මුහුණු පොතෙන්

පියයුරකින් ගලන මානව දයාව

October 16, 2020 9:18 am | Lanka Lead News

පැරීසියේ ලුව්ර් කලා කෞතුකාගාරය නම් වූ විස්මකුරු සිහිනයේ මතකය තුළ රිසි සේ සරන්නට කලෙකින් විරාමයක් නොලැබිණි. මිනිසා අසිරිමත් බුද්ධිමතෙකු බව සපථ කරන නවීන තාක්ෂණික නිමැවුම් අටෝරාසියක් මැද සංකර බවට පත් කරන ලද නූතන ජීවිතය තිරිංග රහිතව වේගයෙන් ධාවනය වෙමින් පවතී. ඒ අතරතුර මිනිසා විස්මිත කලාකරුවෙකු බව සනාථ කරන ඇදහිය නොහැකි නිර්මාණ ද ඉතිහාසයේ දිගු ඉවුරු මත විරාජමානව ඇතත් නිනව් නැති ජීවිතය ඒවා අසල මඳක් රැඳෙන්නට බොහෝ විට අසමත් වේ. එහෙව් සමයක ලූව්ර් පාරාදීසය යනු කලා ධූර්තයෙකු සෞන්දර්ය සුරාවෙන් නිවා සනහන ධ්‍යාන භාවනා අසපුවකි. මාස ගණනක් එහි වාසය කරන්නට ලැබෙතත් එහි දී දැනෙන මිහිරියා පිපාසය සංසිඳේ යැයි මට නොසිතේ.

බලන බලන අත දස දහස් ගණනක ප්‍රතිමා ය. උස් තේජමාන බරාඳ සහ ශාලා එකිනෙක ඉමක් නැති පියසැරියකින් යා කරවන මනරම් උත්කෘෂ්ට සිත්තම් ය. ලොවින් මැකී ගිය කලාකරුවන් තබා ගොස් ඇත්තේ දිව්‍යමය කලා නිර්මාණ සමුදායකැයි මුමුණමින් අදෘශ්‍යමාන දේව දූතයෙකු පියස්සෙන් පියස්සට අප පසු පස පැමිණෙන්නාක් මෙනි. අනේ… ඒ සෞන්දර්ය මාළිගාව සරි වන සේ වණන හැටියක් නොදනිමි.

ලූව්ර් කෞතුකාගාරයේ බිතු මඬලක අඹා ඇති අපූරු මූර්තියක් මතකය තුළින් නිතර ම ඉල්පී එයි. තරුණියක සිය පියොවුරකින් මහල්ලෙකුට කිරි පොවන ආකාරය දැක්වෙන ඒ මූර්තිය දුටු මතින් යමෙකු තුළ විමතියක් ඇති කරන්නක් වන නමුත් ඒ දෘඪ රූ ගැඹරෙහි ඉතා මෘදු කඳුළක් ඇති බව මම දැන සිටියෙමි. මේ දසුන ඇතුළත් විවිධ සිතුවම් කිහිපයක් ඉන් පෙර දැක තිබුණේ වුව ද, මා මූර්ති නිර්මාණයක මෙකී සිදුවීම දුටු පළමු අවස්ථාව එය විය. වහා ම හැකි තාක් පරෙස්සමින් ඒ මූර්තියේ පින්තූරයක් කැමරාව තුළට රිංගවා ගතිමි. ඒ පින්තූරය ද මේ තීරුවෙහි ලා ඔබේ නෙත් තුළට සෙමෙන් මුදා හැරෙනු ඇත.

දැන් එහෙනම් මහල්ලෙකු ළැම හොවාගෙන කිරි දුන් තරුණිය පිළිබඳ කතාව; ඇතැම් විට ඔබ දැනටමත් අසා ඇති ඒ අනුවේදනීය කතාව කියන්නම්.

එක්තරා සමයක රෝමයේ විසූ සිමොන් නමැත්තෙකු මිය යන තෙක් නිරාහාරව හා පිපාසයෙන් තැබීමට පාලකයෝ තීරණය කරති. ඔහුගේ දියණිය වන පේරෝ හට ඔහු දැකීමට ඉඩ දෙන මුත් ඇයට කිසිම දෙයක් ඔහු වෙත ගෙන යෑම තහනම් කෙරේ. සය මස් බිළිඳෙකුගේ මව වන පේරෝට තම පියා ජීවත් කරවීම සඳහා දිය හැකි එකම ආහාරය වන්නේ සිය පුතු වෙනුවෙන් ළය එරෙන මව් කිරි සම්පතයි. ඉතින් ඇය සිය පියාගේ ජීවිතය දිගු කරන්නේ ඒ සෙනෙහස ඔහුට පොවමිනි. අවසානයේ සාගින්නෙන් සහ පිපාසයෙන් සිමොන් මිය නොයන්නේ මන්දැයි පරීක්ෂා කරන විට ඔවුන්ගේ රහස භටයින්ට හෙළි වේ.

එහෙත් මේ කතාව සුඛාන්තයකි. මේ සංවේදී සිදුවීම විමසන විනිසුරුවරයා වහා ම සිමොන්ට නිදහස ලබා දුන් බව සඳහන් වේ. අහෝ සතුටකි! මව්කිරි යනු දූ පුතුන්ට මතු නොව සොබාධර්මය ද ඉක්මවා ගොස් පියවරුන්ට පවා ජීවිතය පුදන ප්‍රාණ දියරයකි. රෝමයේ දයාව (Roman Charity) නම් ප්‍රකට උපමා කතාව පේරෝ සහ සිමොන්ගේ අනුවේදනීය පිය-දියණි සෙනෙහස ඉතිහාසය හරහා අප වෙත ගෙන එයි. මේ කතාව රෝම ඉතිහාසඥයෙකු වූ වැලරියස් මැක්සිමස් විසින් ලියන ලද Factorum ac dictorum memorabilium (Nine Books of Memorable Acts and Sayings of the Ancient Romans) නම් කෘතියෙහි ලේඛනගත වී තිබේ. එහි පේරෝ හඳුන්වන්නේ රෝමවරුන්ගේ ගෞරවයට හේතු වන භක්තිමත් ක්‍රියාවක් සිදු කළ ගැහැනියක ලෙසිනි.

වඩාත් වැදගත් වනුයේ ද, අප පුදුම කරනුයේ ද පේරෝගේ සහ සිමොන්ගේ කතාව සිතුවම් විෂයයෙහි කර ඇති බලපෑමයි. පේරෝ සිය ළැම කිරෙන් පියාගේ සා පිපාසා නිවන අයුර එදා මෙදා තුර සිය ගණනක් විශිෂ්ට සිත්තරුන්ගේ නිර්මාණවලට පාදක වී ඇත. පොම්පෙයි (Pompeii) නුවර නටබුන් අතරින් සොයා ගත් ක්‍රි.ව. 1 වන සියවසට අයත් සිතුවමක පවා මේ අවස්ථාව දැක ගත හැකි ය. එක් දහස් පන්සිය ගණන්වල සීබෝල්ට් බීහැම් නම් ජර්මන් ජාතික සිත්තරා විසින් අඳින ලද සිතුවම ද, 1625 දී පමණ පීටර් පෝල් රූබන්ස් සහ ගැස්පර් ඩි ක්‍රේයර් විසින් නිර්මාණය කළ පිළිවෙලින් Cimon and Pero සහ Caritas Romana ලෙස නම් වූ මනරම් සිතුවම් යුගල ද මෙහි දී විශේෂයෙන් සිහිපත් කළ යුතු ය. රෝමයේ විසූ සුපතළ ශිල්පී, කැරවැගියෝ විසින් 1606 දී නිම කළ බව කියැවෙන The Seven Acts of Mercy නම් ලෝ ප්‍රකට සිතුවමෙහි දැක්වෙන කරුණාපරවශ සිදුවීම් හතෙන් එකක් වනුයේ ද මෙකී ප්‍රස්තුත සිදුවීමයි.

පසුබිම නොදත් කල්හි මහලු මිනිසෙකු තරුණියකගේ පියොවුරක් සිප ගන්නා දර්ශනය හුදු අසභ්‍ය රාගික නිරූපණයක් සේ පෙනී යෑමට ඉඩ තිබේ. එහෙත් මෙවැනි කලාත්මක නිරූපණයක් සිදු වනුයේ ඇයි ද යන්න සොයා බැලීමේ දීත්, විශේෂයෙන් එය දියණියක විසින් ඇගේ පියාට කිරි පොවන දර්ශනයක් බව වැටහී යාමේ දීත් පෙර හැඟීම කුතූහලයක් බවට පත් වනුයේ නිරායාසයෙනි. මේ පියා සාගින්නෙන් සිදු වන මරණයකට නියමව සිටි බවත්, දියණිය කරනුයේ සිය සිරුරෙහි රුහිරෙන් සැදුණු කිරි බිඳුවලින් ඔහුගේ සිරුරෙහි ජීවය රඳවා ගැනීම බවත් වැටහෙත් ම තවත් ගැඹුරට පෑරී යන සිත මානව දයාව හා පිය සෙනෙහස පිළිබඳ පිවිතුරු සිතුවිලි හුස්මකින් සුවපත් වේ.

මේ සිදුවීම සිතුවම්ගත කළ අවස්ථා තව බොහෝ ඇතත් අවකාශ ඇත්තේ තවත් එවැනි එක් නිර්මාණයක් ගැන කීමට පමණි. බෙල්ජියමේ ගෙන්ට් නගරයේ Belfry of Ghent නමින් හැඳින්වෙන නගර ද්වාර කුළුණක් සරසා ඇත්තේ ‘පියොවුරු උරන්නා’ යන අර්ථය ඇති “Mammelokker” යන ජර්මන් වදනින් හැඳින්වෙන අනගි මුර්ති නිමැවුමකිනි. මෙහි මා සඳහන් කළ අනෙකුත් නිර්මාණ සේ ම එය ද ප්‍රාථමික රාග ඇස මානව දයාවේ සීතල අග්නියෙන් පුළුස්සා දමයි.

ලක්ෂාන්ත අතුකෝරල
Lakshantha Athukorala



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉ...


Read More

20ට එරෙහි මහජන විරෝධය හේතුවෙන් ආණ්ඩුව පස්ස දොර විවෘත කිරීමේ නිර්ලජ්ජිත උත්සහායක-ජාතික සංවිධාන එකමුතුව

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ...


Read More

ජනතා ආශිර්වාදය නැතිව 20 සම්මත කිරීම පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන ...


Read More