පුරවැසි කොලම

රටක ආර්ථිකයෙහි ආහාර නිෂ්පාදනය කිරීමේ වගා කටයුතු, සෘජු වශයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය හා බැඳෙන අතර, ආහාර සැපයීම ‘‘දානය’’ නැමැති පුණ්‍ය කර්මයට ද අයත් ය. සියලූ ජීවින්ගේ පැවැත්ම ආහාරයෙන් තහවුරු වන්නේ යැයි බුදුන් වහන්සේ ද වදාළහ. (ඛුද්දක නිකාය, බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක ග‍්‍රන්ථ මාලා 24, 1960, 4.) එබැවින් ගස් වැල්, එළවළු, මල්, පළතුරු, වැවීම පුණ්‍ය කර්මයක් සේම, මානව වගකීමක් බවට ද පෙරළී ඇත. එනයින් මෙම ලියවිල්ල සමස්ත ලෝක ප‍්‍රජාවට මෙන්ම ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවට ද අභියෝගයක් ව පවතින වසංගත රෝගි තත්වයන් හමුවේ මිනිසා වෙතින් නිතැතින් ම ඊට මුහුණ දීමේ ධෛර්යය තේරුම් ගනිමින් සමාරම්භක රාජධානි සමයේ මෙරට පැවැති කෘෂිකාර්මික තත්ත්වය තේරුම් ගැනීමට සකස් කරනු ලැබූවක්ය.

අතීතය

අද මෙන්ම අනුරාධපුර රාජධානි සමයේ ද මෙරට ජනී ජනයාගේ ආර්ථික රටාවේ ප‍්‍රමුඛස්ථානය හිමි වූයේ කෘෂිකර්මාන්තයටය. මෙරට වංශකථාවේ මුල්ම රජ සේ සැලකෙන විජය රජ සමයෙන් ඇරඹ, සංක‍්‍රමණික කුමරුවන් වූ අනුරාධ, උරුවෙල, විජිත ආදීන් සිය ජනපද පිහිටුවා ගනු ලැබුයේ මල්වතු ඔය, කලා ඔය, දැදුරු ඔය, කිරිඳි ඔය, වළවේ ගඟ ආදි වූ ගංගා ආශ‍්‍රිතව ය. මොවුන් ගංගා අසබඩ නව ජනපද පිහිටුවා ගැනීමෙන් අනතුරුව එම ජනපදයන්හි වැව් ඉදිකරවනු ලැබීමෙන් පැහැදිලි වන කරුණක් නම්, මෙරට ආරම්භයේ සිට ම කෘෂිකාර්මික රටාව ට හුරු පුරුදු වු ජන සමූහයකගේ ආර්ථික රටාව ය.

විජය රජුගේ ඇවෑමෙන් ටික කලකට පසු මෙරට රාජ්‍යත්වය ඉසිලූ පණ්ඩුවාසුදේව කුමරු ගේ ප‍්‍රත‍්‍ර වු ගිරිකණ්ඩ ශිව නම් කුමාරයා, තම පාලනය යටතේ පැවැති ගිරිකණ්ඩ නම් ප‍්‍රදේශයේ පිහිටා තිබු සියක් කිරියක් පමණ වු කුඹුරු යායක ගොයම් කැප්පවු බව කියන පුවතක් මහාවංශයේ දැක්වේ. මෙමගින් ද එකල දියුණුව පැවැති කෘෂිකර්මාන්තය පිළිබඳ හෝඩුවාවන් සැපයේ. කෘෂිකර්මාන්තය යැයි කී කළ විවිධ වගාවන් හැ`ගවෙන අතර, එයිනිදු එකල ප‍්‍රමුඛස්ථානය හිමිවූයේ වී ගොවිතැනට ය. එය ජනතාව සුභික්ෂ කරවන කාර්යයයි. ‘‘ගොවීහු නම් නිකම් හිඳිනා දවසෙක් නැත’’(පූජාවලිය, 1930, 331) ‘‘මෙසේ ගොයම් බත් කරවා රට බතින් සමෘද්ධ කොට’’ (සද්ධර්මාලංකාරය, 1948, 499). ‘‘ගොවිතැන් කර රට බතින් සුභික්ෂ කොට’’(සද්ධර්මාලංකාරය, 1948, 499). යන සාහිත්‍යගත පාඨ මෙරට පැවැති ගොවිකමේ හා ගොවිකම් කළවුන් පිළිබඳ සඳහන් ය. එමෙන්ම, වපුරණ ලද වී වර්ග ද රාශියකි. සියදෑහැල්, රත්හැල්, සුවඳහැල්, මොනරහැල්, ගොඩහැල්, ඇල් වී, මා වී (සන්නස්ගල, 1989, xvii-xviii) ඒ අතරින් ප‍්‍රමුඛ ගණයෙහිලා සලකනු ලැබේ. මෙකී සටහන් මගින් පෙනෙන කරුණ නම්, අතීතයේ පටන් මෙරට වී ගොවිතැන ට ලැබී තිබූ තැනයි. එනම් රටවැසියාගේ ප‍්‍රධාන ජීවනෝපාය වී ගොවිතැන යි. අද්‍යතනයේ මෙන්ම දුරාතීතයේ ද මෙරට ජනයාගේ ප‍්‍රධාන ආහාරය බත වූ බැවින් එකී ප‍්‍රමුඛස්ථානය ලැබුණි. ඒ බව මොනවට වංශකථාවෙන් ස්ඵුට කරනු ලබයි. විජය කුමරු හා පිරිස මෙහි බට මුල් දිනයේ කුවණ්ණා විසින් සපයන ලද බතින් සප්පායම් වූ වග ‘‘ ඕ තොමෝ කන ලද වෙළඳුන් ගේ නැව් හි නානාවිධ වූ බොහෝ වූ සහල් ආදිය දැක්වීය ඒ මිනිස්සු බත් හා සූපයන් හුයා රජ කුමරහු බත් කවා සියල්ලෝ ද කෑවෝය.’’ (සිංහල මහාවංශය, 1994, 7 පරි. 24-25 ගාථා, 39. ) යන්නෙන් පැහැදිලි ය.

බතට ඇවැසි සහල් සපයා ගැනීම සඳහා එකල ගොවීන් වසරකට කන්න දෙකක් හෝ තුනක් වී වගා කළ බව පෙනේ. වසරකට කන්න දෙකක් වී වගා කිරීම සාමාන්‍ය සිරිත වු අතර, ඇතැම් වසර තුළ කන්න තුනම වී වගා කළ බවට සාක්ෂ්‍ය ලැබේ. සිරි මේඝවණ්ණ රාජ්‍ය කාලයට (ක‍්‍රි.ව. 301-328 ) අයත් තෝනිගල පර්වත ලිපියෙහි එකල වගා කළ ‘‘පිට දඩ හස’’(මහ කන්නය) ‘‘මදෙ හස’’(මැද කන්නය) ‘‘අකල හස’’ (යල කන්නය) නම් වු ශෂ්‍ය (සංස්කෘත) වාර තුනක් ගැන සඳහන් වේ. ( Epigraphia, Zeylanica, 1989, vol. iii, pp,172-188) දැනට මහ කන්නය හා යල කන්නය නමින් හඳුන්වන ප‍්‍රධාන කන්න දෙක පිළිවෙළින් ‘‘පිට දඩ හස’’ ‘‘අකල හස’’ නමිනුත් එම කන්න දෙක අතරතුර වපුරන ලද තෙවැනි කන්නය ‘‘මදෙ හස’’ හෙවත් මැද හස යනුවෙන් මෙහි හඳුන්වා ඇති බව දක්නට ලැබේ.

වසරකට කන්න තුනක් ගොවිතැන් කිරීම මෙරට සාමාන්‍ය සිරිත නොවු බව පෙනේ. වසර පුරාම වැව්වලින් ජලය ලබා ගත හැකිව තිබු මඩ ඉඩම් ඇතැම් විට වසරකට කන්න තුනක් වගා කරනු ලැබූවත්, වැසි දියෙන් වගා කළ කුඹුරු එලෙස වගා කරනු ලැබ ඇත්තේ වසරකට කන්න දෙකක් පමණි. එසේම කන්න තුනක් වගා කරනු ලැබූ හැම වසරකම මහ වී හැල් වී වැනි ප‍්‍රධාන ධාන්‍ය වර්ග වගා කරනු ලැබු බවක් නොපෙනේ. තෝනිගල ලිපියෙහි සඳහන් උඳු, මුං, (බයලි ) වැනි හේන්වල වගා කරන ධාන්‍ය ගැන සඳහන් ව තිබීමත් කරණකොටගෙන ඇතැම් විට මෙම අතර මැද කන්නය මෙකී ධාන්‍ය වර්ගයන් විය හැකිය.

එකල මඩ ඉඩම්වල මෙන්ම ගොඩ ඉඩම්වල ද වී වගා කරනු ලැබ ඇත. ‘‘ගොඩ ගොයමට මඩ හෝ මඩ ගොයමට ගොඩ හෝ තරම් නොවන්නාසේ ’’ (සද්ධර්ම රත්නාවලිය, 1928, 868). යන්නෙන් ඒ බව පැහැදිලි ය. මඩ බිම් හෙවත් කුඹුරු වශයෙන් එකල තෝරා ගනු ලැබූයේ ගංගා, විල්, හා වැව් වැනි ජලාශ ඇසුරෙහි පිහිටා තිබූ නිම්න බිම් ය. මේ අතර වැව මෙරටෙහි ගොවිතැන් සඳහා අත්‍යවශ්‍ය වූවකි. වසර පුරා ජල පහසුකම් ඇති කිරීම සඳහා ස්වාභාවික ජල මාර්ග දුර්ලභ වු ජනාවාස වු සෑම ප‍්‍රදේශයක ම මේ වැව් පිහිටුවා තිබිණ. ගොඩ බිම් හෙවත් හේන් සකස් කර ඇත්තේත් වාරිමාර්ග පහසුකම් නැති හෝ අඩු තැනි හෝ මුඩු බිම්වල ය. ගොඩ ඉඩම් ප‍්‍රධාන වශයෙන් වැසි ජලයෙන් වගා කරන ලද අතර, මඩ ගොයමට නොදෙවෙනි තැනක් මෙයට ද ලැබී තිබු බව පැරණි මුලාශ‍්‍ර ඇසුරෙන් පැහැදිළි වේ. මඩ ඉඩම් වගාකොට ලබාගත් වී වලට සමාන හෝ ඊටත් වඩා උසස් යැයි සැළකු ‘‘ශාලි’’ ‘‘හෙවත් ඇල් වී’’ නමින් හැදින් වු වී වර්ගයක් ගොඩ ඉඩම්වල වගා කිරීමට හැකිවීම මෙයට හේතු වු බව පෙනේ. දුටුගැමුණු රජ (ක‍්‍රි. පූ. 161-137 ) පුත් සාලිය කුමරු හා බැඳි කථා පුවත් අනුසාරයෙන් අනුරාධපුර මුල් භාගයේ සෑම ප‍්‍රදේශයකම පාහේ ඇල් වී වගා කොට තිබු බව ද හඳුනාගත හැකිය. ඔහුගේ නාම සම්භවය මෙන්ම ධාන්‍ය කෝෂ්ඨාගාර එකළ හැල් වී වලින් ම පිරී තිබු බව සීහළවත්ථුප්පකරණය, මහාවංසටීකාව වැනි මුලාශ ඇසුරින් පැහැදිලි ය. මෙලෙස හැල් වී වගා කොට තිබූ බිම් එකළ ‘‘හැල් කෙත් ’’ හෙවත් ‘‘හැල් සේන් ’’ (ඇල්හේන්) යනුවෙන් හඳුන්වා තිබු බව ද පෙනේ. (ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය, 1 කොටස, අනුරාධපුර යුගය, 1994, 162.)

එකල බහුල වශයෙන් වගා කෙරුණු මඩ වී හැල් වී වලට අමතරව තවත් ප‍්‍රධාන ධාන්‍ය වර්ග පහක් වගා කොට ඇති බව අනුරාධපුර යුගයට අයත් මුලාශ‍්‍රයන් මගින් හෙළි වේ. සුමංගල විලාසිනියෙහි මෙම ධාන්‍ය වර්ග පස ගොධූම, යව, කංගු, වරක, හා කුද්‍රාසක යනුවෙන් හඳුන්වා ඇත. සිඛවළඳ විනිසෙහි දැක්වෙන පරිදි එම ධාන්‍ය වර්ග පස ගොධූම, (තිරිගු) යව, (බාර්ලි ) තණහාල්, වරා, හා හමු වශයෙන් හඳුන්වා ඇත. ( ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය, 1 කොටස, අනුරාධපුර යුගය, 1994, 163.) කටුසර බෝග ලෙස දක්වා ඇති මේවා පොදුවේ වර්ග හතක් ලෙස ඇතැම් මුලාශ‍්‍රවල දක්වා ඇත. හැල්, වී, යව, තණ, හමු, වරා, ගොධූම යන සත් වර්ගය යි. ‘‘සාලි, විහි, යවො, කංගු, කුද්‍රැස, වරහ, ගොධුම යන සප්තප‍්‍රකාර වු ධාන්‍යය ද’’(ජාතක අටුවා ගැටපදය, 1943, 230) එමෙන්ම මෙම ධාන්‍ය වර්ග වැපිරීම කාල නියමයන් අනුව සිදුකර ඇත. ‘‘පෙරවරු වපුරන්නා වූ හැල්වි ආදිවූත්, පස්වරු වපුරන්නා වු උඳු මුං ආදි වු බිජුවට’’(සද්ධර්ම රත්නාවලිය, 1928, 625). එම ධාන්‍ය වර්ග අතර, උඳු, මුං, තල, කුලත් (කොල්ලූ) කුරහන්, තණ, මෙනේරි, අමු, යව, ආදිය වේ.

එමෙන්ම ආහාර සඳහා මෙරට භාවිතා කළ තවත් විශේෂයක් නම් අල වර්ගයි. අල වර්ග ද ගණනාවකි. ඒ අතර, කුකුලල, වැල් අල, හා කටු අල සුලභව සඳහන් වේ. මෙයින් කටු අල වනයෙන් ලබාගත් අල වර්ගයකි. (සන්නස්ගල, 1989, xx) තම්බා කෑම සඳහා මෙම අල භාවිතා කර ඇත.

අනුරාධපුර යුගයේ දී කෘෂිකර්මාන්තය සඳහා යොදා ගනු ලැබූ මඩ ඉඩම් හා ගොඩ ඉඩම් හඳුන්වනු ලැබුයේ කෙත් හා වතු යනුවෙනි. ධාන්‍ය වපුරණු ලැබු කුඹුරු හා හේන් ආදිය ‘‘කෙත් ’’ යනුවෙන් ද කොස්, පොල්, අඹ, දඔ, ආදි වු ගස් වවන ලද ඉඩම් ‘‘වතු’’ යනුවෙන් ද හඳුන්වන ලදී. එහෙත් පසුකාලීනව ‘‘කෙත් හා ‘‘වත් ’’ යන වචන දෙක සන්ධිවීමෙන් හටගත් ‘‘කෙත්වත්’’ හෙවත් ‘‘කෙත්වතු’’ යන වචනය වැපිරූ කුඹුරු හෝ ඉඩම් සඳහා යොදා ගනු ලැබ ඇති අතර, කොස්, පොල් ආදි ගස් වැවුණු ඉඩම් සඳහා භාවිත කරනු ලැබූයේ අරුබ්, අරම්, උයන්, වන බිම්, හෝ වතු යන වචනය යි. ( ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය, 1 කොටස, අනුරාධපුර යුගය, 1994, 163.) හා (ලක්දිව ආරාම පුරාණය, 2002, 9. ) මහා නිද්දේස පාලියෙහි ‘‘ඛෙත්ත වත්ථු’’ (කෙත්වතු) යන්න ‘‘ඛෙත්ත’’ යනු හැල් කෙතය, වී කෙතය, මුං කෙතය, මෑ කෙතය, යව කෙතය, තිරි`ගු කෙතය, තල කෙතය වශයෙන් හා ‘‘වත්ථු ’’ නම් ගෙවතු ය, වතු කොටු වතුය, අරම් වතු හා වෙහෙර වතු ය. වශයෙන් පැහැදිළි කොට ඇත. ආරාම, අරබ් යනුවෙන් ව්‍යවහාරය ට පැමිණි එමෙන්ම වත්ථු අරඹ යන වචනවලින් හඳුන්වන ලද්දේ ද වෘක්ෂලතා සහිත වගා බිම් ය. සිංහල ‘‘වත්ත’’ යන වචනය පාලි භාෂාවේ ‘‘වත්ථු’’ ශබ්දයෙන් භින්න වූවකි. එහි සංස්කෘත වචනය ‘‘වාස්තු’’ යන්නයි. එයින් පොළොව හැඳින් වේ. ‘‘වත්ත’’ යන වචනය සෙල්ලිපි කීපයකම සටහන් ව ඇත. අලූත්වැව ටැම් ලිපිය, කිරිබත්වෙහෙර ටැම් ලිපිය, බුද්දන්නේහෙල ටැම් ලිපිය (ශිලාලේඛන සංග‍්‍රහය, 1 වෙළුම, 2000, 96-99) මින් සමහරකි. මෙහි දෙවැනි සේන (ක‍්‍රි.ව. 853-887) හතරවැනි කස්සප (ක‍්‍රි.ව. 898-914) සහ පස්වැනි කස්සප (ක‍්‍රි.ව. 914-923) යන රජවරුන් විසින් පිහිටුවන ලද සෙල්ලිපි හි ‘‘වත්ත’’ යන්න යෙදේ. (Epigraphia, Zeylanica, 1964 , vol. v, pp 259″ 228″ 153″ 199).

සමකාලීන යුගයේ ප‍්‍රස්තුත වගාවන් කෙරුණු ආකාරය පිළිබඳව ද වංශකථා මුලාශ‍්‍ර ඇසුරින් සාධක සපයා ගත හැකිය. මුල් අවධියේ රජය සතු ව පැවැති ඉඩම් විශාල ප‍්‍රමාණයක් අනුරාධපුර යුගයේ අවසාන භාගයේ දී විහාරාරාම, ආරෝග්‍ය ශාලා ආදි වු පුණ්‍යායතනවලට හා රජයේ නිලධාරීන් ආදි ප‍්‍රභූ පන්තියට අයත් ව තිබු බව පැහැදිළි ය. ඉහත ආයතන හා පුද්ගලයන් සතු ව පැවැති කෙත්වතු හා වතුපිටි සියල්ල වගා කිරීමෙහිලා අනුගමනය කළ ක‍්‍රියාමාර්ග විවිධ ය. එහෙත් නිශ්චිත සාධක මේ සඳහා සපයා ගත නොහැකි වුව ද සමකාලීන ඉන්දියානු ආභාසය මෙම කටයුතු සඳහා යොදා ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මෙරට රජවරුන් පරිහරණය කොට ඇති කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රයෙහි දැක්වෙන පරිදි, රජය සතුව පැවැති ඉඩම් සමහරක් එකල දාසයන්, කම්කරුවන් හා සිරකරුවන් ලවා වගා කොට ඇත. තවත් ඉඩම් ප‍්‍රමාණයක් ‘‘අර්ධසීතිකා’’ ක‍්‍රමයට හෙවත් අස්වැන්නෙන් දෙකෙන් කොටසක් බදු වශයෙන් රජයට ගෙවීමේ කොන්දේසිය පිට අඳ ගොවීන් ලවා වගා කොට ඇත. තවත් සමහර ඉඩම් අස්වැන්නෙන් හතරෙන් පංගුවක් හෝ පහෙන් පංගුවක් රජයට ගෙවීමේ කොන්දේසිය පිට ස්වෝත්සාහයෙන් වගා කිරීම සඳහා බදු ගොවීන් ට පවරා දෙනු ලැබ ඇත. ( ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය, 1 කොටස, අනුරාධපුර යුගය, 1994, 167) මෙම ක‍්‍රම මුල් කාලයේ දී මෙරට අනුගමනය කොට ඇති බව පෙනේ. කාවන්තිස්ස රජු විසින් තම බාල පුතු දීඝවාපි ප‍්‍රදේශයේ ගොවිතැන් කරනු පිණිස යැවු බව මහාවංශයේ සඳහන් ය. එමෙන්ම

දුටුගැමුණු රජ සමයේ ද සද්ධාතිස්ස කුමරු එහි ගොවිතැන් කටයුතුවල නිරත වු බව පෙනේ.

ඉඩම් විශාල වශයෙන් අයිති කරගෙන සිටි පෞද්ගලික ඉඩම් හිමියන් අනුරාධපුර යුගයේ අවසාන භාගයේ දී ඉඩම් වගා කිරීම සම්බන්ධයෙන් වෙනත් පිළිවෙතක් අනුගමනය කර ඇති බව දසවන සියවසට අයත් කොණ්ඩවට්ටවාන ටැම් ලිපියෙන් හෙළි වේ. (Inscription of Ceylon, 2004,vol v,pp73-78) එකල ඉඩම් හිමියන් හට ඉඩම් වෙන් වෙන් වශයෙන් බදු ගොවීන් ට පවරා දී සෑම අස්වැන්නකින් ම සම්මත ධාන්‍ය ප‍්‍රමාණයක් ඔවුන්ගෙන් අයකර ගැනීම හෝ මුළු කුඹුරු යාය ම හෝ ඉඩම ම අතරමැදියෙකු ට පවරා දී ඔහුගෙන් එකවර යම්කිසි මුදලක් ලබා ගැනීම සිරිත වු බව ද මෙමගින් පැහැදිලි ය.

එමෙන්ම හේන් ගොවිතැනින් නිපදවනු ලැබු උඳු, මුං, මෑ, උළුහාල් වැනි ධාන්‍යවලින් හා කටුසර බෝගවලින් ද කොටසක් බදු වශයෙන් ගෙවීමට එකල ගොවීන් ට සිදු බව පෙනේ. මේ අනුව අද මෙන් එදා ද තම තම නැණ පමණින් තම පරිභෝජනය ට
ඇවැසි දෑ නිෂ්පාදනය කරගෙන එයින් තමන්ටත් රටටත් යහපතක් උදාකර ලූ බව පෙනේ. රටක උද්දීපනයට බදු මුදල ඉවහල් වු අතර, එය එදා සිට අද දක්වා ම විවිධ අයුරින් ක‍්‍රියාත්මක ය. ප‍්‍රස්තුත විෂයෙහිලා අනුරාධපුර යුගය පමණක් අප සැලකිල්ලට ලක්කළ ද ඉන් පසුකාලීන යුගයන්හි ද මෙහි ම ක‍්‍රමික විකාශයක් දක්නට ලැබ, වත්මන් අවධියෙහි එහි උච්චස්ථාව ට එළඹ සිටී. මේ කවරකින් වුව පසක් කරනු ලබන්නේ ස්වයං ආර්ථික රටාවක අවශ්‍යතාව මෙන්ම, එහි අගය රටක ජනතාව ට කෙතරම් හිතකර වන්නේ ද යනු යි. අවසන එක් කරුණකින් මෙහි තිත තබමු, එදා කාකවණ්ණ තිස්ස රජු සේරු නගරයේ මංගල චේතියෙහි ධාතු නිදානය සිදුකරන අවස්ථාවේ එහි සිටි පුරෝහිත බ‍්‍රාහ්මණයා මහා සංඝයා වැඳ ජයගොස නංවමින් මෙසේ කීය; ‘‘ජනපදය නිතර බියනැති ආර්ථික වශයෙන් සමෘද්ධ යහපත් එකක් වේවා, ධාන්‍ය නිෂ්පාදනය වේවා, මේ අන්දමට රජුට ජය වන්නේය.’’ (වික‍්‍රමගමගේ, 1990, 113).

””””



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More