පුරවැසි කොලම

20 වන සංශෝධනයේ කෙටුම්පතක් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබෙයි. ආන්ඩුවේ ඇතැම් පාර්ශවයන්හි අදහස ලැබුණු ජනවරමින් පැලැස්තර සංශෝධන නොව නව ව්‍යවස්ථාවක්ම සම්මත කරගත යුතු බවයි. එම ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදයට තුඩු දෙන 13 ක් නොමැති නව ව්‍යවස්ථාවක් සම්මත කරගත හැකි බව ඔවුන්ගේ අදහසයි. එහෙත් රටක් ලෙස එබඳු පොදු අරමුණකට වඩා ලැබුණු තුනෙන් දෙක බැසිල්ගේ පුද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම වෙනුවෙන් වැය කරන බව දැනට පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් මේ කරන ව්‍යවස්ථා සංශෝධනවල දී ද්විත්ත පුරවැසිබාවය දරමින් මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි ලෙස 19 වන සංශෝධනයෙන් ගෙන ආ නීතිය මුළුමනින් අහෝසි නොකොට අනෙකුත් ඉහළ පෙළ දේශපාලන තනතුරු සදහා ද තවත් ප්‍රසාරණය කරගත යුතුබවට ගෙවිදු කුමාරතුංග දැක්වූ අදහස ද බැසිලිකාවේ රෙදි අපුල්ලන්ගේ දෝමනස්ස්සයට හේතු වී තිබේ. ගෙවිදුත් ඉන්නේ බැසිලිකාවට අනුසෝතඝාමී වුවද ස්වාමියාගේ ඕනෑම අභිලාෂයක් වෙනුවෙන් පතිරණ පන්නයේ තාලම්පොට ගසන්නෙකු නොවී රටට තීරණාත්මක කරුණක් සම්බන්ධයෙන් සිය හෘද සාක්ෂයට එකගව අදහස් පළ කිරීම අගය කළ යුතුය. ගෙවිඳු පළකළ අදහසේ කිසි වැරද්දක් නැතත් බැසිලිකාවට එය දරන්න අමාරු වී ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව දුන්නේ බැසිල්ගේ ඕනෑම පදයකට නටමින් තාලම්පොට ගහන එහෙයියෙකු වීමට මිසක් එවැනි ස්වාධීන මත දැරීමක් ඔවුන්ගේ අපේක්ෂාව නොවෙන නිසාය. එහෙත් ගෙවිඳු පතිරණ ගානට නොවැටී සිටීම ගැන මේ මොහොතට අදාලව ප්‍රසංසා කට යුතුය.

19 වන සංශෝධනයේ මේ ද්විත්ව පුරවැසි බාධකය දැම්මේ ගෝඨාභය හා බැසිල් ඉලක්ක කොටගෙන බව ඇත්ත. එය එන්ජිඕ කාරයන් විසින් රාජපක්ෂලා අරමුණු කරගෙන ව්‍යවස්ථාවට එකතු කරන ලද වගන්තියක් වුණත් එය රටක නෛතික රාමුවට අවශ්‍යයෙන්ම ව්‍යවස්ථාවේ තිබිය යුතු එකක්.මින් කියන්නේ බැසිල්ට දේශපාලන නොකළ යුතු බව නොව රට ගැන එතරම්ම කැක්කුමක් තියෙනවා නම් ගෝඨාභය ආදර්ශයෙන් ඇමරිකන් පුරවැසිබාවය ඉවත් කරගෙන දේශපාලනයට එන්න පුළුවන් බව. දැන් බැසිල්ට පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඕන නිසාම ව්‍යවස්ථාවට එකතුකොට තිබෙන සාධනීය කරුණක් මුළුමනින් අහෝසි කළයුතු නැහැ. රාජපක්ෂලා කියන්නේ සදාකල් ජිවත්වෙන අයවත් සදාකල් දේශපාලනයේ ඉන්න අයවත් නෙමෙයි. ඒ නිසා බැසිල්ට එන්න ඕන නිසා ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කළයුතු නැහැ. රටක් හැටියට කළ යුත්තේ අමාත්‍යංශ ලේකම්වරුන්, විදෙස් තානාපතිවරුන්, ආයතන හෝ සංස්ථා සභාපතිවරුන් ආදී දේශපාලන පත්වීම් සඳහා ද මෙම නීතිය තව තවත් පළල් කර ගැනීමයි.

එහෙම නීතියක් තිබුන නම් සිංගප්පූර් පුරවැසියෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන්ට මහබැංකු අධිපති වෙන්නත් බෑ. අද ඔහු නීතියට පස්ස හරවලා හැංගිලා ඉන්නේ විදෙස් පුරවැසිභාවය තියෙන නිසා. උදයංග වීරතුංගටත් 2007 – 2009 කාලය අතරතුර ගනුදෙනුවලදී රුපියල් කෝටි ගණනක් අයතා ලෙස උපයාගෙන ඇතැයි චෝදනා කිහිපයකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නඩු පවරණු ලැබුවා. ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අවස්ථා කිහිපයකදීම විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ද්විත්ව පුරවැසිකම ප්‍රයෝජනයට ගෙන සැගවී සිටි නිසා. ඔහු අත්තඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කරනු ලැබුවත් ලංකාවට ගෙනා ගැනීමට නොහැකි විය. ඔහු පැමිණියේ තමන්ට නීතිමය සුරක්ෂිතභාවයක් ගැන විස්වාස කළ හැකි රාජපක්ෂවරු බලයට පත්වුණාට පස්සේ. මේ නිදසුන් දෙකින්ම පැහැදිලි වන්නේ ඕනෑම වංචාවක් කොට පළා ගියත් තමන් කැමතිතාක් කල් නීතිය මගහැර ඉන්න පුළුවන් බවයි. මේ දෙන්නට චෝදනා ඔප්පු වුනත් නැතත් විදෙස් පුරවැසිකමෙන් නීතියට මුහුණ නොදී ඉන්න පුළුවන් කියන්නේ හොඳ තත්වයක් නොවේ.

මේ ද්විත්ව පුරවැසි බාධකය බැසිල් වෙනුවෙන් ඉවත්කර ගන්න දගලන බැසිලිකානු යටත් වැසියන් කියන තව කතාවක් තමයි එහෙම නීතියක් තිබුණ නම් ගෝඨාභයටත් ආරක්ෂක ලේකම් වෙන්න බැරිබව. මහින්ද ජනාධිපති වූ පසුබිමක ගොටභය ආරක්ෂක ලේකම් වෙන්න එය ඉවත් නොකර ඉන්නේ නැහැ. මෙවන් දේශපාලන ඉහළ තනතුරු දැරීමට ද්විත්ව පුරවැසියන්ට ව්‍යවස්ථාවෙන්ම බාධක දැමිය යුතු අනෙක් කරණය එම පුද්ගලයන් රටවල් දෙකකට පක්ෂපාති වන ලැදියාවන් අතර ගැටුම (Conflict of interest ) නැති කරගන්න. ද්විත්ත පුරවැසිකම තිබ්බම ඒ රටවලට අවශ්‍ය නම් ලංකාවේ නෛතික රාමුවට බලපෑම් කරන්නත් අවස්තාවක් ලැබෙනවා. මොකටද අපි එවැනි අනපේක්ෂිත අවධානමකට ව්‍යවස්ථාවෙන් ඉඩ තියන්නේ. මට මතකයි කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න නියමිත වෙලාවක ඔස්ටේලියානු මහකොමසාරිස් කාර්යාලය ඔහු එරට පුරවැසියෙක් යැයි අනවශ්‍ය මැදිහත්වීමකුත් කළා. එදා ආරක්ෂක ලේකම් වූ ගෝඨාභයගේ භූමිකාවට ඇමරිකාව මැදිහත් නොවූ නිසා හොදයි. බැරිවෙලාවත් මානවහිමිකම් යුධ අපරාධ කියාගෙන මැදිහත් වුණා නම් මොකද වෙන්නේ. එදා මැදිහත් නොවුණේ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මතකය නිසා ත්‍රස්තවාදය පිටුදකින ප්‍රතිපත්තියක එදා ඇමරිකාවද සිටි නිසා. වර්තමානයේ ඇමරිකාවේ හැසිරීම වෙනස් වගේම අනාගත හැසිරීම කොහොම වෙයිද කියලා කියන්නත් බැහැ. කෝකටත් එවන් අවදානම් ව්‍යවස්ථාවෙන් නැතිකර ගත්තාම ඉවරයි. රාජපක්ෂලා කියන්නේ මේ රටේ තාවකාලික භාරකරුවන් පමණයි. රටක ව්‍යවස්ථාව කියන්නේ දිගටම පවතින එකක්. එනිසා බැසිල් වෙනුවෙන් 19 ඇති මේ සාධනීය වගන්තිය ඉවත් නොකළ යුතුය.

|රත්තනදෙණියේ මේධානන්ද හිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More