පුරවැසි කොලම

බදියුදීන් සොයා දෙන්න!

October 16, 2020 6:33 am | Lanka Lead News

හිටපු අමාත්‍යවරයකු වන රිෂාර්ඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන්නේ පසුගිය අඟහරුවාදාය. එදා සිට ඔහු ආගිය අතක් නැත. ඒ අතර තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා රිෂාර්ඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ඊයේ (15 වැනිදා) අධිකරණයට පෙත්සමක් ගොනු කළේ ය. මෙය අපට සුපුරුදු නාට්‍ය පිටපතක් වන අතර වෙනස් වී ඇත්තේ නම් ගම් පමණකි. ඒ නිසා මේ නාට්‍යය ගැන අපට අරුමයක් නැත. එහෙත් මේ නාට්‍යය ලියන්නේ කව්දැයි යන කුහුල තිබේ.

බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇත්තේ රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමේ චෝදනාවකි. එවැනි චෝදනාවන් යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්නේද නැත. කණ්ඩායම් හයක් යොදවා ඇතත්, ඇප නොදෙන වරදක් කර ඇති රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ සවස් වන විටත් හැකිව තිබුණේ නැත. ඇමැතිවරයකුව සිටියත් අද විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටින අයෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ගැන සිතන විට විදෙස් බුද්ධි අංශයකින් කියන තෙක් පාස්කු ප්‍රහාරය ගැන අපේ බුද්ධි අංශ හාංකවිසියක් නොදැන සිටීම ගැන පුදුම විය නොහැකිය.

රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමේ බරපතළ චෝදනා ලත් සැකකරුවකු සොයා ගන්නට නොහැකි වුවත් දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටින පුරවැසියකුට සිදුවූයේ කුමක්දැයි සෙවීම පොලිසියේ වගකීමකි. අතුරුදන්ව සිටින පුද්ගලයා සාමාන්‍ය කෙනකු නොව හිටපු අමාත්‍යවරයෙකි. පක්ෂ නායකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. අතුරුදන්ව සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සොයා ඔහුගේ නිවසට ඊයේ ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිඳගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඇයට සිය සැමියා සොයාදීම පොලිසියේ වගකීමකි.

සාමාන්‍ය පුද්ගලයකු අතුරුදන්ව ඇති බව වාර්තා වූ විට පොලිසිය අනුගමනය කරන ක්‍රියා පටිපාටියක් තිබේ. එහෙත් මීට පෙරද මේ අන්දමට ප්‍රභූවරුන් අතුරුදන් වූ අවස්ථාවල පොලිසිය ඒ ක්‍රියාපටිපාටිය හෝ අනුගමනය කර නැත. අපේ පොලිසිය ප්‍රභූවරුන්ට විශේෂ සැලකිලි දැක්වීමට අකැමැති නිසාදැයි අප දන්නේ නැත. මේ නිසා මේ ආකාරයටම අතුරුදන්ව සිටි රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රෝහලකින් මතුවන තෙක් බලා සිටීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු විය. එසේ වුවත් යහපාලන ආණ්ඩුව සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ මීට වෙනස් ආකාරයකටය. කිසියම් දේශපාලකයකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වූ විට කරන්නේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දීමය. දැන් එසේ නොකරන්නේ යහපාලන ආණ්ඩුව සමයේ කළ වැරදි නොකරන්නට උපදෙස් දී ඇති නිසාද අප දන්නේ නැත.

කෙසේ වෙතත් මීට පෙර ප්‍රභූවරුන් අත්අඩංගුවට ගැනීම / නොගැනීමේ සිදුවීම්වලදී දකින්නට නොතිබූ අංගයක් රිෂාඩ් බදියුදීන් සිද්ධියට අදාළව දක්නට තිබේ. අත්අඩංගුවට ගැනීමට සොයන ප්‍රභූවරයා අතුරුදන්ව සිටින නිසා ඔහුගේ ආරක්ෂකයන් අත්අඩංගුවට ගැනීමය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ වරදකරුවකුට රැකවරණය දීම වරදක් වන බවය. රිෂාර්ඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය. මෙය කවරදාක හෝ නොවූ දෙයකි. මීට පෙර මැති ඇමැතිවරුන් අතුරුදන් වූයේ සිය ආරක්ෂකයන් ද සමගය. මේ සිද්ධියත් සමග සියලු මැති ඇමැති ආරක්ෂකයන්ට තමන්ගේ රාජකාරිය ගැන යළි සිතන්නට සිදුවනු ඇත.

සාමාන්‍යයෙන් මැති ඇමැති ආරක්ෂාව සඳහා යොදවන ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින්ට ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව හැර අන් සියලු දේ කරන්නට සිදු වේ. මේ නිසා ටික දිනක් යන විට ඔහු පොලිස් නිලධාරියකුට වඩා මන්ත්‍රීවරයාගේ හෝ ඇමැතිවරයාගේ හෙංචයියකු බවට පත්වේ. ඇමැති ආරක්ෂකයන් සිටින්නේ මැති ඇමැතිවරුන්ගේ බෑග් උස්සාගෙන යන්නට නොවේ යැයි චමල් රාජපක්ෂ ඇමැතිවරයාද පසුගිය දිනෙක ප්‍රකාශ කොට තිබුණි. මේ නිසා ඉදිරියේදී මැති ඇමැති ආරක්ෂකයන් වෘත්තියෙන් ආරක්ෂකයන් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එවිට දැන් මෙන් වරෙන්තු නිකුත් කෙරෙන මැති ඇමැතීන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් දහය දොළහ යෙදවීමට සිදු නොවනු ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන ආකාරයට එවැනි චූදිත ප්‍රභූවරුන් නීතියේ රැහැනට හසුකර දීම ආරක්ෂකයාගේ වගකීම වන නිසාය.

රිෂාර්ඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට පෙර අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ සහෝදරයාය. ඔහුට එල්ල වූයේ පාස්කු ප්‍රහාරයට අනුබල දීමය. එහෙත් මේ වන විට ඔහු නිදහස්කොට ඇත. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ වගකීම් විරහිතව යැයි නීතිපතිවරයා චෝදනා කර තිබේ. රිෂාර්ඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේද ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටමය. පාස්කු ප්‍රහාරය වැනි අතිශය අමානුෂික, ම්ලේච්ඡ ප්‍රහාරයක් සම්බන්ධයෙන් සැකපිට ගත් රිෂාර්ඩ් බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීමේදී වගකීමෙන් තොරව කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී වගකීමෙන් කටයුතු කරනු ඇතැයි නීතිපතිවරයා කල්පනා කළේ කෙසේ දැයි අපට නම් වැටහෙන්නේ නැත. ඇතැම් විටෙක සහෝදරයා නිදහස් කිරීමේ සිදුවූ වරද එහිදී නිවැරදි කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි කල්පනා කළා විය හැකිය. අප එසේ කල්පනා කළාට රිෂාර්ඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නට යෑම හා ඔහුගේ සහෝදරයා නිදහස් වීම අතර කිසිදු සම්බන්ධයක් නොතිබෙන්නටද පුළුවන. ඒ බව ඔප්පු කළ හැක්කේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More