පුරවැසි කොලම

කංසා සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල අර්බුදයක් පැන නැගී තිබේ. කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ශ්වයක් පක්‍ෂව කතා කරන විට තවත් පාර්ශ්වයක් ප‍්‍රතිපක්‍ෂව කතා කරයි. ඉතිහාසය විමසා බැලීමේදී මේ ගැන කතා කළ යුතු බොහෝ දේ ඇති බව සැබෑය. එහෙත් මේ සම්බන්ධයෙන් මතුව ඇති සංවාදයට ඉඩ දිය යුතුය. වෛද්‍ය නිමල් කාරුණාසිරි මහතා මේ සංවාදයට එකතුවන්නේ ඒ අනුවය.

කංසා තහනම ඉවත් කරනු කියා මේ දිනවල සමාජය පුරා දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. කුමක්ද මේ කංසා තහනම සහ කුමක්ද මේ කංසා තහනම ඉවත් කිරීමට කරන උද්ඝෝෂණ රැල්ල අතර තිබෙන පරස්පරය?

පළමුවෙන්ම කියන්න ඕන කංසා කියන්නේ ඔය කියන තරම් දිව්‍ය ඖෂධයක් වත් ඔය කියන තරම් නැතිවම බැරි ඖෂධයක්වත් නොවෙයි. එහි තේරුම කංසා වල කිසිදු ගුණයක් නැහැ කියන එක නොවෙයි. කංසා ශාකයේ ඇති මිනිස් සිරුරට ඇති අහිතකර බව විවිධ ක‍්‍රම මගින් ඉවත් කිරීමෙන් පමණයි කංසා ශාකය ඖෂධයක් ලෙස භාවිතයට ගත හැක්කේ. ඒ අනුව සුද්දා කංසා තහනම් කළා කියන ප‍්‍රපංචය මිථ්‍යාවක්. සුද්දා කංසා තහනම් කළේ නැහැ. ඒ වෙනුවට සුද්දා කර තිබෙන්නේ කංසා භාවිතය අවශ්‍ය දේට පමණක් භාවිත කිරීමට පහසු කරවන නීති පද්ධතියක් නිර්මාණය කිරීම පමණයි. අදටත් විෂයභාර ඇමැතිවරයාගේ අභිමතය පරිදි ආයුර්වේද හෝ සිංහල වෙදකම ඇසුරු කරන වෛද්‍යවරුන්ට කංසා යොදා ගැනීමට කිසිදු තහනමක් නැහැ. ඒ අනුව ඉතාම පැහැදිලියි කංසා වැවීම නීතිගත කිරීම හෙවත් සමාජය තුළ කංසා සුලබ කිරීම පිටුපස අපේ රට විනාශ කිරීමේ දැවැන්ත බලවේගයක් ක‍්‍රියාත්මක වන බව.

ඔබගේ පැහැදිලි කිරීම තුළ පරස්පරයක් මතුවෙනවා. අප දන්නවා අපේ අතීත රජ දවස මී ගස කපා දැමීම මරණීය දඬුවම් දිය හැකි වරදක්. නමුත් සුදු අධිරාජ්‍යයවාදීන් මීගස කපා දැමීමට කටයුතු කළා. ඒ වගේම අංගම්පොර සටන් ශිල්පීන්ගේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට අණකරනු ලැබූ බව පැවසෙනවා. ඒ අනුව සුදු අධිරාජ්‍යවාදීන් කංසා තහනම් කරන්නේ අපට උරුම වටිනා ඖෂධයක් විනාශකර දැමීමට නොවෙයිද?

ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදියා ලතින් අමෙරිකාවෙදී කළ තරම් මනුෂ්‍ය ඝාතන හෝ අමෙරිකානු අධිරාජ්‍යයා ඉරාකයේදී කළ තරම් මනුෂ්‍ය ඝාතන සුදු අධිරාජ්‍යවාදියා ශ‍්‍රී ලංකාවේදී නොකළ බවයි මගේ කියවීම. ඌව වෙල්ලස්ස සටනේදී සුදු අධිරාජ්‍යවාදියා දැවැන්ත ම්ලේච්ඡත්වයක් පෙන්නුම් කළත් සටන ජයග‍්‍රහණයෙන් පසුව ඔවුන් කල්පනා කළේ තම සමාජ ආර්ථික වැඩපිළිවෙළට අනුගත වන මිනිසුන් තැනීමටයි. ඒ අනුව ඔවුන් කල්පනා කළ පරිදි ”අපිරිසිදු” රා වෙනුවට පිරිපහදු කළ අරක්කු අපට පොවන්න කටයුතු කළා. එය එක්තරා විදියක ආර්ථික ප‍්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙනුත් ඔහු අරක්කු යොදා ගත්තා. නමුත් කංසා ශාකය සෘජුවම දුම්වැටි ලෙස උරා බීමෙන් හෝ මත් ද්‍රව්‍යයක් ලෙස වෙනත් ක‍්‍රම ඔස්සේ භාවිත කිරීම විසින් අඩපණ වන මිනිසුන් ඔහුගේ ආර්ථික ක‍්‍රියාවලියට දක්වන සෘනාත්මක බලපෑම හේතුවෙන් කංසා ශාකය භාවිත කිරීමේදී යම් යම් සීමා පැනවූ බවයි මගේ අදහස.

එසේ නම් කුමක්ද මේ කංසා තහනම ඉවත් කරනු යැයි නැගෙන උද්ඝෝෂණය පිටුපස තිබෙන ඔබ කියනා ආකාරයේ කුමන්ත‍්‍රණය?

ශ‍්‍රී ලංකාව ලෝකයේ නමක් දිනා ගෙන තිබෙන්නේ ඒක පුද්ගල ඇල්කොහොල් වැඩිම ප‍්‍රමාණයක් පරිභෝජනය කරන රටවල් අතුරින් ප‍්‍රමුඛ රටක් හැටියට. ඒ නීත්‍යනුකූල ඇල්කොහොල් පරිභෝජනය පමණක් සලකා බලමිනුයි ගණන් බැලීම කර ඇත්තේ. නමුත් කසිප්පු, හැලි අරක්කු වැනි තහනම් මත්පැන් පරිභෝජනයත් මෙම සංඛ්‍යාලේඛන වලට එකතු කළහොත් ශ‍්‍රී ලංකාව වැඩිම ඒක පුද්ගල මත්පැන් පානය කරන රට බවට පත් වෙන බවයි මගේ අදහස. මළ ගෙදර, බන ගෙදර, දානේ ගෙදර, මඟුල් ගෙදර ආදී මෙකී නොකී සෑම තැනකම අපේ ජන ජීවිත සෝදා දියකර හැරීම කරන්නේ මත් පැන් වලිනුයි. නමුත් අපේ බෞද්ධ සාරධර්ම තුළ සුරා මේරය මඳ පමණින් හෝ පරිභෝජනය කිරීම පවක් ලෙස සලකනවා. ඒ නිසා එය සමාජය සියුම්ව විනාශ කර අඩපණ කිරීම පිණිස කුමන්ත‍්‍රණකාරී බලවේග වලට පහසු නැහැ. දුම්වැටි පානය විවිධ හේතූන් නිසා අපේ මිනිසුන් අත් හරිමින් යනවා. මේ අනුව දුම් වැටි භාවිතයෙන් ඉවත්වන පාරිභෝගිකයා වෙනුවට නව පාරිභෝගිකයෙකු සොයාගැනීමත් අප තුළ දැන් මතුවී තිබෙන දේශීයත්වය ඇගැයීමේ ගුණය භාවිත කිරීමෙන් පාඩු ලබන දුම්කොල සමාගම් ‘‘ගන්න අපේ දේ” සංකල්පය යටතේ ගොඩයෑමට කරන ප‍්‍රයත්නයක් සහ දේශපේ‍්‍රමීත්වයේ පදනම මත අවධි වුණු සමාජය නිද්‍රාශීලී කිරීම වෙනුවෙන් කුමන්ත‍්‍රණකාරී බලවේග ගන්නා උත්සාහයක් කියායි මගේ කියවීම.

ඔබ පවසන්නේ ඉතාම බරපතළ කාරණයක්. ජනතාව පසුගිය යහපාලන ආණ්ඩුව ඔසවා පොලොවේ ගැසුවේ අපේ දේශීයත්වයට, රටට කරන හානිය නිසාමයි. ඒ අනුව යහපාලනය සුනු විසුනු කිරීමට මුල්වුනු ප‍්‍රමුඛ පෙළේ ස්වාමීන් වහන්සේලා, දේශපාලඥයන්, උගතුන්, බුද්ධිමතුන් කංසා තහනම ඉවත් කිරීමේ උද්ඝෝෂණයේ කැපීපෙනෙන වැඩ කොටසක් කරන්නේ ඇයි?

මා මුලින් සඳහන් කළ පරිදි කංසා වල යම් ඖෂධීය ගුණාංග කිහිපයක් තිබෙනවා. ඒ අනුව බොහෝ දෙනා පෙළඹෙනවා මෙය ඉතා වටිනා ඖෂධයක් බවට සැලකීමට. නමුත් කංසා වල තිබෙන යම් යම් රසායනික ද්‍රව්‍ය නිස්සාරණය කර ගැනීම මගින් ”හෂීෂ්”, ”මරිජුවානා” වැනි අතිශය භයානක මත්ද්‍රව්‍යය නිස්සාරණය කරනවා. තහනම ඉවත් කළ ගමන් මේවා සියල්ලත් කංසා ආශ‍්‍රිත අතුරු නිෂ්පාදන ලෙස සැලකීමට සිදුවෙනවා. ඒ වගේම කේරළ ගංජා වැනි දේත් නීතිගත වෙනවා. හෙරොයින් තහනම් කර තිබියදීත් ඒවා ළඟ තබාගත් මෙන්ම විකිණීමට ජාවාරම් කළ පුද්ගලයන් 15,000ක් පමණ පසුගිය දිනවල අත් අඩංගුවට ගත්තා. එවැනි අයට මෙම තහනම ඉවත් කළ පමණින් තම ජාවාරම කරගෙන යෑමට අවශ්‍ය දැවැන්ත පරිවාරකයක් නොමිලේ ලැබෙනවා. මේවා ගැන අවධානය නොකරන ඔබ සඳහන් කළ පිරිස, අප රට විනාශ කිරීමට කැස කවන දෙස් විදෙස් බලවේග විසින් ඇති කළ රැළි මත ඉපිල්ලෙමින් එම කුමන්ත‍්‍රණකාරී බලවේග වලට අපූරු සහයෝගයක් ලබාදෙනවා. ඔවුන්ගේ උද්ඝෝෂණ වලට නතු වුණොත් මාස තුනක් ඇතුළත අපේ දරු පරපුර විශාල ඛේදවාචකයකට මුහුණ දෙනවා. අනිත් අතට ඔබ ඔය කියන බුද්ධිමතුන් කංසා අපනයනය කළ හැකි බව පවසනවා. මම අහන්නේ, අපි නුසුදුසු යැයි තීරණය කරන මත්ද්‍රව්‍යයක් තවත් රටක මිනිසුන් විනාශ කිරීමට අපනයනය කරනවානම් අපි බෞද්ධයෝද කියලයි.

නමුත් අද ඔබ කංසා තහනමට එරෙහිව හඬ නැගුවත් ඔබ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලවා ගංජා තහනම ඉවත් කරවා ගැනීමට කැනබිස් සැටයිවා (කංසා) නම් ග‍්‍රන්ථයක් පවා ලියා එතුමාට පිළිගැන්වූවා. එදා එහෙම වෙන්නත් අද මෙහෙම වෙන්නත් හේතුව කුමක්ද?

මම එදා ගත් ඒ උත්සාහය සම්බන්ධයෙන්, අද අවංකවම කනගාටු වෙනවා. අද වන විට වත්මන් ආණ්ඩුවේ ප‍්‍රභල භූමිකාවක් ඉටු කරන අමාත්‍යවරයෙක් කංසා තහනම ඉවත්කිරීම සඳහා හඬ නැගීමට කටයුතු කරන ලෙස ඉල්ලා හිටියා. ඒ වන විට මම පළාත් ආයුර්වේද කොමසාරිස් ධුරය දරමිනුයි හිටියේ. නමුත් හරි අපූරු සිදුවීමක් සිදු වුණා. මම මගේ පොත මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණු අවස්ථාවේ එතුමා ”කංසා තහනම ඉවත් කළොත් රටම විනාශ වෙනවා.” කියා පැවසුවා. එතුමා දේශපාලකයෙක් ලෙස කියූ දේ මා ගැඹුරින් අධ්‍යයනය කළා. ඒ අනුව මම වයඹ පළාතේ, ආයුර්වේද, පාරම්පරික සහ වෙනත් වෛකල්පිත වෛද්‍ය වෘත්තීන්ගේ යෙදෙන වෛද්‍යවරුන් සියලූ දෙනාටම ලිපි මගින් දන්වා සිටියා ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු වල තිබෙන කංසා යොදාගන්නා වට්ටෝරු මොනවාද, ඒ කුමන රෝග වලටද වර්ෂයකට එවැනි වට්ටෝරු වලට කොපමණ කංසා අවශ්‍යද කියා දන්වන ලෙස. ඒ අනුව වයඹ පළාතේම විසිරී සිටින වෛද්‍යවරුන් හය දෙනෙක් පමණයි කංසා ඖෂධයක් ලෙස භාවිත කරනවා යැයි පවසා සිටියේ. ඒ ප‍්‍රමාණය ආයුර්වේද දෙපාර්තමේන්තුව මැදිහත්වී පහසුවෙන් සපයා දිය හැකියි. ඒ අනුව මා ඒ සඳහා පෙළඹවූ දේශපාලඥයාත් අද වන විට මා මෙන්ම මෙම ක‍්‍රියාවේ භයානකත්වය තේරුම් ගෙන ඇති බව මට සහතිකයි. කංසා තහනම ඉවත් කිරීම වැනි දේ රනිල් වික‍්‍රමසිංහ වැනි අයෙකුගේ නායකත්වයෙන් පිහිටුවූ ආණ්ඩුවකින් කර ගැනීමට උත්සාහ කරන විටම විශාල සමාජ විරෝධයක් එල්ල වෙනවා. නමුත් ජනතා සහභාගිත්වයෙන් පිහිටුවූ ”ගෝඨාභය රාජපක්ෂ” මහතාගේ ආණ්ඩුව මගින් කරගෙන යෑමට උත්සාහ කරනවිට සමාජ විරෝධය යම් පමණකට එතුමා කෙරෙහි ඇති ජනතා විශ්වාසය හේතුවෙන් සමනය වනවා. එක් අතකින් ගෝඨාභය – මහින්ද සුසංයෝගය මහජනයා ඉදිරියේ හෑල්ලූවට ලක් කරමින් කුමන්ත‍්‍රණකාරී බලවේග වල වුවමනාව ඉටු කිරීමට කරන උත්සාහයක් තමයි මේ කංසා තහනම ඉවත් කිරීම වෙනුවෙන් කරන උද්ඝෝෂණය. මෙය හොඳ අවස්ථාවක් අපට කුමන්ත‍්‍රණකාරී බලවේගවල හැසිරීම හඳුනා ගැනීමට. ඔවුන් අපේ රටේ සියලූම ක්‍ෂේත‍්‍රවල අර්බුධ ඇති කිරීමට මෙම ක‍්‍රමවේදය අනුගමනය කරනවා. එළැඹි සිහියෙන් සැමදෙනාම කටයුතු කිරීම ඉතා වැදගත්.

සාකච්ඡා කළේ
ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More