පුරවැසි කොලම

අප රටේ සහල් මාෆියාවක් තිබෙන බවට උපකල්පනය කරමින් සහ එම මාෆියාව පැරදවීම සඳහා යැයි පවසමින් විමුක්ති වීදියබණ්ඩාර නම් වූ මහත්මයෙකු විසින් පසුගිය ඉරිදා දිවයින පුවත්පතට සපයන ලද ලිපියට පිළිතුරු ලිපියක් ලෙස නොවුවත් එම ලිපිය මුල්කරගෙන මෙම ලිපිය ලියන බව කරුණාවෙන් සළකන්න. එම ලිපිය මඟින් පැහැදිළි කෙරෙන සහල් සහ වී ගබඩා කිරීමට අදාළව නව තාක්ෂණයක් සොයා ගැනීම ඉතා වැදගත් බවට විවාදයක් නැත. එම නව තාක්ෂණය සොයා ගෙන එය අත්හදා බැලීමට ලක්කොට ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මට්ටම වැඩිදියුණු කිරීම පිළිබව අප සැමගේ ගෞරවය මහාචාර්ය ලීලානන්ද රාජපක්ෂ මහතාට පුද කළ යුතුය. එම නව තාක්ෂණය ප්‍රායෝගිකව යථාර්තයක් බවට පත්කිරීම සඳහා දියත් වූ ක්‍රියාදාමය සහ ඊට මුල්වූ පිරිසගේ කැපවීම රටට එළිදරව් කිරීම ද ඉතා වැදගත් කර්තව්‍යයකි.

එසේ වුවත් ඉහත ලියුම්කරු විසින් සඳහන් කරන ආකාරයට  සති දෙකක කාලයකට රටට අවශ්‍ය සහල් ප්‍රමාණයක් ගබඩාකළ හැකි ගබඩාවක් අලුත්වැඩියා කිරීම මඟින් සහල් කර්මාන්තය ආශ්‍රිත බහු විධ ගැටළු නිරාකරණය වන්නේ කෙසේ දැයි පැහැදිළි නැත. මීට පෙර එස්.බී දිසානායක මහතා කෘෂිකර්ම ඇමතිව සිටි සමයේදී වී ගොවියා සහ සහල් කර්මාන්තකරුවන් මුහුණ දෙන සියළු ගැටළු වලට මූලික හේතුව රජය සතුව අවශ්‍ය තරම් ගබඩා පහසුකම් නොමැතිවීම යැයි තර්කයක් ගොඩ නගමින් ඊශ්‍රායලයෙන් තාවකාලිකව ගබඩා තොගයක් ආනයනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය. අස්වනු නෙලන සමයේදී වෙළඳපළ තුළ තාවකාලිකව ඇතිවන සහ ඇතිකෙරෙන ඊනියා අතිරික්තය නිසා මෝල් හිමියන් සහ වෙළඳුන් විසින් වී මිල පහත වට්ටන බවත් ඊට පිළිතුර එම තොග රජය විසින් මිලදී ගැනීම බවත් එහිදී තර්ක කෙරිනි. නමුත් වී අලෙවි මණ්ඩලය පිහිටුවා  අද දක්වා වන කාලය තුළ රටේ ජාතික නිෂ්පාදනයෙන් 10%ක තරම්වත් වන වී තොගයක්  මිලදී ගැනීමට රජය සමත් වී නැත. බොහෝ වසරවල රජය විසින් මිලදී ගෙන ඇත්තේ රටේ ජාතික නිෂ්පාදනය වන වී මෙ.ටො මිලියන 4.5 න් 5%ක පමණ  ප්‍රමාණයකි. එනම් දළ වශයෙන් මෙ.ටො ලක්ෂ 3 කට අඩු ප්‍රමාණයකි. එම ප්‍රමාණය සති 6 ක රටේ සහල් අවශ්‍යතාවය සැපිරීමට ප්‍රමාණවත් වේ.

මේ වන විට අධික තිරිඟු පිටි පරිභෝජනය නිසා රටේ මාසික සහල් පරිභෝජනය මෙ.ටො 220,000 සිට මෙ.ටො 180,000 ක පමණ ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇත. අප රටේ බොහෝ විද්වතුන්ට රට සහලින් ස්වයංපෝෂිත වී ඇති බවට ව්‍යාජ ලෙස උදම් ඇනීමට හැකි වී ඇත්තේ ඔවුන් විසින් ඊනියා සහල් මාෆියාව මට්ටු කිරීම නිසා නොව  තිරිඟු පිටි මාෆියාවට පින්සිදු වන්නටය. ඉහත සඳහන් කළ ලියුම් කරු සහල් මාෆියාව යන වචනය යොදා ගත්තද රටේ සිටින ලොකු කුඩා සහල් කර්මාන්තකරුවන් සියළු දෙනාට එම ලේබලය ඇලවීම හේතු සහිතව සාධාරණීකරනය කරන්නේ නැත. සමහර විට ඔහු මාෆියාව ලෙස නම් කරන්නේ මහා පරිමාන සහල් කර්මාන්තකරුවන් විය හැකිය. එහෙත් මේ වන විට 10 කට ආසන්න මහා පරිමාණ යැයි කිව හැකිය. කර්මාන්තකරුවන් විසින් නිශ්පාදනය කරන්නේ රටේ සහල් අවශ්‍යතාවයෙන් 20% ක පමණ ප්‍රමාණයකි. අප රටේ පවතින විශාලතම සහල් මෝලේ දිනකට ධාරිතාව වී මෙ.ටො 1000 කි. එනම් සහල් මෙ.ටො 650 කි. ඒ අනුව එම ප්‍රමාණය මාසික සහල් අවශ්‍යතාවයෙන් 10% කි. එසේ නම් මහා මෝල් හිමියන්ට ඒකපාර්ශවීයව මාෆියාවක් සේ සහල් වෙළඳපළ පාලනය කිරීමේ හැකියාවක් නැති බව තේරුම් ගැනීම අමාරු නැත.

සහල් මාෆියාව යන හැඳින්වීම විවිධ පිරිස් ගිරව් සේ උච්චාරණය කළද එය නිර්මාණය කරන්නේ තිරිඟු පිටි මාෆියාව විසින් බව එම ගිරව් දන්නේ නැත. තිරිඟු පිටි මාෆියාවේ දුෂ්ඨ ක්‍රියාන්විතය සැඟවිය හැක්කේ වෙනත් මාෆියාවක් ගැන කථා කිරීම මඟිනි. එසේනම් තිරිඟු පිටි මාෆියාවක් තිබෙන බව ඔප්පු කරන ලෙස යමෙකුට අභියෝග කළ හැකිය. අප රටේ තිරිඟු පිටි වෙළඳපළ අත්පත්කරගෙන සිටින මහා සමාගමක් සහ තවත් කුඩා සමාගමකට අමතරව තිරිඟු ඇට ලෙස නොව පිටි ලෙස ආනයනය කරන වෙළඳුන් එක්ව ගත්විට එම සමස්ථ වෙළඳපළම මාෆියාවක් ලෙස හැඳින්විය හැක්කේ කුමක් නිසාද? ඒ ඔවුන්ගේ බලපෑම් කිරීමේ බලය මඟින් රටේ බදු ප්‍රතිපත්ති පවා වෙනස් කොට වෙළඳපළ තුළ මහා විකෘතියක්, විශේෂයෙන්ම මිල විකෘතියක් ඇති කිරීමට හැකි වී තිබීම නිසාය. ආණ්ඩු වෙනස් වීම මත ඔවුන්ගේ බලය හීන වන්නේ නැත. එය මාෆියාවක ප්‍රධාන ලක්ෂණයකි.

අප රටේ තිරිඟු පිටි මාෆියාව කොතරම් බලවත් ද යත් 2015 දී අවස්ථා දෙකක්ද තිරිඟු වලට පනවා තිබූ විශේෂ පරිභෝජන බද්ද රු. 10 බැගින් රු. 20 කින් අඩු කරවා ගැනීමට ඔවුන් සමත් විය. ඒ වන විට රටේ තිරිඟු පිටි පරිභෝජනය වාර්ෂිකව මෙ.ටො ලක්ෂ 13 ක මට්ටමේ පැවතුණි. එහෙත් එම බදු වාසිය යොදා ගනිමින් දියත්කරන ලද සූක්ෂම ප්‍රවර්ධන ක්‍රියාවලිය හරහා තිරිඟු පිටි පරිභෝජනය වසර දෙකක් තුළදී මෙ.ටො ලක්ෂ 17 ක් දක්වා වැඩි කිරීමට ඔවුන් සමත් විය. ඒ අනුව එම වැඩිවූ මෙ.ටො ලක්ෂ 4 ක ප්‍රමාණය රටේ සහල් පරිභෝජනයෙන් අඩු වේ. ඉහත සඳහන් කළ ආකාරයට  මාසිකව මෙ.ටො 220,000 ක මට්ටමේ තිබූ සහල් පරිභෝජනය මෙ.ටො 180,000 ක් දක්වා අඩු වන්නේ ඒ අනුවය. නමුත් එහිදී විශේෂ තත්වයක් වන්නේ සමාගම් වලට ලබාදුන් බදු සහනයට සාපේක්ෂව පාන් මිල අඩු නොවීමය. රටේ මිනිසුන්ට අඩු මිලට පාන් කැවිය යුතු බවක් ඉන් අදහස් නොවේ. කෙටි කෑම මිල කිසිසේත්ම අඩු නොවූ අතර රු. 60 ක් වන ග්‍රෑම් 450 කට අඩු පාන්ගෙඩියක් පෙති ගැසූවිට රු. 100 ක් වේ. පෙති ගැසීම සඳහා නිර්ලෝභීව රු. 40 ක් ගෙවන අප රටේ බත්කන මිනිස්සු සහල් කි.ග්‍රෑම් එකකින් රු. 2 ක් අඩු කර ගැනීම සඳහා මරාගෙන මැරෙන තර්ක ඉදිරිපත් කරති.

සහල් කි.ග්‍රෑම් 1 කින් අට වේලක් පිරිමසාගත හැකි බැවින් එක වේලකට ශත 25 ක වැඩි කර සහල් කර්මාන්තය බේරා ගැනීමට ජනාධිපතිතුමන්ට පවා මැදිහත් වීමට සිදු විය. මේ රටේ ජනතාව මේවා පිළිබඳව බලවත් සේ ලැජ්ජා විය යුතු වුවත් ඊනියා සහල් මාෆියාවක් ගැන කථා කිරීම මඟින් එම ලැජ්ජාව වසාගන්නා ආකාරය තිරිඟු පිටි මාෆියාවේ කුලී කරුවන් විසින් මහජනයාට කියාදෙන බව පැහැදිළිව පෙනේ. මෙම තිරිඟු පිටි මාෆියාව කෙතරම් බලවත්ද යත් තිරිඟු ඇට අඹරන සමාගම් වලට වසරකට ලබා දෙන රු. මිලියන 34,000 ක මහා බදු සහනය එසේම තිබියදී, එම සමාගම්වල ඒකාධිකාරිය බිඳීමට යැයි තර්ක කරමින් තිරිඟු පිටි ආනයනකරුවන්ට කි.ග්‍රෑම් එකකට රු. 28 ක බදු සහනයක් ලබා ගැනීමට තිරිඟු පිටි මාෆියාව සමත් විය. ඒ මගින් තිරිඟු පරිභෝජනය තව දුරටත් ඉහළ යන අතර සමාගම් වලට ලබා දෙන සහනාධාරයද ඉහළ යයි.  ඔවුන් කෙතරම් බලවත්ද යත් ඒ සඳහා පනත් 03 ක් යටතේ ගැසට් නිවේදන ත්‍රිත්වයක් නිකුත් කරවා ගැනීමට ඔවුන් සමත් විය. එහෙත් අද වන තුරු එම සහනය පාරිභෝගිකයාට ලබාදී නැත. ඒ ආකාරයට තිරිඟු පිටි මාෆියාව රජය මඟින් ලබාදෙන බදු සහනය රටේ සමස්ථ සමෘධිලාභීන්සඳහා රජය විසින් වැය කරන මුදලට වඩා වැඩි වේ.

මෙම තිරිඟු පිටි මාෆියාව සෙල්ලම් කරන්නේ ඒසා විශාල මුදලක් උඩ සාක්කුවේ දමාගෙනය. දළ වශයෙන් මිලියන 40,000 කට ආසන්න මුදලක් ආණ්ඩුව විසින් බදු සහන ලෙස ආපසු ලබා දුන් විට එනම් පිනට ලබා දුන් විට මිලදී ගත නොහැක්කේ මොකාද? ඇත්තවශයෙන්ම එය පිනකට දීමට වඩා බලහත්කාරයෙන් රැවටීමෙන් සහ මහජනයාට හොරෙන් ලබාගන්නා දෙයකි. ඒ සියල්ල කෙරෙන්නේ මුදල් අමාත්‍යාංශයේ හිටපු සහ සිටින ඉහළ නිලධාරීන්ගේ ආශිර්වාදයෙනි. පාන් පිටි වෙළඳුන් සහ බේකරි හිමියන් වෙළඳපළ තුළ ආක්‍රමණකාරී ලෙස හැසිරෙන්නේ ඔවුන්මට ලැබෙන විශාල අයුතු ලාභය යොදා ගනිමිනි. නමුත් ඒ පිළිබඳව වචනයක් හෝ කථා නොකරන පිරිස් සහල් කර්මාන්ත කරුවන්ගේ රු. 2 ක ලාභය පිළිබඳව පිහි අමෝරාගෙන කථා කරති. ඇත්තවශයෙන්ම සහල් වෙළඳපළ තුළ සාධාරණ ලාභයක් නොලැබෙන ලෙස හෙවත් කර්මාන්තකරුවාට පැවතිය නොහැකි ආකාරයට මිල පාලන සූත්‍ර සකස් කරන්නේ තිරිඟු පිටි මාෆියාවේ ඉල්ලීම මත පාන්පිටි සහ පාන් වෙළඳුන්ට අධික ලාභ ලබා ගැනීම සඳහා නිර්ලෝභීව අතදිගහැර සහන ලබාදෙන ආර්ථික ඝාතක නිලධාරින්මය. යථාර්තවාදී නොවන සහල් මිලක් පැනවූ විට එක් පැත්තකින් සහල් කර්මාන්තය කඩා වැටෙන අතර අනෙක් පැත්තෙන් වි මිල පහත දැමීමට පෙළඹවීමක් ඇති වේ. ඒ අනුව තිරිඟු පිටි මාෆියාවේ කුලීකරුවන්ගේ උපදෙස් මත යථාර්ත වාදී නොවන මිලක් සහල් වලට පනවා වෙළඳපළේ හුස්ම හිරකළ විට කර්මාන්තකරුවාගේ පමණක් නොව ගොවියාගේ ද හුස්ම හිර වේ.

සහල් වෙළඳපළ සහ කර්මාන්තය තුළ දිර්ඝකාලීනව කරන ලද හුස්ම හිරකිරීම නිසා අප රටේ ක්‍රියාත්මක වූ 5000 කට ආසන්න කුඩා සහ මධ්‍යම පරිමාන සහල් සහ සහල් පිටි කර්මාන්ත පද්ධතිය 2500 ක් පමණ දක්වා අඩු විය. වැසීගිය කර්මාන්තකරුවන් බොහෝ දෙනෙකුගේ දේපල බැංකු වලට සින්න විය. වියලි වී කි.ග්‍රෑම් 1 කට රු. 50 ක් ගෙවන විට සහල් වලට පමණක් රු. 80 ක් වැය වේ. එවිට කෙටීමේ කුලිය, ප්‍රවාහන කුලිය, ඇසුරුම් වියදම ආදී සියල්ල එකතු කළ විට කැකුළු සහල් කිලෝ 1 ක් ඉතා අවම වශයෙන්  රු. 95 ක් සහ නාඩු තැම්බූ සහල් ක්‍රි.ග්‍රෑම් 1 ක් රු. 100 ක් විය යුතුය. මහජනයා පසුගිය යම් කාලවල රු. 110 ටත් සහල් මිලදී ගනු ලැබීය. ඒ නිසා අවම මිල රු. 100 ක් කිරීම මඟින් මහජන විරෝධයක් එල්ල වන්නේ නැත. එහෙත් තිරිඟු පිටි මාෆියාවේ උවමනාව මත විවිධ පිරිස් විසින් ඊනියා  සහල් මාෆියවේ ගෙල සිර කිරීමට නම් ඔවුන්ගේ රු. 05 ක ලාභය පවා කපා දැමීය යුතුය.

අනෙක් සියලුම කර්මාන්ත කරුවන්ට මෙන්ම සහල් කර්මාන්ත කරුවන්ටද සාධාරණ ලාභයක් නොලැබේ නම් ඔවුන් එම කර්මාන්තය පුළුල් කරන්නේ කෙසේද? නිෂ්පාදන විවිධාංගීකරණය කරන්නේ කෙසේද? ණය පොලී සහ වාරික ගෙවන්නේ කෙසේද? එවුන්ට අතිරික්ත ලාභයක් නොමැති නම් වෙනත් ක්ෂේත්‍රවල පවා ආයෝජනය කිරීමට ඔවුන් තුල පෙළඹවීමක් ඇති වන්නේ කෙසේද? අනෙක් පැත්තෙන් ගත් විට ගොවියා “ සිරස් ඒකාබද්ධකරණයට ” හෙවත් තම මූලික නිෂ්පාදනය වන වී වලට වටිනාකම් එකතු කොට වෙළඳපළට ඉදිරිපත් කරන නිෂ්පාදකයෙකු බවට පත් කිරීම සඳහා පෙළඹවීමක් ඇති කළ හැක්කේ එම ක්‍රියාවලිය ලාභ සහගත නම් පමණි. මීට වසර 10 කට පෙර කුඩා පරිමාන ගොවීන් සහ වෙළඳුන් ඔවුන් සතුව සහල් මෝල් නොමැති වුවද මෝල් කුලිය ගෙවා සකස් කරන ලද සහල් වෙළඳපළට ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවයක් තිබුණි. එම ‘’ගමේ සහල්’’ වලට පාරිභෝගිකයා වැඩි කැමැත්තක් දැක්වීය. නමුත් තිරිඟු පිටි මාෆියාවේ උවමනාව මත සහල් වෙළඳපො‍ළේ ගෙල සිරකිරීම නිසා එම වාණිජ ක්‍රියාකාරකම සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය. මෙම ක්‍රියාවලියේ අවසාන අරමුණ වන්නේ කුඩා මෝල් පද්ධතිය බිඳ වැට්ටවීමෙන් පසුව මහා මෝල් පද්ධතිය තිරිඟු පිටි මාෆියාවේ ඒජන්තයින් වන බහුජාතික සමාගම් විසින් අත් පත්කර ගැනීමයි. සහල් මාෆියාව ලෙස නම් කරමින් දේශීය මහා මෝල් හිමියන් අධෛර්යමත් කිරීමේ එක් අරමුණක් වන්නේ එයයි. එවිට වී ගොවියා සදාකාලික වහල්භාවයේ තබා ගැනීමට එම බහුජාතික මෝල් හිමියන්ට හැකියාව ලැබේ.

ඒ අනුව පැහැදිළි වන්නේ වී මිලදී ගෙන  සහල් සකස්කොට කුඩා පරිමාණයෙන් විකිණීම ලාභදායි වන්නේ නම් කුඩා පරිමාණ නිෂ්පාදකයා විසින් වෙළඳපොළේ වැඩි කොටස අත්පත්කර ගන්නා බවය. මීට පෙර සඳහන් කළ ආකාරයට මහා පරිමාන මෝල් හිමියන් ගේ වෙළඳපළ 20% කට සීමා කොට ඉතිරි 80% කුඩා පරිමාන නිෂ්පාදකයා විසින් අත්පත්කර ගැනීම තහවුරු වන්නේ එවිටය. එසේ නොමැති නම් එය 40% සහ 60% ලෙස හෝ 50% සහ 50% ලෙස වෙනස් විය හැකිය. කෙසේ වෙතත් ගොවියාට වී සඳහා වන සහතික මිල සැබෑ ලෙසම සහතික කළ හැක්කේ එක් පැත්තකින් කුඩා මිලදී ගන්නන් ප්‍රමාණය වැඩි කිරීම මගිනි. එවිට මහා මෝල් හිමියා විසින් කේවල් කොට මිල පහත දැමීමට ඉඩ ලැබෙන්නේ නැත. අනෙක් පැත්තෙන් එවිට ගොවියා තම වී තොග එකවර  විකුණා දැමීම මඟින් වෙලඳපොලේ තාවකාලික අතිරික්තයක් ඇති කිරීම වෙනුවට එම වී තොග තම නිවසේ ගබඩා කරගෙන ක්‍රමයෙන් සහල් ලෙස වෙළඳපළට නිකුත් කිරීමේ ප්‍රවනතාවය වර්ධනය වේ.

එවිට අස්වනු නෙලන සමයේ ඇතිවන ව්‍යාජ අතිරික්ත ප්‍රශ්ණයට ගබඩා පහසුකම් තව දුරටත් වැඩි කිරීම මගින්  විසඳුම් සෙවීමට අවශ්‍ය නොවේ. ඊට අමතරව අස්වනු නෙලන සමයේ දී  වී මිල පහත වැටීමේ ගැටළුවද ඒ මගින් සමනයවේ. මීට වසර 40-50 කට පෙර කාලයට ආපසු ගොස් බලන විට ගොවියා තම වී අස්වනු ගෙදර නිදන කාමරයේ ගබඩා කොට ඉතා සතුටින් ඉස්තෝප්පුවේ නිදාගත් ආකාරය දැකිය හැකිය. ගොවියාට තම වී තොගය බරක් නොවේ. එය ඔහුට බරක් වන්නේ එක් පැත්තකින් සහල් වෙළඳපළ තුළ මිල විකෘතියක් පවතින විට සහ ඔහු ණය බරින් මිරිකී සිටින විටය. එම ප්‍රශ්ණ දෙක චක්‍රයක් සේ ගොවියා වටා ප්‍රභමණය වීම පවතින තුරු රජය විසින් වී මිලදී ගැනීමේ සහ වී ගබඩා කිරීමේ අභියෝගය ද වර්ධනය වේ. ඒ නිසා එක් පැත්තකින් මහා පරිමාණ සහල් මෝල් ප්‍රමාණයක් රටට අවශ්‍ය වන්නේ අස්වනු සමයේදී රටේ වී තොගයෙන් සැලකියයුතු ප්‍රමාණයක් මිලදී ගෙන ගබඩා කිරීම සඳහාය. එම කර්තව්‍යය රජය විසින් ඉටු කිරීමේ ප්‍රායෝගින හැකියාවක් නැත.

නමුත් කුඩා මෝල් පද්ධතියක් රට අවශ්‍ය වන්නේ ගොවියාගේ කේවල් කිරීමේ බලය වැඩි කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාවය භූගෝලීය වශයෙන්ද තහවුරු කිරීම සඳහාය. මහාපරිමාණ සහල් මෝල් මගින් පමණක් රටේ සහල් අවශ්‍යතාවය සැපිරිය හැකි යැයි තර්ක කළ හැකි වුවද එය රටේ ආහාර සුරක්ෂිතතාවය පැත්තෙන් අනතුරු දායක වේ. කෙසේ වෙතත් කුඩා මෝල් පද්ධතියක පැවැත්ම සහතික වන්නේ ඔවුනට සාධාරණ ලාබයක් තබා ගත හැකි ආකාරයට සහල් මිල තීරණය කරන්නේනම් පමණි. උදාහරණයක් ලෙස අද පවතින මිල මට්ටම් අනුව අවම මිල රු 100ක් සහ උපරිම මිල 120ක් ලෙස පැනවීම මගිනි. එවිට මහා මෝල් හිමියන්ගේ ධාරිතාවට සාපේක්ෂව ඔවුන්ගේ ලාභය ප්‍රතිශතයක් ලෙස සහ ප්‍රමාණාත්මකව ඉහළ යන බව සත්‍යයකි. නමුත් එම වැඩි ලාභයේ ප්‍රතිශතයක් යෙදවීම මගින් රටේ ජාතික අවශ්‍යතාවයක් වන ආරක්ෂණ තොග පවත්වාගෙන යාමේ පිරිවැය ඔවුන් විසින් දැරිය යුතුය. ඒ සඳහා ආහාර පාලන පනත සංශෝධනය කිරීම මගින් ප්‍රතිපාදන පැනවිය යුතු අතර ඒ මගින් මහා මෝල් හිමියන් විසින් වෙලඳපල විකෘතීන් ඇති කිරීමද පාලනය කළ හැක.

ඒ නිසා රජය විසින් උසස් තාක්ෂණය සහිතව හෝ පෙර පැවති ලෙස ප්‍රාථමික ආකාරයට හෝ ගබඩා පහසුකම් වර්ධනය කිරීම ප්‍රශ්ණයට විසඳුමක් නොවන බව පැහැදිළිය. තිරිගු පිටි බදු සහන සහ සහල් පාලන මිල විකෘතිය මගින් ඇති කරන  වෙළඳපළ විකෘතිය නිවැරදි කිරීමෙන් තොරව රජය විසින් වී තොග රැස් කිරීම මඟින් ප්‍රශ්ණය විසඳිමට ගනු ලැබූ උත්සහාය සැම විටම අවසන් වන්නේ වී තොගයෙන් අති බහුතර ප්‍රමාණයක් සත්ත්ව ආහාර ලෙස අඩු මිලට විකිණීම මඟිනි. එම තකතීරු ක්‍රියාවලිය මඟින් පසුගිය රජයේ අමාත්‍යවරයෙකු රජයට රු. මිලියන 3000 ක පාඩුවක් සිදු කළේ ය. එම ප්‍රමාණයෙන් යම් ප්‍රතිශතයක් කොමිස් මුදල් බවට සැකයක් නැත. රජය විසින් වී තොග මිලදී ගත යුත්තේ ආරක්ෂණ තොග ලෙස පමණි. එම ප්‍රමාණය අවශ්‍ය වන්නේ අස්වනු අඩු වීමකදී හෝ වෙළඳපළ තුළ සිදු කරන කූඨ ක්‍රියාවලියක් පාලනය කිරීම සඳහා වෙළඳපළට හදිසි අවශ්‍යතාවයක් ලෙස සහල් නිකුත් කිරීම සඳහාය. එම ප්‍රමාණය හදිසි අවශ්‍යතාවයක් සඳහා සහල් ආනයනය කිරීම සඳහා ගත වන කාලයට අවශ්‍ය සහල් ප්‍රමාණය ලෙස ගණනය කළ යුතු බවටද යම් විද්වතුන් මත පළ කරති. කෙසේ වෙතත් එම ආරක්ෂණ තොග වී සහ සහල්, ආකාර දෙක අනුවම පවත්වාගත යුතු වුවත් මාස 18ක් හෝ මාස 12 ක් ගබඩා කිරීම තර්කානුකූල නොවේ. යල සහ මහ යන කන්න දෙක අනුව එම ආරක්ෂණ තොග වෙළඳපළට නිකුත් කිරීම මඟින් අළුත් කළ හැකි බැවින් උපරිම වශයෙන් මාස 6 ක ගබඩා කාලයක් ප්‍රමාණවත් වේ.

කෙසේ වෙතත් අවසන් වශයෙන් කිව යුත්තේ රටට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් තොගය සහල් වශයෙන් හෝ සහල් පිටි වශයෙන් සැපයීමේදී එම වෙළඳපළ තුල මිල විකෘතිය ඇති වන්නේ ඉහත සඳහන් කළ ආකාරයට වෙළඳපළේ ගෙල සිර කරන පාලන මිලක් පැනවීම මඟින් පමණක් නොවේ. තිරිඟු පිටි වලට බදු සහන දෙමින් ඇති කරන මිල විකෘතියද සහල් වෙළඳපළ සහ වී මිල කෙරෙහි බලපෑම් ඇතිකරනු ලබයි. ඒ නිසා එම විකෘත්තීන් සියල්ල නිරවුල් කළ හැක්කේ තිරිඟු පිටි සඳහා ලබා දුන් සියළු සහනාධාර අහෝසි කොට අදාළ බදු නැවත පැනවීම මඟින් සහ සහල් කර්මාන්තයට පැවතිය හැකි සාධාරණ මිලක් පැනවීම යන ක්‍රියාමාර්ග දෙකම එක්ව ගැනීම මඟිනි. වඩා සාධාරණ සහ නිවැරදි වන්නේ සහල් පිටි මිලට වඩා තිරිඟු පිටි වල මිල 10% කින් ඉහළ මට්ටමක පවතින ලෙස නව බදු පැනවීමය. එවිට තිරිඟු පිටි පරිභෝජනය අඩු තරමින් භාගයකින් අඩු කොට ඊට සාපේක්ෂව සහල් පරිභෝජනය වැඩි කිරීම මඟින් රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කළ හැක. ඒ සඳහා රටේ පවතින කුඹුරු බිම් ප්‍රමාණය අනුව දැනට පවතින වාර්ශිකව මෙ.ටො මිලියන 4.5 ක වී නිෂ්පාදනය මෙ.ටො 5.5 ක් දක්වා වැඩි කිරීම සඳහා පවතින විභවය යථාර්තයක් බවට පත් කළ යුතුය. එවිට රටේ ඊනියා සහල් අතිරික්තයක් තිබෙන බැවින් යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය අඩු කළ යුතු බවට තකතීරු තීන්දු ගැනීමේ අවශ්‍යතාවයක් මතුවන්නේද නැත.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More