පුරවැසි කොලම

* ප‍්‍රධාන සූපවේදී 07දෙනා වටා වෙනම ආරක්‍ෂක නිලධාරීන් 14 දෙනෙක්

ඉකුත් වර්ෂයේ ඔක්තෝබර් මස 14 වැනි දින සෞදි රජු විසින් සංවිධානය කරන ලද එක්තරා දිවා භෝජන සංග‍්‍රහයක්ය. සෞදි අරාබියේ රජ මාලිගාව තුළ පවත්වන ලද එම දිවා භෝජන සංග‍්‍රහය සංවිධානය කරනු ලබන්නේ එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් එරට සංචාරය කිරීම නිමිත්තෙන්ය. රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් දෙරටටම වැදගත් එම සංචාරයේ නිරත සුවිශේෂී පුද්ගලයා බවට පත් වන්නේ රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින්ය.

ලොව මහා බලවතුන්ගෙන් එක් අයෙක් ලෙස ගැනෙන රුසියානු ජනාධිපතිවරයා සඳහා සංවිධානය කළ එම දිවා භෝජන සංග‍්‍රහය පිළිබඳව මෙවැනි සටහනක් තබන්නේ ඒ සඳහා දායකත්වය සැපයූ ශී‍්‍ර ලාංකිකයෙක් පිළිබඳ බොහෝ දෙනෙක් නොදත් කතාවක් පැවසීම පිණිසය. සූපවේදී කලාව තුළින් දේශ දේශාන්තර ජය ගැනීමට සමත්ව සිටින ඔහු මේ වනවිට ලෝක තරගාවලි රැසක් නියෝජනය කරමින් රන් පදක්කම් රැසක් අත්පත් කරගෙන සිටින අතර රුසියානු ජනාධිපතිවරයාගේ ආහාර වේලක් රසගැන්වීම පිණිස ඔහුට සුවිශේෂී වරමක් හිමිවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසින්ය.

ඔහු නමින් දිමුතු කුමාරසිංහය. අරක්කැමි සහායකයකු ලෙස හෝටල් ක්ෂේත‍්‍රයට එක්වන ඔහු දැඩි උත්සාහය, කැපවීම මත පියවරෙන් පියවර ක්ෂේත‍්‍රය තුළ පෙරමුණට පැමිණෙන අතර මේ වනවිට ඔහු ශී‍්‍ර ලංකා සුපවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස අඛණ්්ඩව වසර 8 ක් කටයුතු කර ඇත. ඔහු මෙතෙක් පැමිණි ගමන් මඟ යනු පැතුම් සහගත මිනිසකුගේ දිරිමත් කතාවක් බඳුය. මෙතැන් සිට මෙම සටහන වෙන්වන්නේ එම කතාව පැවසීම පිණිසය. දිමුතු විසින් තම ජීවිත අන්දරය පැවසීම ආරම්භ කරන ලද්දේ ඉහතින් සඳහන් කළ සුවිශේෂී දිවා භෝජන සංග‍්‍රහය සඳහා ඔහු විසින් දායකත්වය සැපයූ අයුරු සඳහන් කරමින්ය.
‘‘ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ මට සෞදි රාජ්‍යයෙන් එක්තරා ලිපියක් ලැබෙනවා. ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ජර්මන් ජාතික තෝමස් ගුග්ලර් හරහා තමයි මට ලිපිය ලැබෙන්නෙ. එහි සඳහන් වෙලා තිබුණෙ රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් සෞදි රජු විසින් දිවා භෝජනයක් සංවිධානය කරලා තිබෙනවා. ඒ සඳහා මගේ දායකත්වය අවශ්‍යයි කියලා. මට ලිපිය ලැබිලා දින තුනක් නැත්නම් හතරක් වගේ කාලයක් තමයි ඒ සඳහා තිබුණෙ.
chef2
ඇත්තටම ඒක සූපවේදියකුට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් හින්දා මම සේවය කරන එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහයේ කළමනාකාරීත්වයට ඒ බව දැනුම් දුන්නා. කිසිම පැකිළීමකින් තොරව ඒ සඳහා කළමනාකාරීත්වයේ අවසරය මට ලබා දුන්නා. ඊළඟ දවසේ මම සෞදි අරාබියට යනවා.’’

එලෙස ලංකාවෙන් පිටත්ව යන දිමුතු කුමාරසිංහ සෞදි අරාබියට ළඟා වීමත් සමඟ ඔහුව යොමු කරනු ලබන්නේ වෛද්‍ය පරීක්ෂණයක් පිණිසය. අංග සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව එම වෛද්‍ය වාර්තා පරීක්ෂා කරනු ලබන වෛද්‍යවරුන් පිරිසක් විසින් ඔහු මනා ශරීර සෞඛ්‍යයකින් පසු වන පුද්ගලයෙක් බවට සහතික කරන අතර දිමුතු හට එම රාජකීය භෝජන සංග‍්‍රහයට දායක වීමේ අවස්ථාව හිමිවන්නේ ඉන් අනතුරුවය.

‘‘වෛද්‍ය පරීක්ෂණයෙන් පස්සෙ අපට වෙන්කළ හෝටලයක් වෙත මාව රැගෙන යනවා. මාත් එක්ක තවත් සූපවේදීන් හය දෙනෙක් මේ කටයුත්තේදී ප‍්‍රධාන සූපවේදීන් විදිහට කටයුතු කරනවා. ජර්මන්, ස්වීස්, කැනඩාව ඇතුළු රටවල් කීපයකින් ඒ අය ඇවිත් හිටියෙ. අපි  හත් දෙනාට ආරක්ෂක නිලධාරීන් දෙන්න ගානේ වෙනම දාහතර දෙනෙක් හිටියා. එක්කෙනෙක් අපේ පිරිසිදුකම පරීක්ෂා කිරීමට හිටියෙ. අනිත් ආරක්ෂක නිලධාරියාගේ රාජකාරිය වුණේ අපේ හැසිරීම පරීක්ෂා කරන එක. බාත්රූම් එකට ගියත් ඒ අය දොර ගාවට වෙලා ඉන්නවා. ඒ තරමටම ආරක්ෂාවක් අපටත් අපි හිටිය හෝටලයටත් ඒ වගේම සෞදි රජ මාලිගාවටත් ඒ දවස් කීපයේම දීලා තිබුණා.’’

එදා රාති‍්‍රය හෝටලයේ ගත කරපු අපව පහුවැනිදා සෞදි රජ මාලිගාවට ගෙනියනවා. මේ හැම තැනකදීම ආරක්ෂාවට තමයි මුල් තැනක් ලබාදීලා තිබුණෙ.

මාලිගාවට ගෙනිහින් ආහාර වේල සකස් කිරීම සඳහා සූදානම් කරලා තිබුණ මුළුතැන්ගෙට අපව යොමු කළාට පස්සෙ අපි ආහාර වට්ටෝරුවක් ප්ලෑන් කරලා නිලධාරීන් අතට පත් කරනවා. ෆයිව් කෝස් කියන ක‍්‍රමය යටතේ ආහාර පිළිගන්වන ක‍්‍රමයට අනුව තමයි ඒ වට්ටෝරුව සකස් කරන්නෙ. ෆයිව් කෝස් කියන ක‍්‍රමය සරලව හඳුන්වනවා නම් හඳුන්වන්න වෙන්නෙ පිඟන් පහකට ආහාර පිළිගැන්වීම කියලා. මම අර මුලින් කිව්ව විදිහට අපි සකස් කළ ආහාර වට්ටෝරු සඳහා අනුමැතිය හිමි වුණාට පස්සෙ පෙරහුරුවක් පැවැත්වූවා. ඊට පස්සෙ ඒක ෆුඞ් ටෙස්ටින්වලට යවනවා. ඊට පස්සෙ තමයි ඒ ආහාර වේල සකස් කරන්න අනුමැතිය හිමිවන්නෙ.’’

chef3ඒ අනුව දිමුතු ඇතුළු ලොව සුප‍්‍රකට සූපවේදීන් හත් දෙනකුගේ සහභාගිත්වයෙන් යෝජනා කරනු ලබන ආහාර වට්ටෝරුව රුසියානු ජනාධිපතිවරයාගේ කෑම මේසය සැරසීම පිණිස යෝග්‍යබව නිර්දේශිතවී ඇත. එම ආහාර වේල සකසනු ලබන්නේ සෞදි රජ මාලිගාවේ ප‍්‍රධාන මුළුතැන්ගෙය තුළය. දිමුතු පවසන ආකාරයට එය ලොව ඉහළම තරු පන්තියේ හෝටලයක මුළුතැන්ගෙයකට වඩා අනර්ඝ අංග සම්පූර්ණ මුළුතැන්ගෙයක්ය. ලොව නවීනතම අංගෝපාංගයන්ගෙන් එය සමන්විත වී ඇත.

‘‘රුසියානු ජනාධිපතිවරයා පැමිණීමට පෙරදින අපි විසින් සකස් කළ කෑම වේලක් රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් විදිහට සෞදි රජ පවුලේ සාමාජිකයන්ට පිරිනැමුවා. ඒ අය බොහොම කැමැත්තෙන් ඒ ආහාර වේල අනුභව කළා. ඇත්තටම සෞදි රජුට ඕන වෙලා තිබුණ එරට මුල්වරට සංචාරය කරන රුසියානු ජනාධිපතිවරයාට ඉහළින්ම සංග‍්‍රහ සත්කාර කරන්න. ඒ හින්දා තමයි ඔහු ලෝකයේ වෙනත් රටවලින් පවා ඒ සඳහා සූපවේදීන් ගෙන්වන්න තීරණය කරන්න ඇත්තෙ. එතැනදී කණ්ඩායමක් වශයෙන් අපිත් උපරිමයෙන් ඒ කටයුත්තට යොමු වුණා. එදා රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් සකස් කළ දිවා භෝජනය සඳහා ඔහු ඇතුළු අමුත්තන් 350 කට පමණ ආහාර සකසන්න කියලා අපට දැනුම් දෙනවා. ඒ කටයුත්තට අපි හත් දෙනාට අමතරව සෞදි රජ මාලිගයේ සේවය කළ තවත් පිරිසකගේ සහාය අපට හිමි වෙනවා. ෆයිව් කෝස් ක‍්‍රමය යටතේ 350 කට ආහාර පිළිගන්වන්න පිඟන් 1750 ක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් යුරෝපා ජාතිකයෙක් ගත්තොත් ෆයිව් කෝස් ආහාර වේලක් භුක්ති විඳින්න පැය දෙකක් දෙකහමාරක් වගේ කාලයක් ගන්නවා. නමුත් එදා දිවා ආහාරය සඳහා වෙන් කරලා තිබුණෙ විනාඩි 45ක් පමණයි. විනාඩි 45ක් ඇතුළත මේ වගේ ආහාර වේලක් අමුත්තන් 350ක් වැනි විශාල පිරිසකට පිළිගන්වනවා කියන්නෙත් අභියෝගයක්. නමුත්, එදා අපිට පුළුවන්කම ලැබෙනවා ඒ අභියෝගය ජය ගන්න. ඒක විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක්.’’

එදින දිමුතු කුමාරසිංහගේ ජීවිතයේ එක් සුවිශේෂී දිනයක්ය. ඔහු ඇතුළු ලොව අංක එකේ සූපවේදීන් පිරිසක් එක්ව රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනමන ආහාර වේල සැකසීමත් බාධාවකින් තොරව ජනාධිපතිවරයාව දැකබලා ගැනීමට හැකිවීමත් ඊට හේතුව බවට පත්ව ඇත. එම සිදුවීම් පෙළ විස්තර කළ දිමුතු පවසා සිටින්නේ එවැනි ආරක්ෂක ක‍්‍රමවේදයක් පිළිබඳව ඉන් පෙර ඔහු අසා දැක නොතිබුණ බවය.

‘‘රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් වෙනම ගුවන් යානයක් වෙන් වෙලා තිබුණා. ඔහු මාලිගා පරිශ‍්‍රයට ළඟා වුණේ ඒ ගුවන් යානයෙන්. ඊට අමතරව වෙනම මෝටර් රථ පහ හයක් ඔහු වෙනුවෙන් වෙනම ම ගෙනත් තිබුණා. ආරක්ෂාව ගත්තත් එහෙමයි. පෞද්ගලික ආරක්ෂක භටයෝ සීයක් විතර ඔහුට ආරක්ෂාව සපයමින් හිටියා. ඊට අමතරව ගත්තොත් අවට විශාල වශයෙන් ආරක්ෂාව තර කරලා තිබුණා.’’

සෞදි රජු සමඟ කෑම මේසයට එද්දී පමණයි ඒ සඳහා ඔහු තනිව පැමිණෙන්නෙ. ඒ වෙලාව ඇතුළෙත් භෝජනාගාරය අවට දැඩි ආරක්ෂාවක් යොදවලයි තිබුණෙ. නමුත් එතැනදී අපට ජනාධිපතිවරයාව දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නොවෙයි, ඔහු ඇතුළු සෞදි රජු සහ අනිකුත් ආරාධිතයන් ආහාර ගන්න ආකාරය පවා අපි විසින් දකිනවා. ඇත්තටම ඒක මගේ රාජකාරී දිවියේ සුවිශේෂී සිදුවීමක් ලෙස හැමදාම සිහි කරන්න පුළුවන් කාරණයක්.’’

එම සුවිශේෂී රාජකීය භෝජන සංග‍්‍රහයට දායකත්වය සැපයීම වෙනුවෙන් සෞදි රජය විසින් ලබාදුන් සහතික සම්මාන ආදිය දිමුතු කුමාරසිංහ සතුය. එපමණක් නොව ඔහු විසින් ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ලෝක සූපවේදී තරගාවලි ඇතුළු සූපවේදී ඔලිම්පික් තරගාවලි රැසක ජයග‍්‍රහණ සිය ගණනක් ඔහු නමින් නම් කොට ඇත. ඒ සා විසල් හැකියාවක් සහිත ඔහුට ලොව නොයෙක් රටවලින් එම රටවල සේවය පිණිස පැමිණෙන ලෙස නිරන්තරයෙන් ඇරයුම් ලැබෙන අතර එම ඇරයුම් නිහතමානීව ප‍්‍රතික්ෂේප කරන දිමුතු පවසා සිටින්නේ තමන්ගේ දැනුම හා හැකියාව තවදුරටත් රට වෙනුවෙන් ප‍්‍රදානය කිරීම තමන්ගේ අරමුණ බවට පත්ව තිබෙන බවක්ය.

‘‘මම මේ ගමන ආරම්භ කළේ මේ රස්සාවේ පහළම තැනින්. එතැනදී මට මුලින්ම කරන්න දෙන්නෙ පිඟන් හෝදන එක එහෙම කාලයක් යද්දි මම ටේ‍්‍රනින් කුක් කෙනෙක් විදිහට වැඩ කරන්න ගත්තා. සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ඉවර වුණ හැටියෙ තමයි මම මේ ක්ෂේත‍්‍රයට යොමු වෙන්නෙ. මගේ අයියා මගේ ඉල්ලීමක් පිට මාව ඒ සඳහා යොමු කරන්නෙ.

ඒ සිද්ධිය වෙන්නෙ 1989 අවුරුද්දෙ. ඔහොම වසර තුනක් විතර යද්දී ශී‍්‍ර ලංකා සූපවේදී සංගමයෙන් සංවිධානය කළ තරගයක් සඳහා සහභාගි වෙන්න මට අවස්ථාව ලැබෙනවා. එතැනදී මට රිදී සම්මානයක් හිමි වෙනවා. ඒ හරහා මට කොළඹ හිල්ටන් හෝටලයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තට ම ඉතාම දුෂ්කර කාල පරිච්ෙඡ්ද පසු කරමින් පියවරෙන් පියවර ආව ගමනක් තුළින් තමයි මම මේ වගේ දුරක් අද ඇවිත් ඉන්නෙ….’’

chef4දිමුතුගේ ජයග‍්‍රහණ එතෙකින් නිමාවට පත් වන්නේ නැත. 1993 වසරේ හොඳම සූපවේදියා ලෙස කිරුළු පළඳන දිමුතු ඉන් අනතුරුව වසර කීපයක් රැකියාව පිණිසි විදේශගතව ඇත. එහිදී සිඞ්නි ඔලිම්පික් තරගාවලියට සහභාගි වන දිමුතු රන් පදක්කම් හතරක් දිනා ගනිමින් දස්කම් දක්වා ඇති අතර එහි ප‍්‍රතිඵලය බවට පත් වන්නේ ඔස්ටේ‍්‍රලියා රජය විසින් ඔහුට සම්මාන පුරවැසිකම ප‍්‍රදානය කිරීමය. කෙසේ වෙතත් කෙටි කලක් එහි සේවය කරන දිමුතු පෞද්ගලික කටයුත්තක් පිණිස නැවත ශී‍්‍ර ලංකාවට පැමිණෙන අතර ඔහු විසින් ඔස්ටේ‍්‍රලියානු පුරවැසිභාවයට ආයුබෝවන් කියනු ලබන්නේ එම පැමිණිමෙන් අනතුරුවය.

‘‘ හෝටල් ක්ෂේත‍්‍රයේම රැකියාව කරන මගේ මිත‍්‍රයෙක් වන කීර්ති හපුවත්තගේ ඔස්ටේ‍්‍රලියාවේදී මට හුඟක් උදව් කළ පුද්ගලයෙක්. කොහොම හරි මම ඒ රටේ රැකියාව කරන අතරතුර මාස කීපයකට නිවාඩු අරගෙන ලංකාවට ආවා. ඒ ආව වෙලාවෙ තමයි එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමුහයේ අධ්‍යක්ෂවරයෙක් වන ගැමුණු ගුණවර්ධන මහත්මයව මට මුණගැසෙන්නෙ. එතැනදී එතුමා මගෙන් විමසුවා ‘‘ඇයි ඔයා ලංකාවේ ඉන්නෙ නැත්තෙ, ටික කාලයක් මෙහේ වැඩ කරන්න කියලා. ඇත්තට ම ඒ හමුවීම මගේ අනාගතය වෙනස් කළ හමුවීමක් බවට පත් වෙනවා. එහෙම නොවුණ නම් මගේ දැනුමෙන් හැකියාවෙන් වැඩ ගන්නෙ ඔස්ටේ‍්‍රලියාව…..’’

එතැන් සිට මේ දක්වා දිමුතු කුමාරසිංහ මෙරට තුළ රැඳී සිටිමින් රාජකාරී සිදු කරන අතර ඔහු මේ වනවිට මෙරට සංචාරක ක්‍ෂේත‍්‍රයේ ජනපි‍්‍රය නාමයක් වන එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහයේ ආහාරපාන සම්බන්ධ ප‍්‍රධානියා ලෙස කටයුතු කරමින් ඇත. මතුගම නවුත්තුඩුව මහ විදුහලෙන් අධ්‍යාපනය හදාරන ලද ඔහු ආධුනිකයකු ලෙස සංචාරක හෝටල් ක්‍ෂේත‍්‍රයට එක්වන අතර ඔහු විසින් අත්පත් කර ගත් සියලූ ජයග‍්‍රහණයන් සඳහා පදනම බවට පත්වන්නේ උත්සාහයත් කැපකිරීමත් ය. මේ වනවිට මෙරට පමණක් නොව විදේශ රටවල පවා සංචාරය කරමින් සූපවේදය පිළිබඳ විශේෂඥ දේශකයෙක් ලෙස කටයුතු කරන දිමුතු තමන් පැමිණි ගමන්මඟ පිළිබඳ විස්තර පැවසීම නිමා කරන්නට මත්තෙන් රැකියා අපේක්‍ෂිත තරුණ පරපුරෙන් එක් ඉල්ලීමක් කිරීමට ද අමතක නොකළේය.

‘‘හෝටල් ක්‍ෂේත‍්‍රය කියන්නේ මෙරට ගත්තත් විදේශීය වශයෙන් ගත්තත් හැමදාම පවතින කර්මාන්තයක්. මේ ක්‍ෂේත‍්‍රයට ආධුනිකයෙක් වශයෙන් ඇතුළු වන ඕනෑම කෙනෙක් තුළ උත්සාහය කැපවීම තිබෙනවා නම් ගොඩක් දුර ගමනක් යන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි මම. ඒ හින්ද මම මේ රටේ තරුණ පරපුරෙන් ඉල්ලීමක් කරනව මේ ක්‍ෂේත‍්‍රයට එන්න කියල. මා ඇතුළු මේ ක්‍ෂේත‍්‍රයේ ඉන්න ප‍්‍රවීණයන්ගේ දැනුම අත්දැකීම් ඒ අයට දෙන්න අප සූදානම්.’’

අවසන් වශයෙන් එසේ සඳහන් කරමින් දිමුතු සිය අදහස් දැක්වීම නිමාවට පත් කළ අතර ඔහු ඇසුරේ ගත කළ කෙටි කාලවේලාව තුළ අපට අවබෝධ වූ කරුණක් වූවේ රාජකාරිය දේවකාරිය සේ සලකන මිනිසුන් තවමත් අපි අතර වන බවය.

* රුවන් ජයවර්ධන

⋆ ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More