පුරවැසි කොලම

මෙම ලිපිය ප්‍රසිද්ධ වනවිට සමහරවිට පොහොට්ටුව නව රජයක් පිහිටුවා තිබීමට ඉඩ ඇත. එම රජය බොහෝ දුරට බැසිල් රාජපක්ෂ මහතා අවසාන මැතිවරණ වේදිකාවේ පැවසූ පරිදි හා ප්‍රදීප් චාතක මහතා පූර්ව නිගමණය කර තිබූ ආකාරයට සාමාන්‍ය බහුතරයකට වැඩි එහෙත් තුනෙන් දෙකක බලයකට අඩු බලයක් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් විය හැක. ප්‍රථමයෙන් එම රජයට අපගේ සුභාසිංශණය පිරිනමනු කැමැත්තෙමු.

ගෝඨාභය මැතිඳුන්ගේ ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේ රට නොබෙදන රට ගොඩගන්න නව ව්‍යවස්ථාවක් ගෙන එන බවයි. කෙසේ වුවද 69 ලක්ෂයක ජනතාවගේ අභිප්‍රාය උද්දීපනය කිරීමට තරම් ආකර්ෂණයක් ලැබීමට එම ප්‍රතිඥාව පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරය තුල ආරම්භයේදී පවතින බවක් දක්නට නොලැබුනි. එබැවින් ගෝඨාභය මැතිඳුන්ගේ ජය වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ බලවේග ඒසා උනන්දුවකින් මෙවර පොහොට්ටුව වටා එක්වන ආකාරයක් දකින්නට නොලැබුණි. එසේම පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ලබා දීමට අවශ්‍යතාවය කුමක්දැයි ආරම්භයේදීම නොව ඡන්ද ව්‍යාපාරයේ මැද කාළය පසුවෙන තුරුම රටට ප්‍රකාෂ කිරීමක් දක්නට නොලැබුනි. මැතිවරණයේ අරමුණ 69 ලක්ෂයේ අරමුණ සමග සමපාත නොවී ඉබාගාතේ යන බවක් පෙනෙන්නට තිබුනි. පොහොට්ටුවේ මෙම නොපැහැදිලි ස්වභාවය හේතුකරගෙන ඡන්දයේ තීරක බලපෑම සිදුකරණ කොටස උකටලී ස්වභාවයකට පත්කිරීමට පත්වෙන බව දකින්නට තිබුණි. මෙම සංසිද්ධියේ හැරවුම් ලක්ෂය ජූලි 16 දින සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ කතිකාවත දැක්විය හැක. ගෝඨාභය මහතා වටා එක්වූ ජාතික සංවිධාන වැඩිම ප්‍රමාණයක් මෙවර මැතිවරණය වෙනුවෙන් ස්වෙඡාවෙන් එකතුවූ එකම අවස්ථාව එය ලෙස දැක්විය හැක. එහිදී මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් අභීතව සහ දැඩිව ප්‍රකාෂ කර සිටියේ 13 A හි අඩ ගැලවෙන සංශෝධන ගෙන ආ හැකි සුළු සංශෝධන රිංගවිය හැකි ලෙස 19 A අවලංගු කිරීමේ උගුලට පය නොතබන ලෙසයි. මාධ්‍යයවලින් ලැබුන ප්‍රසිද්ධිය ඉතා ස්වල්ප වුවද එතැන් පටන් ගෙවී ගිය දෙසතියකට මදක් වැඩි කාළයේදී නැවත පොහොට්ටුව පාර්ශවයෙන් නව ව්‍යවස්ථාවක් ගෙන එමි කියන 69 ලක්ෂයක ජනතාව ගෝඨාභය මහතාට දුන් වරම ඇසෙන්නට විය. එය හුදු 19 A ව්‍යවස්ථාව අහෝසි කිරීමේ ට්‍රෝජන් අශ්වයෙකු නොව ඒකීය ලංකාවක් තුල විෂිශ්ඨ පාලනයක් අති කිරීමේ අවශ්‍යතාවය සනිටුහන් කිරීමක් විය යුතුය.

මේ අනුව, තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමේ අරමුණ බාදාවකින් තොරව අතරමැදි තැරැව්කාර පක්ෂ වලට යටත් නොවී නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සඳහා යැයි අවසානයේදී හෝ පොහොට්ටුව විසින් ප්‍රකාෂ කරන ලද නමුදු ඇතිවී තිබෙන තත්ත්වය මත පහසුවෙන් එය සිදුකර ගැනීමට අපහසු භාවයක් ඇති බව පෙනී යන නමුත් මෙම තත්ත්වය වඩා යහපත්ව කළමණාකරණය කරගත හැක. එනම් කැබලි වශයෙන් 13 A හා 19 A අහෝසි කර ගැනීම සඳහා කාළය වැයකිරීම නොව අනර්ථකාරී විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අර්ථවත් බලවත් පාර්ළිමේන්තුවට බලය පැවරෙන, චූල පක්ෂවල රූකඩයක් සේ නොනැලවෙන ප්‍රභල ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමට මෙම අවස්ථාව උපයෝගී කරගැනීමයි.

මෙහිදී කරුණු දෙකක් ඔස්සේ අප විධායක ජනාධිපති ක්‍රමයෙන් වෙනස් විය යුත්තේ ඇයි කියා සළකා බැලිය යුතුවේ. පලමු කාරණය විධායක ජනාධිපති ක්‍රමයේ විනාශකාරී ස්වභාවය සහ දෙවැනි කාරණය යෝජිත පාර්ලිමේන්තු ක්‍රමයේ ආකෘතියයි.

පළමුවෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ විනාශ කාරී ස්වභාවය හඳුනා ගත හැක්කේ රටට 2015 දී අත්විඳින්නට වූ ඉරණමයි. එහිදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අසාර්ථකත්වය සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීම නිසා වැළකුණ රට කැබලි වීම විග්‍රහ කළ යුතුවේ.

මහින්ද රාජපක්ෂ මහතාම පසු කාලයක ප්‍රසිද්ධියේ පිළිගත් කාරණයක් වුයේ තම කාළය තුල විනය පිරිහීමක් ඇතිවුන බවය. උදාහරණ ලෙස කිහිපයක් ගතහොත් ග්‍රාම සේවක ගස් බැඳි මර්වින් සිල්වා මහතාට ඳඬුවම් නොකිරීම, නිමල් ලන්සා මහතාගේ කුඩු වැටලීම සිදුවීමේදී ක්‍රියාකල ආකාරය, සාරුවා සහ තංගල්ලෙ හෝටලයකදී විදේශීය කාන්තාවක් දූෂණය කල සිදුවීම් වලදී චූදිතයින් ආරක්ෂා කරලීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සහ තාජුඩීන්ගේ මරණය පිළිබඳව එල්ලවූ සැකයන් ඔස්සේ පරීක්ෂණ යොමු නොවීම, එක්නැලිගොඩ අතුරුදහන් වීමේදී ඇඟිල්ල එල්ලවූ දේශපාලන සුපිරි චරිත වලට එරෙහිවූ චෝදනා විභාග නොවීම, මර්වින් සිල්වා මහතාගෙන් සහ ඔහුගේ පුත්වරුන්ගෙන් සිදුවන අකටයුතුකම් හමුවේ ක්‍රියා නොකරන්නේ කුඩු කෑමේ සංසිද්ධියක් බැවින් බව ජනගතවීම සහ නිල් බලකායේ සෙල්ලක්කාරකම් හමුවේ පීඩාකාරී ස්වභාවයක් ඇතිව තිබුනද ඒවා ගැන සොයා නොබැලීම දැක්විය හැක. මේ සියල්ලම යටපත් වූයේ විධායක ජනාධිපති දූරයේ අධික බලපෑම නිසා බව ජනගතවූ කරුණකි.

මෛත්‍රීපාල මහතා ජනාධිපති වීම රට කැබලිවීමෙන් බේරීමට ඉවහල් වූයේ යැයි පැවසීමෙන් ඉන් මහින්ද මහතා සිටියේනම් රට කැබලි වෙන්නට තිබුනේ යැයි අදහස් නොවේ. මෙහිදී සැළකිය යුතු කරුණ වන්නේ යම් හෙයකින් මෛත්‍රීපාල මහතා එසේ ජනාධිපති නොවී එජාපයෙන්ම කෙනෙක් ජනාධිපති වූවානම් සිදුවිය හැකිව තිබූ අනර්ථයයි. බටහිර සහ එජාප සහ ජවිපෙද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සිතූ ආකාරයටම මෛත්‍රීපාල මහතා පූර්ණකාලීන රෑකඩයෙකුව නැටවිය හැකි වුනි නම් මේ වනවිට අපට ඒකීය රටක් තුල මෙවර මැතිවරණයක් ගැන කතා කිරීමට සිදු නොවන්නට ඉඩ තිබුණි. රට කැබලි වීමට 13 A සම්පූර්ණයෙන් නොදීමවම කළ යුතුව තිබුනේ උතුරට සහ නැගෙනහිරට කොටි හිතවාදී ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කිරීම සහ ඔවුන් දෙදෙනාට අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ දීමයි. එසේ වූවානම් සියළු කටයුතු කොටි පැතූ ආකාරයට සිදුවිය හැකිව තිබුණි. යම් කිසි බලවේගයක්, එනම් ජාතික සංවිධාන සහ මහා සංඝරත්නයේ දැඩි මත ප්‍රකාෂ කිරීම් හමුවේ මෛත්‍රීපාල මහතාගේ මනස සම්පූර්ණයෙන් ආක්‍රමණය කිරීමේ බටහිර උපාය, එජාප, ජවිපෙ සහ චන්ද්‍රිකා මැතිණියට නොහැකි විය. යම් හෙයකින් මෛයිත්‍රීපාල මහතාට තම පාලන කාලය සම්පූර්ණ වන තෙක් සිටීමට නොහැකි වූවේනම් අනිවාර්‍යයෙන් ජනපති බවට පත්වන්නට ඉඩ තිබුනේ රනිල් වික්‍රමසිංහ මහතාවේ. එක දිනකට හෝ එසේ වූවානම් සිදුවිය හැකි විනාශය කිව යුතු නොවේ.

මෙම කරුණු දෙක අද්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ විධායක ජනාධිපති තනතුර යනු අප හිස මත හීනි නූලකින් එල්ලා ඇති තියුණු අසිපතක් බවවේ. එබැවින් කොයි මොහොතේ හෝ අප හිස මත වැටෙතැයි සිතිය හැකි එම අසිපත සම්පූර්ණයෙන් ඉවත් කිරීම සිදුකළ යුතු වන්නේය.

ඊළඟට අවධානය කලයුතු වන්නේ විධායක ජනාධිපති තනතුර නොමැති රජයක ආකෘතිය කුමක්ද යන්නයි. මෙහිදී වසර 1977 ආසන්නයේ හෝ ඉන් පසුව ඉපදුන අය හට මෙම වෙනස එක්තරා ආකාරයකට අභියෝගයක් ලෙස පෙනෙනු ඇත. එනම් පැවතිය නොහැක්කක් ලෙස පෙනෙනු ඇත. ඔවැනිම ගැටළුවක් පළමු වතාවට 1977 දී දිනෙක “අගමැති බලතල ජනාධිපතිට හිමිවන නව ව්‍යවස්ථාවක්” යන්න පුවත්පත් වල ප්‍රධාන මාතෘකාව ලෙස දුටු විට හා එදින උදයේ ප්‍රවෘති වලට සවන් දෙන විට අපටද ඇතිවුණි. එදවස සිරිමාවෝ සිරිමාවී සමගි පෙරමුණ රජය ශාපලත් රජයක්ව පැවතී ඉන් මිදී සුළු කාළයක්ව පැවති අතර ජනාධිපති ලෙස ප්‍රදර්ශණය වී තිබුනේ ලකිසුරු විලියම් ගොපොල්ලව සිරිමතාණන් වේ. ශාපලත් රජයේ අගමැති පමණක් නොව බොහෝ අවස්ථාවල වැඩ බලන අගමැති ධූරය දැරූ මෛත්‍රීපාල සේනානායක මහතා පවා එකළ ලකිසුරු ජනාධිපති විළියම් ගොපොල්ලව මහතාට වැඩිය බලවත් චරිත වූහ. එසේම නව අගමැති ලෙස පත්ව සිටි ජේ. ආර්. ජයවර්ධනයන් අති ප්‍රභල අගමැති කෙනෙක් ලෙස අප සිත් තුල සටහන්ව පැවතුනි. එබැවින් යෝජිත ජනාධිපති පදවිය සඳහා කුමණ මාදිලියේ බලයක් ඇතිවේද යන්න අපටද ගැටළුවක් විය. යම්කිසි හෝ ඡායාවක් වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති වන බවත් ආර්. ප්‍රේමදාස මහතා අගමැති වන බවත් පැවසීමවේ. මෙහිදී ඇතිකරනු ලබන ජනාධිපති තනතුරේ බලය කෙතෙක්දැයි හුවා දැක්වීම සඳහා ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් පැවසුවේ “යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මට පිරිමියෙක් ගැහැණියෙක් කිරීම හෝ ගැහැණියක් පිරිමියෙක් කිරීම හැර අන් සියල්ල සිදුකල හැකි” බවයි. ඉක්බ්තිව ජේ. ආර්. විසින් විධායක බලය රංකිරි කට ගානු ලැබුවේ සිරිමා බින්දුමතී බවට පත්කර ඇගේ ප්‍රජා අයිතියද අහෝසි කිරීමෙනි. මෙම කරුණ මෙහිලා සඳහන් කිරීමට සිදුවුනේ පෙර පැවතියාවූ දියාරු ජනපති වෙනුවට ප්‍රභල චරිතයක් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරේ සිටීමත්, පහුගිය අනර්ථකාරී යහපාලන රජය සමයේ අගමැති තනතුර දැරූ පුද්ගලයා විසින් රටට හා ජාතියට කොපමණ හතුරු කම්කර තිබේද, එවන් පාර්ලිමේන්තුවකට විධායක බලය පවරන්නේ කෙසේද යැයි කුකුසක් සහ දෙගිඩියාවක් පවතින බැවිනි.

මෙහිදී ප්‍රථමයෙන් පැවසිය යුතු වන්නේ යෝජිත ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ක්‍රියාත්ම කරනු ලබන්නේ ඊළඟ මැතිවරණයෙන් පසුව බවයි. එනම් ලබන අගෝස්තු 5 වන දිනෙන් පසුව පත්වන මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම හොබවන රජය පත්වී අඩුම තරමින් වසර හතරාමාරකින්, එනම් 2025 පෙබරවාරි හෝ මාර්තු මාසයේ පමණ විය යුතුයි. එය 2025 හේ අගෝස්තු මාසය වුවද විය හැක. ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ධූර කාළය අවසන්ව දෙවන ධූර කාළය ආරම්භවී තිබිය හැකි යැයි අනුමාණ කල හැක. එවිට රටෙහි ආකෘතිය මහින්ද රාජපක්ෂ මහතා 1977 වසරේ පැවති පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ලකිසුරු විළියම් ගොපල්ලව මහතාගේ තනතුරේද ගෝඨාභය රාජපක්ෂ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හෙබවූ පාර්ලිමේන්තුවට වගකියන අගමැති තනතුරේද පැවතිය හැකි වෙනු ඇත. එසේ නොවන්නේනම් නැවතත් එකමුතුවූ එක්සත් ජාතික පක්ෂයෙන් එම තනතුරු ද්විත්වය හොබවනු ලබනු ඇත.

මෙම පැහැදිලි කිරීම ඉතා සරලලෙස පිහිටවනු ලබන රාජ්‍යයේ ඉහල සංයුතිය දක්වන ලද නමුදු එම රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මංත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත්වන ආකාරය යන්න දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනිවාර්‍යයෙන් වෙනස් වේ. පළාත් සභාද අහෝසිව ගොස් ඇති අතර ඒකීය රාජ්‍යයක් තුල උපරිමව බලය බෙදිය හැකි වෙනත් විකල්පයක් හඳුන්වා දිය යුතුවේ. විදේශ සමග ඇතිකරගනු ලබන සියළුම ගිවිසුම් විනිවිදභාවයෙන් යුක්තව මහජනයාගේ අවධානයෙන් සහ අනුමැතියෙන් යුක්තව සිදුකිරිම, කාරක සභා අවස්ථාවලදී අධිකරණයෙන් අනුමත මූලික කරුණු වලට අමතර කරණු පනතකට ඇතුලත් කර ඇතිනම් එම කරුණු පාර්ලිමේන්තුවේ සම්මත වුවද ජනතාවට අධිකරණයට යෑමට බලය ලබාදීම ආදී කරුනු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වනු ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 A හෝ 19 A හි පැවැත්මක් නැත. රණවිරුවන් පාවාදුන් සියළු අනපනත් අහෝසිකර ඇත. අස්වාධීන ඊනියා කොමිෂන් සභා අහෝසිකර ඇත.

මෙවන්වූ සංයුතියක් ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය වීමට අවශ්‍ය බලය ලබාදීමට එජාපයෙන් හා සජබයෙන් පත්වන අවශ්‍ය මංත්‍රීවරු ගනන ලබා ගැනීමට හැකිවනු ඇත. එවිට මෙය පොහොට්ටුවේ 2/3 ක බලයකින් නොව ඊට එපිටින් ගිය අද්විතීය සදාචාරාත්මක බලයක් ඇති පාර්ළිමේන්තුවේ 2/3 නියෝජනය කරන බලයකින් සම්මත වුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වනු ඇත. ඒ සඳහා කටයුතු කිරීම දේශ ප්‍රේමී ජනතාවගේ සහ සංවිධානවලද ඉදිරි කාර්‍යයක් වනු ඇත.

යසස් ධර්මදාස
(මෙය නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ නිල වාර්තාවක් නොවන අතර මාගේ පුද්ගලික අදහසකි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More