ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීම පමණක් නොව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැනෙනසුලූ ප‍්‍රතිපත්තිය ද විශ්වාසභංගය පැරදවීමට හේතු වූ බවත් මෙවර ද රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන ප‍්‍රාණය රැක දුන්නේ ජනාධිපතිවරයා විසින් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (7) කන්තලේ සම්පත හෝටලය ශ‍්‍රවණාගාරයේ දී ‘පැරදුණු ආණ්ඩුව, තෙල්දෙණියේ ගින්න, මෙතැනින් කොතැනට ද? යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වන දේශන මාලාවේ දෙවැන්න සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ ය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘පෙබරවාරි 10 වැනිදා පැවැති පුංචි ඡුන්දයෙන් මේ ආණ්ඩුවට බරපතළ පරාජයකට මුහුණ දීමට සිදු වුණා. ඒ පරාජයෙන් පසුව සතියක් පමණ ගත වන තෙක් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සොයා ගැනීමටවත් බැරි වුණා. ඒ පරාජය වසා ගැනීමට තමයි තෙල්දෙණියේ ගිනි ඇවිලූවේ. අම්පාරෙන් පටන් ගන්න බැලූවා හරි ගියේ නැහැ. පසුව තෙල්දෙණියේ දී වැඬේ හරි ගියා. ජේ.ආර්. මාමා කළ දේම රනිල් බෑණා කළා. නිසි පරිදි පොලිසිය මැදිහත් නොකරමින් සිංහල – මුස්ලිම් ගැටුම් උත්සන්න වීමට මේ අය ඉඩ හැරියා. මැරයින් සිංහල වුවත් මුස්ලිම් වුවත් ඒ අය පිටතින් පැමිණි අය බව හෙළි වී තිබෙනවා.

‘දිලූම් අමුණුගම පටලවන්න යනවා’

ඒ විදියට පරාජය වසා ගන්න ගැටුම් අවුලපු ආණ්ඩුව ඒකේ වගකීම පොහොට්ටුවේ මහජන නියෝජිතයන්ට පටවන්න හදනවා. දිලූම් අමුණුගම මන්ත‍්‍රීතුමා මේ ගැටුම්වලට වගකිව යුතු බවට වාර්තාවක් හදන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සූදානම් වෙනවා. නමුත් ගැටුම් සිදු වූ දිනවල අමාත්‍ය රවුෆ් හකීම් පවා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ ‘අපට යන්න බැරි තැන්වලට ගිහිල්ලා ගැටුම්වලට මැදිහත් වුණු මුස්ලිම් ජනතාව බේරාගන්න දිලූම් අමුණුගම මන්ත‍්‍රීතුමා කටයුතු කළා’ කියලයි.

‘බදු පෝරියල් එකක්’

කෙසේ නමුත් පෙබරවාරි දහවැනිදා ජනතා ජයග‍්‍රහණය යටපත් කරන්න මේ ආණ්ඩුව කොතෙක් උත්සාහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. රුපියල් 350 ට සියලූ වගාවන් සඳහා දුන් පොහොර සහනාධාරය, මේ ආණ්ඩුව නතර කළා. වවුචර් ක‍්‍රමයක් ගෙනල්ල ජනතාව රැුවටුවා. නමුුත් වී වගාව සඳහා රුපියල් 500ට අනෙකුත් වගාවන් සඳහා 1500ට පොහොර සහනාධාරය ලබා දෙන්න දැන් මේ ආණ්ඩුවට සිදුව තිබෙනවා. ඒක පෙබරවාරි 10 වැනිදා මැතිවරණ ජයග‍්‍රහණය නිසා ගොවි ජනතාව ලැබූ ජයග‍්‍රහණයක්. අවුරුදු 3ක් රට පාලනය කරපු මේ ආණ්ඩුව රටට කරපු කිසිම දෙයක් නැහැ. 2014 දී 7.5%ක පමණ අගයක තිබුණු ආර්ථික වර්ධන වේගය අද වන විට 2.5% පමණ දක්වා පහත වැටිලා. මහ බැංකුව මහ දවල් මංකොල්ල කාපු මේ ආණ්ඩුව අපේ‍්‍රල් 01 වැනිදාට යෙදෙන තම උපන්දිනය දවසේ මේ රටේ මධ්‍යම පාන්තික ජනතාව පැලට් වෙලා යන බදු පෝරියල් එකක් දුන්නා.

‘බුද්ධි නිලධාරීන්ට වද දීම’

මේ අවුරුදු තුන පුරාම මේ ආණ්ඩුව සිදු කළේ බටහිර බලවතුන් සහ ඉන්දියාව පමණක් නොවෙයි. ජාතිවාදී බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමයි. මේ පරගැති රූකඩ ආණ්ඩුව බලයට ගෙනාපු මේ තුන් ගොල්ලොම හරියට සතුටු වන දෙයක් තමයි අපේ රණවිරුවන්ට හිරිහැර කිරීම. විශේෂයෙන් දෙමළ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පැරදවීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළ අපේ බුද්ධි බලකා නිලධාරීන්ට වද දෙන කොට මේ අයට හරිම සතුටුයි. දැන් අපේ යුද හමුදා බුද්ධි බලකා අධ්‍යක්ෂවරයාව සිටි මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාධ්‍යවේදියාට පහර දීමේ සිදුවීම පිළිබඳව සැකපිට තමයි එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ. නමුත් මීට පෙර මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරීන් වෙනුවෙන් පැවැත් වූ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඕස්ටි‍්‍රලියාවේ සිටින කීත් නොයාර් පැමිණියේ නැහැ. නමුත් මේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් කීත් නොයාර්ට නැති උනන්දුවක් තිබෙනවා . ඉන් පෙනී යන්නේ මේ ආණ්ඩුවේ රණවිරුවන් දඩයම් කිරීමේ වුවමනාව මිස අන් යමක් නොවෙයි.

‘විජයග‍්‍රහණ සැමරුම හා පෙළපාලිය තහනම්’

2013 සිංගප්පූරුවේ දී මංගල සමරවීරලා, මහින්ද රාජපක්ෂ පාලනය පලවා හැරීමට ගෝලීය දෙමළ සංසදයෙන් ‘හි`ගන්නෙකු’ සේ කළ ඉල්ලීමට 2015 ජනවාරි 8 වැනිදා සහාය ලැබුණා. ඊට හිලව් වශයෙන් මංගල සමරවීරලා 2015 මාර්තු සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකා රජය ලෙස දෙමළ ගෝලීය සංසදය ද ඇතුළු දෙමළ ඩයස්පෝරාව සතුටු කරන දේ පමණයි සිදු කළේ. මෙවර සැසි සැසිවාරයේ දී පොරොන්දු වී තිබෙනවා, ඊනියා සංහිඳියාවේ නාමයෙන්, බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මැයි 19 වැනිදා විජයග‍්‍රහණයේ සැමරුම නොපැවැත්වීමට හා හමුදා උත්තමාචාර පෙළපාලිය නොපැවැත්වීමට. මේ සිරිසේන – වික‍්‍රමසිංහ ආණ්ඩුව නිවට, පජාති ආණ්ඩුවක් බව ඉන් තවදුරටත් ඔප්පු වෙනවා.

‘රනිල්ගේ – දිනිල්ල’

ඡුන්ද 30ක් පැරදුණු රනිල් සල්ලි කෝටි ගණන් බෙදලා පාර්ලිමේන්තුව ඇතුළේ එක ඡුන්දයක් දිනූවා. ජයග‍්‍රහණය සමරන්න, 2015 සිරිසේන මහත්තාව බලයට ගෙනෙන්න නිරුවත්ව කඬේ ගියපු සිරස මාධ්‍ය ආයතනය ඉදිරියේ රතිඤ්ඤ දැම්මා, යකා නැටුවා. අනේ මේකනම් ‘දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීමක්’ කියා මට හිතුනා. නමුත් සතුටු වෙන්නත් බැහැනේ. කාගේ වුණත් මාධ්‍ය ආයතනයක්නේ. මාධ්‍ය ආයතනයට පහර දීම හෙළා දැකිය යුතුයි. මේ සම්පූර්ණ කොටසම දානවනම් දාන්න, කියා අපි සිරසට කියනවා. (සභාවේ සිනා) ‘රනිල් මහත්තයෝ පාර්ලිමේන්තුව ඇතුළේ කෝටි ගණන් වියදම් කරලා ඡුන්ද දිනලා රතිඤ්ඤා පත්තු කළාට මේ මහපොළොවේ රතිඤ්ඤා පත්තු කරන ජයග‍්‍රහණ කවදාවත් ඔයාට ලබාගන්න බැහැ’ කියා අපි මතක් කර දෙන්න කැමතියි.

‘ජනපති සිරිසේනගේ වැනෙනසුලූ ප‍්‍රතිපත්ති’

විශ්වාසභංගය පැරදුනේ රනිල්ගේ මොනර කොළ නිසා පමණක් නොවෙයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රතිපත්තිය ද ඊට දැඩි සේ බලපා තිබුණා. විශ්වාසභංගයට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ගත්ත තීරණය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ඒ නිසයි. විශ්වාසභංගයට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීමට සූදානම්ව සිටි එජාප මන්ත‍්‍රීවරු ගණන විසි හයකට වැඩියි. ඔවුන් රැුස් වී සිටියේ ස්ථාන තුනක. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට තම තීන්දුව ඒකමතිකව ක‍්‍රියාත්මක කරන්න බැරි තත්වයක් අපේ‍්‍රල් 4 වැනිදා උදේ උද්ගතව උනාම එස්බී දිසානායක මන්ත‍්‍රීතුමා අර එජාප මන්ත‍්‍රී කණ්ඩායම් තුනට වෙන වෙනම ගොස පැවසුවා ‘අපේ පැත්තේ උද්තව තිබෙන අවුල නිසා විශ්වාසභංගය දිනන්න බැහැ.’ ඔයාලා විශ්වාසභංගයට පක්ෂව ඡුන්දය දීලා මේ මොහොතේ අවුලකට ඇද දමන්න අපි සූදානම් නැහැ. විශ්වාසභංගයට පක්ෂව ඡුන්දෙ දීලා අමාරුවේ වැටෙන්න එපාෟ’ මේ දිහා හොඳින් විමසා බලපුවාම පෙනේන්නේ කුමක් ද? යළිත් වරක් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන ප‍්‍රාණය රැුක දී ඔහුව බේරා ගත්තේ ජනාධිපතිවරයා බවයි.

‘දෙමළ සන්විධානය ඉදිරියේ යළිත් දණ ගැහුවා’

ඒ වගේම විශ්වාසභංගයෙන් දිනන්න රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය ඉදිරියේ යළි යළිත්් දණ ගැහුවා. ජාතිවාදී ඉල්ලීම් දහයකට එක්ඟ වෙලයි ඒ ඡුන්ද 16 විශ්වාසභංගයට විරුද්ධව ලබා ගත්තේ. මාස තුනෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත හා අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත අනුව යමින් කොටි අතුරුදහන්වුවන් පිලිබඳ නඩු විභාග කඩිනමින් ඇරඹීම ඒ අතර වෙනවා. මේවා 2013 සිංගප්පූරුවේදී අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ දී දෙමළ ගෝලීය සංසදයේ නායකයන්ට මංගල සමරවීර දුන් පොරොන්දු.

‘විශ්වාසභංගය ජයග‍්‍රහණ රැසක ප‍්‍රසූතිය ගෙන දුන්නා’

විශ්වාසභංගය බැලූ බැල්මට අපි ලැබූ පරාජයක්. නමුත් එය ජයග‍්‍රහණ රැුසක් ප‍්‍රසුතියක්. අප එහිදී ලැබූ විශාල ජයග‍්‍රහණය තමයි මේ ආණ්ඩුවට මෙතෙක් පැවති තුනෙන් දෙකේ බලය අහෝසි කිරීමට හැකිවීම. එදා විශ්වාසභංගය පිළිබඳ ඡුන්ද විමසමේ දී විශ්වාසභංගයට පක්ෂව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනකු ඡුන්දය පාවිච්චි කිරීමේත් සමඟ තමයි, ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වුණේ. ඉදිරියේ දී මේ පිරිස් විපක්ෂයේ අසුන් ගනීවි. ඒ වගේම ඒ 16 තව කල් යන විට වැඩි වේවි කියන සහතිකයත්් අපට ලබා දීමට පුළුවන්. රනිල් වික‍්‍රමසිංහ මහතා පැරදිය යුතුය කියන මතයේ සිටි රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර අවසානයේ දී විශ්වාසභංගයට ‘විරුද්ධයි’ කියා කීවා. මොනර කොළ නිසා නොවුණත් විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමතිවරයාත් විශ්වාසභංගයට ඡුන්දය විමසන අවස්ථාවේදී ‘විරුද්ධයි’ කීවා.

‘අපි ගාව හිටපු කෙනාට වෙච්ච දේ’

අර අපි ගාව ඉඳලා රනිල් පරද්දන්න, ‘මහින්ද-මෛත‍්‍රී එකතු කරන සිතියමකුත්’ අරගෙන මෛත‍්‍රී ගාවට ගියපු කෙනා විශ්වාසභංග දවසේ රනිල් පරද්දන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. එයා අතුරුදහන් වෙලා. විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කළ අයට වගේම එදාට ‘පක්ෂව ඡුන්දය දීමට සිටි, එහෙත් පාර්ලිමේන්තුවට නොපැමිණි අයටත් මෙනර කොළ කතා කරලා තිබුණා. (සභාවේ සිනා*
‘කුඹුරුවල සෝලා පැනල් ’

මේ ආණ්ඩුවට තිබෙන්නේ පරාභවයේ ගමනක්. දැන් බලන්න, මේ අය ‘ලන්සි පැපොල්’ ප‍්‍රතිපත්තිය අනුව ‘වී ගොවිතැන නවත්තලා’ දැන් කුඹුරුවල සෝලා ෆැනල් ’ ගහන්න හදනවා. ඒ වගේම මහ ලොකු ජයග‍්‍රහණයක් විදිහට පළාත් පාලන ආයතන ඡුන්ද විමසීම සඳහා කොට්ඨාස ක‍්‍රමයක් හඳුන්වා දුන්නා. දැන් ඒක අවුල් ජාලාවක් වෙලා. ජවිපෙට හිතවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හදපු මේ ඡුන්ද ක‍්‍රමය නිසා ඇප කැන්සල් වුණු අපේක්ෂකයන් මන්ත‍්‍රීවරු වෙනවා. ඡුන්ද සීයටත් මන්ත‍්‍රී ධුර ලැබෙනවා. කොට්ඨාස සියල්ල දිනුවත් බෝනස් මන්ත‍්‍රී ධුර දෙක නැහැ. කොට්ඨාස සියල්ල පැරදුණත් සියල්ල දිනූ කණ්ඩායමක් හා සමාන මන්ත‍්‍රී ධුර සංඛ්‍යාවක් සමානුපාතිකව ලැබෙනවා.

‘රටට ගැලපෙන මැතිවරණ ක‍්‍රමයක් හදාගන්න බැරි ආණ්ඩුවක්’

දැන් රාජ්‍ය පරිපාලන ඇමති මේ වගේ ඡුන්ද ක‍්‍රමයක් ගෙනාපු එක ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ජනාධිපතිවරුයාත් දැන් අදාල පනත සංශෝධනය කරන්න කටයුතු කරනවාලූ. මනාප ක‍්‍රමය යටතේ මන්ත‍්‍රීකම ගන්නයි මුදල් වියදම් කළේ. කොට්ඨාස ක‍්‍රමය යටතේ මනාපවලට වියදම් නොකර දිනුවාත් සභාපතිකම ගැන්න දැන් සල්ලි විසි කරන්න වෙලා තිබෙනවා. එදා පාර්ලිමේන්තුවේ දී දැකපු බල්ටි දැන් ප‍්‍රාදේශීය සභාව ඇතුළෙත් දැකගන්න පුළුවන්. දැන් පළාත් පාලන ආයතන තුළ ස්ථාවර පාලනයක් ගෙන යාම බරපතළ ගැටලූවක් වෙලා තිබෙනවා. මේක අද රටට උවමනා මැතිවරණ ක‍්‍රමයක් හදාගන්න බැරි ආණ්ඩුවක් බවට පත් වී තිබෙනවා.

‘ජාත්‍යන්තර නීතියේ පිහිටෙන් වෙනම රජයක්’

ඒ වගේම අද ‘අතුරුදහන් කිරීම කියන යුද අපරාධය හෙවත් මානව අපරාධය ශ‍්‍රි ලංකා ආරක්ෂ්ක හමුදාවන් විසින් සිදු කර ඇත’ කියන මිථ්‍යාව සනාථ කිරීමට අවශ්‍ය යාන්ත‍්‍රණය මේ ආණ්ඩුව බටහිර බලවතුන්ට හදා දී අවසන්. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවලා, අතුරුදහන් කිරීම්වලින් වැළක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය අපේ රටේ නීතියට ඇතුළත් කරලා ආණ්ඩුව ඒ ද්‍රෝහීකම සිදු කරලා ඉවරයි. යම් රටක යම් ජන කොට්ඨාසයක් මානව අපරාධයකට ගොදුරු වී ඇත්නම් ඒ ජන කොට්ඨාසය වෙනම රාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය ඉඩකඩ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඉල්ලා සිටින්න පුළුවන්. දැන් මේ හදන්නේ ‘අතුරුදහන් කිරීම යන මානව අපරාධයට අපේ රණවිරුවන් පිරිසක් හිරේ දමලා වරදකරුවන් කරලා ජාත්‍යන්තර නීතියේ පිහිටෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් හදා ගන්න.

‘අපේ කඳවුරේ තක්කඩියෝ’

දැන් අපේ කඳවුරේ ඉඳගෙන බටහිර – ඉන්දීය න්‍යාය පත‍්‍රයට උඩගෙඩි දෙන දේශද්‍රා්හී තක්කඩියෝ කියනවා ‘අගමැති රනිල්ට එරෙහිව විශ්වාස විශ්වාසභංග හෝ වෙනත් ක‍්‍රියාමාර්ග ගේන්න ඕනේ නැහැ රනිල් පැරැුද්දුවාම මෛත‍්‍රී ශක්තිමත් වෙනවා’ කියලා. සිරිසේන ජනාධිපතිවරයා අමුතුවෙන් ශක්තිමත් කරන්න පුළුවන් කෙනෙක් ද? පළාත් පාලන ඡුන්දයෙන් එයා ගත්තු 13%න්, 10%ක් නිකම්ම ඊළඟ ඡුන්දයේ දී අපේ පැත්තට ගැලවිලා ඒවි. එයාට දැන් නම් විධායක බලය තිබෙන නිසා සී මැදුරු කවුළුවට වී බලා සිටිය හැකියි. රට බෙදීමේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, එට්කා ගිවිසුම ගැසීම, ජාතික සම්පත් විකිණීම ඇතුළු බටහිර – ඉන්දීය න්‍යාය පත‍්‍රය තිබෙන්නේ රනිල් වික‍්‍රමසිංහ අතෙයි. ඒ නිසා ඒ පරගැති න්‍යාය පත‍්‍රය අතේ තිබෙන කෙනා බල රහිත කිරීම කියන්නේ සිරිසේන මහත්තයා ශක්තිමත් කිරීමක් නොවෙයි. ඒක මේ රටේ දේශමාමක බලවේග ශක්තිමත් කිරීමක්.

‘ඇමරිකන්- ඉන්දයන් විසුරේලා’

ඇමෙරිකාවට සහ ඉන්දියාවටට රනිල් තියාගන්න ඕනේ තමන්ගේ න්‍යාය පත‍්‍රය රනිල් ලවා දිගේලි කර ගන්න ඕන හින්දයි. ‘ ඒ රටට හතුරු සියල්ල සිදුවුණාට පස්සේ හෝ අපට බලය ආවට කමක් නැහැ’ කියන නරුම මතයක් සමහරුන්ට තිබෙනවා. මේ සියල්ල නිවැරදිව දකින්න ඔබට හැකි විය යුතුයි. ‘කොටියට ඕනේ නැගිටින යුගයක් – ඒකට ඕනෑ මෛත‍්‍රී යුගයක්’ කියා අපි ඒ දවස්වල කීවේ මේ සියල්ල විනිවිඳ දකිමින්. එවිට සමහරු කීවා අපි ‘වතුර බේසමේ කිඹුල්ලූ දකිනවා’ කියලා. නමුත් අද සිදු වෙමින් පවතින්නේ අපි කී දේ නොවෙයි ද?

ඇමෙරිකන් සහ ඉන්දීයන් තානාපතිවරුන් දෙදෙනා දැන් හරියට වැඩ කරන්නේ ‘විසුරේලා’ දෙදෙනෙක් වගේයි. දැන් රනිල් – මෛත‍්‍රී ජෝඩුවට එකට ඉඳල ඇති වෙලා තිබෙන්නේ. ඒත් මේ විසුරේලා දෙන්නා කියනවා, ‘අපේ න්‍යාය පත‍්‍රය සම්පූර්ණයෙන් ඉටු කරලා දෙනකන් තමුසෙලාට ඩිවෝස් වෙන්න බැහැ. කාමර දෙකක හරි ඉඳලා අපේ වැඬේ හරියට කරපල්ලා’ කියලා. මේ විධායක ජනාධිපති හා අගමැති එකට තියාගෙන කරගන්න තව වැඩ තියෙනවානේ. ඒ ටික කරගන්නකම් මේ දෙන්නා එකට තියා ගන්නයි මේ ‘විසුරේලාට’ උවමනා.

ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවන තෙක් එනම් 2019 ඔක්තෝබර් තෙක් අපි ඉතාමත් අවදියෙන් සිටිය යුතුයි. මේ අනතුර හොඳින් වටහා ගත යුතුයි. ලක්ෂ ගණනින් පාරට බැහැලා මේ ආණ්ඩුව ගෙදර යවන්න අවශ්‍ය වුණොත් එදාට එය දෙය හෝ සිදු කරමු. එහෙම සූදානම් වී ඉදිරියට යමු.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/04/08



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More