පුරවැසි කොලම

පොදු සතුරා කොරෝනා පමණි

July 17, 2020 5:56 pm | Lanka Lead News

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන පැතිර යමින් තිබෙන කොරෝනා පොකුර රට තුළ තිගැස්මක් ඇති කර තිබේ. මෙම ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වාර්තා වන්නේ අනුරාධපුරය සහ රාජාංගනය ප‍්‍රදේශයෙන් වුවද ආසාදිතයන් රට පුරා සැරිසරා තිබෙන බව පැහැදිලිය. උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය පාලිත බණ්ඩාර ඉදිරිපත් කරන තොරතුරුවලට අනුව මෙම ප‍්‍රදේශවලින් හඳුනාගත් ආසාදිතයන් සතියක පමණ කාලයක් සමාජයේ සැරිසරා තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකු සමාජයේ නිදැල්ලේ සැරිසැරීම ඉතා අවදානම් තත්ත්වයකි. එමනිසා ඉතා කඩිනමින් මෙම ආසාදිතයන් ඇසුරු කළ සියලූ පුද්ගලයන් හඳුනාගෙන නිරෝධායනයට ලක් කළ යුතුය. එම ආසාදිතයන් හඳුනා ගැනීම හොඳින් සිදු වන බව පෙනේ. වසංගතයකදී, සිදු වූ අත්වැරදීම් ගැන කතා කරනවාට වඩා කළ යුත්තේ සිදු වූ අඩුපාඩු නිවැරදි කරගෙන කොරෝනා මර්දනය කිරීමේ ක‍්‍රියාන්විතය වේගවත් කිරීමය.

මේ වන විට කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක් වූ සෑම රටක්ම වෛරසය සමග ඉදිරියට යෑමට සැලසුම් සකස් කර තිබේ. නමුත් එම සැලසුම් දියත් වන්නේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ප‍්‍රමාණය දිනෙන් දින වැඩි කරමින්, එලෙස හඳුනා ගන්නා ආසාදිතයන් නිරෝධායනයට ලක් කරමිනි. කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම අවසන් අදියරට පැමිණ ඇති බැවින් වෛරසය පරාජය කිරීම පිළිබඳව ලෝකය සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටියි. නමුත් එන්නත සාර්ථක වන තෙක් කොරෝනා වසංගතය පාලනය කිරීමේ වගකීම ලෝකයේ සෑම රටකටම පැවරී තිබේ. වෛරසය පාලනය කළ හැක්කේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා හඳුන්වා දුන් සෞඛ්‍ය නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමෙන් පමණි. එම නිර්දේශ අකුරටම ක‍්‍රියාත්මක කළ රටවල් මේ වන විට වෛරසය මුළුමනින්ම පාලනය කර ගෙන තිබේ. එම රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින රටක් වන්නේ නවසීලන්තය ය.

ඒ වගේම හොංකොං රාජ්‍යය කොරෝනා මර්දනය කරනු ලැබුවේ දැඩි නීති රීති ක‍්‍රියාත්මක කරමිනි. හොංකොං රාජ්‍යය අගුළු දැමූ අවස්ථාවේ අවසරයකින් තොරව නිවසින් පිටවන ඕනෑම පුද්ගලයකුට හොංකොං ඩොලර් 25,000 ක දඩයක් සහ මාස හයක සිර දඬුවමක් නියම විය. ඒ වගේම සිංගප්පූරුවේදී නිරෝධායන නීති උල්ලංඝනය කළ ඇමෙරිකන් ගුවන් නියමුවකු මාස 04ක සිර දඬුවමකට ලක් විය. ඔස්ටේ‍්‍රලියාව නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට පැන වූ දඩය ශ‍්‍රී ලංකා මුදලින් ලක්ෂ දෙකහමාරක් පමණ විය. ලෝකයේ බොහෝ රටවලට එවැනි දැඩි නීති ක‍්‍රියාත්මක කිරීමට සිදු වූයේ පොදුවේ මිනිසුන් වසංගතයකදී අවිචාරවත් ලෙස හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් වැටහීමක් එම රටවලට තිබුණ බැවිනි. නමුත් ශ‍්‍රී ලංකාවට තවමත්, කොරෝනා මර්දන නීති ඇතුළත් ගැසට් පත‍්‍රය මුද්‍රණය කර ගැනීමට නොහැකි වී තිබේ. තවමත් ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනය කරනු ලබන්නේ 1934 වසරේ ස්පාඤ්ඤ උණ මර්දනය කිරීමට ගෙනා නිරෝධායන පනතට අනුව සහ කට වචනයටය. කොරෝනා වැනි තවමත් හඳුනා නොගත් වෛරසයක් මර්දනය කළ හැක්කේ කට වචනවලින් නොව, නීති තදින් ක‍්‍රියාත්මක කිරීමෙන් පමණි. ඒ වගේම මීට වසර 86 කට පෙර හඳුන්වා දුන් නීති මාලාවකට, කොරෝනා වැනි ගෝලීය වසංගතයක් මර්දනය කළ නොහැකි බව අප වටහා ගත යුතුය.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ මිනිසුන්ට වසංගතයක් යනු නවතම අත්දැකීමකි. 1934 වසරේ ස්පාඤ්ඤ උණට පසු වසර 86 කින් අප වසංගතයකට මුහුණ දී නොමැත. මේ නිසා නව පරම්පරාවට වසංගතයක් යනු කුමක්ද, යන්න පිළිබඳව වැටහීමක් නොමැත. මේ හේතුව නිසා වසංගත මර්දනය කිරීමට තරම් ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප දියුණු වී නොමැත. උදාහරණයකට කොරෝනා වෛරසය පැමිණීමට පෙර ‘මාස්ක්‘ එකක් පැළඳ පාරේ ගමන් කරන මිනිසුන් දෙස ජනතාව බැලූවේ රෝගියකු දෙස බලන ආකාරයටය. නමුත් අද ”මාස්ක්’’ එක ෆැෂන් එකක් වී, එය නොපළඳින මිනිසුන් සමාජයෙන් ප‍්‍රතික්ෂේප කරන මට්ටමට පැමිණ තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ”මාස්ක්’’ පැළඳීම අනිවාර්ය කර තිබියදී ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියේ මෑතක් වනතුරුම සඳහන් කර තිබුණේ ”මාස්ක්’’ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවය. වසංගත රෝග මර්දනය කිරීමේදී අප කොතරම් පසුගාමී ලෙස කටයුතු කරනවාද යන්න වටහා ගැනීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ඊයේ (16* නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලෝකයේ රටවල් කොරෝනා මර්දනය කිරීමේදී මූලික සෞඛ්‍යාරක්ෂක පියවරයන් අනුගමනය නොකරන්නේ නම් වසංගතය වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි. ”මහජනයාගේ අංක එකේ සතුරා කොරෝනා වෛරසයයි’’ ටෙඩ්‍රොස් අද්නාම් එහිදී වැඩිදුරටත් පවසා තිබුණි. නිතරම සතුරන් පිළිබඳව අවදියෙන් සිටින ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට, කොරෝනා සතුරා පරාජය කිරීමටද සැලසුමක් තිබෙන බව පැහැදිලිය.

නමුත් එම සැලසුම ක‍්‍රියාත්මක කිරීමේදී අත්වැරදීම් අවම කර ගැනීමට කටයුතු කළ යුතුය. මන්ද කොරෝනා සමග කරන අත්වැරදීම් අවසන් වන්නේ වසංගත ඛේදවාචකවලිනි. එවැනි ඛේදවාචක ශ‍්‍රී ලංකාව වැනි රටකට කොහෙත්ම දරා ගත නොහැක.

Divaina

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More