පුරවැසි කොලම

කොහුබත් අපනයනය කරන බවට වන ව්‍යාජ ලේඛන රේගුවට ඉදිරිපත් කර, කලක පටන් මහා පරිමාණයෙන් කසළ තේ ඉරාකයට අපනයනය කරන ජාවාරමක් අල්ලා ගැනීමට රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය සමත්වී ඇත.

මේ ජාවාරමෙන් හෙළිවන තවත් වැදගත් ප‍්‍රවෘත්තියක් වන්නේ මෙසේ ඉරාකයට ගිය සියලූම කසළ තේ තොග ශ‍්‍රී ලංකාවේ උසස්ම තේ බවට මෙම තේ ඇසුරුම්වල සඳහන්ව තිබීමය. එනම්, මේ ජාවාරම්කරුවන් විසින් කෙළෙසා දමා ඇත්තේ ‘සිලෝන් ටී’ නොහොත් ශ‍්‍රී ලංකාවේ උසස් තේ නාමයය.

ශ‍්‍රී ලංකාවේ තේ ගැනුම්කරුවන් අතර ඉරානය මෙන්ම ඉරාකය වැදගත් තේ ගැනුම්කරුවන් වන අතර, ඔවුන් දෙවැනි වන්නේ සුවිසල් තේ ගැනුම්කරු වන රුසියාවට පමණි. එක් අතකින් මෙවන් ස්ථිර තේ ගැනුම්කරුවකු සඳහා සිදුකරන වංචාව ශ‍්‍රී ලංකාවට අනාගතයේදී නරක ප‍්‍රතිපල උදාකරදෙනු ඇත. එය හරියට යහපාලන රජය සමයේදී රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයා (හා එම ආණ්ඩුව) විසින් ශ‍්‍රී ලංකාවේ උසස් ගම්මිරිස් බවට හඟවා වියට්නාමයෙන් බාල ගම්මිරිස් කෙලින්ම ඉන්දියාවට පටවා ශ‍්‍රී ලංකාව ඇනගත් ඇනගැනිල්ලට සමාන වන්නකි.

එනම්, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ඇතිකරගත් වෙළෙඳ ගිවිසුම  (Sri Lanka-India Trade Agreement) පරිදි ශ‍්‍රී ලංකාවේ උසස්, ගුණාත්මක ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීමට අපට අවස්ථාව උදාවිය. එනමුත්, එහි බොරදියේ මාළු බාන්නට තීන්දු කළ හිටපු වෙළෙඳ ඇමැති තම හිතවතුන්ට වියට්නාමයෙන් බාල ගම්මිරිස් තොග පිටින් ඉන්දියාවට පටවන්නට අවස්ථාව ලබා දුන්නේය. අවසානයේ එයින් නරක ප‍්‍රතිපල රැුසක් අපට ඉතිරි විය. එකක්, ඉන්දියාව අපේ ගම්මිරිස් ප‍්‍රතික්ෂේප කිරීමය. අනෙක දේශීය ගම්මිරිස් මිල පහත වැටී අපේ ගම්මිරිස් ගොවියා දිවි නසාගන්නා තැනට පත්වීමය. මේ හේතුවෙන් අපට තවමත් ගම්මිරිස්වලින් විදේශ ආදායමක් නොලැබෙන තරම්ය.

සුද්දාගේ කාලයේ පටන් නමක් දිනාගෙන සිටි සිලෝන් ටී නාමයටත් දැන් සිදුවී තිබෙන්නේ ඒ ටිකමය. කසළ තේ ගැටලූව සෑහෙන කලක පටන් ඔඩු දුවන තුවාලයකි. සෑම තේ කම්හලකම කසළ තේ නිෂ්පාදනය වන අතර, එම කසළ තේ අදාළ කම්හල් ඉඩමේ හෝ තේ වගාව තුළ විනාශ කිරීම (Denature) තේ පනතේ දක්වා ඇති නීතියකි. තේ මණ්ඩලයේ තේ පරීක්ෂකවරයා පැමිණ මෙම කසළ තේ තොග විනාශ කිරීමට අනුමැතිය ලබාදීම සාමාන්‍ය නීතියකි. අවසානයේ කසළ තේ (තේ නිෂ්පාදනයේදී ඉවත් කෙරෙන තේ රොඩු) වගාවේ කොම්පෝස්ට් බවට පත් කෙරේ. නමුත් එය පොතට පමණක් සීමා වූ නීතියකි. සෑම තේ කම්හලකම කසළ තේ අද කළු කඩයේ විකිණේ. කසළ තේ ජාවාරම්කරුවන් අතරට යන අතර ඊට දර දිය අදින්නේ තේ මණ්ඩලය බව රහසක් නොවේ. තේ මණ්ඩලය තම වගකීම හරිහැටි ඉටුනොකර කසළ තේ ජාවාරම්කරුවන්ගේ තුරුලේ නැළවෙන තවත් නාකොටික් පිරිසක් බවට පත්වී සිටින බව කියන්නේ අප නොව තේ කර්මාන්තයේ යෙදී සිටින අවංක තේ කර්මාන්තකරුවන්මය.

අද මෙසේ නිමි කළු තේ බවට පත්වී හොර රහසේ රට රටවලට යන්නේ මෙම කසළ තේ තොගය. මෙම කසළ තේ, කළු තේ (Black Tea) බවට පත්වන්නේ නිකම්ම නොවේ. ඒ සඳහා ඩයි වර්ග, නොයෙක් රසායන වර්ග, අළුහුණු, පොටෑසියම් පර්මැන්ගනේට් වැනි ද්‍රව්‍ය එකතුකරනු ලැබේ. සිලෝන් ටී ලෙස අපනයනය වන්නේ මෙවන් කසළ තේ ය.

වාර්තා වන පරිදි මෙසේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කසළ තේ අපනයන කරද්දී කොටුකරගෙන ඇත්තේ ප‍්‍රධාන පෙළේ තේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකි. එක් අයකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා 2017 සිට 2019 නොවැම්බරය දක්වා ව්‍යාජ තේ කිලෝ ලක්ෂ 45 ක් අඩංගු කන්ටේනර් 250 ක් ඉරාකයට යවා තිබේ. මෙම ජාවාරම්කරුවන්ට ජනාධිපති නීතිවේදීන් පිරිසකගේ රැුකවරණය ලැබෙන බවද රේගු ආරංචි මාර්ග පවසයි.

මෙසේ කසළ තේ තොගපිටින් රැස්කරන ස්ථාන, ප‍්‍රවාහනය කරන අවස්ථාවලදී මෙන්ම අපනයනය කරන මෙවන් අවස්ථාවලදීද අත්අඩංගුවට ගැනීම් වාර්තා වුවත්, ඒ සියලූ තේ තොග අවසානයේ විනාශකිරීම (Denature) සඳහා භාරවන්නේ ද තේ මණ්ඩලය වෙතය.

එනම්, ඒ සියලූ තේ තොගද, කර්මාන්තශාලාවල කසළ තේ තොගද තේ මණ්ඩලයේ තේ පරීක්ෂකවරුන් යටතේ විනාශ කළ යුතු වුවත්, ඒ තේ තොගවලින් බහුතරය, හෙරොයින් ඇතුළු කුඩු තොග නාකොටික් විසින් ගිලගන්නා පරිදිම තේ මණ්ඩලයේ ‘තේ කොටින්’ විසින් අතරමගදී යළිත් කසළ මාෆියාවටම විකුණා දමන බවට කරුණු කාරණා කියැවේ.

එසේ හෙයින් ශී‍්‍ර ලංකාවේ කසළ තේ මාෆියාව නවතා දමා ‘සිලෝන් ටී’ නාමය පිරිසිදු කරන්නට නම් නාකොටික්ට තැබූ අත තේ මණ්ඩලයට ද වහා තැබිය යුතුව ඇත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More