පුරවැසි කොලම

මීට වසර 2කට පමණ පෙර පිහිටවූ ‘‘සමාන බව සිතන්න‘‘(Think Equal) නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් 2017 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වැඩ පටන්ගනු ලැබීය. එම සංවිධානයට සමගාමීව සම බිම (Equal Ground) නමින් තවත් එවැනිම කණ්ඩායමක් ලංකාවේ වැඩ ආරම්භ කොට ඇත. පළමු සංවිධානයේ පිටතින් පෙන්වන අරමුණ දරුවන් අතර මෛත්‍රිය කරුණාව සහ සමානාත්මතාවය ඉගැන්වීම මගින් අසමානකම් සහිත මිනිසුන්ට සමානව සැලකීම ට දරුවන් පුහුණු කිරීම ය. අභ්‍යන්තරිකව ගැබ්වෙන අරමුණ ලිංගික හැසිරීම් මත පුද්ගලයන්ට වෙනස් ආකාරයකට සැලකීම වැළැක්වීමය. කෙසේවෙතත් ඔවුන් ඒ සියල්ල කරන්නේ එල්.ජී.බී.ටී (LGBT) නමින් හදුන්වන වෙනස් ලිංගික හැසිරීම් සහිත කණ්ඩායම් වෙනුවෙන් බව සගවන්නේ නැත. දෙවන සංවිධානය සෘජුව එම සමාජ කණ්ඩායම් වල අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඊට අදාළ විවිධ ක්‍රියාකාරකම්වල යෙදී සිටියි. ඔවුන් අතිඋතුම් මැල්කම් රංජිත් පියතුමා විසින් සමරිසියන් හෙවත් සමලිංගිකත්වය පිළිබඳව කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලෙස තර්ජනාත්මක ස්වරයෙන් ලිපියක් උන්වහන්සේ වෙත යැවීමට පවා දිරිමත් විය.( 2015.01.25 දිනැති එම ලිපියේ පිටපතක් අප සතුව ඇත. )

එල්.ජී.බී.ටී යන කෙටි නාමයෙන් හැදින්වෙන පුද්ගල සමූහයන්ට ස්ත්‍රී, පුරුෂ සමලිංගිකයින්, ද්විත්ව ලිංගික හැසිරීම් හෙවත් සම සහ අසමාන යන දෙයාකාරයටම හැසිරෙන පිරිස් හා ලිංග භේදය වෙනස් කළ පුද්ගලයන් යන ප්‍රභේද හතරම අයත් වේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා අතිශයෝක්තියෙන් හුවා දක්වන ආකාරයට යම් සමාජයක එම සමූහයට අයත් පුද්ගලයන් 10% පමණ ජීවත් වේ. නමුත් ඇමරිකාවේ කරන ලද සමීක්ෂණ අනුව එම ප්‍රතිශතය 3%වේ. බොහෝ විට එම ඉහළ ප්‍රතිශතය සාධාරණීයකරණය කෙරෙන්නේ ඕනෑම සමාජයක කුමන හෝ මානසික ආබාධවලින් පෙළෙන 10% පමණ සිටින බවට හෙළිදරව් වී ඇති දත්ත අනුවය. ඒ මගින් වෙනස් ලිංගික හැසිරීම් සහිත පුද්ගලයන් යම් මානසික ආබාධවලින් පෙළෙන බව පිළිගැනෙයි. පසුගිය පසුගිය 90 දශකය තෙක් ලෝකයේ ප්‍රමුඛ මනෝ වෛද්‍ය සහ මනෝවිද්‍යා සංගම් විසින් ඒ බව පිළිගනු ලැබීය. ඊට අනුව මානසික සහ පෞරුෂ ආබාධ වර්ගීකරණය කිරීම ද සිදුවිය.

නමුත් මෑත කාලීනව විශාල දේශපාලන බලයක් සහිතව එල්.ජී.බී.ටී කණ්ඩායම් විසින් දියත් කරනලද විරෝධතා සහ මතවාදී සටන් නිසා දැන් එම පිළිගැනීම් වෙනස් වී ඇත. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග වර්ගීකරණයන්ද වෙනස් විය. එම නිසා පොදුවේ සමලිංගික කණ්ඩායම් ලෙස හදුන්වන ලිංගික හැසිරීම්වල වෙනස්කම් සහිත එම සමාජ කණ්ඩායම් වලට අයත් වන පුද්ගලයෙකු විසින් පෙන්වන මානසික හෝ පෞර්ෂ ආබාධ හෝ මත් ද්‍රව්‍ය ආශ්‍රිත ආබාධ ආදිය එම ලිංගික හැසිරීම් වලින් ව්‍යුක්තව නිර්වචනය කෙරෙයි. එසේ වුවත් විවිධ මානසික චිකිත්සාගාර වලට පැමිණෙන රෝගීන් සහ විවිධ පර්යේෂණ අනුව මෙම වෙනත් ලිංගික හැසිරීම් සහිත පිරිස් ඉතා බහුලව මානසික හෝ පෞරුෂ අබාධ වලින් පෙළෙන බවට පැහැදිලිව ඔප්පු වේ.

ඉහත සදහන් කළ ආකාරයට වෙනස් හෝ විෂම ලිංගික හැසිරීම රෝගී තත්වයක් නොවන බව තහවුරැ කිරීම සදහා ප්‍රබල උවමණාවක් සහිත රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ලෝකයේ ක්‍රියාත්මකවේ. එම සංවිධාන මගින් ගොඩනගන සමාජ මතය අනුව එම පිරිස් වලට මානසික ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය නොවේ. එනම් ඔවුන් ‘‘ලිංගිකත්ව අවධාරණය“ අනුව වෙනස් පුද්ගලයින් පමණි. එසේනම් අවශ්‍ය වන්නේ ඒ වෙනනස් පුද්ගලයන්ට සෙසු අයට මෙන් සමානව සැලකීමය. එම මූලික තර්කය පිළිබදව විශාල ගැටළුවක් පැනනැගෙන්නේ නැත. එනම් වෙනස් චර්යාවන් සහිත පුද්ගලයන්ට වෙනස්කම් කිරීමෙන් වැලකී සිටීම දියුණු මිනිස් ගණාංගයකි. විශේෂයෙන් එම වෙනසට යම් ජානමය හේතු බලපාන බවට විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත්ව තිබෙන බැවින් එම පිරිස් වලට කරැණාව, මෛත්‍රිය දැක්වීම සහ සමානව සැලකීම පිළිබදව බෞද්ධ සභ්‍යත්වය විසින් මෙහෙයවන සමාජයක් තුළ ගැටලුවක් පැනනගින්නේ නැත.

නමුත් එසේ සමානව සැලකීම මගින් පමණක් ප්‍රශ්නය විසදෙන්නේ නැත. ඔවුන්ගේ පුද්ගලික ගෞරවයට හානියක් නොවන ලෙස සහ රහස්‍යභාවය ආරක්ෂා වන ලෙස යම් මානසික සෞඛ්‍යය ප්‍රතිකාර සේවාවක් ලබා දීමද අවශ්‍යෙව්. ජනගහනයෙන් 3% ට පමණ විය හැකි එම පිරිසට විධිමත්ව මානසික සෞඛ්‍යය සේවා සැපයීම මගින් පොදු සමාජයටද විශාල යහපතක් සිදුවේ. විශේෂයෙන්ම සමාජ විරෝධී පෞර්ෂ ආබාධයකින් පෙළෙන යම් පුද්ගලයෙක් විසින් සමාජයට කළ හැකි හානිය අතිමහත් විය හැක. ඒ නිසා බදු ගෙවන ජනතාව එම සේවා කටයුතු සඳහා කරනු ලබන වියදම් සැබෑ ලෙසම සමාජ ආයෝජනයකි. එසේම යම් පෞර්ෂ ආබාධයකට ගොදුරු වී සිටින වෙනස් ලිංගික හැසිරීමක් සහිත පුද්ගලයෙක්ට සමාජය විසින් වෙනස්කම් සිදු කළහොත් ඒ පුද්ගලයා තුළ පවතින සමාජ විරෝධී මනෝ භාවය තවදුරටත් වර්ධනය විය හැක. එවැනි තත්ත්වයකදී ඔහු විසින් සමාජයට කරනු ලබන හානිය ඉතා බලවත් විය හැක. ලෝකයේ සමූල ඝාතන වලට යොමු වූ පුද්ගලයින් පිළිබඳ කරනු ලැබූ යම් පර්යේෂණ අනුව ඒ අයගෙන් 30%ක් පමණ ජානමය හේතු නිසා ඇතිවන සැක ඉපදවීමේ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයයි. තවත් එවැනිම පිරිසක් විවිධ පෞර්ෂ ආබාධ වලින් පෙළෙන අතර තවත් පිරිසක් විෂම ලිංගික හැසිරීම් නිසා ඇතිවන පෞරුෂ ආබාධ වලින් පෙළෙන අය බවටද පර්යේෂණ සාක්ෂි ඇත.ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව වැනි රටවල මානසික වෛද්‍යවරුන් ඒ ආශ්‍රිතව පර්යේෂණ සිදුකොට ඇත. ඒ අනුව විෂම ලිංගික හැසිරීම් නිසා මානසික හෝ පෞරුෂ ආබාධයන්ට ලක්වන පිරිස් වලට සමාජය විසින් අයුතු ලෙස හෝ අසමානව සැලකීම සමස්ත සමාජයට ම ඉතා හානිකර විය හැක. නමුත් එවැනි තත්වයක් වැළැක්වීම සඳහා උපාය උපක්‍රම තේරීමේදී ඉතා පරිස්සම් විය යුතු බවට සැකයක් නැත.

උදාහරණයක් ලෙස මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමට ජානමය හේතු බලපාන බව විද්‍යාත්මක සත්‍යයකි. එවැනි දරුවෙකු කුඩා කල සිට මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ එම හැසිරීමෙන් මිදීමට නොහැකි සමාජ සංස්කෘතික පරිසරයක ජීවත් වන විට ඔවුහු මත්ද්‍රව්‍ය ආශ්‍රිත ආබාධ වලට ගොදුරු වේ. එසේම මත්ද්‍රව්‍ය බහුලව භාවිතා වන සංස්කෘතියකදී ජානමය බලපෑමක් නොමැතිව වුවද පුද්ගලයෙකු ඊට ගොදුරු වියහැක. ඒ ආකාරයට ජානමය හේතුවක් නොමැතිව වුවද සමලිංගිකත්වය සාමාන්‍ය චර්යාවන් ලෙස උගන්වන සමාජයක දී කුඩා දරුවන් එම චර්යාවන් අත්හදා බැලීමට මෙන්ම ඊට පුරුදුවීමට ද හැකියාවක් ඇත. එම නිසා ඉහත සඳහන් කළ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය විමසා බැලිය යුත්තේ ඉහත සදහන් කළ මහා පින්තූරය සැලකිල්ලට ගනිමිනි.

‘‘සමාන බව සිතන්න‘‘ නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ලෙස්ලි උඩ්වින් මහත්මිය චිත්‍රපට තිරපිටපත් ලියන්නියක් මෙන්ම අධ්‍යක්ෂකවරියක් ලෙස ද කටයුතු කොට ඇත. නමුත් ඇයට මනෝවෛද්‍ය හෝ මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් හෝ අත්දැකීම් තිබෙන බවක් වාර්තා වන්නේ නැත. ඇයට අනුව සමාජය තුළ සමලිංගිකත්වය ඉවසීමට දරුවන් පුහුණු කළ යුත්තේ වයස අවුරුදු 3 සහ 7 ත් අතර කාලයේදීය. ඇයගේ ප්‍රකාශ අනුව සමලිංගිකත්වය පිළිබඳ දැනුම ඒ දරුවන්ට ලබාදීම සඳහා නාට්‍යානුසාරයෙන් කරනු ලබන ඉදිරිපත් කිරීම් වැනි විවිධ නිර්මාණශීලී ක්‍රමවේද හඳුන්වා දිය යුතුය. එම ක්‍රමවේද අනුව සමලිංගිකත්වය සහ අසමලිංගිකත්වය අතර වෙනස කියා දීමට සිදු වෙයි . එමෙන්ම ඊට අදාළ ජීවවිද්‍යාත්මක හා චර්යාමය පැතිකඩ ගැන ද ඒ කුඩා දරුවන්ට ඉගැන්වීමටද සිදුවනු ඇත. එවැනි කුඩා වයසකදී ඒ දැනුම ලබාදීමේ ක්‍රියාකාරකම් අත්විඳින දරුවන්ගේ මානසික ස්වභාවය කෙබඳු විය හැකිද යන්න පිළිබඳව පර්යේෂණ දත්ත සොයා ගැනීමට නැත. එම සංවිධානය දීර්ඝකාලීනව එවැනි පර්යේෂණවල නියුක්තවී නැත.

නමුත් සමාන බව සිතන්න සංවිධානයේ ප්‍රධානියා සහ එම සංවිධානය ප්‍රචලිත කරන ‘‘සමලිංගික තානාපතිවරුන්ට ‘‘ අනූව පසුගිය වසර දෙක ඇතුළත ලෝකයේ යම් රටවල මෙම අධ්‍යාපන වැඩසටහන් කුඩා නියමු ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කොට ඇත. එහෙත් ඔවුන් ඒවායේ ප්‍රතිඵල හෝ පසුවිපරම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නේ නැත. නමුත් ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙහෙයවනු ලබන වැඩසටහන ලෝකයේ දියත් කෙරෙන පළමු මහා පරිමාණ වැඩසටහන ලෙස හැඳින්විය හැක. ඒ අනුව ශ්‍රී ලංකාවේ කිසිදු නියමු ව්‍යාපෘතියක් හෝ පර්යේෂණ කාලයකින් තොරව එකවරම මහා පරිමාණ වැඩසටහන් දියත් වේ. එමගින් ශ්‍රී ලංකාව පුරා පෙරපාසල් 19,000 ක් සහ ප්‍රාථමික පන්ති සහිත පාසැල් 9000 ආවරණය වේ. මෙම සමලිංගික අධ්‍යාපන වැඩ සටහනේ පළමු පියවර සඳහා ගුරුවරුන් පුහුණු කිරීම දැනටමත් ආරම්භ කොට ඇත. එහි පළමු වටයේදී ඊට සහභාගී වී ඇත්තේ ජාත්‍යන්තර පාසැල් ගුරුවරුන් බව වාර්තා වේ.

පුවත්පත්වල පළ වූ එම ගුරුවරුන් ගේ ප්‍රකාශ අනුව මුල් වටයේ දී එම දැනුම සහ ක්‍රියාකාරකම් යොදා ගැනීම අපහසු වුවත් පසුව ක්‍රමයෙන් ඔවුන් ඊට අනුගත වී ඇත‍. කුරැණෑගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක එවැනි ගුරුවරියක් ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණේ එම පාසල තුල දැන් ගැටලුවක් නැතිව මේ වැඩසටහන ආරම්භ කොට ඇති බව ය. එසේ වුවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය හෝ එය අධීක්ෂණය කෙරෙන ආකාරය හෝ කළමනාකරණය හා පසුවිපරම් කරන ආකාරය ඉතා රහසිගත තොරතුරු බව පෙනේ. ඊට අදාළ අනුමැතිය ලබාගත් සහ ලබාදුන් පුද්ගලයෙකුගේ හෝ වැඩසටහන අධීක්ෂණය කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිළිබඳ කිසිදු තොරතුරක් නැත. එසේම අඩුමතරමින් එම ව්‍යාපෘතිය දියත් කොට ඇති පුද්ගලික ජාත්‍යන්තර පාසල්වල හෝ එවැනි ආන්දෝලනාත්මක වැඩසටහනක් දියත් කිරීමේදී පෙන්වියයුතු සැලකිලිමත්භාවය දක්නට ලැබෙන්නේ නැත. අවම වශයෙන් ඒ සඳහා දෙමාපියන් දැනුම්වත් කිරීමක් හෝ සිදුකළ බව වාර්තා වන්නේ නැත. එවැනි පර්යේෂණාත්මක වැඩසටහන් සඳහා දරුවන් යොදා ගැනීමේදී දැනුම්වත් කිරීමක් පමණක් සෑහෙන්නේ නැත. ඒ සඳහා දෙමාපියන්ගේ අවසරය ලබාගත යුතුය.එසේ නොකිරීම මගින් පෙනී යන්නේ මෙම වැඩසටහන් ඉතා බලවත් ආකාරයට දියත් කෙරෙන බව ය. ඊට අමතරව ගුරැවරැන් ඊට දායක කර ගැනීම සඳහා අතපය දිගහැර වියදම් කරන බවට සැකයක් නැත. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත්කරන ආන්දෝලනාත්මක වැඩසටහන්වලදී ඊට එරෙහිව කෙරෙන සමාජ විරෝධය සමනය කිරීම සඳහා එම ව්‍යාපෘතිවල පිරිවැයෙන් විශාල කොටසක් වෙන්කෙරේ. ශ්‍රී ලංකාවේ දී එම තත්ත්වය වඩා ප්‍රබල විය හැක්කේ අදාළ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙහෙයවීම නිසා ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බෙ!ද්ධ සභ්‍යත්වය තුල දරුවන්ට සහ ගුරුවරුන්ට මෛත්‍රිය කරුණාව සහ සමානව සැලකීම ගැන ඉගැන්වීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන යොදා ගැනීම නම් හාස්‍යජනක තත්වයකි. මෙම ව්‍යාපෘතිය සාධාරණීයකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලද වැරදි ආකාරයට භාවිතාවේ. ඊට අනුව ලංකාවේ පාසල්වල ‘‘බුලීන්‘‘ හෙවත් බලහත්කාරී හැසිරීම ඉතා බහුලව පැතිරී ඇත. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ පැසැල් දරැවන් අසමානයන්ට සමානව සැලකීමට නොදැනිමය. ඒ නිසා දැන් ජාත්‍යන්තර සංවිධාන අවශ්‍ය වන්නේ එම අඩුව පිරවීම සඳහා ය. දරැවන්ගේ බලහත්කාරී හැසිරීම් අවම කිරීම සඳහා සමලිංගිකත්වය අවධාරණය වන ආකාරයට සමාජයේ 3% ප්‍රතිශතයක පවතින චර්යාමය වෙනකම් පිළිබඳ මහාපරිමාන අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කුමක් නිසාද? මෛත්‍රිය, කරුණාව ගැන ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉගැන්වීම සඳහා සමලිංගිකත්වය පිළිබඳ විශේෂ අවධාරණයක් අවශ්‍යවන්නේ නැත.

මෙම වැඩ සටහනේ යටි අරමුණ තේරුම් ගැනීම සඳහා ඒආශ්‍රිත සමස්ත ක්‍රියාවලිය විමසා බැලිය යුතුය. මීට පෙර වෛද්‍යවරුන් ලවා සමලිංගිකත්වය නීතිගත කිරීමේ වැදගත්කම පුවත්පත් හරහා අවධාරණය කිරීම සදහා ව්‍යාපෘතියක් දියත් විය. යම් පිරිස් විවිධ තාක්ෂණික කරුණු ඉදිරිපත් කරමින් සමලිංගිකත්වය ස්වභාවික තත්ත්වයක් බවත් එය නීති ගත නොකිරීම නිසා ඒඩ්ස් හෙවත් HIV ආසාදනය පැතිරීම වැඩිවීමේ අවධානමක් තිබෙන බවද සදහන් කළහ. ඊට අමතරව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට පවා සමලිංගිකත්වය නීතිගත කිරීම සදහා යෝජනා ඉදිරිපත්විය. ඒ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී විසින් සමලිංගිකත්වය නිර්අපරාධකරණය කිරීම සඳහා රජයට බලපෑම් කරයි. සමලිංගික හැසිරීම් අශීලාචාර හැසිරීමක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් ලෙස දක්වා ඇත. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි අයට සමාජයේ බහුතරයක් මිනිසුන් විසින් අසාධාරණ කම් කරන බවක් වාර්තා නොවේ. ශ්‍රී ලංකාවේ ඉහලම දේශපාලඥයෝ පවා තම පිරිමි භාර්යාවන් සමග ප්‍රසිද්ධියේ හැසිරෙති. නමුත් පොදු සමාජය ඒවා ඉවසා වදාරති. ඒ අනුව නැති ප්‍රශ්නයක් මවන්නේ එම හැසිරීම් සාමාන්‍යකරණය කිරීමට සහ නීතිගත කිරීමට නොවේද? මේ වන විට ආසියාවේ එකම රටක් හෝ සමලිංගිකත්වය නීති ගතකොට නැත.

මීට පෙර 2003 දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව විසින් කෙටුම්පත් කිරීම ආරම්භ කොට පසුව 2005 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘‘ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ“ පනත මගින් ඉටු කරගැනීමට අපේක්ෂා කළ යටි අරමුණු මෙම වැඩසටහනේ යටි අරමුණට බොහෝදුරට සමාන වේ. එම පනතේ ලේබලය අනුව පවුල්වල භාර්යාවන් හා සැමියන් අතර සිදුවන අඬදබර වැලැක්වීම එහි මූලික අරමුණවේ. නමුත් පනතේ ප්‍රතිපාදන අනුව සිදු වන්නේ ඊට ප්‍රතිවිරැද්ධ දෙයකි. එනම් ගැටුම් වැඩීවීම සහ ඒතුලින් දික්කසාද වීමට ඇති පෙළඹවීම වැඩිවීමයි. කෙසේ වෙතත් එම පනත ශ්‍රී ලංකාවේ පවුල් කඩා ඉහිරවීමේ පනතක් බව තේරුම් ගත් මහින්ද රාජපක්ෂ මහතා එය අත්හිටුවීය. ඊට සමානව සමලිංගිකයින්ට සමානව සැලකීම පුරැදු කිරීමේ උත්සාහය තුළින් අපේක්ෂා කරන්නේ එම හැසිරීම් සමාජය තුළ හුවා දැක්වීම මගින් පවතින සමාජීය වටිනාකම් වලට අභියෝග කිරීම නොවේද? ඊට අමතරව ක්‍රියාකාරකම් යොදා ගනිමින් ලබාදෙනවායැයි කියන සමලිංගිකත්වය පිළිබද ඊනියා අධ්‍යාපනය මගින් සිසු දරැවන්ට ඇතිවන මානසික බලපෑම කුමක් වනු ඇතිද? මේ වනවිට ඕස්ට්‍රේලියාව වැනි රටවල රාජ්‍ය ලේඛනවල මව සහ පියා වශයෙන් තොරතුරැ ලබාගන්නේ නැත. ඒවායේ සඳහන් වන්නේ ‘‘පළමු දෙමාපිය“ සහ ‘‘දෙවන දෙමාපිය වශයෙනි.“ ඒ සමලිංගික විවාහය සාධාරණීයකරණය කිරීම සඳහාය. ශ්‍රී ලංකාවද දැන් ගමන් කරන්නේ ඒ දෙසට නොවේද?

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More