පුරවැසි කොලම

වෙතින කොරෝනා තත්ත්වය නැතහොත් නව සාමාන්‍ය තත්ත්වය යටතේ පැවැත්වෙන මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය මුළුමනින්ම අලූත් මුහුණුවරක් ගෙන තිබෙන අතර, ඒ සඳහා විවිධ සීමා පැනවී ඇත්තේය. මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලදී මෙන්ම ඡුන්ද විමසීමේදී හා ගණන් කිරීමේදී ද, සියලූ පාර්ශ්වයන්ට සෞඛ්‍ය උපදෙස් තරයේ පිළිපැදීමට සිදුව ඇත්තේය. ඒ අනුව, එක් පැත්තකින් අපේක්‍ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලට දැඩි සීමා පැනවී තිබෙනාතර, අනෙක් පැත්තෙන් මැතිවරණ නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු කරගෙන යාමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇත්තේය. මෙයාකාරයට නව කොරෝනා වසංගතය හමුවේ මැතිවරණයක් පැවැත්වෙන විට ඒ සඳහා වැයකිරීමට සිදුවන මුදල අනපේක්‍ෂිත ලෙස ඉහළ යන අතර, අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා රුපියල් මිලියන 10,000ක් (රුපියල් කෝටි 1000ක් ) පමණ වැයවීමට ඉඩ ඇතැයි අනාවැකි පළවන්නේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට රුපියල් මිලියන 6000ක් පමණ වැයවනු ඇතැයි මුලදී ගණන් බලා තිබුණද, පසුව එම ඇස්තමේන්තුව මිලියන 7500ක් දක්වා ඉහළ ගියේය. මෙවර මැතිවරණයේදී සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කිරීම සඳහා මැතිවරණ නිලධාරීන්ට මුඛ ආවරණ, අත් මේස් හා අත් සෝදන ද්‍රාවණ මීලදී ගත යුතු අතර, ඒ වෙනුවෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුවන්නේය. එමෙන්ම, පෙරහුරු ඡුන්ද විමසීම් සඳහා ද තවත් අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේය. අගෝස්තු 5 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක් පමණ වැය වෙතැයි අනුමාන කෙරෙන්නේ මෙම පසුබිම තුළය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මිල අධික බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පුන පුනා අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය. 2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණය සඳහා ද විශාල පිරිවැයක් දරන්නට රජයට සිදු වූ අතර, ඒ සඳහා මුල් ඇස්තමේන්තුව රුපියල් මිලියන 4521ක් වූයේය. තැපැල් දෙපාර්මේන්තුව සඳහා වෙන්කළ රුපියල් මිලියන 418.7ක් ද, ශ්‍රී ලංකා පොලීසිය සඳහා වෙන්කළ මිලියන 694.3ක් ද මෙම ඇගයීමට ඇතුළත් වූයේය. කෙසේ වුවද, මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවකට අනුව, 2019 ජනාධිපතිවරණය සඳහා වූ රජයේ සැබෑ වියදම රුපියල් මිලියන 7500කට කිට්ටු විය යුතුය. මෙය හුදෙක් රජයේ වියදම පමණක් වන අතර, අපේක්‍ෂකයන් විසින් සිය මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු උදෙසා වැයකරන ලද මුදල් ප‍්‍රමාණය ඊට ඇතුළත් නොවන්නේය.

ලාංකේය මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට, අපේක්‍ෂකයන් විසින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා වියදම් කරනු ලබන මුදල් ප‍්‍රමාණය ගණනය කිරීමේ වෑයමක්, මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් විසින් 2019 ජනාධිපතිවරණයේදී දියත් කරනු ලැබුවේය. එහිදී, මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ ඇගයීම්වලට අනුව, 2019 ඔක්තෝබර් 19 දින සිට නොවැම්බර් 13 දක්වා වූ කාලය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් විසින් ප‍්‍රචාරණ කටයුතු සඳහා වියදම් කරන ලද මුදල දළ වශයෙන් රුපියල් මිලියන 3796ක් පමණ වන්නේය. අපේක්‍ෂයන් විසින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්ට ගෙවන ලද මුදල් මෙන්ම, රැුස්වීම් හා වෙනත් ප‍්‍රචාරණ කටයුතු සඳහා වැයකරන මුදල් ද මෙම ඇගයීමට ඇතුළත් වන්නේය. එහෙත්, සෘජු නොවන, වක‍්‍රාකාර වියදම් මීට ඇතුළත් නොවන්නේය. විශේෂයෙන්, ඒ ඒ අපේක්‍ෂකයන්ට සහාය පළකරමින් විවිධ සමාජ මාධ්‍ය ජාලාවල පළවූ ලිපි සහ පුවත්වලට ගෙවීම් කරන ලද්දේදැයි නිශ්චිතව කිව නොහැකි හෙයින්, එබඳු වක‍්‍රාකාර වියදම් මීට ඇතුළත් නොවන්නේය.

කිසියම් මැතිවරණයකදී අපේක්‍ෂකයන් විසින් වියදම් කරනු ලබන මුදල් ප‍්‍රමාණය අධීක්‍ෂණය කිරීම සඳහා සුදුසු ක‍්‍රමවේදයක් හෝ එම වැය ශීර්ෂය පාලනය සඳහා සුදුසු නීති රාමුවක් ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක නොවූවද, ලෝකයේ බොහෝ රටවල එවන් නීති රීති හඳුන්වා දී ඇත්තේය. නිදසුනක් ලෙස, අසල්වැසි ඉන්දියාවේ ලෝක් සභාවට (පාර්ලිමේන්තුවට* නියෝජිතයන් තෝරාගැනීමේ ඡුන්ද විමසීමකදී, අපේක්‍ෂයෙකු හට වියදම් කළ හැකි උපරිම මුදල ඉන්දීය රුපියල් මිලියන 5-7 අතර ප‍්‍රමාණයක් බවට සීමා පනවා ඇත්තේය. මෙහිදී, ආන්ද්‍ර ප‍්‍රදේශ් හා ගෝවා යන ප‍්‍රාන්තවල අපේක්‍ෂකයන්ට වියදම් කළ හැකි උපරිමය ඉන්දීය රුපියල් මිලියන 5ක් වන අතර, සෙසු ප‍්‍රාන්තවල රුපියල් මිලියන 7ක උපරිමයකට යටත් වන්නේය. එපමණක් නොව, සෑම අපේක්‍ෂකයෙකු විසින්ම සිය මැතිවරණ කටයුතු සඳහා වෙනම බැංකු ගිණුමක් පවත්වාගත යුතු වන අතර, සෑම දේශපාලන පක්‍ෂයක් විසින්ම මැතිවරණයකට පසුව අයවැය වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වන්නේය. කෙසේ වුවද, පසුගිය කාලය තුළ ඉන්දියාවේ ද ඡුන්ද විමසීම් සඳහා වැයවන මුදල් ප‍්‍රමාණයේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන්නේය. 1996 පැවති 11වැනි පාර්ලිමේන්තු මැතිවරණයට වැය වූ මුදල ඉන්දීය රුපියල් මිලියන 5000ක් පමණ වූ අතර, 2004 පැවති 14වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී එම මුදල රුපියල් මිලියන 10000ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව බලනා විට, ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයය ලෙස සැලකෙන ඉන්දියාවේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මිල ඉතා අධික බව පැහැදිලිය.

බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන එංගලන්තයේ, ඡන්ද අපේක්‍ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරණ වියදම්වලට මුල්වරට සීමා පැනවුණේ 1983දී වන අතර, 2019 ඔක්තෝබරයේදී ඒ සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කෙරුණේය. ඡුන්ද ප‍්‍රචාරක පති‍්‍රකා සංස්කරණය, මුද්‍රණය හා බෙදාහැරීම, ඩිජිටල් දැන්වීම්, දුරකතන ඇමතුම් යන කටයුතු සඳහා වැය කෙරෙන මුදල්, එංගලන්තයේ ඡුන්ද අපේක්‍ෂක මැතිවරණ ප‍්‍රචාරණ වියදම් ලෙස සැලකෙන්නේය. මේ අතර, නවසීලන්තයේ තරමක් වෙනස් ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වන්නේය. එරට ඡුන්ද අපේක්‍ෂක වියදම් සීමාවන් වාර්ෂිකව හඳුන්වා දෙනු ලබන්නේය. නවසීලන්ත මැතිවරණ කොමිසම විසින් 2020 වසර සඳහා හඳුන්වා දී ඇති සීමාවන්ට අනුව, අපේක්‍ෂකයෙකු විසින් සිය මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා උපරිම වශයෙන් වියදම් කළ හැක්කේ නවසීලන්ත ඩොලර් 27,500ක් (දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් 18,150ක්) පමණය. මීට අමතරව, දේශපාලන පක්‍ෂයක් විසින් එක් මැතිවණයකදී උපරිම වශයෙන් වියදම් කළ හැක්කේ නවසීලන්ත ඩොලර් මිලියන 1.2ක් (දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 0.8ක්* පමණය. නවසීලන්ත මැතිවරණ නීතිවල දක්නට ලැබෙන තවත් සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ, ඡුන්දයට ඉදිරිපත් නොවන, එහෙත් විවිධ දේශපාලන පක්‍ෂවලට හා අපේක්‍ෂයන්ට සහාය දක්වන තුන්වැනි පාර්ශ්වයන්ට ද සීමා පනවා තිබීමය. එබඳු තුන්වැනි පාර්ශ්ව නවසීලන්ත මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වීම අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර, එවැනි කණ්ඩායමකට එක් මැතිවණයකදී වියදම් කළ හැකි මුදල් ප‍්‍රමාණය නවසීලන්ත ඩොලර් 330,000ක උපරිමයකට යටත් වන්නේය.

යටකී පරිදි, ශ්‍රී ලංකාව තුළ මෙවන් වගවීමේ ක‍්‍රියාදාමයක් නොමැති බැවින්, ඡුන්ද අපේක්‍ෂකයෝ කිසිදු සීමාවකින් තොරව අත දිගහැර වියදම් කිරීමට පුරුදු වී සිටිති. වඩාත් නිවැරදිව කියතොත්, මේ වන විට අපේ සමහර දේශපාලනඥයෝ එක්තරා අන්දමක ආයෝජකයන් පිරිසක් බවට පත්ව සිටිති. යම් පුද්ගලයෙකු කිසියම් ව්‍යාපාරයක් සඳහා මුදල් ආයෝජනය කරන්නේ ලාභ ඉපැයීම සඳහාය. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ යැයි පැරණි සිංහල කියමනක් තිබෙන අතර, අප රටේ දේශපාලනඥයන් මැතිවරණවලදී විශාල ලෙස මුදල් වියදම් කරන්නේ ද අත ලෙවකන්නට නොවන බව පැහැදිලිය. අප රටේ දේශපාලනඥයන් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා විශාල ලෙස මුදල් ආයෝජනය කරන්නේ ඒ හරහා විශාල ප‍්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් බව පැහැදිලිය. වෙනත් වචනවලින් කියතොත්, අප රටේ දේශපාලනය මේ වන විට එක්තරා අන්දමක ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේය. අනෙක් අතට, මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා විශාල මුදලක් නැති උදවිය හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් මූල්‍යාධාර ලබාගැනීමට පෙළඹෙති. එලෙස ධනවතුන්ගේ ආධාරයෙන් ඡුන්ද කටයුතු මෙහෙයවන උදවිය බලය ලැබුණු පසුව තමන්ට උදව් පදව් කළ අයට ණය ගෙවීමට පෙළඹෙති. සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන්නේ යැයි කියැවෙන ඇතැම් බටහිර රටවල ද මේ හා සමාන තත්ත්වයන් දැකගත හැකිය. උදාහරණයක් ලෙස, ඇමෙරිකානු ජනාධිපතිවරණවලදී ප‍්‍රධාන පක්‍ෂ දෙකේ ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට ප‍්‍රබල බහුජාතික සමාගම් මූල්‍යාධාර සපයන බව ප‍්‍රසිද්ධ රහසක් වන්නේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැත්තෙන් පමණක් නොව, රටේ අනාගත දියුණුවට ද මෙය හිතකර තත්ත්වයක් නොවන්නේය. මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා අපේක්‍ෂකයන් හා පක්‍ෂ විසින් මුදල් වියදම් කිරීම නියාමනය සඳහා නීතිරීති සම්පාදනය විය යුත්තේ මේ නිසාය.

මේ අනුව බලනා විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී විවිධ පාර්ශ්ව විසින් විශාල පිරිවැයක් දරනා බව පැහැදිලිය. එක් පැත්තකින් රජය නිල වශයෙන් විශාල වියදමක් දරන අතර, තවත් පැත්තකින් දේශපාලන පක්‍ෂ සහ අපේක්‍ෂකයෝ විශාල මුදලක් වැය කරති. ඉහත සඳහන් කළ පරිදි, අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක් පමණ වැයවීමට ඉඩ ඇතැයි අනාවැකි පළවන්නේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මිල අධික බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ මේ නිසාය. මෙම මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනෙකු තෝරා ගැනෙන අතර, ඒ අනුව එක් මන්ත‍්‍රීවරයෙකු තෝරා පත්කරගැනීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි හතර හමාරක් පමණ වැයවන්නේය. ඉන් කියැවෙන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පමණක් නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ ද මිල අධික බවය.

මිල අධික, ඉතා වටිනා භාණ්ඩයක් තෝරා ගැනීමේදී, අපි සාමාන්‍යයෙන් කිහිප වරක් සිතා බලන්නෙමු. හොඳින් කිරා මැන බලන්නෙමු. එහෙත්, මැතිවරණයකින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු තෝරා ගැනීමට පෙරාතුව අප එසේ කිහිප වරක් සිතා බලනවාද? හොඳින් කිරා මැන බලනවාද? පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත‍්‍රික් අපේක්‍ෂක අනුරාධ ජයරත්න මහතා පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් අපූරු කතාවක් කියා තිබුණේය. පොල් ගෙඩියක් මිලදී ගැනීමේදී කිහිප වතාවක් හොඳින් සොලවා බලා තෝරා ගන්නා ජනතාව, අණපනත් සාදන පාර්ලිමේන්තුවට සුදුසු කෙනෙකු යැවීමේදී එවන් හොඳ තේරීමක් නොකරන බව ජයරත්න මහතා පවසා තිබුණේය. එම ප‍්‍රකාශය සාවද්‍ය බව ඔප්පු කර පෙන්වීමට, ලබන අගෝස්තු 5 වැනිදා අපට අවස්ථාවක් ලැබෙන්නේය.

 

මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More