පුරවැසි කොලම

විස්ස ගැන බද්‍යුද්දීන් දෙබෑයන් ගැන පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර බලපෑම් ගැන මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ඔවුන් ත්‍රස්තවාදීන් සමග පැවැත් වූ සම්බන්ධකම් ගැන බොහෝ දේ කියන්න තිබුණත් අද වඩා වැදගත් වන්නේ කොවිඩ්. එහෙත් අමරපුර රාමඤ්ඤ නිකාය නමින් නිකුත් වූ නිවේදනය ගැනත් ජාත්‍යන්තර විප්ලවය ගැනත් වචනයක් දෙකක් නොකියා බැහැ. විස්ස ගැන මගේත් ප්‍රශ්න තියෙනවා. මා ඒ ලියා ඇති. එහෙත් අත්තංගනේ හාමුදුරුවන් වැනි හාමුදුරුවරුන් නිකාය නමින් ඒ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කිරීම නිවැරදියි කියා හිතන්න බැහැ. අත්තංගනේ හාමුදුරුවන් යම් දේශපාලන පක්‍ෂයකට හිතවත් බව අප දන්නවා. උන්වහන්සේගේ මතය නිකාය සම්බන්ධ කර ගන්නෙ නැතිව ප්‍රකාශ කළා නම් යහපත්. ඊයේ මහානායක හිමිවරු ඒ ප්‍රකාශය තමන්වහන්සේගේ අනුදැනුමෙන් තොරව කළ එකක් බව නිවේදනය කිරීමත් සමග ප්‍රකාශය හෑල්ලු වුණා.

ඇතැම් පුද්ගලයන් තම පෞද්ගලික මතිමතාන්තර තමන් නිලතල දරණ සංවිධාන මගින කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. වෘත්තීය සමිතිවලත් මෙය සිිදු වෙනවා. ඇතැම් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුනුත් තම පෞද්ගලික දේශපාලන මතිමතාන්තර ප්‍රකාශ කිරීම සඳහා ආචාර්ය සමිති යොදාගත් අවස්ථාත් මෑතක තිබුණා. 1982 එවකට තිබූ ආචාර්ය සමිති සම්මේලනය ( FUTA නොවෙයි) ජේ ආර් මැතිවරණය කල්දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත් වූ විට කැමති ආචාර්යවරුන්ගේ පමණක් අත්සන් එකතු කර එයට විරුද්ධ ව ප්‍රකාශයක් නිකුත් කිරීමට අප කටයුතු කළා. සමිති සම්මේලනය ලෙස ප්‍රකාශ නිකුත් කෙළේ නැහැ.

සෝභිත හාමුුරුවන් ඊනියා සාධාරණ සමාජය සඳහා ප්‍රකාශ නිකුත් කෙළේ නිකාය ලෙස නොවෙයි. සිවල් සාමාජිකයන් එක්වී උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංවිධානයක් හදා ගත්තා. ඒ ප්‍රකාශවලට මා විරුදධ නමුත් උන්වහන්සේ නිකාය නමින් ප්‍රකාශ නිකුත් කිරීම අගය කරන්න ඕන. මා නිකමට අහන්නෙ ඒ සංවිධානයට මොකද වුණෙ. මහාචාර්ය සරත් විජේසූරිය දැන් ඒකෙ නැද්ද?

ජාත්‍යන්තර ව විප්ලව ජයගන්නෙ නැහැ. ස්ටැලින් තනි රටක සමාජවාදය ගොඩ නගන්න ගිය වෙලේ ට්‍රොට්ස්කි එයට විරුද්ධව පොතපත ලිවුවා. ඊනියා දියුණු රටවල විප්ලවය සිදුවෙනකම් තමයි ට්‍රොට්ස්කි හිටියෙ. රුසියාවවත් සෝවියට් දේශයට ඈඳා ගත්ත රටවල්වත් දියුණු රටවල් නො වෙයි. ඒත් ඊනියා දියුණු රටක විප්ලවය ජය ගත්තෙ නැහැ. කම්කරු පංතියට නායකත්වය දෙන්න කවුරුන්වත් හිටියෙ නැහැ! කම්කරු පංති නායකත්වයක් හොයන්නෙ කොහොමද කම්කරු පංතියක් නැතිව. මොනව කරන්න ද ස්ටැලින් ඒජන්තයකු යවල ට්‍රොට්ස්කි මරා දැම්ම. ස්ටැලින් තනි රටේ ඊනියා සමාජවාදය මරල දැම්ම. ඒකට මුල තනි රටක තියා ජාත්‍යන්තරයෙවත් ඔය ඊනියා කම්කරු පංති විප්ලවය සිදු නොවීම. ඔය විප්ලව කතාව මාක්ස්ගෙ හිතළුවක් පමණයි. ලෝකය පුරා ඉන්න දෙඩුම් ශිල්පීන්ට ඊනියා ජාත්‍යන්තර විප්ලවය ගැන කියව කියවා ඉන්න පුළුවන්.

කොවිඩ් ප්‍රශ්නය අද දේශපාලන ප්‍රශ්නයක් වෙලා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යටතෙ එහෙම වෙන්න ඕන. ආණ්ඩුව කොවිඩ් පරාද කරල තිබුණෙ. යටත්විජිත හේරත් අහන්නෙ එහෙනම් ඊනියා දෙවැනි රැල්ල ඇති වුණෙ කොහොමද කියල. මා නම් දෙවැනි රැල්ලක් ගැන කියන්නෙ නැහැ. යටත්විජිත කියන්නෙ පළමුවැනි රැල්ලෙන් රෝගීන් ඉතිරි වෙලා කියල. එහෙම නම් පළමු රැල්ල තමයි තාමත් යන්නෙ. මා මේ පරස්පර ගැන කියන්න යන්නෙ නැහැ.

බ්‍රැන්ඩික්ස් පොකුර ඇති වුණෙ කොහොම ද කියන එක ගැන තවම කතන්දරයක් නැහැ. අර ඉන්දියාවෙන් කණ්ඩායමක් ආව ද ඔවුන් නිරෝධායනයට ලක් වුණා ද ආදිය ගැන නිශ්චිත මතයක් ප්‍රකාශ වෙන්නෙ නැහැ. ඉන්දියාවෙ විසාකාපට්නම් කම්හලෙන් කවුරුන්වත් ආවෙ නැද්ද? ඉන්දියාවෙන් ආවෙ නැත්නම් ආණ්ඩුවට සිද්ධ වෙනවා ඇතැම් විට යටත්විජිතගෙ කතාව පිළිගන්න. දෙවැනි රැල්ලක් නැති වුණත් වෙනත් රටකින් ආවෙත් නැත්නම් බ්‍රැන්ඩික්ස් පොකුර ලංකාවෙන් ම ද ඇති වුණෙ කියල අහන්න වෙනවා. එහෙමත් නැත්නම් මෙය ලංකාවෙ ම ඇති වූවක් ද? ඒ කියන්නෙ කොවිඩ් පරාජය කළාට පස්සෙත් රෝගීන් ඉතිරි වෙලා ඉඳල වෛරසය බ්‍රැන්ඩික්ස් ආයතනයට රිංගුවා ද?

මේකෙ තව පැත්තක් තියෙනවා. ඔය ඉන්දියාවෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයට ගෙනෙන රෙදිවල වයිරසය තිබුණ ද? මා කලින් දවසකත් ඒ ප්‍රශ්නය ඇහුවත් කිසිවකු ගණන් ගත්තෙ නැහැ. මා දන්නෙ නැති හින්දයි අහන්නෙ. ඒ ඒ පෘෂ්ඨවල ඔය වයිරසයට කොතරම් කල් තියෙන්න පුළුවන් ද? අර ආසනික් ප්‍රශ්නය වෙලාවෙ ඊනියා පරයේෂණ කරන්න ආපු මෙරට දක්‍ෂ විද්‍යාඥයන්ට ඒ පෘෂ්ඨ ගැනත් පර්යේෂණ කරන්න පුළුවන් ද? මා දැක්කා ඕස්ත්‍රේලියාවෙ විද්‍යාඥයන් පිරිසක් කියල තියෙනවා මුදල් නෝට්ටුවල සහ තවත් පෘෂ්ඨවල වෛරසයට සති කිහිපයක් තියෙන්න පුළුවන් කියල. මේ බටහිර විද්‍යා කතන්දර කොයි තරම් දුරට වැඩ කරනවා ද කියල මා දන්නෙ නැහැ. එත් ඔය රෙදි ගැන හොයල බලනව නම් හොඳයි.

මා ඒ දිනවලත් කිවුව නිරෝධායනය වගේ චචන යොදා ගන්න එපා කියල. ඒ වචනවලට මිනිසුන් බය වෙනවා. ඔය නිරෝධායන මධ්‍යස්ථානවලින් මිනිසුන් පැන යන්නෙ මොක ද? ඔවුන්ට එහි ප්‍රශ්න තියෙනවා ද? මා දන්නෙ නැහැ. නිරෝධායන මධ්‍යස්ථානවල වැඩ කරන අය වෙහෙස මහන්සි වී කැප වීීමෙන් වැඩ කරන බව පැහැදිලියි. එහෙත් මොන හේතුවකට හරි ඇතැම් මිනිසුන් බයයි. මේ බය නැති කරන්න ඕන. බොහෝ දෙනා කොවිඩ් ගැන හිතන්නෙ මාරාන්තික ලෙඩක් හැටියට. ඒ බයත් නැති කරන්න ඕන. කොවිඩ් ඉක්මණින් පැතිරෙන බව නම් පැහැදිලියි.

ඔය නිරෝධායන මධ්‍යස්ථානවලට යන අය හිතනව වෙන්න පුළුවන් තමන් නිරෝගියි, එහෙත් එහි ඉන්න අනෙක අය රෝගීන් ඒ නිසා ඔවුන්ගෙන් තමන්ට රෝගය වැළඳෙන්න ඉස්සෙල්ල පැනල යන්න ඕන කියල. නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අය සනීප වෙලා යනව කියන එකත් වැරදි ව්‍යවහාරයක්. ඉනුත් වෙන්නෙ මිනිසුන් නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නෙ රෝගීන් කියල හිතන එක. කොහොමත් ලංකාවෙ වෙන් කරන්නෙ රෝගීන් කියන අදහස තියෙනවා. දෙයියන්නෙ ලෙඩ හැදුන ම රෝගියාවයි වෙන් කරන්නෙ. මේ සංස්කෘතික දැනුම් මිනිසුන්ට බලපානවා.

ඇතැමුන් තමන් ආගිය තැන්වල තොරතුරු නොදීමටත් එය බලපානවා වෙන්න පුළුවන්. නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නෙ රෝගීන් නෙවෙයි කියන එක මිනිසුන් අතරට යවන්න ඕන. ආශ්‍රිතයන් නිරෝධායනය කරන්නෙ නැතිව වෙන් කරන්නෙ නැතිව විශ්‍රාම ශාලා හරි වෙන මොනව හරි නමකින් ඒ ඒ තැන්වලට ගෙන යන්න පුළුවන් ද? කොයික වුණත් අත හෝදන ක්‍රියාවලිය ආදිය දිගට ම කරන්නත් දුම් හට්ටිය ඇල්ලීම කැඳ බීම වැනි දේ කිරීමටත් ආධ්‍යාත්මික ආශිර්වාද ලැබෙන විධියට කටයුතු කිරීමටත් මිනිසුන් තව තවත් පොළඹවන්න වේවි.

ආචාර්ය නලින් ද සිල්වා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉ...


Read More

20ට එරෙහි මහජන විරෝධය හේතුවෙන් ආණ්ඩුව පස්ස දොර විවෘත කිරීමේ නිර්ලජ්ජිත උත්සහායක-ජාතික සංවිධාන එකමුතුව

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ...


Read More

ජනතා ආශිර්වාදය නැතිව 20 සම්මත කිරීම පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන ...


Read More