පුරවැසි කොලම

රාජ්‍ය බුද්ධි සේවය දිගින් දිගටම සහරාන් හෂිම් පිළිබඳ බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදිත් ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් අඛණ්ඩව ක්‍රියාත්මක නොවූ බව නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අවධාරණය කළේය.

කොමිසම හමුවේ ‍පෙරේදා (27) සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ පක්ෂ දෙකක් එකතු වී ආණ්ඩුවක් පිහිටුවා තිබූ එකල රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා ලෙස තමා සිටි සමය විශේෂ කාලවකවානුවක් වූ බැවින් එම කාල සීමාව තුළ බුද්ධි නිලධාරීන් ලෙස තමන්ට මැද මාවතක ගමන් කිරීමට සිදුවූ බවය.

ඊයේ (28) දෙවැනි දිනටත් නිලන්ත ජයවර්ධන මහතාගෙන් කොමිසම සාක්ෂි විමසුවේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – රටේ වගකිවයුතු තනතුරු දැරුවන් කිහිපදෙනෙකු සමග රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට පැවතියේ කිනම් සබඳතාවක්ද?

නිලන්ත ජයවර්ධන- පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර සියලුම උසස් නිලධාරීන් මා සමග සුහද සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා. ඔවුන් සමග රාජකාරීමය ගනුදෙනු පමණක් සිදුකළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔබ බුද්ධි වාර්තා ලබාදෙන්නේ කාටද?

නිලන්ත ජයවර්ධන- රාජකාරිමය වශයෙන් බුද්ධි තොරතුරු වාර්තා කිරීමට බැඳි සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටයි., ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් සිදුකළ අවස්ථාවලදී ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය යටතේ එම වාර්තා ජනාධිපතිවරයාට යැවුවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බොහෝ අවස්ථාවලදී එකල නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයාව සිටි සාගල රත්නායක හරහා තොරතුරු වාර්තා ලබාගත්තා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය- ඔබගේ ධුර කාලය තුළ එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයාව සිටි චූලා කොඩිතුවක්කු සමග කිනම් සබඳතාවක් පැවතියේද?

නිලන්ත ජයවර්ධන – චූලා කොඩිතුවක්කුට පෙර සිටි නිලධාරීන් සමග තමාගේ හොඳ සම්බන්ධතාවක් තිබුණා. කොඩිතුවක්කු සමග එවැනි සම්බන්ධතාවක් තිබුණේ නැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමග කුමන මට්ටමක සම්බන්ධතාවක් පැවතියේද?

(මාධ්‍ය නොමැතිව පිළිතුරු ලබාදීමට අවශ්‍ය බව මෙහිදී නිලන්ත ජයවර්ධන කොමිසමට දැනුම් දුන්නේය.)

2017 මාර්තු මස 10 වන දින සිදුවූ ආලියාර් ගැටුමෙන් පසු සැඟව සිටි සහරාන් හෂිම් දිගින් දිගටම අයි.එස්. මතවාදය සාධාරනීකරණය කිරීම හේතුවෙන් ඔහු අන්තවාදියෙකු නොව සැබැවින්ම ත්‍රස්තවාදියෙකු බව තමන් ජාතික ආරක්ෂක මණ්ඩලයට ලිබිතව හා වාචිකව දැනුවත් කර තිබු බවද නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ අනාවරණය කළේය.

“මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න නැත්නම් විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා ” යැයි තමන් ආරක්ෂක කවුන්සලය දැනුවත් කරමින් සඳහන් කළ බවයි ඔහු පැවැසුවේ.

2018 දෙසැම්බර් මස 26 වන දින සිදුවූ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම හුදෙක් සිදුවීමක්ම නොව එය අන්තවාදි ක්‍රියාවක් බවට තමන් ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළ බවද ඔහු සඳහන් කළේය.

කොමිසම- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරක් අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශයකින් ලබාදෙන විටත් ඔබ සහරාන් හෂීම් ත්‍රස්තවාදියෙකු බව දැන සිටියේද?

නිලන්ත ජයවර්ධන – සහරාන් හෂිම් යනු අයි.එස්. මතවාදය වෙනුවෙන් පෙනී සිටින ත්‍රස්තවාදියෙක් බව පැහැදිලිව දැන සිටියා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය- සහරාන් නොයෙක් ප්‍රදේශවල සැරිසරමින් අයි.එස්. මතවාදය ප්‍රචාරණය කරන බව ඔබ දැන සිටියේද?

නිලන්ත ජයවර්ධන- සහරාන් හෂිම් එවැනි ක්‍රියාකාරකම්වල යෙදි සිටින බව දැන සිටියා. සහරාන් කැකුණුගොල්ල ප්‍රදේශයේ සැඟව සිටින බව වගකිව යුතු පාර්ශ්වයන්ට දැනුම් දී තිබුණා.

කොමිසම – එවැනි වටපිටාවක් තුළ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇයි?

නිලන්ත ජයවර්ධන – බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී තිබියදී විමර්ශන අංශ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. වසර ගණනාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් කොළඹට ගහනවා යැයි කිසිදු සඳහනක් කර නොතිබුණ පසුබිමක මෙවැනි තොරතුරක් ලබාදුන් විට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට තිබුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔබ වාර්තා කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටද?

නිලන්ත ජයවර්ධන – ඔව්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය- කුමන කරුණු පදනම් කරගෙනද එම වාර්තා ඉදිරිපත් කරන්නේ.

නිලන්ත ජයවර්ධන – රාජ්‍ය බුද්ධි සේවාව වෙනත් බුද්ධි සේවාවන්ට වඩා වෙනස්. එසේම රාජකාරි වපසරියත් වෙනස්. අතිමහත් බහුතර රාජකාරියක් තිබෙනවා. ත්‍රස්තවාදය සහ අන්තවාදය ගැන සොයා බැලීම එක් කොටසක් පමණයි. ක්ෂණික ක්‍රියාමාර්ග ගත යුතු තොරතුරු කෙළින්ම පොලිස් දෙපාර්තමේන්තුවට යොමු කරනවා.

කොමිසම – රෝහින්‍යා මුස්ලිම්වරු මෙරටට පැමිණීමේදී අයි.එස්. ත්‍රස්තවාදීන් පැමිණ තිබුණද?

නිලන්ත ජයවර්ධන-රෝහින්‍යා සරණාගතයින් පැමිණීම ගැන ගැටලුවක් තිබුණා. අයි.එස්. ඒ එක්ක ආවේ නැහැ. ලංකාවේ මුස්ලිම් සමාජය තුළ එකතුවීමක් ඇති වුණා. එය මේ රටට වක්‍රාකාරයෙන් තර්ජනයක් වන බව දැනුවත් කළා.

කොමිසම – මෙරට ස්ථාන 08 කට එකවර ප්‍රහාර එල්ලවෙලා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයකට හානි වෙලා තිබෙනවා. වෙන කිසිදු රටක මෙවැනි ප්‍රහාර මාලාවක් එකවර එල්ලවෙලා තිබෙනවද?

නිලන්ත ජයවර්ධන – රටවල් කිහිපයක ප්‍රහාර සිදුවෙලා තිබෙනවා. ඒත් මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් එල්ලවෙලා නැහැ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසිවෙක් බී.එම්.ඩබ්ලිව්. එකක සහ රේන්ජ් රෝවර් එකෙන් ඇවිත් බෝම්බ පුපුරවා ගත්තේ නැහැ. ඒත් මේ අය එහෙම නෙමෙයි. ඇයි සහරාන් පළමු ප්‍රහාරයෙන්ම මැරෙන්නේ. දෙවැනි ප්‍රහාරයකුත් තිබුණා. ඒත් පළමු ප්‍රහාරයට ඔහු ගියා. නායකත්වය පිළිබඳ ගැටලුවක් එඩේරමුල්ලේ ගෙදරදී ඇති වුණා. සැබෑ නායකයා වූයේ සහරාන් නෙමෙයි. නෞෆර් මව්ලවි නමැත්තායි. එල්.ටී.ටී.ඊ.යේ ඇන්ටන් බාලසිංහම් න්‍යායාචාර්යවරයා මෙන් නෞෆර් මව්ලවි තමයි මෙම සංවිධානයේ කටයුතු කළේ. ඔහු වසර 19 ක් කටාර්වල ඉඳල තියෙනවා. කටාර්වල මෙහෙයුම් ගොඩක් තිබුණා. ජාත්‍යන්තර සබඳතා ඔහු විසින් සකස්කරගෙන තිබුණා. මේ වන විට නෞෆර් මව්ලවි ඉන්නේ අත්අඩංගුවට අරගෙනයි. ප්‍රහාරයෙන් පසු ඇඳිරිනීතිය අස්සේ ඔහු අම්පාර බලා යමින් සිටියදී අත්අඩංගුවට පත්වුණේ.

කොමිසම- සාරා නමැත්තිය මුස්ලිම් ආගමට බලහත්කාරයෙන් හරවාගෙන තිබෙන බව කියනවා.

නිලන්ත ජයවර්ධන- ඔව්. පුලස්තිනී නමැති ඇයව හස්තූන් නමැත්තෙකුට විවහාකරදී ආගම වෙනස්කරල තියෙනවා.

කොමිසම-එය නීත්‍යානුකූලව සිදුවූවක් නොවේ නම් ඔබලා ඒ සම්බන්ධයෙන් මොනවද කළේ?

නිලන්ත ජයවර්ධන- අපි පැමිණිලි භාර ගන්නේ නැහැ. එයාගේ අම්මා කියනවා බලෙන් ආගමට හැරෙව්වා කියල. මරදාන පොලිසියේ ඒ ගැන පැමිණිල්ලක් තියෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය-සහරාන් සිරියාවට ගියා කියල ගුවන් හමුදා බුද්ධි අංශයට තොරතුරු ලැබිල තිබුණා. ඒ තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලීමක් කළාද?

නිලන්ත ජයවර්ධන – සොයා බලන්න ඇති කියල විශ්වාස කරනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ලැබුණාද?

නිලන්ත ජයවර්ධන-බුද්ධි තොරතුරුවලට අනාවරණය වුණේ නැහැ.

කොමිසම – වනාතවිල්ලුව පොල් ඉඩමක ගිනි අවි තිබෙන බව බුද්ධි අංශ දැන ගත්තද?

නිලන්ත ජයවර්ධන – ඉඩමක් අරගත්ත බවට තොරතුරු වාර්තා වී තිබුණත් ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණේ නැහැ. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පැවැත්වූවා. අපි ඒවට සහය දුන්නා.

කොමිසම – ලංකාවේ ක්‍රියාත්මක බුද්ධි අංශ අසාර්ථකද?

නිලන්ත ජයවර්ධන – බුදු පිළිම කැඩීම ගැන තොරතුරු ලැබුණේ නැහැ කියල බුද්ධි අංශ අසාර්ථකයි කියල පිළිගන්න බැහැ.

කොමිසම – යුද්ධය පැවැති කාලයේ ක්‍රියාන්විත කරන අංශ සමග බුද්ධි සේවයේ සම්බන්ධයක් තිබුණා. ඔබ ආවට පස්සේ ඒ සම්බන්ධය දිගටම පැවතුනාද?

නිලන්ත ජයවර්ධන – හරියට තිබුණා කියල හිතන්නේ නැහැ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More