පුරවැසි කොලම

2005 ජනාධිපතිවරණය ආසන්නව තිබියදී ඒ වන විටත් දෙවරක් ජනාධිපති ධුරය දරමින් සිටි චන්ද්‍රිකා කුමාරතුංග තෙවන වරටත් ජනාධිපති ධුරයට පත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටියාය. එහෙත් ඒ සඳහා බාධකයක් වූයේ ඇයට තෙවරක් ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට සිදුවීමයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්ද බලයක් අවශ්‍ය විය. එහෙත් එවකට පැවැති සන්ධාන ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ පැවැති මන්ත්‍රිධුර සංඛ්‍යාව අනුව ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට පාර්ලිමේන්තු 2/3ක බලයක් නොවීය.

ඒ වන විට සන්ධාන ආණ්ඩුවේ අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ තුළද ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය පිළිබඳව බලාපොරොත්තුවක් තිබිණි. මහනුවර කුණ්ඩසාලේ ආසනයේ ගල් මඩුවවත්ත ප්‍රදේශයේදී පැවැති එජාපෙ ප්‍රචාරක රැළියක් අමතමින් එවක එජාප නියෝජ්‍ය මහලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර චන්ද්‍රිකා මැතිණියට තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවක් ඇත්නම් ඒ සඳහා එජාපයේ සහාය ලබාගත යුතු බවය. ඒ සඳහා චන්ද්‍රිකා මැතිණිය කළ යුත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී එජාප මන්ත්‍රීවරුන්ගේ සහායෙන් 2/3ක බලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කරන්න එවිට අපිට පුළුවන් චන්ද්‍රිකා මැතිණියට අවශ්‍ය 2/3ක බලය ලබා දීම සඳහා එක්වන්න. තිස්ස අත්තනායක මහතාගේ එම කතාව එදිනම රාත්‍රියේ සියලු රූපවහිනි නාළිකාවල ප්‍රචාරය වූ අතර පසු දින මෙරට පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය වූයේද එම ප්‍රකාශයයි.

එජාපය තුළ තවත් ගින්නක් හට ගන්නේ ඉන් අනතුරුවය. තිස්ස එම ප්‍රකාශය කළ දිනම රාත්‍රියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ තිස්සට දුරකථන ඇමැතුමක් ලබාදුන්නේය.

‘තිස්ස මොකක්ද ඔයා මේ කුණ්ඩසාලේදී කරපු කතාව, චන්ද්‍රිකා දකින දවල් හීන සැබෑ කරගන්න උදව් කරන්න එජාපයට කොහෙත්ම වුවමනාවක් නෑ. තමුන් කරලා තියෙන්නේ වැරදි ප්‍රකාශයක් යැයි එජාප නායක පවසද්දි ‘නෑ සර් මම එහෙම කීවේ මහින්දයි චන්ද්‍රිකා දෙන්නා අවුළවන්න. මෙලහකටත් මහින්දලා අනුරලා චන්ද්‍රිකාලා එහෙම ඇවිස්සිලා ඇති. මොකද මහින්දනේ මීළඟට ජනාධිපති වෙන්න බලාගෙන ඉන්නේ. තිස්ස කරන ලද කරුණු පැහැදිලි කිරීමෙන් පසු එජාප නායක රනිල් වික්‍රමසිංහ සිනාසෙනු දුරකථනය ඔස්සේ තිස්සට ඇසුණේය.

එහෙත් පසුදා සිරිකොත මන්දිරයේදී රවි කරුණානායක මන්ත්‍රීවරයා තිස්ස කළ එම ප්‍රකාශය පිළිබඳව දොස් පවරමින් දබර කර ගැනීමට උත්සාහ කොට ඇති බවද වාර්තා විය.

එවක ජනාධිපතිනිය ලෙස කටයුතු කළ චන්ද්‍රිකා කුමාරතුංගගේ තවත් බලාපොරොත්තුවක් වූයේ 2006 දක්වා ජනාධිපති ධුරයේ රැඳී සිටීමය. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් ලබාගැනීමට ඇය ගත් උත්සාහයද අසාර්ථක වූයේ 2006 දක්වා ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ඇයට නීතිමය බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය කළ දැනුම්දීම නිසාය.

ඒ වන විට ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්වී ආණ්ඩුවට සහය පළ කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයන් එම ඇමැති ධුරවලින් ඉවත්ව ගොස් සිටියහ.

ඒ අනුව 2005 වසරේදි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට සිදුවූවාය. එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබුණේ එකච්ඡන්දයෙනි.

එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව පක්ෂය තුළ මත කිහිපයක් පැවැතියේය. ඒ වන විට අගමැති ධුරය ඉසිලූ මහින්ද රාජපක්ෂ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය හා සන්ධාන ගත වී සිටි පක්ෂවල නායකයන් හා බහුතරයක් මැතිඇමැතිවරුන් යෝජනා කළ අතර ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සිටියේ දෙගිඩියාවකිනි. සන්ධාන ආණ්ඩුවෙම විදේශ කටයුතු ඇමැතිවරයා වූ අනුර බණ්ඩාරනායකට සන්ධානයෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදිය යුතු බව එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අදහස වී ඇතැයි මාධ්‍ය ප්‍රචාරය කළද ඇය ඒ පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියාය. සන්ධානයේ ජනාධිපති ධුර අපේෂකත්වය පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු හා එවක ඇමැතිවරයකු වූ අලෙවි මව්ලානාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පවා පත්කිරීමට ජනාධිපති චන්ද්‍රිකාට සිදුවූවාය. එම කමිටුවේ නිර්දේශය වූයේද සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවය. එමෙන්ම ඔහු ජනාධිපතිවරයා වුවහොත් අනුර බණ්ඩාරනායක මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදිය යුතු බවටද එම විශේෂ කමිටුව යෝජනා කොට තිබිණි.

එජාප ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට උතුරේ ජනතාවගේ සහාය ලබා දීමට නම් එල්.ටී.ටී.ඊ. සංවිධානයට උතුරේ ස්වයං පාලනයක් ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කෙරුණේ මේ අතරතුරය. එහෙත් එම ඉල්ලීම එජාප ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අවඥාවෙන් ප්‍රතික්ෂේප කළේය.

2005 ජනාධිපතිවරණයේ ආරම්භයේ සිටම එජාප ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවට රටේ බහුතරයකගේ අදහස වී තිබුණේය. රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වූයේද එයමය. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ස්වයං පාලන අයිතිය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට උතුරේ ද්‍රවිඩ ඡන්ද නොලැබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා ඒවන විටත් දැනගෙන සිටියේය.

අනුර බණ්ඩාරනායක මහතා මීළඟ ආණ්ඩුවේ අගමැතිවරයා විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණද 2005 ජනාධිපතිවරණයේදී ඔහු මහින්ද රාපජක්ෂට සහය පළනොකර මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිටියේය. ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරන රැස්වීම්වලට සහභාගි නොවූ අතර මීරිගමදී පැවැති රැස්වීමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට පෙර රැස්වීම් වේදිකාවෙන් පිටව ගොස් තිබිණි.

සුනාමි සහන මණ්ඩල ප්‍රශ්නය මත ඒවන විට සන්ධාන ආණ්ඩුවේ අමාත්‍ය ධුර පවා අතහැර දමා සිටි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයේදී සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂට උපරිම සහාය පළකිරීමට තීරණය කර තිබිණි. සන්ධාන ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර තිබුණේ ඒවන විටත් මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් සිටි මංගල සමරවීර මහතාය.

2005 නොවැම්බර් මස 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ ඡන්ද 4887152 (50.29%) ලබාගත් අතර එජාප අපේක්ෂක රනිල් වික්‍රමසිංහට හිමිව තිබුණේ ඡන්ද 4706366 (48.43%)කි. ඒ අනුව වැඩි ඡන්ද 180786කින් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ එජාප අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ක්‍රේම්බ්‍රිජ් ටෙරසයේ 5 වන පටු මගේ පිහිටි නිවසේ රැස්ව සිටි එජාප මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණ පරාජය පිළිබඳව විවිධ අදහස් දැක්වූවද ඒ කිසිදු කතාබහකට සම්බන්ධ නොවූ රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් කී දෑ නිහඬව අසා සිටියේය. කෙසේ වෙතත් ඔහුගේ මුහුණේ කිසිදු දුකක් හෝ පසුතැවීමක් දක්නට නොලැබිණි. මේ අතර එහි සිටි ඇතැම් මන්ත්‍රීවරුන් හා ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කලකට හෝ විවේක ගත යුතු බවය.

මේ අතර එම සාකච්ඡාවකට අහම්බයකින් සම්බන්ධ වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිය වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ‘ටික දවසකට නෙවි අනේ මමනම් කියන්නේ දැන් මෙයා සම්පූර්ණයෙන්ම දේශපාලන කටයුතුවලින් විවේක ගන්න කාලය ඇවිත් කියලයි’ යැයි පැවැසුවාය.

මම අධ්‍යාපන කටයුත්තකට ඇමරිකාවට යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මෙයාට ජනාධිපතිවරණයට කලින් දවසෙත් කතා කරලා කිව්වා මාත් එක්ක එහේ යමු කියලා. එතකොට මෙයා ඒ ගැන මොකුත්ම කීවේ නෑ. ඇය වැඩිදුරටත් එහිදී පැවැසුවාය. මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය එම ජනතා තීන්දුව පිළිබඳව කලකිරීමකට පත්වී සිටියද රනිල් වික්‍රමසිංහ මහතා තමන් ලැබූ අනපේක්ෂිත පරාජය ගැන කිසිඳු කලකිරීමකින් නොසිටියේය.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ද එදින රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට වැඩම කර සිටියහ. ජනාධිපතිවරණයෙන් සතියකට පසු රනිල් වික්‍රමසිංහ මහතා එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පස්වන පටුමගේ පිහිටි ඔහුගේ නිවසට කැඳවා පවසා තිබුණේ නව අගමැතිවරයෙක් පත් කළ පසු ආරක්ෂක ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කොට ඒ සියල්ල විසඳාගෙන කෙටි කලකට ඇමරිකාවට ගොස් කෙටි විවේකයක් ලබාගැනීමට තමාගේ අදහසක් ඇති බවය. ඒ වන විට මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ද අධ්‍යාපන කටයුත්තක් සඳහා ඇමරිකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටියාය.

විපක්ෂ නායක ධුරයෙන් ඉවත් වී එජාප නායකයා ලෙස පමණක් කටයුතු කිරීමටත් තමාගේ අදහසක් ඇති බව එහි සිටි මන්ත්‍රීවරුන්ට ඔහු පවසා තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ එම අදහස එවක එජාප මන්ත්‍රීවරයකු වූ රාජිත සේනාරත්න බීබීසි සංදේශය වැඩසටහනට ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කොට ඇති බවය. බී.බී.සී. සංදේශය වැඩසටහනෙන් රාජිත සේනාරත්න කළ ප්‍රකාශය අසා කලබල වූ පිරිස් දිගින් දිගටම විමසුවේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කොට ඇත්දැයි යනුවෙනි. රාජිත සේනාරත්න මහතාගේ එම ප්‍රකාශය නිවැරැදි කරමින් විපක්ෂ නායක ධුරයෙන් පමණක් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමට තීරණය කොට ඇති බවට නිවේදනයක් පවා නිකුත් කිරීමට එජාප මාධ්‍ය අංශයට සිදු වුණි.

මේ අතර එම ප්‍රකාශය මත එජාපයේ බෙදීමක් මතු වූ අතර රාජිත සේනාරත්න, මනෝ විජේරත්න, මහින්ද විජේසේකර, එස්.බී. දිසානායක, රුක්මන් සේනානායක, ධර්මදාස බණ්ඩා යන මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්විය යුතු බව ප්‍රකාශ කරද්දී ලක්ෂ්මන් සෙනෙවිරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, සාගල රත්නායක, තිස්ස අත්තනායක වැනි මන්ත්‍රීවරුන් පිරිසක් කියා සිටියේ නිවිහැල්ලේ සිට ඒ පිළිබඳ නිගමනයකට එන ලෙසය. රනිල් වික්‍රමසිංහ මහතා මලික් සමරවික්‍රම මහතාට පවසා තිබුණේ අවශ්‍ය නම් එජාප නායක ධුරයත් කරු ජයසූරිය මහතාට ලබාදීමට හැකි බවය. එහෙත් එම ප්‍රකාශ කරද්දි රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ දෙගිඩියාවකින් බව තිස්ස අත්තනායක මහතා මේ ලියුම්කරුට පවසා තිබුණි.

රංජිත් ගුණවර්ධන

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More