විදේශ පුවත්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි පැය හතළිස් අටක කාලය තීරණාත්මක බව ධවල මන්දිරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇමරිකානු මාධ්‍ය ප‍්‍රකාශ කර තිබේ.

මේ අතර දැනට රෝහල්ගත කර සිටින ජනාධිපති ට‍්‍රම්ප් ට්විටර් ජාලය වෙත වීඩියෝවක් නිකුත් කළ අතර ඒ හරහා ට‍්‍රම්ප් පැවසුවේ තමන්ගේ තත්ත්වය යහපත් බවත් තමන් හොඳින් කටයුතු කරමින් සිටින බවත්ය. කෙසේ වෙතත් ට‍්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වරින් වර ලැබෙන පුවත් එකිනෙකට පරස්පර ස්වභාවයක් ගෙන තිබේ.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරිඳ මෙලනියා හට කොරෝනා ආසාදනය වී ඇති බව පසුගිය 2 වැනිදා තහවුරු වූ අතර ඒ සමගම ඔවුන් දෙදෙනා ධවල මන්දිරය තුළම නිරෝධායනයට ලක්වූහ.

පසුව ශරීරයේ ඔක්සිජන් ප‍්‍රතිශතය පහළ යෑම නිසා වහාම රෝහල්ගත කළ ජනාධිපතිවරයා මේ වන විට මේරිලන්ඞ්හි පිහිටි වෝල්ටර් රීඞ් ජාතික හමුදා මධ්‍යස්ථානයේ පිහිටි රෝහලේ ප‍්‍රතිකාර ලබයි. ධවල මන්දිරයේ සිට ජනාධිපතිවරයා රෝහල වෙත ගෙනගියේ හෙලිකොප්ටරයක් මගිනි.

ඇමරිකානු ජනාධිපතිවරණයට සති කීපයක් තිබියදී ට‍්‍රම්ප් ජනාධිපතිවරයා හට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ජනාධිපතිවරණ සටන දැඩි ලෙස අඩපණ වී ඇති අතර මේ වන විට සමස්ත ලෝකයේම අවධානය ඇමරිකා එක්සත් ජනපදය වෙත යොමුවී තිබේ.

ජනාධිපතිවරයාට කොරෝනා ආසාදනය වූයේ ඩිමොක‍්‍රටික් ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩන් සමග සජීවී රූපවාහිනි වැඩසටහනකට එක්වීමෙන් පසුවය. එහිදී ට‍්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකා එක්සත් ජනපදයේත්, ලොව පුරාත් දැඩි විවේචනයට ලක්විය.

අදාළ රූපවාහිනී වැඩසටහනට සහභාගි වීමට ට‍්‍රම්ප් සමග ගුවන් යානයේ ගමන් කළ ට‍්‍රම්ප්ගේ සමීපතම උපදේශිකාවක වන හෝප් හික්ස් හට කොරෝනා වැළඳීමෙන් පසු ට‍්‍රම්ප් හා බිරිඳ කොරෝනා පරීක්ෂාව සිදු කර ගත්හ.

මේ වන විට ඇමරිකානු ජනාධිපතිවරයාගේ සමීපතමයන් කීපදෙනකුටම කොරෝනා ආසාදනය වී තිබේ. ජනාධිපතිවරණ මෙහෙයුම් කළමනාකරු, ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු, රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් තිදෙනකු හා ට‍්‍රම්ප්ගේ සමීපතම ආරක්ෂකයකු ඇතුළු ඔහු සමීපව ඇසුරු කළ හා අවසන් දින කීපයේ ඔහු සමග සමීපව ඇසුරු කළ පුද්ගලයන් ගණනාවකට මේ වන විට කොරෝනා ආසාදනය වී තිබේ.

ට‍්‍රම්ප් සමග විවාදයට සහභාගි වූ ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් හා බිරිඳ හටද පී. සී. ආර්. පරීක්ෂණ සිදු කර ගත් අතර එහිදී ඔවුන් දෙදෙනාට වෛරසය ශරීරගත වී නැති බව තහවුරු වී තිබේ. උප ජනාධිපති මයික් පෙන්ස් හටද කොරෝනා ආසාදනය වී නැත.

සීත දේශගුණය ක‍්‍රමයෙන් වැඩිවීමත් සමග ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ වන විට කොරෝනා රෝගය යළිත් ශීඝ‍්‍රයෙන් පැතිරයමින් තිබේ. මහජනතාව නිසි ආරක්ෂිත ක‍්‍රියාමාර්ග නොගතහොත් එය කලින් තිබුණාටත් වඩා භයානක වනු ඇතැයි ඇමරිකානු සෞඛ්‍ය අංශ දැනටමත් ප‍්‍රකාශ කර තිබේ. එහෙත් ඇමරිකානුවෝ බොහෝ දෙනෙක් තවමත් කොරෝනා මර්දන නීති රීති නිසි පරිදි අනුගමනය නොකරති.

ලොව කොරෝනා මරණ වැඩිම රට වන ඇමරිකා එක්සත් ජනපදයේ මේ වන විට 7,600,846 කට කොරෝනා ආසාදනය වී තිබේ. එයින් 4,818,509 ක් පූර්ණ සුවය ලබා ඇති අතර 214,277 ක් මිය ගොස් තිබේ.

ජනිත සෙනෙවිරත්න – ඇමරිකා එක්සත් ජනපදයේ සිට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More