පුරවැසි කොලම

කොරෝනා : මොළෙන් සිතන්න

October 6, 2020 12:30 pm | Lanka Lead News

Lockdown එකේ පරිස්සම් වෙනවාද? නැත්තම් Shutdown වෙනවද කියලා ආරක්ෂක අංශ , සෞඛ්‍ය අංශ මෙන්ම මාධ්‍ය කොච්චර දැනුවත් කළත් ආයෙමත් අපිට බියෙන් ඉන්න කාලයක් උදා වෙලා. ලංකාවේ COVID-19 අයෙත් ව්‍යාප්ත වෙන්න ඔන්න මෙන්න .

COVID-19 මේ මොහොත වෙනකොටත් මුුළු ලෝකයම බියෙන් තැති ගන්වන වසංගතයක් වෙලා හමාරයි. කොරෝනා කාටවත් විශේෂත්වයක් දැක්වුවේ නෑ. රජ ගෙදර රජාටත් දුගී පැල්පතේ ඉන්න දුගියාටත් එක විදිහටම පොසිටිව් වුණා. ලොවට අහිමි වන ජීවිත ප්‍රමාණය අති මහත්. බේරෙන්න එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යාත පිරිසක් දෑස් දල්වා බලා ඉන්නවා. ඔව් අපි හැමෝම කැමතියි ජීවත් වෙන්න. හැබැයි ඔබේ ජීවත් වීමේ අයිතිය තුළ තවත් අයෙකුගේ ජීවත් වීමේ අයිතිය නැති වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ මනුෂ්‍ය ඝාතනය යන වරදට වැරදි කාරයෙක්.

නිකමට හිතන්න මේ වගේ අවස්ථාවක ඔබේ සමාජ වගකීම හරියට ඉටු කරනවා ද?. පෙර අවස්ථාවේ අපි අපේ සමාජ වගකීම ඉටු කළා ද? . ඇඳිරි නීතිය අයින් කළාම කොරෝනා , මාස්ක් අමතක වුණා ද?

අපි වෙනුවෙන් දිවා රෑ වෙහෙසිලා වැඩ කරන ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ඇතුළු අත්‍යවශ්‍ය සේවා ඉටු කරන පිරිසට ඔබ සාධාරණයක් ඉටු කළාද? කොරෝනා නෙමෙයි ලෝකේ පෙරළගෙන එනවා කිව්වත් මේ අත්‍යවශ්‍ය සේවා ඉටු කරන පිරිසට නිවාඩුවක් නෑ. ඔවුන්ට සිද්ධ වෙනවා ඔබ රකින්න ඉදිරියට එන්න. ඒක රාජකාරියකට එහා ගියපු දේවකාරියක්. ඉතින් ඔවුන්ට ආයෙත් පෙරට එන්න සිද්ධ වෙලා අපි වෙනුවෙන් .

අපිට වැරදුණේ කොතනද? කොරෝනා ගැන බහුතරයක් දෙනා හිටියේ , තවමත් ඉන්නේ වැරදි මතවල. මතක තියාගන්න කොරෝනා කියන්නේ සමාජයට ලැජ්ජාවෙන් හංගන්න ඕන සමාජ රෝගයක් නෙ‍ෙමයි. මේක වෛරස් එකක් . වෛරස් කියන්නේ ලෝකෙට අමුතු දෙයක් නෙමෙයි. ගමේ ගොඩේ භාෂාවෙන්ම කියනවා නම්, ඇත්තටම මේ තියෙන්නේ දෙයියන්ගේ ලෙඩක් හා සමාන රෝගයක්. ඉතින් පැපොල හැදුනම , සරම්ප හැදුනම , කම්මුල්ගාය හැදුනම ඔබ ගෙදරට වෙලා දින 14 ක් හෝ 21 ක් ඉන්නේ නැද්ද? ඒ බව ගම්මුන්ට දන්වන්න ගම්වැසියන් ගෙදරට එන එක වළක්වන්න වැටකඩුල්ලේ කොහොඹ අත්තක් එල්ලන් නැද්ද? අන්න ඒ දේ තමයි ඔබෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. ලෝකය නවීකරණය වෙද්දී ශබ්දකෝෂයට අලුත් වචන පැමිණීම සාමාන්‍යයි. නිවෙසට වී නිරෝධායනය වෙන්න කියලා කිව්වම වෙන්නේ වෙනස් දෙයක් නෙමෙයි. අතීතයේ දෙයියන්ගේ ලෙඩක් හැදුනම ඔබ අනුගමනය කළ ක්‍රියා පිළිවෙතම තමයි මේ වෙලාවෙත් අනුගමනය කරන්න වෙන්නේ. නිවස ඇතුළතම ඉද්දී ඔබට මානසික ආතතියක් හැදෙනවා කියනවා නම්, ඒක බොරුවක්. මොකද ඔබේ සතුරා ඉන්නේ ඔබේ නිවසේ නෙමෙයි. ඔබේ වැට කඩුල්ලෙන් , ගේට්ටුවෙන් එහා තමයි ඔබේ සතුරා ඉන්නේ. මෙවැනි අවස්ථාවක නිවස තුළම ඉන්න එක ඔබට දේව ආශිර්වාදයක්.

කොරෝනා හැදුනා කියලා හැමෝම මැරෙන්නේ නෑ. එ්ත් හැදෙනවා නම් හැදෙයි කියන මානසිකත්වයෙන් ඉන්න එපා. කොරෝනා ආසාදනය වුණොත් එය දරාගන්න බැරි ප්‍රතිශක්තිය හීන පිරිස මරණයට ගොදුරු වෙනවා. මට කොරෝනා පොසිටිව් වුණොත් ඇතැම් විට මං මැරෙයි. ඇතැම් විට ටික කාලෙකින් සුව වෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. මම කොරෝනා වාහකයෙක් ද නැද්ද කියන කාරණය. මම කොරෝනා පොසිටිව් නම් මම සුව වුණාට වැඩක් නෑ මගෙන් තව තවත් කොරෝනා රෝගීන් නිර්මාණය වෙනවා නම්. ඒ නිසයි සුළු හෝ රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඒ ඒ අංශ දැනුවත් කරන්න කියන්නේ. කරුණාකරලා රෝග වාහකයෙක් වෙන්න එපා. ඔබෙන් රෝගය වැළඳුණු එක් අයෙකු හෝ මියගියොත් ඔබ නිසැකවම මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවෙක්. රෝගය හැදිලත් ඒක හංගගෙන ඉන්නවා නම් ඔබ අනිවාර්යයෙන්ම වැරදිකාරයෙක්.

මේ වෙලාවේ ඔබේ සහය රටට අත්‍යවශ්‍යම මොහොතක්. පටු ආත්මාර්ථකාමී මිනිස්සු වගේ හැසිරෙන්න එපා. මීට පෙර වූහාන්වල ලාංකික සිසුන් , ඉතාලියේ ලාංකික ශ්‍රමිකයින් ඇතුළු පිටරට සිටින ලාංකිකයින් ලංකාවට ගේන්න කටයුතු කරද්දී බහුතරයක් හැසිරුණේ නුසුදුසු විදිහට. ‘ උන් ගෙන්නලා ලංකාවටත් බෝ කරන්නද හදන්නේ ‘ මේ මතයේ තමයි වැඩිදෙනා හිටියේ. ඒත් ලෙඩක් දුකක් හැදුනම දරුවෝ අම්මා තාත්තා ගාවට යන්නේ නැතුව වෙන කවුරු ගාවට යන්න ද? ඔබේ දරුවා වූහාන්වල හිර වුණා නම් ඔබ කවදාවත් ආත්මාර්ථකාමී මතයේ ඉන්නේ නෑ. අපි හැමදාම හිතන්නේ මම කියන පුද්ගලයා ඇතුළුව තමන්ගේ කියලා ලේබල් එකක් ගහන්න පුලුවන් අය ගැන විතරයි. අපි කියන සංකල්පයේ ඉඳලා මේ වසංගතයට මුහුණ දුන්නා නම් මේ වෙනකොට ලංකාවෙන් කොරෝනා තුරන් වෙලා. ලංකාව කියන්නේ ප්‍රශ්න කන්දරාවකට මුහුණ දුන්නු රටක්. කඩා වැටීමක වේදනාව වගේම කඩා වැටීම් හමුවේ නැගී සිටින ශක්තියත් අපිට හොඳට හුරුයි. මනුෂ්‍යත්වයේ නාමයෙන් ආරක්ෂක, සෞඛ්‍ය අංශවල ඉල්ලීම්වලට අවනත වෙන්න. බැරිවෙලාවත් කොරෝනා හින්දා රටේ ආරක්ෂක, සෞඛ්‍ය අංශවල සේවකයින් බාගෙට බාගයක් ලෙඩ වුණොත් මේ වගකීම ගන්නේ කවුද?

අපි කොරෝනා ආතල් එකකට අරන් තියෙන්නේ. අපි ඒ ආතල් එක ගත්තා ඇඳිරි නීතිය ඉවත් කරපු ගමන් .
අපිට වැරදුණා. දැන් කොරෝනා අපිව ආතල් එකට අරන් . හැම තැනින්ම කොරෝනා පොසිටිව් රෝගීන් හම්බෙනවා. මූලාශ්‍රයක් , රෝග වාහකයෙක් දන්නේ නෑ . මතක තියාගන්න . අපි කොරෝනාවලට තිබ්බේ කොමාවත් ( , ) විතරයි. කොරෝනාවලට තිතත් ( .) තියලා රෝගය සහමුලින්ම තුරන් කරන්න හදද්දී අපි ආයෙමත් රෝගයට ආදරෙන් අඩගැහුවා . පාලනය වුණ රෝගය ආයෙමත් සමාජයේ පැතිරෙන්න ගත්තා . වැරැද්ද කාගේද..?

ඔබට මේකේ බරපතලකම තේරෙන්නේ නෑ. හැබැයි හන්දියක් හන්දියක් ගානේ ගම් LOCKDOWN කරලා බැරියර් වැටෙනකොට, නොමළ ගෙදරකින් අබ මිටක් හොයා ගන්න කිසාගෝතමීට බැරි වුණා වගේ කොරෝනා හින්දා එකෙක් හරි මැරුණේ නැති ගෙයක් හොයාගන්න බැරි වෙනකොට , තමන්ගෙම එකෙක් පාංශුකූලයවත් නැතුව වළදානකොට අපේ උන්ට තේරෙයි මේක බරපතලකම. පාංශුකූලයවත් නැතුව අපේම වුන් වළදාපු මරණ තිබුණා. ඒත් අපි ඒවා තඹ සතේකට මායිම් කරේ නෑ. තවදුරටත් අපි පරිස්සම් වුණේ නැත්තන් අපි පරක්කු වැඩි වෙයි.

News1st



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More