දේශීය පුවත්

කැබිනට්ටුව 26 යි. කැබිනට් නොවන ඇමැති ගණන 40යි. කතානායක මහින්ද යාපා අලි සබ්‍රි – උදය ගම්මන්පිල – මහාචාර්ය ජී එල්. – නාමල් රාජපක්ෂ කැබිනට්ටුවට – මහාචාර්ය ජී. එල් I අලි සබ්‍රි I අජිත් කබ්රාල් I සීතා අරඹේපොල I සාගර කාරියවසම් I ගෙවිඳු කුමාරණතුංග ඇතුළු පිරිසක් ජාතික ලැයිස්තුවෙන් දෙමළ සන්ධානයෙන්, සමගි බලවේගයෙන් මුස්ලිම් පක්ෂවලින් මන්ත්‍රී පිරිසක් රජයට

නිදහස් ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තුව තෝරාගැනීම සඳහා පැවති මහ මැතිවරණය හමාරය. එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඊළඟට කළයුතුව ඇත්තේ නව රජය ස්ථාපිත කිරීමයි. එහිදී ප්‍රථමයෙන්ම කැබිනට් මණ්ඩලය ස්ථාපිත කළ යුතුය.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට මහ මැතිවරණයකින් පසු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව පිහිටුවිය යුතු ක්‍රමවේදය නිරවුල්ව සඳහන් කර තිබේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව පිහිටුවීමේදී මුලින්ම කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමයි. ඊට බලය පවරා ඇත්තේ ව්‍යවස්ථාවේ 42 (4) උප වගන්තිය මගිනි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගෙන් උපරිම විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ යුතු බව සඳහන් වෙයි. ඒ සමඟ සඳහන් වන 42 (3) වගන්තිය මගින් කියැවෙන්නේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු මෙන්ම එහි ප්‍රධානියා ද වන බවයි.

මහමැතිවරණ ප්‍රතිඵලය ගැසට් පත්‍රයේ පළකිරීමෙන් පසු මුලින්ම සිදුවන්නේ මෙලෙස අග්‍රාමාත්‍යවරයා පත්කර ගැනීමයි. මේ ගැන අප වෙත ලැබෙන නවතම වාර්තාව අනුව 08 වැනි සෙනසුරාදාම නව මන්ත්‍රීන්ගේ නම් ගැසට් කෙරේ. තෝරා පත්කරගත් මන්ත්‍රීන්ගේ නම් සඳහන් ගැසට් පත්‍රය පළ කෙරෙනු ඇත. ඒ සමඟ අද 9දා කැලණිය විහාරස්ථානයේදී අග්‍රාමාත්‍යවරයා ෙලස දිවුරැම් දීමට නියමිතය. දැනට ප්‍රකාශ වී ඇති ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා ෙදවසරක කාලයක් තුළ තුන්වැනි වරටත් වාර්තාවක් තබමින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය පත්කරන ආකාරය විමසා බැලිය යුතුය. ව්‍යවස්ථාවේ 43 (1) වගන්තිය අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාගේ අදහසද විමසා අමාත්‍ය මණ්ඩලය පත්කළ යුතුය. එම අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවද ඔවුනට පවරා විෂයයන්ද ජනාධිපතිවරයා විසින් නිශ්චය කළ යුතු බව ව්‍යවස්ථාව කියයි. එසේම ව්‍යවස්ථාවේ සඳහන් කරන්නේ මෙම අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුවේ පාලනය ගෙන යන අතර සාමූහිකව පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවය.

කැබිනට්ටුව පත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයාට තවත් අමාත්‍යවරුන් පත්කළ හැකිය. ව්‍යවස්ථාවේ 44 (1) වගන්තිය අනුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන් පත් කිරීමට ද බලය තිබේ. ඔවුන්ගේ විෂය කාර්යය නිශ්චය කිරීමද ජනාධිපතිවරයා විසින් කළ යුතුය. අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කෙරේ. ඒ සඳහා ව්‍යවස්ථාවේ 45(1) උප වගන්තියෙන් ජනාධිපතිවරයාට බලය පවරා ඇත. ඒ අනුව අමාත්‍යවරුන් හට ඔවුනගේ කාර්යයන් ඉටුකිරීමට සහය වීම පිණිස නියෝජ්‍ය අමාත්‍යවරු පත් කෙරෙති. එයද අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුකළ යුතු යැයි ව්‍යවස්ථාවේ කියා තිබේ.

මෙලෙස ආණ්ඩුව ස්ථාපිත කිරීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු විශේෂ කරුණු ගණනාවක් ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත්කර ඇත. වගන්ති අංක 46 (1) (අ) යටතේ කැබිනට්ටුව පත් කිරීමේදී එහි මුළු අමාත්‍ය සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතු යැයි සීමාවක් පනවා ඇත. එසේම 46 (1) (ආ) වගන්තිය අනුව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 නොඉක්මවිය යුතුය. ඒ අනුව කැබිනට් මණ්ඩලයත් කැබිනට් නොවන අමාත්‍ය සංඛ්‍යාවක් නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවත් එක්වූ විට සමස්ත ගණන 70ක් විය යුතුය. එසේ වුවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කෙරෙන අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ සීමාවන් වෙනස් වෙයි. එයට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වගන්තියයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණන දිනාගන්නා පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීන්දු කළහොත් කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව, කැබිනට් නොවන ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාවද පාර්ලිමේන්තුව විසින් තීන්දු කළ යුතු යැයි සඳහන් කර තිබේ. මෙහිදී ජාතික ආණ්ඩුව විය යුත්තේ කුමක් නිසාද විස්තර කර ඇත. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණන දිනාගන්නා පක්ෂය හෝ කණ්ඩායම අනෙකුත් පිළිගත් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සමග පිහිටුවන ආණ්ඩුව ජාතික ආණ්ඩුව විය යුතු යැයි නිශ්චිතව සඳහන් වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ කවර විධිවිධාන තිබුණත් රාජ්‍ය නායකයාගේ අභිමතය පරිදි ආණ්ඩුව නිර්මාණය කිරීමට නිදහස තිබේ. එහෙත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරමිනි. ඒ අනුව දේශය වෙත වාර්තා වන නවතම අභ්‍යන්තර තොරතුරු අනුව මෙවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ස්වකීය අමාත්‍ය මණ්ඩලය කැබිනට් ඇමැතිවරුන් 26 දෙනෙකුට සීමාකරනු ඇත. ජනාධිපතිවරයා 2019 බලයට පත්වූ අවස්ථාවේ කැබිනට්ටුව කුඩා කළ යුතුය යන මූලික අදහස ඉදිරිපත් කළ අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයාද ඇතුළුව කැබිනට්ටුව 16 දෙනෙකුට සීමා කැරිණි. මෙවර එය අග්‍රාමාත්‍යවරයාද ඇතුළුව ඇමැතිවරුන් 26 දෙනෙකුට සීමාවෙයි.

මෙම සීමාව තුළ නව අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කිරීම පහසු කරුණක් නොවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන්ද රජයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ආදීන්ගේද අදහස් උදහස් අනුව නව අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කෙරෙන බව දැනගන්නට තිබේ.

දැන් බොහෝ දෙනෙකු අපේක්ෂා කරන්නේ ලබන 11 දා දළදා මාලිගාෙව්දී දිවුරුම් දෙනු ඇතැයි කියන නව අමාත්‍ය මණ්ඩලය කවුරුන්ද කියායි. ඒ ගැන නිශ්චිත තොරතුරු අප වෙත ඇතත් එයින් සඳහන් කළ හැකි කාරණා සීමාසහිතය. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයට අලුතෙන් එක්වන සාමාජිකයන් ගණනාවකි. මහාචාර්ය පී.එල්. පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, උදය ගම්මන්පිල හා නාමල් රාජපක්ෂ මහත්වරු කැබිනට්ටුවට අලුතෙන් එක්වන සාමාජිකයන් ලෙස දැනට වාර්තා වෙයි.

කැබිනට්ටුව 26 දෙනකුට සීමා වුවත් කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 40ම පත් කිරීමට නියමිතය. මෙයින් කැබිනට් නොවන අමාත්‍යවරු බහුතරය වෙති. මෙවර කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස පත් කෙරෙන අයට අමාත්‍යංශවල විෂය කාර්යයන් හා ආයතන මුල් අවස්ථාවේදීම පැවරෙයි. ඔවුන් තමන්ගේ කැබිනට් පත්‍රිකා කැබිනට්ටුවට ඉදිරිපත් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා මගිනි. ඒ අනුව ඔවුනට වඩාත් නිදහසේ ක්‍රියා කිරීමට අවස්ථාව සැලසෙයි. පසුගිය නොවැම්බරයේ ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පිහිටුවන ලද ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ යම් යම් තනතුරු දරන ලද අමාත්‍යවරුන්ගේ විෂයන් ගණනාවක් මෙවර වෙනස් කෙරෙන බව තිරය පිටුපස ආරංචි මාර්ග කියයි. ඒ ගැන කෙසේ වෙතත් ඇතැම් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ තනතුරු කිහිපයක් නොවෙනස්ව පවතිනු ඇත. පරිසරය, අධ්‍යාපනය, ජනමාධ්‍ය, කෘෂිකර්ම, අධිකරණ, විදුලිබල හා බලශක්ති, සංස්කෘතික ආදී විෂයන් ගණනාවක් වෙනස් කෙරෙන බව වාර්තා වන අතර සංස්කෘතික සහ ජාතික උරැමයන් විෂය මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකුට පැවරෙනු ඇති බව දැනගන්නට ඇත. ඔහු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙකි.

ජීවතුන් අතර සිටියා නම් නියත වශයෙන්ම අමාත්‍ය ධුරයක් හිමිවන වතුකර අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා මුල්වරට පත්වන නිසා ඔහුට කැබිනට් වරම් අහිමිවන නමුත් ඔවුනගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු පළාත් අමාත්‍ය එස්. රමේෂ් මහතාට කැබිනට් නොවන විෂයක් හිමිවීමට ඉඩ ඇතැයි පැවසේ. එසේම මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු රජයට එක්වීමට නියමිත කණ්ඩායමක්ද සිටින බව වාර්තා වෙයි. එයින් එක් අයෙක් දෙමළ සන්ධානය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයකු බව කියැවෙයි. නැගෙනහිර පළාතේ මුස්ලිම් මන්ත්‍රීන් කිහිප දෙනෙකුද රජයට එක්වීමට කැමැත්ත පළකර ඇති බව ප්‍රකාශිතය. එසේම සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක්ද පොහොට්ටුව සමඟ සාකච්ඡාවකට එළඹ ඇත. වතුකර නායක පී. දිගම්බරම් සමඟද රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සාකච්ඡා කර ඇති අතර මෙම සටහන ලියන විටත් එහි ප්‍රතිඵල වාර්තා වී නොතිබිණි.

මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිහිටුවන අමාත්‍යංශ විෂයයන් සංයුක්ත අමාත්‍යංශය එක් අමාත්‍ය විෂයකට ගොනු කළ හැක. විසිර ගිය විෂයන් ඒකරාශි කොට අමාත්‍යංශ ස්ථාපිත කෙරෙයි. උදාහරණ ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන ආදී විෂයන් සියල්ල අධ්‍යාපන අමාත්‍යංශයට ගොනු කෙරේ. කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත පශු සම්පත් සංවර්ධන, වතු යටිතල පහසුකම් ආදී විෂයන් එක් අමාත්‍යංශයක් යටතට පත්කෙරෙනු ඇතැයි කියැවේ. මේ ආකාරයට අමාත්‍යංශවල විෂය පථයන් පුළුල් කොට ඒවායේ ප්‍රතිපත්ති සම්පාදන කොටස කැබිනට් අමාත්‍යවරයාට පැවරෙයි. එසේම ඔහුට විෂය කාර්ය ගණනක්ද වෙන් කෙරේ. ඉතිරි විෂයන් කැබිනට් නොවන අමාත්‍යවරුන්ට පැවරෙයි.

කැබිනට් නොවන අමාත්‍යවරුන් ගැන සඳහන් කිරීමේදී හිටපු මහ බැංකු අධිපති අජිත් කබ්රාල් හා ගම්පහ නියෝජනය කරන ආචාර්ය නාලක ගොඩහේවා යන දෙදෙනාට කැබිනට් නොවන අමාත්‍ය පදවි හිමිවන බව වාර්තා වෙයි.

අප වෙත ලැබෙන නවතම තොරතුරු අනුව විෂය කාර්යයන් වෙනස් නොවන අමාත්‍යංශ කිහිපයක්ද වෙයි. මුදල් අමාත්‍ය ධුරය දිගටම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දරනු ඇත. සෞඛ්‍ය අමාත්‍ය පදවිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, වරාය හා මහාමාර්ග අමාත්‍යංශය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් දරනු ඇති අතර වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට වඩාත් වගකීම් සහිත විෂයක් පවරා දෙනු ඇතැයි වාර්තා වෙයි. මේ හැර ජනමාධ්‍ය විෂය මාධ්‍යයටද සම්බන්ධව සිටි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුට හිමිවීමට ඉඩ තිබේ. ජල සම්පාදන අමාත්‍යධූරය වාසුදේව නානායක්කාර මහතාට හිමිවීමට ඉඩතිබෙන අතර කම්කරු අමාත්‍යධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහින්ද අමරවීරට හෝ නිමල් සිරිපාලද සිල්වා යන දෙදෙනාගෙන් කෙනෙකුට හිමිවීමට ඉඩ තිබේ.

පාර්ලිමේන්තුවේ කතානායක පදවිය ඉතාමත් වැදගත් තීරණාත්මක තනතුරකි. ඒ සඳහා මුලසිටම නම් ගණනාවක් යෝජනා විය. මුලින්ම යෝජනා වූයේ මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නමයි. එහෙත් ඉන් අනතුරැව මහාචාර්ය පීරිස්ට වගකිවයුතු කැබිනට් විෂයක් පවරාදීමට තීන්දු කෙරිණි. අනතුරැව කතානායක පදවියට යෝජනා වූයේ 1983 සිට පාර්ලිමේන්තුවේ සිටින මහින්ද යාපා අබේවර්ධන හිටපු අමාත්‍යවරයාගේ නමයි. චමල් රාජපක්ෂ මහතාටද ඒ සමඟ කතානායක පදවියට ආරාධනා කැරිණි. ඔහු මුලසිටම එයට අකමැත්ත පළකළ බැවින් මෙම සටහන ලියන අවසන් මොහොතේ වාර්තා වූයේ මහින්ද යාපා අබේවර්ධන මහතාට කතානායක පදවිය භාරදීමට රජය තීන්දු කර ඇති බවය. නියෝජ්‍ය කතානායක පදවියට මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත්කෙරේ.

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන උගත් විද්වත් පිරිසකට මෙවර මන්ත්‍රී පදවි පිරිනැමීමට තීන්දුකර ඇත. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ගෙවිඳු කුමාරණතුංග, අලි සබ්‍රි, අජිත් නිවාඩ් කබ්රාල්, නීතිඥ සාගර කාරියවසම්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ නියත වශයෙන්ම මන්ත්‍රී ධුරවලට පත්කෙරෙනු ඇතැයි කියැවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවලටද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් වෙන්කර තිබේ. මේ සියල්ල ගැටගසාගෙන වත්මන් ව්‍යවස්ථාව අනුව වසර 2025 අගෝස්තු මාසය දක්වා ආණ්ඩුව පවත්වාගෙන යන්නට නීතිමය වරමක් ඇත. එහෙත් පවත්නා ජාතික ජාත්‍යන්තර අර්බුද මධ්‍යයේ ආණ්ඩුව නැමැති යාත්‍රාව උඩු ගං බලා පැදවීම පහසු කරුණක් නොවේ.

රන්ජිත් ආනන්ද ජයසිංහ
Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More