දේශීය පුවත්

බඩු මිල අඩුකරන බවට, ජනතාවට සහන ලබාදෙන බවට පොරොන්දු දෙමින් පසුගිය නොවැම්බරයේදී බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව යටතේ ගොවීන්ට සීනි කිලෝ එකක් මිලදී ගැනීම සඳහා තක්කාලි කිලෝ 06 ක් විකිණීමට සිදුව ඇති බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

එතරම් අසරණ වී සිටින ගොවි ජනතාවට, රාජපක්ෂ සහෝදරවරුන් සමච්චල් කරමින් සිටින බව පෙන්වා දෙන විද්‍යාරත්න මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් ලක්ෂ 69 ක ජනතාවට යුතුකම් ඉටු කරන්නේ මේ අයුරින්දැයි විමසා සිටී.

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා,

‘රාජපක්‍ෂ ආණ්ඩුව බලයට ඒම පෙර ජනතාවට දෙන විශාල සහන මල්ලක් ගැන කතා කරනවා. සෞභාග්‍යයේ දැක්ම තුළිනුත් එය ප්‍රකාශයට පත් වෙනවා. නමුත් අද වනවිට  දී තිබුණු සහනත් උදුර ගනිමින් ඉන්නවා. එදා තෙල් මිල අඩු කරන්න කියලා රාපක්‍ෂගේ ගෝල බාලයෝ විපක්‍ෂයේ ඉන්නකොට ගොං කරත්තවලින් පාර්ලිමේන්තුවට ආවා ඔබට මතක ඇති. නමුත් අද ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස අඩුවී තිබියදී එම සහනය ජනතාවට දෙන්න බැරි රාජපක්‍ෂ ආණ්ඩුව අයි.ඕ.සී. එකට දෙනවා. කොරෝනා වසංගතය නිසා අඩපණ වූ ජන ජීවිත තවම යථාවත් වෙලා නැහැ. ඒ තුළ ආර්ථික අර්බුදයත් වේගවත් වෙලා. පසුගිය මාර්තු 18වැනිදා ජනාධිපතිවරයා ජාතිය අමතලා පරිප්පු කිලෝ එක රු. 65ටත් සැමන් ටින් එක රු. 100ටත් දෙනවා කියලා කිව්වා. දැන් ජාතිය අමතන්නෙම නැතුව පරිප්පු සැමන් විතරක් නෙවෙයි ජනතාවට එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු බඩුවල මිල ඉහළ දමලා. මේ රටේ සමෘද්ධියෙන් යැපෙන 16,00,000ක් පමණ ජනතාව ඉන්නවා. රටේ ජනතාවගෙන් 45%ක දෛනික ආදායම ඩොලර් 2ටත් අඩුයි. දැන් රු. 65 පරිප්පු 170යි. 100 සැමන් එක 280යි. හොඳ පොල්තෙල් බෝතලයක් රු. 500 ඉක්මවලා. රු. 97 සීනි 150 වෙලා. කහකුඩු කිලෝ එකක් රු. 7500ක් වෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් රු. 750ක් වෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ටිකේවත් මිල අඩු කරන්න බැරිනම් එවැනි ආණ්ඩුවක් රටකට කුමකටද? අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකටම බදු ගහල. රටේ ජනතාව අනුභව කරන බත්පතේ වෑංජන ගණන අඩුවෙලා. ගුණාත්මක බව පහළට වැටිලා. එහෙම වෙද්දිත් මැති ඇමතීන්ගෙ අනවශ්‍ය නාස්තිය හා දූෂණය ඉහවහා ගිහිල්ලා. අපි ආණ්ඩුවට බල කරලා කියනවා තෙල් සහ ආහාර මිල වහාම පහත හෙළන්න කියලා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට එන්න ඉස්සෙල්ලා කිවුවා මේ රටේ දුප්පත් කාන්තාවන් අරන් තියෙන ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා කියලා. ලීසිං සහන දෙනවා කිවුවා. වතු කම්කරුවන්ට රු. 1000ක දෛනික වැටුපක් දෙනව කියලා අයියයි මල්ලියි දෙන්නම කිවුවා. දස අතේ පොරොන්දු වුණා. අද ඒ පොරොන්දු අකා මකා දාලා.ලංකාවේ ලක්‍ෂ 21ක් ගොවි ජනතාව ඉන්නවා. ගොවිතැනට අවශ්‍ය පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා. අද ගම්මිරිස් කිලෝ එක රු. 400යි. ගම්මිරිස් ගොවියා ලොකු අමාරුවක වැටිලා. රනිල්ලගේ පාලන කාලේ වියට්නාමයෙන් බාල ගම්මිරිස් ගෙනල්ලා මේ රටේ ගම්මිරිස් ගොවියා අනාථ කළා. මේ ආණ්ඩුවත් කරමින් ඉන්නේ ඒකමයි. ඡන්දෙ දුන් මිනිහගේ බඩු මිල ඉහළට. ගත්ත එවුන්ගේ බඩු මිල පහළට. මේක තමයි මේ ආණ්ඩුවල ප්‍රතිපත්තිය.’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More