අඳුරෙන් එළියට

මොරිස්‌ යනු හිටපු ජනාධිපති සේම හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාවද ඝාතනයට අත්සාහ දැරූ ත්‍රසතවාදයෙකි. අද උදාවී තිබෙන්නේ මොරිස්‌ලා නිදහස්‌ වෙදදී ගෝඨාභයලා හිරේ යා යුතු යුගයද?

යහපාලන පොලිස්‌ විමර්ශන හමුවේ වැලිකඩ බෝඩිමට යෑවුණු ඉහළම හමුදා නිලධාරියා ලෙස හිටපු යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර දැන් සිටිනුයේ බන්ධනාගාරගතවය.

ඔහුට මේ ඉරණම අත්වන බව අපි දැනට ටික කලක සිටම දැන සිටියෙමු. අමල් කරුණාසේකර දෙස බලා කතාව අංශක අනූවට හැරවෙමින් තිබෙන බවද පෙනෙන්නට තිබිණි. එනිසා අවස්‌ථා දෙකකදීම ඒ බව රට හමුවේ තබන්නටද අපි කටයුතු කළෙමු.

අප එසේ අනාගත වැකි කියන විට මේජර් ජෙනරාල් අමල්කරුණාසේකර විශ්‍රාම ගොස්‌ නොසිටියේය. එනිසා සියල්ල තිබුණේ “එළියට වරෙන් දෙන්නම් බැටේ” කියන තැනය. මේ අතරේ මීට මාසයකට පමණ ඉහතදී ඔහු විශ්‍රාම ගියේය. පසුව දැනට ආරම්භ කිරීමට නියමිතව ඇති ජාතික ආරක්‍ෂක විද්‍යා පීඨයේ සේනා විධායක ලෙස කොන්ත්‍රාත් පදනමින් තනතුරක්‌ ඔහුට ලැබිණි.

විශ්‍රාම ගොස්‌ සිටි මේජර් ජෙනරාල්වරයා අප සිතූ ලෙසම රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ලබන්නේ එකී කොන්ත්‍රාත් තනතුරේ කටයුතු කරන අතරතුරය. ඔහුව මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ කුමක්‌ නිසාද?

ඉකුත් 2008 වසරේදී සිදුවූ ද නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය එයට හේතුව විය. රහස්‌ පොලිසිය කියන පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට චෝදනා එල්ල වීමට ප්‍රබලම සාධකය වී ඇත්තේ දුරකථන සංවාදයකට ආදාළ කතා පෙළකි.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගැනීමට ලක්‌වූයේ 2008 වසරේ මැයි මස 22 වැනිදා රාත්‍රී 10.30 ට පමණය. මෙම සිද්ධිය සැලවීමත් සමඟ ද නේෂන් පුවත්පතේ කර්තෘ ලලිත් අලහකොන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කතාකර කීත් නොයාර් පැහැරගැනීම පිළිබඳ දැනුම් දී ඇත.

එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණට දැනුම් දී ඇති අතර ඔහු එවකට යුද හමුදා බුද්ධි අධ්‍යකක්‍ෂව සිටි අමල් කරුණාසේකරට සිද්ධිය දන්වා ඇත. පසුව මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මරදානේ පිහිටා තිබූ යුද හමුදා “ටි්‍රපෝලි” බුද්ධි බළකා කඳවුරේ අණදෙන නිලධාරීව සිටි මේජර් සීවලි බුලත්වත්තට සිද්ධිය පවසා ඇතැයි යන්න කීත් නොයාර් විමර්ශනය කරන රහස්‌ පොලිසිය දැනට කරඇති සොයා ගැනීමය.

අමල් කරුණාසේකර මහතා මේජර් බුලත්වත්ත අමතද්දී ඔහු සිටියේ මල්වාන දෙකටන ප්‍රදේශයේ වන අතර ඒ වන විට මාධ්‍යවේදී කීත් නොයාර්ගේ දුරකථනයද එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබූ බවද රහස්‌ පොලිසිය සඳහන් කරන්නකි

ඒ අනුව මාධ්‍යවේදී කීත් නොයාර්ව පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහර දුන්නේ මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා බුද්ධි බළකායේ කණ්‌ඩායමක්‌ බවට චෝදනා කරමින් පසුගිය කාලයේ ඔවුන්ව අත්අඩංගුවටගැනීමටද කටයුතු කෙරිණි.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු ඔවුහු දැනට ඇපමත නිදහස්‌ව සිටිති. මෙසේ මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස අත්අටඩංගුවට ගත්තද මෙකී දුරකථන සංවාද පෙළේ කතාව හැරෙන්නට කීත් නොයාර්ට ගැහුවේ අසවලා යෑයි කිව හැකි කිසිදු පැහැදිලි සාක්‍ෂියක්‌ තවමත් රහස්‌පොලිසිය සොයාගෙන නැත.

කීත් නොයාර්ට ගහපු උන් ඇල්ලීම අත්‍යවශ්‍ය කරුණකි. එකී අමානුෂික ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට රැගෙන ආ යුතුය. එහි කිසිදු තර්කයක්‌ නැත. එහෙත් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ඇමතුම ලැබෙන විට මේජර් සීවලී බුලත්වත්ත සිටියේ මල්වාන දෙකටන ප්‍රදේශයේ බව හා ඒ වනවිට කීත් නොයාර්ගේ දුරකථනයද එම ප්‍රදේශයේ කියාත්මක වූ බව හෙළිකර ගැනීම තුළින් පමණක්‌ කීත් නොයාර්ට පහරදීමේ අභිරහස විසඳෙනු ඇතිද?

කීත් නොයාර්ට පහර දුන්නේ මේජර් බුලත්වත්ත ඇතුළු පිරිසයෑයි අධිකරණය හමුවේ ඔප්පු කර පෙන්වීමට තරම් ප්‍රබල තත්ත්වයක්‌ සීඅයිඩීයේ මේ සොයාගැනීම තුළ නැත. සත්‍යය ඇත්තේ එතැනය. එසේ නම් ඔවුන් මෙකී දුරකථන සංවාද පසුපසම යමින් ඊළඟ ප්‍රවේශය ලෙස මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගත්තේ කුමක්‌ නිසාද?

මේ තුළ තිබෙන්නේ මාධ්‍යවේදී කීත් නොයාර්ට සාධාරණය ඉටු කිරීම වෙනුවට ඔහුව පෙන්වා වෙනත් ගමනක්‌ යැමද? අදාළ දුරකථන සංවාද පසුපසම යමින් ඉදිරියටත් කටයුතු කරන්නේ නම් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගෙන් පසුව තවත් පියවර දෙකක්‌ ඉදිරියට යැමට රහස්‌ පොලිසියට හැකියාව ඇත.

ඉන් පළමු වැන්න වන්නේ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය දැනුම් දුන් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ අත්අඩංගුවට ගැනීමය. දැන් එය එතරම් අභියෝගාත්මකද නැත. අප එසේ කියන්නේ මේජර් ජනරාල්වරුන් වුව අත්අඩංගුවට ගැනීමේ පළපුරුද් අමල් කරුණාසේකරගෙන් ලැබී ඇති නිසාය.

මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණගෙන් පසුව ඔවුන්ට අවසන් අධියර ක්‍රියාත්මක කළ හැකිය. ඒ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමය. එහෙත් මෙහිදී බරපතළම ගැටලුව මතුවන්නේ මෙසේ අත්අඩංගුවට ගැනෙන්නේ කීත් නොයාර්ට ගහපු මිනිස්‌සු ද යන්න කල්පනා කිරීමේදීය.

මේ ක්‍රමය තුළින් ඉදිරියට යන රහස්‌ පොලිසිය අද රටට කියන්නේ කීත් නොයාර් ගුටි කෑවේ ටෙලිෆොන්වලින් කියාද? එහෙත් එවැන්නක්‌ නම් සිදුවූයේ නැත. ඔහුට එල්ල වූයේ අමානුෂික ප්‍රහාරයකි. එය සිදු කළෝ කවරහුද? එයට පිළිතුරක්‌ තවමත් ලැබී නැත.

යහපාලනය බලයට පැමිණි දැන් වසර තුනකුත් ඉක්‌ම ගොස්‌ ඇත. ආරම්භයේදී නම් ඔවුන් කීවේ රාජපක්‍ෂ රජය මේ අපරාධ යට ගැසුවේ යෑයි කියාය. එසේ පවසා සිදුවීම් ගණනාවක්‌ පිළිබඳ විමර්ශන ඇරඹීය. එහෙත් මේ හැමතැනකදීම රට රැකි වීරයන් සිරගත කෙරද්දී අවසානයට ඉල්ලුවේ ගෝඨාභය රාජපක්‍ෂවය.

කීත් නොයාර්ට පහර දීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ වූ මුල් කාලයේදීම එයට සහාය කරගත හැකි එක්‌ කතාවක්‌ අවස්‌ථා ගණනාවකදීම අපි පෙන්වා දුනිමු. ඒ මෙවන් අපරාධ සිදුවූ 2008 වකවානුවේ යුද හමුදාවේ ප්‍රබලයකුට නෑකම් කියමින් තැන තැන නන් දෙඩවූ මාධ්‍ය ගිරවා සොයා ගන්නා ලෙසය.

එහෙත් රටට සාමය ගෙන දෙන්නට ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ බුද්ධි අංශ රණවිරුවන් සිරගත කිරීම හැර එවැන්නක්‌ නම් මේ දක්‌වාම සිදු නොවීය. සිදුවූ එකම දෙය වූයේ වීරයන් දංගෙඩියට ගෙන යමින් ගෝඨාභයට ඉලක්‌කය ගැනීමය. එය අද පොලිස්‌ විමර්ශන ලෙසින් පෙන්වා දෙන පෙරමුණු හයක්‌ ඔස්‌සේ ක්‍රියාත්මකව තිබෙන බව පැහැදිලිවම පෙනෙන්ට ඇත.

ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය මුලින්ම ආරම්භ වූවකි. යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් අටදෙනකු එහිදී අත්අඩංගුවටගත්තේය. ඔවුන්ගෙන් ඉල්ලුවේ ගෝඨාභයව ය. එහෙත් ඒ බලාපොරොත්තුව ඉටු නොවිණි. එක්‌නැලිගොඩ මැරිලාද නැද්ද යන්න අදටත් විමර්ශකයෝ නොදනිති.

අවසානයට සිදුවූයේ අත්අඩංගුවට ගත් රණවිරුවන් පිරිස මිනි මැරුම් චෝදනා යටතේ සිරගත කිරීමය. එසේ සිරගත කෙරුණු ඔවුහු වසරකටත් අධික කාලයක්‌ දුක්‌විඳ අද ඇපමත නිදහස්‌ව සිටිති. එසේ වුවද ගෝඨා දෙස බලා ගත් ඉලක්‌කය තවමත් එසේම පවතී.

ඒ පළමු කතාවය. ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය හමුවේද අද වෙමින් තිබෙන්නේ මේ ටිකමය. යහපාලනය බලයට පැමිණ වසරකුත් ඉක්‌ම ගිය පසු ඒ විමර්ශනය ආරම්භ විය. ලසන්තගේ රියෑදුරා පැහැරගත්තේ යෑයි කියමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ බලලත් නිලධාරී ප්‍රේමානන්ද උදලාගම අත්අඩංගුව ගැනිණි. බන්ධනාගාරගත කෙරුණු ඔහු දැන් ඇපමත නිදහස්‌ව සිටී.

එහිදීත් ඉල්ලා තිබුණේ ගෝඨාභයව ය. ලසන්ත භාවිත කළ දිනපොතක්‌ ඔස්‌සේ දැන් එම විමර්ශනය ඉදිරියට යමින් තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ එවකට ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති තිස්‌ස සුගතපාල සහ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රශන්න නානායක්‌කාර මේ වන විට සිටින්නේ සිරගතවය.

මේ දින පොතේ කතාවට අනුව ඊළඟට සිටින්නේ එවකට පොලිස්‌පතිවරයාව සිටි ජයන්ත වික්‍රමරත්නය. ඉන් පසුව අවසානයටම ඉන්නේ ගෝඨාභය රාජපක්‍ෂ බව දැන් විමර්ශකයෝ ප්‍රසිද්ධියේම පවසන්නාහ.

වැල්ලවත්තේදී තරුණයන් පස්‌ දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු ඝාතනය කළ බව කියමින් අද නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක්‌ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයද ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂට ඉලක්‌ක කර බව පැහැදිලිවම පෙනෙන්නට ඇති කරුණකි.

එම විමර්ශනයට අනුව පසුගිය කාලයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්‌ඩර් ඩී.කේ.පී. දහසනායක හා නැගෙනහිර බුද්ධි ප්‍රධානියාව සිටි කමාණ්‌ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික බුද්ධි නිලධාරීන් පිරිසක්‌ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කළේය. දැන් ඔවුහුද ඇපමත නිදහස්‌ව සිටිති.

මෙහි ඉදිරි විමර්ශන අනුව අද පොලිසිය හැරී සිටින්නේ එවකට නාවික හමුදා බුද්ධි අධ්‍යක්‍ෂකව සිටි කමාණ්‌ඩර් ආනන්ද ගුරුගේ දෙසටය. ගුරුගේගෙන් පසු අධියරේ සිටින්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. එය පොලිසියම සඳහන් කරන්නකි. කරන්නාගොඩගෙන් පසුව සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂය.

ඉකුත් 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිරකරු කැරැල්ල සම්බන්ධයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් ප්‍රධානීව සිටි පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස්‌ එමිල් රංජන් යන මහත්වරු අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසිය මීට දින දහයකට පමණ ඉහතදී කටයුතු කළේය.

තමන් සේවය කළ දෙපාර්තමේන්තුවලට ගරුත්වයක්‌ ගෙන දුන් රංගජීවත් එමිල් රංජනුත් දැන් සිටින්නේ මිනීමරුම් චෝදනා එල්ලවී බන්ධනාගාරගතවය. බන්ධනාගාර කැරැල්ලේදී සිරකරුවන් වෙඩි තබා මැරුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ සැලසුමකට අනුව බව මේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුව ගෙන සිරගත කිරීම සඳහා අපමණ වෙහෙසක්‌ ගත් එන්ජීඕ කාක්‌කෝ පසුගිය කාලයේ ප්‍රබල ලෙස මතුකළ හඬක්‌ විය.

දැන් එමිල් රංජනුත් රංගජීවත් ඇතුළේය. ඊළඟට සිටින්නේ එවකට බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයාය. ඔහුගෙන් පසු එවකට පොලිස්‌ විශේෂ කාර්ය බළකායට අණදුන් නියෝජ්‍ය පොලිස්‌පති රණවන සිටින බවක්‌ද කියෑවේ. රණවනගෙන් පසුව යාමට ඇත්තේ ගෝඨාභය ළඟටය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් විමර්ශන කතාවද එසේමය. එහි සාක්‍ෂි වසන් කළ බව කියමින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගෙන්ද බලකර ඉල්ලා තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂවය. ඒ බව ඔහු ප්‍රසිද්ධියේම කීය. අදටත් එය තිබෙන්නේ ගෝඨාභය ඉලක්‌කයේම බවද පෙනෙන්නට ඇත.

ඇවන්ගාඩ් නැවේ කතාවද එවැන්නකි. එම නෞකාවේ අවිභාර නිලධාරියාව සිටි කර්නල් ගොඩ්µs්‍ර තිලකරත්න ඉකුත් සතියේ අත්අඩංගුවට ගැනිණි. ඒ අනවසර අවි සම්බන්ධව ගිනිඅවි පනතින් චෝදනා එල්ල කරමිනි. ඔහුත් මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය.

කර්නල් තිලකරත්න සේවය කළේ රක්‌නා ලංකා ආයතනයේය. ඔහුට පැවරුණු රාජකාරිය වී තිබුFණ්‌ ඇවන්ගාර්ඩ් නැවේ අවිභාරව විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීමය. ඔහු එකී නෞකාවට කිසිදු අවියක්‌ රැගෙන ගියේද නැත. එසේම නැවෙන් අවි ගෙන ආවේද නැත. ඔහු සොයා බැලුවේ එහි තිබූ අවි පිළිබඳවය.

කර්නල් තිලකරත්නගෙන් ඒ පිළිබඳව මීට දෙවසරකට ඉහත ප්‍රකාශ දෙකක්‌ම සටහන් කර ගත් බවක්‌ද දැනගැනීමට ලැබිණි. ඔහු අත්අඩංගුවට ගැනෙන්නේ තත්ත්වය එසේ වී තිබියදීය. ඇවැන් ගාර්ඩ් කතාවද පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්‍ෂට එල්ල කෙරුණු ප්‍රබල චෝදනාවක්‌ විය. ඔහු රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක්‌ සිදු කර ඇති බවද එහිදී කියෑවෙන්නට විය.

එහෙත් එදා රජයට වාර්ෂිකව රුපියල් බිලියන පහකට අධික ආදායමක්‌ තිබූ ඇවැන් ගාර්ඩ් එක නාවික හමුදාවට පැවරීමෙන් පසු අද ඉන් රජයට ලැබෙන ආදායම රුපියල් බිලියන එකකට සීමා වී ඇත. එසේ නම් පාඩුව සිදුකර ඇත්තේ කවුද?

මේ අන්දමට අද ගෝඨා දෙසට අභියෝග රැසක්‌ පැමිණි ඇත්තේ කුමක්‌ නිසාද? හේතුව 2020 ය. අවශ්‍ය ගෝඨා තරගයෙන් ඉවත් කිරීමටය. ගෝඨාභය රාජපක්‍ෂ මහතාව එසේ තරගයෙන් ඉවත් කිරීමට එකල එල්ටීටීඊ ත්‍රස්‌වාදීහුද බොහෝ වෙහෙසුනහ. පොට්‌ටු අම්මාන්ගේ අණ අනුව කිලිනෝචියේදී පෙර පුහුණුවක්‌ද කර පිත්තල හන්දියේදී ගෝඨාභය වෙතට මරාගෙන මැරෙන බොම්බයක්‌ එව්වේ ඒ නිසාය.

මේ බෝම්බය කොළඹදී මෙහෙයවූයේ මොරිස්‌ නමැති භිහිසුණු ත්‍රස්‌වාදියා බව පසුව අනාවරණය විය. ඒ අනුව අත්අඩංගුවට ගත් මොරිස්‌ ත්‍රස්‌තවාදියා දීර්ඝ කාලයක්‌ බන්ධනාගාරගතව සිට පසුගියදා නිදහස්‌ව ගිය බවක්‌ද වාර්තා විය.

මේ මොරිස්‌ යනු හිටපු ජනාධිපති සේම හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාවද ඝාතනයට අත්සාහ දැරූ ත්‍රසතවාදයෙකි. අද උදාවී තිබෙන්නේ මොරිස්‌ලා නිදහස්‌ වෙදදී ගෝඨාභයලා හිරේ යා යුතු යුගයද?

සමන් ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More