ප‍්‍රධාන පුවත්

අත්තනගල්ල මීරිගම ගම් 3 ක් හා මන්නාරමේ  ගම් 2ක් වසා දමයි

-එළුවාපිටියේ  විහාරයක හිමිවරුන් සිව් නමකටත් කොරෝනා

-කටුනායක ඇගලූම් හලක තවත් 18කට කොරෝනා:  – කම්හල් 3ක් වැසේ

– ජ’පුර හා කැලණිය සරසවි සිසුවියන් දෙදෙනකුටත් කොරෝනා

– බියගම කලාපයේ තරුණයකුත් ආසාදිත වෙයි

– දඹුල්ල ආර්ථිකයේ කඩ 80 කට ආසාදිතයන් දෙදෙනෙක් ගිහින්

සමන් ගමගේ, ටෝනි කරුණානායක සහ දිනසේන රතුගමගේ

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් කම්හලෙන් මතුවී මේ වන විට රටපුරා පැතිර යමින් තිබෙන මෙරට දෙවැනි කොරෝනා රැුල්ලත් සමග පුද්ගලයන් තිස්හත් දෙනකු වෛරසයට ගොදුරු වී තිබීම නිසා ඊයේ (11 වැනිදා) පෙරවරුවේ සිට අත්තනගල්ල සහ මීරිගම ප‍්‍රදේශයන්හි ගම්මාන තුනක් මුළුමනින්ම වසා දමා අධි ආරක්‍ෂිත කලාප ලෙස නම් කිරීමට බලධාරීහු කටයුතු කළහ.

ඒ අන්දමට කොරෝනා වෛරසය පැතිර යෑම හේතුවෙන් මන්නාරම පට්ටිතෝට්ටම් හා පෙරියකඬේ යන ගම්මාන දෙකද වසා දමා හුදකලා කිරීමට යුද හමුදාව ඊයේ පියවර ගෙන තිබිණි.

පසුගියදා මන්නාරම රදගුරු නිවස ආසන්නයේ සේවය කරමින් සිටි මීගමුව ප‍්‍රදේශයේ පෙදරේරුවකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළිවූ අතර ඒ අනුව ඔහුගේ ආශ‍්‍රිතයන් විසිහත් දෙනකුට පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට කටයුතු කෙරිණි.

ඒ පිරිස පුද්ගලයන් පස්දෙනකුට වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ වාර්තා වූ අතර ඔවුන් පස්දෙනා ප‍්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

අත්නගල්ල සහ මීරිගම ප‍්‍රදේශයන්හි ග‍්‍රාමසේවා වසම් හතකට අයත් පවුල් 3600 ක් හා පුද්ගලයන් 13000 ක් පමණ ජීවත්වන මාලිගාතැන්න, එළුවාපිටිය සහ කුරීකොටුව යන ගම්මාන මෙසේ වසා දමා ඇත.

එම ගම්මානවලට කිසිවකුටත් ඇතුළුවීම සහ පිටවීමද තහනම් කර ඇති අතර විභාග සඳහා ගමන් කරන දරුවන්ට හා දෙමාපියන්ට පමණක් යෑමට සහ ඒමට අවස්ථාව ලබාදී තිබේ.

මෙම ගම්මානවල සිටින ආසාදිතයන් 37 දෙනා අතර එළුවාපිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ සිව් නමක්ද වෙති. එම විහාරස්ථානයේ පෙරේදා (10 වැනිදා) පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සඳහා බෝධි පූජා පිංකමක්ද පවත්වා තිබෙන බව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා රැුල්ලට සම්බන්ධ සිදුවීම් රැුසක් ඊයේ (11 වැනිදා) දිනය තුළද රටපුරා විවිධ ප‍්‍රදේශවලින් වාර්තා විය.

කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට හා සේවකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා (10 වැනිදා) වාර්තා වීම හා මිනුවන්ගොඩ දූනගහ සහ දිවුලපිටිය ප‍්‍රදේශවල සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය කොරෝනා ආසාදිතයන් දෙදෙනකු නිසා ඊයේ දිනයේ එහි කටයුතු අඩාල වීම මෙන්ම කටුනායක ආයෝජන කලාපයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 19 දක්වා ඉහළ යෑම ඒ අතරින් විශේෂිත විය.

ජාතික රෝහලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් තිදෙනා හේතුවෙන් පෙරේදා (10 වැනිදා) එහි 3, 5 සහ 69 යන වාට්ටු මෙන්ම ශල්‍යාගාරයක්ද වසා දැමීමට සිදුව තිබිණි. මොවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් කිහිප දෙනකු සමීපව ඇසුරු කිරීම නිසා බවද හෙළිවී ඇත.

එසේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය ආසාදිතයන් දෙදෙනා එහි වෙළෙඳසල් අසූවකට පමණ ගොස් ඇති බව අනාවරණය වීම නිසා පෙරේදා (10 වැනිදා) රාති‍්‍රයේම ආර්ථක මධ්‍යස්ථානය විෂබීජානුහරණය කර ඊයේ එහි පුද්ගලයන් සියයකට අධික පිරිසකට පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ. ආර්ථික මධ්‍යස්ථානයට ගිය පුද්ගලයන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඔවුන් දෙදෙනා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් කම්හලේ සේවයකයන් සමග කතරගම වන්දනාවේ යෑම හේතුවෙන් බවද අනාවරණ වී තිබිණි.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ බාලිකා විදුහලක ශිෂ්‍යාවක්ද කොරෝනා වෛරසය ගොදුරු වී ඇති බව ඊයේ වාර්තා විය. මේ හේතුවෙන් ඇගේ ආශි‍්‍රතයන් සියලූ දෙනා මිනුවන්ගොඩ සති පොළ භූමියට කැඳවා පී. සී. ආර්. පරීක්‍ෂණවලට භාජන කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අනුර රන්දෙණිය මහතා පැවසීය.

කටුනායක ආයෝජන කලාපයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව ඉකුත් සිකුරාදා අනාවරණය වූ අතර ඒ අනුව සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණ මගින් තවත් 18 දෙනකු වෛරසයට ගොදුරු වී ඇති බව ඊයේ (11 වැනිදා) වන විට වාර්තා විය. මොවුන් ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා දෙකක සේවය කරන සේවිකාවන් බවද හෙළිවී ඇත.

මේ වන විට ඔවුන් සියලූ දෙනා ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සීදුව – කටුනායක පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

මේ හේතුවෙන් කටුනායක ආයෝජන කලාපයේ සේවකයන් 2000 කට අධික පිරිසක් බැගින් සේවය කරන ප‍්‍රධාන පෙළේ ඇඟලූම් කර්මාන්ත ශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුජීව කුමාරසිංහ මහතා පැවසීය.

කටුනායක ආයෝජන කලාපයේ සේවකයන් 37000 ක් පමණ සේවය කරනු ලබන අතර මේ දිනවල පවතින තත්ත්වය හමුවේ සේවකයන් විශාල පිරිසක් සේවයට නොපැමිණීමේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද අනාවරණය වේ.

බියගම ආයෝජන කලාපයේ නූල් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ අනාවරණය වී තිබිණි.

මෙම තරුණයා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිට පසුගිය දිනවල බියගම කර්මාන්ත ශාලාවේ සේවයට එක්වූ අයකු බවද හෙළි වී ඇති අතර මේ

හේතුවෙන් බියගම ආයෝජන කලාපයේ සේවකයන් 1000 ක පමණ පිරිසකට සහ සපුගස්කන්ද ලින්ඩල් කාර්මික ජනපදයේ පුද්ගලයන් 160 කට පමණ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබීය.

එහිදී බියගම ආයෝජන කලාපයේ සේවකයන් ඊයේ (11 වැනිදා) දිනයේ දෙල්ගොඩ මහජන කී‍්‍රඩාංගණයට කැඳවා පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමන් පෙරේරා මහතා සඳහන් කළේය.

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන පානදුර ප‍්‍රදේශයේ පදිංචි හෙදියකගේ දියණියක වන ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියේ සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබිණි.

මේ හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා විෂබීජානුහරණය කර යළි විවෘත කිරීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය සඳහන් කළාය.

මෙම සිසුවිය තවත් සිසුවියන් දෙදෙනකු සමග නේවාසිකාගාරයක සිට ඇති අතර ඉන් එක් සිසුවියක් ගම්පහ ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසට ගොස් පසුගිය දිනවල යළි පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි කැලණිය සරසවියේ සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය. මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ සමාජීය විද්‍යා පීඨයේ සිසුවියකට වන අතර ඇගේ සමීපතමයන් දෙදෙනකු පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින දෙවැනි කොරෝනා රැුල්ල හමුවේ අකුරැුස්ස නිල්වලා විද්‍යා පීඨය, අක්මීමන රුහුණු විද්‍යා පීඨය, වව්නියාව අධ්‍යාපන විද්‍යා පීඨය සහ හැටන් දිඹුල, පතන පිහිටි ශී‍්‍රපාද විද්‍යා පීඨය යන විද්‍යා පීඨ හතර වසා දමා ඒවා නිරෝධයන මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමටද ඊයේ පියවර ගැනුණි.

ඒ අනුව එම විද්‍යා පීඨවල සිටි සිසුන්, ආචාර්යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් සෞඛ්‍යාරක්‍ෂිතව නිවෙස් වෙත රැුගෙන යෑමට යුද හමුදාව කටයුතු කළේය.

සීගිරිය පිදුරංගල විහාරයේ නේවාසිකව සිටි තරුණයෙක් පසුගියදා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් සමාගමේ සේවය කළ සිය මව බැලීමට මිනුවන්ගොඩ පිහිටි නිවසට ගොස් යළි පැමිණීමේ සිද්ධියක් නිසා ඊයේ සිට පිදුරංගල විහාරයට බැතිමතුන් පැමිණීම තාවකාලිකව අත්අහිටුවීමද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබිණි. එම තරුණයා පී. සී. ආර්. පරීක්‍ෂණයකට යොමු කිරීමටද කටයුතු කර ඇත.

මේ අතර ඉකුත් 4 වැනිදා මොණරාගල සති පොළට පැමිණි ඇඟලූම් සේවිකාවක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව අනාවරණය වීමේ සිද්ධියක් නිසා එදින සති පොළේ සිටි වෙළෙ‘ඳුන් සියයකට පමණ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් ඊයේ කටයුතු කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More