 වෛරස ආසාදන රැල්ල සහ ඒ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර සම්බන්ධව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස්වරයෙකු ලෙස ඔබගේ විග්‍රහය කුමක්ද?

වෛද්‍යය නිමල් කරුණාසිරි:
ජාතියක් ලෙස අපි කොවිඩ්19 වෛරසය පැරදවීමට ගනු ලැබූ බොහෝ කැපකිරීම් පරාජය කරමින් කොවිඩ්19 වෛරසය අප සමාජය තුළ නැවත මතුවී තිබීම සත්‍යයක්.එහි වරද කොතැනද වරදකරුවා කවුරුද යන්න සොයා බලනවාට වඩා මෙවැනි තත්වයකට මුහුණ දීමට අපගේ දේශීය දැණුමෙන් ගත හැකි ආදර්ශයන් මොනවාදැයි සොයා බැලීම අද දවසේ වැදගත් යැයි මා සිතනවා.මෙහිදී මම පූර්ව නිගමනයක සිටිනවා කොවිඩ්19 වෛරසයට බයේ පලාගොස් හැඟවෙනවාට වඩා කොවිඩ්19 වෛරසය සමඟ ජීවත් විය යුතු යැයි කියන නිගමනයට පැමිණීමට වාස්තවික තත්වයන් විසින් අපේ රටට විතරක් නොවෙයි සමස්ත ලෝකයටම බල කර සිටිනවාය කියා.චීනය වැනි රටවල් මේ තත්වය සාර්ථකව අත්හදා බලමින් යම් පමණකට සාර්ථකව මුහුණ දී සිටිනවා. ඔවුන් මේ සඳහා ඔවුන්ගේ පාරම්පරික වෛද්‍යය ක්‍රම සාර්ථකව භාවිතයට ගන්නවා. ඒ වගේම වෛද්‍යය නොවන වෙනත් ක්ෂේත්‍රවල ඔවුන්ගේ දැනුමත් මේ සඳහා යොදා ගනිමින් සිටිනවා. සංචාරක කර්මාන්තය මගින් විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගන්නා කියුබාව ලෝක ජනයා ප්‍රිය කරන කියුබානු සංචාරක කලාප වලට සෘජුවම සංචාරකයන් කැඳවා ගෙන විත් රටේ ජනයා සමඟ මුහු වෙන්නට තිබෙන ඉඩකඩ දැඩි ලෙස සීමා කරමින් සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ අනුව ලෝකය දෙස බැලූවිට පෙනී යන දෙයක් තමයි “ලෝකය තිබෙන්නේ මිනිසාගේ රසවින්දනයට පමණයි” යන දර්ශනය මත පදනම්ව පාලනය වන අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට වඩා යම් පමණකට අධ්‍යාත්මික ශක්තිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන පෙරදිග රටවලට මෙම වසංගතය සමඟ පොර බැදීමේදී මෙන්ම මෙම වෛරසය සමඟම ජීවත් වීමට කරන අරගලයේදී විශාල වාසි සහගත තත්වයක් ලැබී තිබෙන බව.

ඔබ කොවිඩ්19 වෛරසය සමඟ ජීවත් වීම සම්පූර්ණයෙන්ම අධ්‍යාත්මික ශක්තිය මගින් කළ හැකියැයි පූර්ව නිගමණයක ඉන්න බවක් තමයි හැඟී යන්නේ. රුසියාව වැනි රටක් මේ වන විට කොවිඩ්19 වෛරසය මර්ධනය කිරීමට සාර්ථක එන්නත් පවා නිපදවා තිබෙනවා. කියුබාව ඔවුන් නිපදවූ එන්නත එළැඹෙන පෙබරවාරි මාසයේදී භාවිත කිරීමට පවා නියමිතයි.මේවා සියල්ල කරණු ලැබුවේ භෞතිකවාදී දර්ශනයක් මත පදනම්ව මිස හුදු පුද්ගල මනස දියුණු කිරීමකින් පමණක් නොවෙයි. ඒ අනුව ඔබගේ තර්කය බිඳ වැටෙනවා නේද?.

වෛද්‍යය නිමල් කරුණාසිරි:
නැහැ! කිසිසේත් මම කියන්නේ නැහැ අධ්‍යාත්මික ශක්තියෙන් පමණක් එය කළ හැකිය කියා. මා පවසන්නේ “ලෝකය තිබෙන්නේ මිනිසාගේ රසවින්දනයට පමණයි” යන දර්ශනය මත පදනම්ව කොවිඩ්19 වෛරසය මර්ධනය කිරීම පමණක් නොවෙයි අද මුළු මහත් ලෝක ප්‍රජාව මුහුණ දෙන කිසිදු බරපතල ගැටලුවකට ඉහත කී දාර්ශනික පදනම මත උත්තර සොයා ගැනීමට බැහැ කියන දේ පමණයි. අනිත් අතින් රුසියාවේ ජනාධිපති පුටින් රුසියාව සොයා ගන්නා එන්නත තමන්ටම එන්නත් කරවා ගෙන එහි ඇති විශ්වසනීයභාවය රුසියාවට පමණක් නොවෙයි මුළු ලොවටම පෙන්වා සිටියා. ඔහුට එතරම් ධෛර්යක් ලැබෙන්නේ කොහෙන්ද? ලෙනින් ප්‍රමුඛ රුසියානු සමාජවාදී විප්ලවයේ නායකයන්ගේ අධ්‍යාත්මය නොවෙයිද පුටින් තුළ ගැබ්වී තිබෙන්නේ? අපි කුඩා කාලයේදී කියවූ “ගුරු ගීතය” , “පෙරළුෑ නැවුම් පස” , “අම්මා” වැනි මහා රුසියානු සාහිත්‍යයෙන් පෝෂණය වූ මිනිසෙක් නොවෙයිද පුටින් තුළ ඉන්නේ? ෆිදෙල් ක්‍රැස්තෝ චේ ගුවේරා ප්‍රමුඛ නායකයින් කියුබානු සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ කියුබානු සමාජය ගොඩනැංවීමේදී ඒ සමාජය තුළ පැල කළ මානවහිතවාදී ගුණාංග නොවෙයිද වර්තමාන කියුබානු විශේෂඥයන් අත්හදා බලමින් සිටින කියුබාවේ නිෂ්පාදිත කොවිඩ්19 එන්නත සාර්ථකවීමට බලපා ඇත්තේ? මාවෝ සේතුං ඇතුළු චීන විප්ලවයේ නායකයන් පෙන්වූ දැවැන්ත අධිෂ්ඨානය සහ දැවැන්ත කැපකිරීමේ අධ්‍යාත්මය නොවේද වත්මන් චීන රජය මෙතරම් සාර්ථකව කොවිඩ්19 වෛරසය පාලනය කිරීමට යොදා ගෙන ඇත්තේ?. ඒ අනුවයි මා පවසන්නේ කෝවිඩ්19 වෛරසය සමඟ ජීවත් වීමේදී අපට අපේ දේශීය දැනුම සහ අප තුළ වන අධ්‍යාත්මික ශක්තිය වැදගත්වනවාය කියා.

ඔබ පවසන ආකාරයට කොවිඩ්19 වෛරසය සමඟ ජීවත් වීමට අපට තිබෙන දේශීය දැනුම සහ ඒ අනුසාරයෙන් කෝවිඩ්19 වෛරසය සමඟ ජීවත් වීමට හැඩ ගැසෙන්නේ කොහොමද?

වෛද්‍යය නිමල් කරුණාසිරි:

මා මුලින් කීව පරිදි කොවිඩ්19 වෛරසය යම් පමණකට පාලනය කරගත් රටවල් අතර ඇතැයි පැවසූ අධ්‍යාත්මික ශක්තිය මෙන් අප සතුවත් දැවැන්ත අධ්‍යාත්මික ශක්තියක් තිබෙනවා. ඒ තමයි බෞද්ධ දර්ශනයෙන් අප ලබාගත් ශික්ෂණය. මෙම වෛරසයෙන් බේරීමට තනිව කළ නොහැකියි. එසේම මෙම වෛරසයෙන් ආරක්ෂාවීමට පමණක් නොවෙයි වෙනත් ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා වීමටත් මනස නිරවුල්ව තබා ගැනීම අතිශය වැදගත්. අපේ සමාජයේ පදනම වුවේ බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් වල තිබෙන, “මා මෙන්ම ,සියලු සත්වයෝ,නිදුක් වෙත්වා,නීරෝග වෙත්වා, දුකින් මිදෙත්වා” යන්නයි. අපි ජාතියක් ලෙස දැඩිව විශ්වාස කරනවා “මම” පමණක් ගැලවුණු පමණින්ම සර්වසම්පූර්ණ ගැලවීමක් නොලැබෙන බව. ඒ නිසා උදේ අවදිවුනු මොහොතේ පටන් රාත්‍රී නින්දට යන තෙක් සියලු සත්වයන්ට විමුක්තිය ඇතිවේවා යන ප්‍රාර්ථනයෙන් හදවත පුරවා ගත් සැහැල්ලු මිනිසෙකු ලෙස දිවා කාලයේ ජීවන අරගලයේ යෙදෙමින් කරමින්, තමන් අදහන කුමන හෝ ආගමක් පිරිසිදු සිතින් පවුලේ සියළු දෙනා එක්ව සිහිපත්කර නින්දට යාම ඉතා වැදගත්. ඒ තමයි අපේ අධ්‍යාත්මික ශක්තිය ඒකාරාශී කරගත හැකි මූලිකම ක්‍රමය. දෙවනුව අපි මෙවැනි රෝගයක් වැළඳුනහොත් අපේ අසල්වැසියන්ට දැනුම් දීමට අපි අතීතයේදී අණුගමනය කළ ගොක් කොළ එල්ලීම වැනි ක්‍රියා මාර්ග ඔස්සේ අපේ අසල්වැසියා දැනුවත් කිරීම. ඉන්පසුව රෝගය වැළැඳුණු අය රෝහලකට රැගෙන යන තෙක් වෙන්කර තබා පවුලේ එක් අයෙකු පමණක් රෝගියාට උවටැන් කිරීම කළ යුතුයි. මතක තබා ගන්න බටහිර වෙදකමේ මෙම වෛරසය ආසාදනයෙන් ඇතිවන සංකූලතා වලට වෙදකම් කරනවා විනා කොවිඩ්19 වෛරසයට ඖෂධ තවමත් නැහැ. වැදගත්ම පියවර රෝගියාට පත්‍යය ආහාර ලබාදීම. පාංපිටි ගුලි ගිල දැමීම වහාම නැවැත්විය යුතුයි. එමගින් කිසිම ආකාරයක ප්‍රතිශක්තීකරනයක් වර්ධනය වන්නේ නැහැ.ඒ නිසා මේ මොහොතේ පටන් හැකිතරම් කොළ ආහාර පරිභෝජනයට ගැනීමට වග බලා ගතයුතුයි.
සුද්දා පුරුදු කරපු “බෙඩ් ටී ” එක වෙනුවට ගෙදරම හදාගන්නා උනුසුම් කොළ කැඳ වීදුරුවකින් දවස ආරම්භ කිරීමෙන් ප්‍රතිශක්තීකරනය ඉහළ යනවා. උනුසුම් ඔසුපැන් හැකිනම් කිතුල් හකුරු කැබැල්ලක් සමඟ හෝ දියවැඩියාව ,පිළිකාව වැනි භයානක බෝ නොවන රෝග වලට අත වනන සුදු සීනි හැකිතරම් අතහැර දුඹුරු සීනි ස්වල්පයක් සමගින් දිනපතා තුන් හතර වතාවක් පානය කිරීමත් ඉතා වැදගත්. “චිකන් ෆ්‍රයිඩ් රයිස්” මනසින් ඈත්වී පිරිසිදු දේශීය වස විස නැති ආහාරම මත යැපීමට කටයුතු කිරීමෙන් වෛරසය ආසාදනය පහත හෙලීමට හැකියාව ලැබෙනවා. දෙහි කහ මිශ්‍ර වතුරෙන් නිතර අත සේදීම වගේම එම වතුර නිවස පුරා ඉසීමත් වැදගත්. සවස් කාලයේදී පොල්කටු පිලිස්සූ දුම් කබලකට සාම්බ්‍රානි කුඩු හෝ ප්‍රාදේශීය වශයෙන් භාවිතා වන වෙනත් ඕනෑම ද්‍රව්‍යය එකතු කර දුම් ඇල්ලීම මගින් නූතන දුමායනයෙන් කෙරෙන කාර්යයට වඩා සෞඛ්‍යයට හිතකර පරිසර හිතකාමී දුමායන කාර්ය ඉටු කර ගත හැකියි.මෙවැනි කුඩා සම්මුඛ සාකච්ඡාවකින් ඉදිරිපත් කළ නොහැකි තරම් රෝගය වලක්වා ගැනීමේ ක්‍රම රාශියක් අපේ දේශීය දැනුම තුළ අඩංගුයි. එම ක්‍රම ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් වෙනස් වෙනවා. මේ හැම ක්‍රමයක්ම ශාඛ මත ස්වාභාවික දේ මත යැපෙන දෑ බව පමණක් කිව හැකියි.

ඔබ ආහාර ඖෂධ සහ සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රම පමණයි දේශීය දැනුම ලෙස කෝවිඩ් වෛරසය සමඟ ජීවත් වීමට යෝජනා කරන්නේ. ඉන් ඔබ්බට ඔබගේ යෝජනා මොනවාද?

වෛද්‍යය නිමල් කරුණාසිරි:

මා මුලින්ම අවධාරණය කළේ අධ්‍යාත්මය ශක්තිමත්ව තබා ගැනීමයි.ඉන්පසුයි ආහාර ගැන සඳහන් කළේ. රොගීන් සහ රෝගය කළමනාකරනයත් අපේ දැනුමට අනුව කළ හැකියි.ඊ ළඟට දේශීය කෘෂිකර්මාන්තයත් ඉදිරියේදි පැමිණෙන මෙවැනි වසංගත වලට මුහුණ දීමට අවශ්‍යය පරිදි සැකසිය යුතුයි . ඒ වාගේම දැනට තිබෙන තත්වයෙන් වුවත් ඉහළ ඵලදායිතාවයකින් භාවිත කළ හැකියි.මූලිකම දේ අපේ දේශීය දර්ශනය තුළ මිනිසා යනු මේ මහා පෘථිවියේ තවත් එක් ජීවියෙකු මිස අනෙකුත් ජීවීන් අභිබවා යන්නෙකු නොවෙයි යන දාර්ශනික ප්‍රපංචය නැවත මතු කර ගත යුතුයි. ඊ ළඟට අපි තේරුම්ගත යුත්තේ මේ මහා සොබාදම තුළ හිරුගේ ශක්තිය ආහාර ලෙස ගබඩා කිරීමට අවසර දී ඇත්තේ ශාක වලට පමණයි. ඒ අනුව කුඩා හතුවර්ගයක සිට මහා රූස්ස ගසක දක්වා ගබඩා කරගන්නා ආහාර අල වශයෙන්,දළු වශයෙන්, කොළ වශයෙන්, මල් වශයෙන්,මුල් වශයෙන් සහ පොතු වශයෙන් ආදී වූ නොයෙක් ක්‍රම වශයෙන් ආහාරයට ගන්නේ මිනිසුන් පමණක් නොවෙයි. ශාක මිහිපිට වෙසෙන සියලු සත්වයන්ට අයිතියි. ඒ නිසා මිනිසුන් වන අප අපගේ අවශ්‍යයතාවයන් සීමා කරගනිමින් අල්පේච්ඡ ජීවිතයකට හුරුවීමට මෙම කොවිඩ් වෛරසය විසින් ඇතිකරනු ලැබූ වාස්තවික තත්වය අනිවාර්යෙන් අපට බල කර සිටිනවා.

අවසාන වශයෙන් කොවිඩ්19 සමඟ ජීවත් වීමට පුරුදු වීමට අපි කළ යුතු දේ ගැන සැකෙවින් පවසන්නේ කුමක්ද?

වෛද්‍යය නිමල් කරුණාසිරි:

කොවිඩ්19 වෛරසය මිනිසාට වෙස් වලාගෙන ආ ආශිර්වාදයක් හැටියටයි මම නම් සලකන්නේ.නූතන මිනිසා කෙතරම් බලවතෙක් වුවත් ඇසට නොපෙනෙන කුඩා වෛරසයකට යටත් වීමට සිදුවූ බව කොවිඩ්19 වෛරසය තහවුරු කළා. අනිත් අතට නූතන මධ්‍යයම පාන්තික මනසේ විශ්මිත රාජ්‍යය ලෙස සනිටුහන් වූ අමෙරිකාවේ ජනාධිපතිට ලෝකයේ ඕනෑම රටක් සුළු මොහොතකින් සුනු විසුනු කර දැමිය හැකි වූවාට කුඩා වෛරසයකින්වත් තම ජනයාව කෙසේවෙතත් තමාටවත් ආරක්ෂා විය නොහැකි බව පසක් කළා. අපේ වගේ රටවල වෙසෙන මධ්‍යයම පාන්තික ජනයාට පසක් කළා අපි ඉතිහාසය පුරාවට ආරක්ෂා කළ අපේ කම විසින් අමෙරිකාව වැනි බටහිර රටවල ජනයා පත්වුනු අසරණ වික්ෂිප්තභාවය වැනි තත්වයකට පත් නොවී සිටීමට ඉඩ සැලසුනු බව. ඒ වගේම සමස්ත ලෝකයටම සොබාදහම පණිවිඩයක් ලබා දුන්නා කෑදර මජර ආර්ථික දේෂපාලන ක්‍රමවේදයන්ගෙන් බැහැරව යන ලෙස. ඒ වාගේම මනුෂ්‍යත්වය පිරුණු උනුසුම් හදවත් ඇති මිනිසුන් ලෙස ජීවත්වීමට වහ වහා කටයුතු කරන ලෙසත් කොවිඩ්19 වෛරසය හරහා සොබාදම ලෝකයට බල කර සිටියා. දැන් අපිට අවස්ථාව තිබෙනවා මේ පණිවිඩය නිවැරදිව තේරුම් ගෙන අපේ සංස්කෘතිය තුළ උත්හර්ෂයට නගා තිබෙනා “අල්පේච්ඡ මිනිසා” බිහි කිරිමට අවශ්‍යය සමාජ ආර්ථික දේශපාලන රටාවකට අපේ රට සීරු මාරු කිරීමට. ඒ මගින් අපේ මුළුමහත් ජාතියම ආරක්ෂාකර ගත හැකි බව අපි වටහා ගත යුතුයි. ඒ අනුව කොවිඩ්19 සමඟ ජීවත් වීමට පුරුදුවීම තුළ අපිට අපේ රට වෙනත් සොඳුරු මානයකට රැගෙන යා හැකි වෙනවා.කොවිඩ්19 නම් කළු වලාව තුළ තිබෙන රිදී ඉර නිවැරදිව තේරුම් ගත හොත් අපිට මෙතෙක් රැගෙන ආ විනාශකාරි සමාජ දේශපාලන ආර්ථික මාවත වෙනත් මාවතකට රැගෙන යා හැකියි.

සංවාද සටහන ජීවන්ත ජයතිස්ස :

2020 සැප්තැම්බර් 18 දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉ...


Read More

20ට එරෙහි මහජන විරෝධය හේතුවෙන් ආණ්ඩුව පස්ස දොර විවෘත කිරීමේ නිර්ලජ්ජිත උත්සහායක-ජාතික සංවිධාන එකමුතුව

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ...


Read More

ජනතා ආශිර්වාදය නැතිව 20 සම්මත කිරීම පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන ...


Read More