පුරවැසි කොලම

මොකද්ද මේ 5/2001 චක්‍රලේඛය කියන්නෙ? මොකද්ද ඒකෙ තියෙන විශේෂත්වය?

මේ චක්‍රලේඛය එන්නෙ 1998 සිට කරන ලද හඳුනාගැනීම් වල ප්‍රතිඵලයක් විදියට. එහි අරමුණ උනේ ඒ වනවිටත් විනාශ කෙරෙමින් පැවති වනාන්තර පද්ධතිවල එක් අංශයක් ආරක්ෂා කරගැනීම. ඒ අංශය තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය නොකරන නමුත් වනාන්තර ලෙස හඳුනාගත් පද්ධතීන්. මේවා පාලනය වුනේ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින්.

මේ කැළෑවන් ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පැවතුනේ තාවකාලිකවයි. ඒ බව චක්‍රලේඛයේ දැක්වෙන්නෙ “දැනට දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම් යටතේ පාලනය වන” කියන වචන වලින්.” ඒ කියන්නෙ මේ වනාන්තර වනජීවී හෝ වන සංරක්ෂණ වෙත භාරදීමට තමයි තියෙන්නෙ. නමුත් මොනවා හෝ හේතු මත ඒක තවම වෙලා නැහැ. මේ භාර නොදීමට බලපෑ හේතු තාක්ෂණිකයි. බොහෝ වෙලාවට අදාල වනාන්තර හඳුනාගැනීමටත් ඒවා මැන සළකුණු කිරීමටත් තිබුණු බාධාවන් නිසා තමයි ඉහත කී භාරදීම් සිදුනොවුනෙ. වනජීවී හෝ වන සංරක්ෂණ යටතට මේ වනාන්තර අයත් නොවුනෙ.

ප්‍රාදේශිය ලේකම්වරු යටතේ තිබුණු, ආරක්ෂා කරගතයුතු නමුත් තවමත් නිසිලෙස මායිම් හඳුනාගෙන වනජීවී හෝ වන සංරක්ෂණ යටතට පත් නොකරන ලද මේ වනාන්තර, නිසිපරිදි තමාට පැවරෙන තුරු ආරක්ෂා කරගැනීමට වනජීවී අධිකාරීන්ට තිබුණු බාධා ඉවත් කිරීමේ පියවරක් විදියට තමයි ඒ වනාන්තර ප්‍රාදේශීය ලේකම්ගෙ භාරකාරත්වයෙන් ඉවත් කරල වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට චක්‍රලේඛයක් මගින් පවරන්නෙ.

ඒ අරමුණ මේ 5/2001 චක්‍රලේඛය අවසානයේ මෙහෙම සදහන් වෙනව.
“දැනට ප්‍රකාශයට පත්කර ඇති ජාතික වන ප්‍රතිපත්තියට අදාලව නව නීති කෙටුම්පත් සකස් කරන තුරු ඉහත සදහන් ක්‍රියා පිලිවෙත යොදාගනිමින් රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය කළ යුතුය.”

ඒ චක්‍රලේඛය මගින් කොහොමද ඔය කියන වනාන්තර ආරක්ෂා උනේ?
මෙහෙමයි. ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ තියෙන ඉඩම් අපේ රටේ තියෙන ක්‍රමවේදයට අනුව වගා කටයුතු හෝ වෙනත් ව්‍යාපාතියක් සඳහා ලබාදිම වඩා පහසුයි. ප්‍රාදේශීය ලේකම් යටතේ ඒ වනාන්තර ආරක්ෂා වීම ප්‍රායෝගිකව වෙන්නෙ නැහැ. මොකද වනාන්තර ආරක්ෂා කිරිම හෝ වැඩිදියුණු කිරීම හෝ කළමනාකරණය කිරීම ප්‍රාදේශිය ලේකම්ගෙ රාජකාරිය නෙවෙයි.

ඒ නිසා අදාල වනාන්තර ආරක්ෂා කිරිම හෝ වැඩිදියුණු කිරීම හෝ කළමනාකරණය කිරීම පැවරිලා තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ කාර්යය පැවරීම තමයි මේ චක්‍රලේඛයෙන් කරල තියෙන්නෙ. ඒ අනුවත් පැහැදිලියි මේ උත්සාහ කරල තියෙන්නෙ අදාල වනාන්තර පද්ධති ආරක්ෂා කරගන්න කියල. ඒ බව අදාල චක්‍රලේඛයේ සඳහන් වෙන්නෙ මෙහෙමයි.
“දැනට දිස්ත්‍රික් ලේකම්වරුන්/ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පාලනය වන සියළුව අවශේෂ කැළෑ – -ජාතික වන ප්‍රතිපත්තියට අදාලව කළමනාකරණය කිරීම, වැඩිදියුණුකිරීම සහ ආරක්ෂා කිරීම සදහා -වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබේ.”
එතකොට මේ පවරන්නෙ “කළමනාකරණය කිරීම, වැඩිදියුණුකිරීම සහ ආරක්ෂා කිරීම සඳහා”. එහෙම නැතුව “ඈවර කිරීමටවත්, අනාරක්ෂිත කිරීමටවත්” නෙවෙයි.

මෙහිදී පැහැදිලිවන අනෙක් කරුණ තමයි “මේ වනාන්තර වැඩි දියුණු කිරීමත් ආරක්ෂා කිරීමත් තමයි -රජයේ වන ප්‍රතිපත්තිය”කියන එක. මොකද මේ චක්‍රලේඛයේ තියෙනව මේ චක්‍රලේඛය නිකුත් කළේ “ජාතික වන ප්‍රතිපත්තියට අදාලව කළමනාකරණය කිරීම, වැඩිදියුණුකිරීම සහ ආරක්ෂා කිරීම සඳහා” කියල. ඒ කියන්නෙ රජයට තියෙනව වන ප්‍රතිපත්තියක්. මේක ඒ ප්‍රතිපත්තියට අනුව ගත් තීරණයක්.

එතකොට රජයේ වන ප්‍රතිපත්තිය යටතේ ගත් තිරණයක් වෙනස් කරන්න පුළුවන්ද?
පුළුවන්. හැබැයි අදාල “රජයේ වන ප්‍රතිපත්තියත්” වෙනස් කරල”. ඒ ප්‍රතිපත්තිය වෙනස් නොකර මේ තීරණය විතරක් වෙනස් කරන්න බෑ. මොකද ඒ වන ප්‍රතිපත්තිය කොයි වෙලාවකවත් වනාන්තර වැඩිදියුණු කිරීම සහ ආරක්ෂාකිරීම යන සංකල්පවලට පිටින් යන ප්‍රතිපත්තියක් නොවන බව ඉහත යෙදුම අනුව පැහැදිලිවන නිසා.
අනෙක් අතට, යම් හෙයකින් රජයේ වන ප්‍රතිපත්තිය වෙනස් නොකර මේ තීරණය විතරක් වෙනස් කරනවා නම්, මේ කරනු ලබන දෙය “කළමනාකරණය කිරීම, වැඩිදියුණුකිරීම සහ ආරක්ෂා කිරීම” යන සංකල්පයන්ට පිටින් යන්නත් බෑ. නමුත් මේ චක්‍රලේඛය අහෝසි කිරීම ම ඒ සංකල්පයන්ට එරෙහිව යාමක්.

අපේ රටේ වන ගහනය විවිධ නම්වලින් හදුන්වනව නේද? එහෙම විවිධ වර්ග තියෙනවද? මොනවද මේ අවශේෂ කැලෑ කියන්නෙ?
රටේ වනගහනය ගත්තම රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර සහ ඇතැම් අවශේෂ කැලෑ කියන වනාන්තර පද්ධති, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බව තමයි මේ චක්‍රලේඛයේ දක්වල තියෙන්නෙ. ඒ කියන්නෙ අවශේෂ කැළැවලින් යම් ප්‍රමාණයක් 2001 වන විටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වුනා කියන එකයි. ඒකෙනුත් පැහැදිලියි, අවශේෂ කැලෑ කියන්නෙ නිකම්ම නිකම් මුඩු ඉඩම් නෙවෙයි, තවත් වනාන්තර පද්ධතියක් කියන එක.
මීට අමතරව දැඩි ස්වභාවික රක්ෂිත, වන උද්‍යාන, වන මං, අභය භූමි සහ ස්වාභාවික රක්ෂිත පාලනය වන්නේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. 5/2001 චක්‍රලේඛය මගින් ආවරණය කරන ලද අවශේෂ කැලෑ ලෙස හඳුන්වන්නෙ ඉහත කී ආයතන දෙක මගින් පාලනය නොවන සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් පාලනය වන අනෙකුත් රජයේ වනාන්තර. මේ බව 5/2001 චක්‍රලේඛයේ ඉතා පැහැදිලිව සඳහන්වෙලා තියෙනව.

මේ අවශේෂ කැලෑ කියන වචනෙ අපේ පරිසර පණත්වල සඳහන් වෙන වචනයක් නෙවෙයි. Other forests කියන අදහස පරිවර්තනය කිරීමක් පමණයි. සමහරු මෙතනදි residual forests කියන වචනය පාවිච්චි කරනව. නමුත් ඒ වචනයත් අපේ පණත්වල දැක්වෙන වචනයක් නෙවෙයි. ඒ වගේම මේ වනාන්තර පද්ධති හැඳින්වීම සදහා ගැලපෙන සාධාරණ යෙදුමකුත් නෙවෙයි. මේ කතා කරන්නෙ වනජීවී දෙපාර්තමේන්තුවේ හෝ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ පාලනයට තවමත් යටත් නොවුනු, රජයේ වෙනත් වනාන්තර ගැන.
අමතක නොකළ යුතු දේ තමයි, මේ අනතුරේ හෙළීමට නියමිත වනාන්තර පද්ධතියට සිරිපාදෙ එරත්න ගිලීමලේ හෙක්ටයාර 26,000ක්, බිබිල නිල්ගල හෙක්ටයාර 40,000ක්, නුවරඑළිය කිකිලියාමාන හෙක්ටයාර 4,000ක්, අනුරාධපුර ආනවිලුන්දාව හෙක්ටයාර 20,000ක් වගේම උතුරු නැගෙනහිර තවත් විශාල ප්‍රමාණයක් ඇතුළු දල වශයෙන් හෙක්ටයාර ලක්ෂ 7ක පමණ ප්‍රමාණයක් ඇතුළත් වන බව.
නමුත් ජනතාවට වගාකිරීම සඳහා ඉඩම් ලබාදීම කියන්නෙ බැහැර කරන්න පුලුවන් කාරණයක් නෙවෙයි නේද?

අනිවාර්යයෙන්ම. ජනතාවට වගාකිරීමටඉඩම් ලබාදීමට පාධාවක් මේ චක්‍රලේඛයේ නෑ. මේ 5/2001 චක්‍රලේඛය පවා වනාන්තර රැකගැනීම වෙනුවෙන් තියෙන පරමාදර්ශී ප්‍රවේශයක් නෙවෙයි. මේ චක්‍රලේඛයේ ම තියෙනවා ඔය කියන රජයේ කැලෑ “කිසියම් වෙනත් පරිහරණ කටයුත්තක් සදහා යොදා ගැනීමට අවශ්‍ය වන්නේ නම්” මොකද්ද කරන්න ඕන කියල. ඒ කියන්නේ ඒ සදහා අවසරය සහ ක්‍රමවේදයත් ඒ චක්‍රලේඛය මගින්ම හඳුන්වා දීල තියෙනව. ඒ මෙහෙමයි.
01 අදාල ව්‍යාපෘති යෝජනාව පළමුව දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවට ඉදිරිපත් කර නිර්දේශය ලබාගත යුතුය.
02 එම නිර්දේශයට වන සංරක්ෂක විසින් ඔහුගේ නිර්දේශය ද එකතු කළ යුතුය.
03 ඉහත නිර්දේශ සහිත ව්‍යාපෘති යෝජනාව – වන සම්පත් සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් (වන සම්පත්, ඉඩම් සහ වනජීවී යන අමාත්‍යාංශ නියෝජනය වන) අන්තර් අමාත්‍යාංශ කමිටුවකට ඉදිරිපත්කර අනුමැතිය ලබාගත යුතුය.
04 ඒ කමිටුව මගින් අදාල යෝජනාව අනුමත කරන්නේ නම් යෝජකයා විසින් අදාල යෝජනාවට පරිසර ඇගයීම් සහතිකයක් ලබාගත යුතුය.
05 ඉන්පසු සුදුසු කොන්දේසි යටතේ ඉඩම ලබාදීමට හැකිවන පරිදි වන සම්පත් සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අදාල ඉඩම ඉඩම් කොමසාරිස්වරයාට නිදහස් කරනු ලැබේ.

ඒ කියන්නෙ යම් ක්‍රියාවලියක් හරහා දැනටමත් මේ වනාන්තර පවා අනාරක්ෂිතයි. වගා කරන්න විතරක් නෙවෙයි වෙනත් කාර්යයකට උනත් යොදාගන්න පුළුවන්. නමුත් මේ ක්‍රමවේදය නිසා යම් රැකවරණයක් තියෙනවා. දැන් මේ කරන්න හදන්නෙ ඒ පියවරයන් අනුගමනය කිරීමකින් තොරවම, ඒ “යම් රැකවරණයත්” අහෝසි කරමින්, නිකම්ම නිකං හිතුමතේ ගහන පෑන් පහරකින් මේ වනාන්තර පද්ධතිය අනාරක්ෂිත තත්වයට පත් කරන්නයි. එතකොට;

01 දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශයක් ලබාගත යුතු නෑ
02 වන සංරක්ෂකගේ නිර්දේශය එකතු කළ යුතු නෑ
03 ව්‍යාපෘති යෝජනාව අන්තර් අමාත්‍යාංශ කමිටුවකට ඉදිරිපත්කර අනුමැතිය ලබාගත යුතු නෑ
04 අදාල යෝජනාවට පරිසර ඇගයීම් සහතිකයක් ලබාගත යුතු නෑ
ප්‍රාදේශීය/දිස්ත්‍රික් ලේකම් විසින් තමාට එල්ලවන දේශපාලන පීඩනය හමුවේ හුදු පෑන් පාරකින් රජයේ කැලෑ – කවර හෝ ව්‍යාපෘතියක් උදෙසා – නිදහස් කරනු ලැබේ.

ඒ කියන්නෙ ජනතාවට වගාකිරීම සදහා ඉඩම් ලබාදීමට ඔබ එකඟයි?
ඔව්. අපි කියන්නෙ,
• ජාතික වන ප්‍රතිපත්තියට එකඟව
• රජයේ කැලෑ වැඩිදියුණුකිරීම සහ සංරක්ෂණය කියන කාරණයට හානියක් නොවන පරිදි
• පරිසරයට සිදුවන බලපෑම සළකා බලමින්
• දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ සහ වන සංරක්ෂකගේ මැදිහත්වීම මත
• වනාන්තර ලෙස නොපවත්නා සහ වටිනාකමක් දැක්විය නොහැකි ඉඩම්
ලබා දෙන්න පුළුවන්.
එපමණක් නෙවෙයි. 5/2001 චක්‍රලේඛයෙන් ලැබුුන රැකවරණය පවා එ් විදියටම පැවතුනේ අවුරුදු පහයි. 2006දී නැවතත් මේ චක්‍රලේඛයට සංශෝධනයක් හඳුන්වා දෙනව. ඒකෙ අංකය 05/2006. මොනවද ඒ සංශෝධනයෙන් කියන්නෙ?
“5/2001 චක්‍රලේඛය මගින් කැලෑ කිසිවක් නොපවතින ඉඩම් ද වන සංරක්ෂක වෙත පැවරීම නිසා රජයේ සංවර්ධන අවශ්‍යතාවන් සදහා අත්‍යවශ්‍ය ඉඩම් පවා නිදහස් කිරීමට ඇතිවන ප්‍රමාදයන් වැලැක්වීම පිණිස” අදාල සංශෝධනයන් ගෙන එනු ලැබේ.
ඒ අනුව,
“දිස්ත්‍රික් ලේකම්/ප්‍රාදේශීය ලේකම්, අඩවි වන නිළධාරී, ඉඩම් නිළධාරි, පුරා විද්‍යා සහ වනජීවී සංරක්ෂණ නිලධාරී ආදීන්ගෙන් සමන්විත දිස්ත්‍රික් මට්ටමේ කමිටුවකින් “කැලෑ වශයෙන් නොපවත්නා ඉඩම්” හදුනාගෙන ඒ බව වනසම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා යැවිය යුතුය. ඒ හඳුනාගැනීම්, අන්තර් අමාත්‍යාංශ කමිටුවකින් සලකා බලා අනුමත කරනු ඇත.”
අපි මොහොතකට හිතමු 05/2006 මගින් සිද්දවුනේ 5/2001 වඩාත් ප්‍රායෝගික කිරීමක් කියල. එහෙමනම්, ඇයි දැන් 5/2001 අහෝසි කරන්න යන්නෙ? මෙහෙම “සංශෝධිත” රැකවරණයක්වත් රජයේ කැලෑ සඳහා අවශ්‍ය නැද්ද? ජාතික වන ප්‍රතිපත්තිය දැන් අහෝසි කරලද? නව නීති කෙටුම්පත් කරල රජයේ කැලෑ ටික සංරක්ෂණයට පියවර ගතයුතු නෑ කියන අලුත් ප්‍රතිපත්තියකට රජය එළඹිලාද? එහෙනම් කවදද?
දැන් මේ වෙන්න යන්නෙ ඒ කියන නව නීති සකස් කරල මේ වනගහණය ආරක්ෂා කිරීම වෙනුවට, ඒ සදහා සකස් කළ තාවකාලික රැකවරණ නීතියත් ඉවත් කිරීමටයි.

අනික මේ තියෙන සොච්චම් වනාන්තර පද්ධතිය විනාස කරනව වෙනුවට ලංකාවෙ අතුරු භෝග හෝ මිශ්‍ර භෝග වගාවට යොදාගත හැකි පුරන් ඉඩම් කොපමණ තියෙනවද? ඊටත් අමතරව වගා කරන කුඹුරු ඉඩම් ගත්තත් මහ කන්නෙදි අක්කර ලක්ෂ පහකුත්, යල කන්නෙදි අක්කර ලක්ෂ දහයකුත් වාර්ෂිකව වගා නොකර මගහැරෙනවා. ඒ නිශ්චිතවම වගා කළ හැකි, පුරන් ඉඩම්වල වගා කටයුතු කරලත් මදිවෙලානම් මේ උත්සාහය ගන්නෙ, එතන තර්කයක් තියෙනවා. නමුත් එහෙම නෑ.
එහෙමනම් ඇයි මේ චක්‍රලේඛය අහෝසි කිරීමට මේ තරම් උත්සාහ ගන්නෙ?

මේ උත්සාහය පිටුපස අහිංසක අරමුණක් වගේම සාහසික අරමුණකුත් තියෙනවා. අහිංසක අරමුණ තමයි, හේන් කොටන්න කැලේ යන ගොවියන්ට වනජීවී එකෙන් නඩු දානවා, හිරිහැර කරනවා කියන එක. ඉතින් ඒකට උත්තරේ වනජීවී නිළධාරීන්ට වනාන්තර තහනම් කරල මිනිස්සුන්ට කැමති දෙයක් කරගන්න ඉඩ දීල අතාරින එකද? ඒක වන ප්‍රතිපත්තියට, වන සංරක්ෂණයට ගැලපෙනවද?
ඒකට කළ යුත්තේ වනාන්තර මොනවද, වගාබිම් මොනවද, හේන් කළහැකි බිම් මොනවද කියල නිශ්චිතව හඳුනාගෙන ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීම මිසක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වනාන්තර තහනම් කරන එක නෙවෙයි. ඒ හඳුනාගැනීම විද්‍යාත්මකව කළයුතුයි.
මේ පිටුපස තියෙන සාහසික උත්සාහය තමයි, මහා පරිමාණ ආයෝජකයින්ගේ දඩබිම් බවට අපේ වනාන්තර පද්ධතිය පත්කිරීම. ඉතා කෙටි කාලයකින් ඔවුන් අපට ඉතිරි කරල යන්නෙ “තට්ටෙ ගාපු” බිමක්. වස විසෙන් පොඟවපු බිමක්. ආදර්ශ කාන්තාරයක්. කාගේ හෝ සාක්කුවක් දෙකක් පිරෙයි. සමස්තයක් විදියට රට දුප්පත් වෙයි.

අවශ්‍යම නම් ඔය කියන කාරණා දෙකටම උත්සාහ කරන්න පුළුවන් ක්‍රමවේදයක් මේ චක්‍රලේඛයෙන්ම හඳුන්වාදීල තිබුණත් ඒක කල්ගතවන කාර්යයක් නිසා ක්ෂණිකව වැඩේ කරගන්නයි මේ උත්සාහ කරන්නෙ.

නීතීඥ කපිල ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More