පුරවැසි කොලම

කොරෝනා සේම මුළු රටේම ජනතාවට බලපාන තවත් ප්‍රශ්නයක් මේ දිනවල වේ නම් ඒ විදුලි බිලේ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නයෙන් ජනතාව සේම දැඩි අපහසුතාවට පත්ව සිටින්නේ විදුලි බිල නිකුත් කරන මනු කියවන්නෝය. මිනිසුන්ගෙන් අම්මා මුත්තා නැතිව බැණුම් අසන මනු කියවන්නෝ තමන් මුහුණ දී ඇති අපහසුතා පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.

මාර්තු – අප්‍රේල් ‘කොරෝනා නිවාඩු කාලයේ’ ආ ගිය අතක් නැතිව සිටි ‘විදුලිය – මනු කියවන්නන්’ නැවතත් ගෙයින් ගෙට, දොරින් දොර යන්නට පටන්ගත්තේ ඉකුත් මැයි මාසයේ ය. ඒ කොරෝනා පළමු රැල්ල අවසානයේ දී නිරෝධායන නීතියත් ලිහිල් වූ පසුවය.

එතැන් සිට ගෘහ විදුලි පාරිභෝගික ජනතාවගේ ‘පොදු සතුරා’ වූයේ, ‘කොරෝනා වයිරසය’ නොව, ‘විදුලිය – මනු කියවන්නා’ ය.

‘බුලත්වැල්පොත’ ගමේ විදුලි බිල්පත් නිකුත් කරන්නට ඉකුත් මැයි 11 වැනිදා ගිය පැල්මඬුල්ලේ මනු කියවන්නකු අවසානයේ නතර වූයේ කහවත්ත මූලික රෝහලේ ය. මනු කියවන්නා දුන් මැයි මස විදුලි බිල්පත දුටු නිවැසි කාන්තාවක සහ ඇගේ පුතාට අසූහාරදහසට කේන්ති ගොස් මනු කියවන්නාට හොඳහැටි පහර දී තිබිණි.

”වෙනදාට මට ලැබෙන බිල වගේ දහ ගුණයකටත් වඩා වැඩි බිලක් මේ පාර මට ලැබුණෙ… ගණනින් කිව්වොත් රුපියල් හතළිස් දාහ (40,000) ක්… මම ඒ ගැන ‘මනු කියවන්නා’ එක්ක වාද කර කර ඉන්නකොට මගේ පුතත් එළියට ආවා… අන්තිමේදි ඒක රණ්ඩුවක් වුණා…” බුලත්වැල්පොත කාන්තාව කියන්නී ය.

දැන් මේ විදුලි බිලේ හුටපටය පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් උසාවිය ඉදිරියේ විභාග වන නඩුවක් බවට පත්ව ඇත්තේ ය.

මේ අතර මෙවැනි ම තවත් සිදුවීමක් බම්බලපිටියෙන් ද වාර්තා විය. එකී විදුලි බිල්පතෙහි වටිනාකම රුපියල් හැට දෙදාහ (62,000) කි.

”සාමාන්‍යයෙන් මගේ මාසික විදුලිබිල රුපියල් තුන්දාහක් විතර… ඒත් මෙදා සැරේ බිල රුපියල් හැට දෙදාහක්… ඒක නං වෙන්න ම බැරි වැඩක්… බබාලා ඉස්කෝලෙ නොගිය හින්දත්, අපි වැඩට නොගිය හින්දත් ‘අයන් එක’ පාවිච්චි කළේම නෑ… විදුලිය පිරිමහන්න ඕන හින්දා, වෙනදා රෑ තිස්සෙ දාල තියෙන ඉස්තෝප්පුවෙ ‘ලයිට් එක’ දැම්මෙත් නෑ… මේ බිලේ නං ලොකු වැරැද්දක් තියෙනවා…” හෝමාගම කාන්තාව කියන්නී ය.

රට වටේ කොයි කොනට ගියත් ‘විදුලිය-පාරිභෝගිකයන්’ සියලුදෙනාට ම කියන්නට කතාවක් තිබෙන හැඩ ය.

මේ අතර ගාල්ලේ දඩල්ලේ කාන්තාවක් පැවසූ කතාව වෙනස් ය.

”අපට නං මාස දෙක තුනක බිල එකපාර දුන්නෙ නෑ. මැයි මාසෙට විතරක් බිලක් දුන්නා… ඒකත් සාමාන්‍ය බිලට වඩා ටිකක් වැඩි බිලක්… නමුත් දවල් රෑ දෙකේම අපි හතරදෙනෙක් ගෙදර හිටපු හින්දා වෙනදට වැඩිය විදුලිය පාවිච්චි වෙන්න ඇති… අපි වතුර ගන්නෙත් ළිඳෙන්… ඒ හින්දා වෙනදාට වඩා වැඩි වාර ගණනක් ‘වතුර මෝටරෙත්’ වැඩ කළා… ‘මනු කියවන කෙනා’ කාරණාව පහදල ම කිව්වා…” දඩල්ලේ කාන්තාව කියන්නී ය.

මේ ආකාරයට එක් එක් කලාප කාර්යාලවලට අනුයුක්තව වැඩ කරන ‘මනුකියවන්නන්ගෙන්’ සමහර පිරිසක් එක් මාසයක් සඳහා ද, තවත් පිරිසක් එක වර මාස දෙක තුනක් සඳහා ද බිල් නිකුත් කර තිබේදැ’යි ‘අරුණ’ අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මෙසේ කීවේ ය.

”මැයි මාසෙ විදුලි බිල්පත් නිකුත් කරන්න පටන්ගත්තු ගමන් ම සමහර මනු කියවන්නන් මාස දෙකකට, තුනකට එකවර බිල හැදුවා… සමහරු මාසෙන් මාසෙට වෙන වෙනම බිල් හැදුවා… මේ මොන විදිය කළත්, බිල හැදෙන ක්‍රමය එකයි… ඒක පරිගණකගත ක්‍රමයකට වෙන්නෙ… උදාහරණයක් හැටියට ඒකක 60 ට සහන මිල ලැබෙන පාරිභෝගිකයකුගෙ බිල මාස දෙකකට හැදුවා නම් එයාට ඒකක 120 කට සහන මිලක් ලැබෙනවා…”

මේ අතර ‘විදුලිය – මනු කියවන්නන්ගේ’ කතා ද පුදුමාකාර ය.

මනු කියවන්නෙක් මෙසේ කීවේ ය.

”වෙනදට අපි ගෙවල්වලට යන්නෙ බල්ලන්ට බයේ… දැන් නං ගෙවල්වලට යන්නෙ මිනිස්සුන්ට බයේ… හැම ගෙදරකටම පැය බාගයක් වත් නාස්ති වෙනවා, බිල හදපු විදිය පැහැදිලි කරන්න… ඔක්කොම විස්තර ටික නෝනට පැහැදිලි කරලා ඉවර වුණාම මහත්තයා ඇවිල්ල මුල ඉඳන් ම ආපහු ප්‍රශ්න කරනවා… අවසානෙදි දෙන්නට ම තේරුම් කරලා අල්ලපු ගෙදරට ගිහින් පැහැදිලි කරනකොට කලින් ගෙදර අය එතැනටත් ඇවිත්, ඔක්කොම එකතුවෙලා මට ම බණිනවා… බිල හදන විදියෙ කිසිම වෙනසක් වෙලා නෑ… කොරෝනා නිවාඩු කාලෙ ගෙදර අය පැය 24 ම ගෙදර හිටපු එකෙන් හැමෝගෙම ගෙවල්වල විදුලිය පාවිච්චිය වැඩි වුණා… ඒත් ඒ අය ඒක පිළිගන්න කැමති නෑ… ”

ඔහු වැඩිදුරටත් පැවසුවේ, කොරෝනා කාලයේ දී පාසල් යන වයසේ ළමුන් සිටින නිවාසවල එක් දිනක් සඳහා ‘ශීතකරණය’ විවෘත කරන සහ වසා දමන වාර ගණන වැඩි වූ බවත්, ගෘහණියන් ‘විදුලි උදුන’ හෙවත් ‘අවන් එක’ භාවිත කරමින් ‘කේක්’ පමණක් නොව ‘පාන්’ ද නිවසේදීම පුලුස්සන්නට පටන් ගැනීම නිසා විදුලි ඒකක වැඩි ගණනක් පාවිච්චි වී ඇති බවත් ය. මේ අතර මනු කියවන දිනිඳු පවසන හැටියට දවස පුරා පැය ගණනාවක් රූපවාහිනිය නැරඹීමත්, කාමරයක් කාමරයක් පාසා වැඩි පැය ගණනක් ‘විදුලිපංකා’ ක්‍රියාත්මක කර තැබීමත් විදුලි බිල වැඩි වීමට හේතු වන්නට ඇත. නිවැසියන් වැඩි දෙනකු නිවසේ සිට ‘මාර්ගගත ක්‍රමයට’ හෙවත් ‘ඔන්ලයින් ක්‍රමයට’ වැඩ කිරීම නිසා ද ‘විදුලි බිල’ සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමට වැඩි ඉඩක් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කළුතර ප්‍රදේශයේ මනුකියවන්නකු වන කොරෝනා කාලයේ විදුලි පරිභෝජනයේ වැඩිවීම්වල ස්වභාවය මෙසේ පැහැදිලි කළේය.

”සාමාන්‍යයෙන් මාසයකට ඒකක 60-90 කාණ්ඩයේ ඒකක ගණනක් භාවිත කරන විදුලි පාරිභෝගිකයකුට අප්‍රේල්, මැයි, ජුනි මාස තුනට 300 ඉක්ම වූ ඒකක ප්‍රමාණයක් පාවිච්චි වෙලා තියෙන එක සාමාන්‍යයක්… ඒ වගේම ඒකක 120 – 180 කාණ්ඩයේ පාරිභෝගිකයකුට කොරෝනා මාස තුනේ විදුලිය පාවිච්චිය ඒකක 700 ඉක්මවා තියෙන්නත් පුළුවන්… පාවිච්චිය ඒ වගේ ප්‍රමාණයකින් ඉහළ යනකොට විදුලි බිල දෙගුණ තුන් ගුණ නෙවෙයි, හතර පස් ගුණ වෙන්නත් පුළුවන්…”

කෙසේ වෙතත්, අප්‍රේල්, මැයි, ජුනි විදුලි බිල් අරබයා මනු කියවන්නන් සහ විදුලිය පාරිභෝගිකයන් අතර ඇතිවූ බිහිසුණු වාද විවාද ඊ ළඟට යොමු වූයේ කලාප විදුලි ඉංජිනේරු කාර්යාලවලට ය. මේ ආකාරයට බිල් ගණනය පිළිබඳ අට අනූවක්, නව අනූවක් ප්‍රශ්න රැගෙන කලාප කාර්යාලවලට යන පාරිභෝගිකයන්ට ඒවායින් ද සහනයක් ලැබුණු පාටක් නැත. මන්ද කලාප කාර්යාලවල ඉංජිනේරුවන් ද පාරිභෝගිකයන්ට තොරතුරු සහිතව පහදා පැවසුවේ, ‘මනු කියැවුම’ නිවැරදි වන බව ය. එමෙන් ම ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් සති අන්තයේ සියලුම පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ද, බිල ගණනය කළ ආකාරය පියවරෙන් පියවර පහදාදෙමින්, පාරිභෝගිකයන් වෙත කරුණු පැහැදිලි කිරීමට පියවර ගත්තේ ය.

නමුත් විදුලි පාරිභෝගිකයින්ට එය තවදුරටත් වැටහුණේ නැත. නැතහොත් එකවර මාස තුනක බිල ගෙවන්නට සිදු වූ බැවින් එය පාරිභෝගිකයන්ට ‘දරන්නට බැරි බරක්’ විය. දරන්න බැරි බරක් වුවත් විදුලිය පාරිභෝගිකයන් බිල ගෙවා දැමුවේ මේ අණ්ඩර දෙමළ බිල තේරුම් ගැනීමට මොළේ වෙහෙසනවාට වඩා මේ ආකාරයට ‘නඩුවක්’ නොව ‘අවනඩුවක්’ ම බවට පත් වී තිබෙන ‘විදුලි බිල් ප්‍රශ්නය’ සම්බන්ධයෙන් තාවකාලික විසඳුමක් ඉදිරිපත් කළ ‘මණ්ඩලයේ’ සභාපති විජිත හේරත් මෙසේ පැවසුවේ ය.

”එක් පැත්තකින් මිනිස්සු මේ වෙලාවෙ ඉන්නෙ නොයෙකුත් ආර්ථික අපහසුතා මැද… ඉතිං ඒ අයට අපි දෙන බිල සාධාරණ වුණත්, ඒක ගෙවාගන්න අපහසුවක් තියෙන බව අපිත් පිළිගන්නවා… ඒ නිසා මම සියලුම කලාප විදුලි ඉංජිනේරු කාර්යාලවලට දැනුම් දීලා තියෙන්නෙ, මොනම තත්ත්වයක් යටතේ වත්, කොයිතරම් හිඟ තිබුණත් විදුලිය විසන්ධි කරන්න එපා කියලා… ඒ වගේම ආණ්ඩුවෙනුත් අපි ඉල්ලීමක් කරලා තියෙනවා, පාරිභෝගිකයන්ට සහනයක් දෙන්න උදව් කරන්න කියලා… ”

කෙසේ වෙතත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් දුන්නේ, ඉකුත් බදාදා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී ය. ඒ මාර්තු සහ අප්‍රේල් මාසවලට ද පෙබරවාරි මස බිලට ම සමාන වූ බිලක් ලබා දී පාරිභෝගිකයන්ට සහනයක් සලසන ලෙසට ය.

සුරේඛා සමරසේන

— Aruna —



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More