පුරවැසි කොලම

සමාජ සංස්ථාවක් ලෙස අධ්‍යාපනයට ක්‍රමික විකාශයක් තිබූ බව අප විසින් අධ්‍යයනය කරන ලද සියලු ශිෂ්ටාචාර මගින් පෙන්වාදී ඇත. ඉපැරණි ශිෂ්ටාචාරවලද, මෑත කාලීනව, යුරෝපීය, ඇමරිකානු, අප්‍රිකානු සහ ආසියාතික සමාජවලද අධ්‍යාපනය ලබා දීමටත්, අධ්‍යාපනය ලබා ගැනීමටත් ඇති උනන්දුව දිනෙන් දිනම වර්ධනය වනු මිසක අවප්‍රමාණ වීමක් දැකිය නොහැකිය. නැගෙනහිර ආසියානු සංවර්ධනාත්මක රාජ්‍ය ගැන විස්තර කරන චාමස් ජොන්සන් පැවසූයේ එම රාජ්‍යයන් දියුණු වීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යාපනය කෙරෙහි ඔවුන් විසින් දරන ලද ඉතා ඉහළ මට්ටමේ ආයෝජනය බවයි. සියලු රාජ්‍ය‍යන් විසින් සිය ආර්ථික ප්‍රතිපත්ති සැලසුම්කරණයේදී ද අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවයන් පිළිබඳව ඉතා දැඩි උනන්දුවක් දක්වනු ලැබේ.

අධ්‍යාපනය ආයෝජනයක් ලෙස සැලකුවද එය අප විසින් බලාපොරොත්තු වන්නා වූ ප්‍රතිඵල අප වෙත ළඟා කර දීමට අසමත්ව ඇති බව වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය දෙස ඉතා විමසිල්ලෙන් බැලීමේදී පෙනී යන කරුණකි. අධ්‍යාපනය මගින් පුද්ගල චරිත සංවර්ධනය අපේක්ෂා කළ ද දැනුම ආකල්ප සහ නිපුණතා එම පුද්ගල සංවර්ධනය කෙරෙහි ධනාත්මක ලෙසින් දායක වී නොමැති බවද, නැතහොත්, අධ්‍යාපනය ලැබූවන් මෙම සාධක තම පුද්ගල සංවර්ධනය සඳහා දායාද කර ගැනීමට උත්සුක වී නොමැති බවද වටහා ගත හැකිය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය බොහෝ විට සකස් වී ඇත්තේ බටහිර යුරෝපීය, වෙසෙසින්ම, බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට අනුගතවය. රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් බිහිකරන සහ බිහිවෙන උගතුන්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වන බව සංඛ්‍යාලේඛන අනුව හඳුනාගත හැකි වුවද, එම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව ගැටලු රාශියක් මතුව ඇත.

කොවිඩ්-19 වැනි වසංගතයකින් මෑතකාලීන ශ්‍රී ලාංකීය සමාජය තර්ජනයට ලක්ව නැති බැවින් මෙවැනි සමාජ ව්‍යසනයකට මුහුණ දීමේ පූර්ව අත්දැකීමක් අපට නොමැති බව පිළිගත යුතුය. තිස් වසරකට ආසන්න යුද්ධයකට අමතරව සමාජ ව්‍යසනයක් ලෙස මූලිකව බලපාන ලද්දේ සුනාමි ව්‍යසනය පමණකි. ඒ හැරුණු විට ඉඳහිට ඇතිවන කාලගුණික විපර්යාසවල බලපෑමෙන් ගංවතුර, නායයාම් සහ නියඟ අප සමාජය මුහුණ දුන් තාවකාලික ව්‍යසනයන්ය. මෙම සෑම අවස්ථාවකදීම සමාජය විසින් පොදුවේ දක්වන ලද දායකත්වය සැබවින්ම පැසසිය යුතුය. එහෙත්, ඉතා දැඩි කැපවීමක් අවශ්‍ය කොවිඩ්-19 වැනි ව්‍යසනයකදී එයට මුහුණ දීමට අත්‍යවශ්‍ය විනය, හික්මීම වැනි කරුණු අප වෙතින් ගිලිහී යෑම නිසා ඉගෙනුම් ක්‍රියාවලියෙහි අඩංගු ආකල්ප සහ මෘදු කුසලතා සංවර්ධනය දෙස නැවත වරක් හැරී බැලිය යුතු බවත් යෝජනා කරමි.

කොවිඩ්-19 ආරම්භක සමයේ තාවකාලිකව ඇඳිරි නීතිය පැන වූ දින පටන් දිනපතා ප්‍රවෘත්තිවලින් පෙන්වා දුන් ප්‍රධාන කරුණුක් වූයේ ඇඳිරි නීතිය කඩ කිරීම නිසා අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් සහ රථවාහන ප්‍රමාණයන් ය. මෙහිදී දිනපතා වාර්තා වූ කොවිඩ්-19 රෝගීන්ට සාපේක්ෂව ඉතා විශාල ප්‍රතිශතයකින් අත්අඩංගුවට ගැනීම් වාර්තා විය. එසේම රෝගී වූවන් විසින් සිය රෝගී තත්ත්වයන් සහ තමන්ගේ අනන්‍යතාව සැඟවීම මගින්ද රෝගය පැතිර යාමට තිබූ ප්‍රවණතාව බුද්ධි අංශ මගින් සියලුම රෝගීන් ඇසුරු කළ අයගේ විස්තර සනාථ කර, වාර්තා කර ගැනීම නිසා වැළකී ගියේය.

මෙහිදී අප විසින් වටහා ගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න නම්, ඇඳිරි නීතිය කඩ කිරීමට යම් පුද්ගලයන් පෙලඹුණේ ඇයි ද යන්නය. දෙවැන්න, රෝගී තත්ත්වයක් වසන් කිරීමට පෙලඹීමේ ප්‍රවණතාවයි. තෙවැන්න, තමා සහ තම පවුලේ අයගේ තොරතුරු වසන් කිරීමෙන් මෙවැනි අවස්ථාවකදී ආරක්ෂා කරගන්නා පෞද්ගලිකත්වයේ සහ රහස්‍යභාවයේ වගකීම් විරහිත භාවයෙහි සමාජ අපයෝජනයයි. සිව්වැන්න, නීතියට ගරු නොකර සිටීමට ඇති මානසික ප්‍රවණතාවේ භයානක ස්වරූපයයි.

ඉතා ඉහළ සාක්ෂරතාවක් ඇතැයි අප විසින් නිරන්තරයෙන්ම උදම් අනන ලද සමාජයකින් මෙවැනි තත්ත්වයන් උද්ගත වීම පිළිගත නොහැක්කකි. සියලු දෙනම උපාධි මට්ටමේ හෝ උසස් පෙළ දක්වා අධ්‍යාපනය නොලැබුවද, අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ලබන අධ්‍යාපනයේ පවා සමාජ වගකීම, සමාජ වගවීම සහ පාරදෘශ්‍ය භාවය පිළිබඳව පන්තිකාමරවල දී නිරන්තරයෙන්ම සාකච්ඡාවට ලක්වන මාතෘකා ලෙස සැලකිය හැකිය. සමාජානුයෝජන ක්‍රියාවලිය තුළ නිවස, පාසල, සමවයස් කණ්ඩායම් සහ සමාජ මාධ්‍ය තුළින්ද මේ පිළිබඳ සිදුවන කතිකාව තුළ තම චර්යා රටාවන් සකසා ගැනීමට අවශ්‍ය බුද්ධිය සහ දැනුම පිළිබඳ අත්දැකීම් නිරන්තරයෙන් ලැබෙන බවද සක්සුදක් සේ පැහැදිලිය. එසේනම්, ඉගෙනුම් ක්‍රියාවලිය මෙලෙස ප්‍රතිඵල රහිත වීමට බලපෑ සාධක මොනවා දැයි ගැඹුරින් විමසිය යුතුය.

ඇඳිරි නීතිය කඩ කිරීමට පුද්ගලයන් පෙලඹීම පිළිබඳ හේතු වශයෙන් අප ප්‍රධාන වශයෙන්ම හඳුනා ගත්තේ මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ගේ හැසිරීම් බවය. නාවික හමුදා සෙබළුන් අතර කොවිඩ්-19 පැතිරීමට ප්‍රධාන හේතුව වශයෙන් දැක්වූයේද මෙලෙස ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට යාමේදී ඇතිවූ අනාරක්ෂිත තත්ත්වයන්ය. සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත මතය වන්නේ මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ඒවා නොමැතිව කාලය ගත කළ නොහැකි බැවින් ඒවා සපයා ගැනීමට ඇඳිරි නීතිය කඩකරමින් ක්‍රියා කළ බවය. නමුත් අත්අඩංගුවට පත් පුද්ගලයන් සහ රථවාහන පිළිබඳව සලකා බැලීමේදී සාපේක්ෂ වශයෙන් පිළිගත් සමාජ පන්තියකට මෙන්ම උසස් අධ්‍යාපන මට්ටමකට හිමිකම් කියන පුද්ගලයන්ද සිටි බව හඳුනා ගත හැකි විය. එසේනම් දුප්පත් සහ අඩු අධ්‍යාපන මට්ටම් සහිත සමාජ කොට්ඨාසයක් මගින් නොදැනුවත්කම මත ඇඳිරි නීතිය උල්ලංඝනය කළ බව සාධාරණ තර්කයක් නොවේ. නමුත් මෙලෙස ඇඳිරි නීතිය කඩ කළ සියලු පුද්ගලයන් ශ්‍රී ලාංකීය සමාජය තුළ කුමන හෝ මට්ටමක් දක්වා ලබන ලද ඉගෙනුම් ක්‍රියාවලිය ප්‍රශ්නාර්ථයට තුඩු දෙන්නකි. මෙම සමාජ කණ්ඩායම් තුළ විවිධ ස්වරූපයන් හඳුනාගත් හැකි වීමද සුවිශේෂී කරුණකි.

දීර්ඝ කාලයක් නිදහසේ ජීවත් වූ සමාජයකට එක්වරම නිවෙස්වලට කොටුවීමට සිදුවීම රජය විසින් මුලදී හඳුන්වනු ලැබුවේ සමාජ දුරස්ථභාවය රැක ගැනීමේ ක්‍රියා පිළිවෙතක් ලෙසයි. සමාජ සහ ශාරීරික දුරස්ථභාවයකට වඩා මානසික දුරස්ථභාවයකට අප සමාජය සූදානම්ව සිටියේද යන්න මෙහිදී පැන නැගෙන ප්‍රධාන තර්කයයි. විවෘත ආර්ථිකය මගින් අපට උරුමකර දෙන ලද ගෝලීයකරණය තුළින් සමාජ සාරධර්ම, ආකල්ප, විශ්වාස සහ ඇගයුම් ක්‍රමිකව බිඳවැටෙමින් පැවතියද, සමාජමය ජීවිතයක් ගත කිරීමේ අභිලාෂයද පවතින තරගකාරී සමාජය තුළ ඇති වෙළෙඳපළ ආර්ථිකය තුළින් ම ජනිත කරන ලද්දකි. එම නිසා නිවෙස්වලින් බැහැරව එළිමහන් ජීවිතයකට පුරුදු පුහුණු වූ ජනතාවට හදිසියේ මෙලෙස නිවෙස්වලට කොටු වීම දරාගත නොහැකි මානසික ව්‍යාකූලතාවන් ගොඩනඟන ලද බවද පිළිගත යුතුය.

නාගරික ප්‍රදේශවල තාවකාලිකව ලැගුම් ගෙන සිටි ජනතාවට ගම්බිම් කරා යාමට අවශ්‍ය වූ අතර ඒ සඳහා පැවැති වාතාවරණය යහපත් නොවීය. ගම්වල සිටි ජනතාව අතරින් ඇඳිරි නීතිය කඩකිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වූයේ සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන්ය. සරලව ගතහොත් සෑම සමාජයකම මෙවැනි දේ සිදු වීම සුලබ සහ ස්වාභාවික යනුවෙන් තර්ක කළ හැකිය. බොහෝ දියුණු රටවල කොවිඩ්-19 කාලය තුල දුරස්ථභාවය සඳහා ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඉතාමත්ම බැරෑරුම් අවස්ථාවකදී පමණි, එනම්, ආර්ථිකය පවත්වා ගැනීම සහ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ සිද්ධාන්තයන් පදනම් කරගනිමිනි. ශ්‍රී ලංකාව වැනි රටක් පිළිබඳව සලකා බැලීමේදී චීනය, එංගලන්තය, ඇමරිකාව, ස්පාඤ්ඤය සහ ඉතාලිය වැනි රටවල රෝගීන් සංඛ්‍යාව අපගේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවට දිනපතාම ජනමාධ්‍ය මගින් නිරන්තරයෙන්ම ප්‍රකාශ කිරීමට සිදුවිය. මේ සඳහා සියලු රූපවාහිනී නාළිකා භාවිත කරමින්ද, ජංගම දුරකථනවලින් ලබාගන්නා සහ ඒවාට ලැබෙන සෑම දුරකථන ඇමතුමකටම කලින් පටිගත කළ දැනුවත් කිරීමේ ප්‍රකාශයක් යොදාගනිමින්ද ඇතිවීමට ගිය බරපතළ තත්ත්වය සමනය කරගත හැකි විය.

දෙවැන්න නම් විසි එක් වන ශතවර්ෂයේ ජීවත්වන අප තුළ තවමත් රෝග පිළිබඳ පවතින සාම්ප්‍රදායික සහ අවිද්‍යාත්මක විශ්වාස පද්ධතියයි. බරපතළ රෝග ඇති කරන්නා වූ අධික සීනි භාවිතය, නිම කරන ලද ආහාර, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැනි දෑ තුළින් සිදුවන බරපතළ රෝගාබාධ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වූවද තම පවුලේ සාමාජිකයෙකු පිළිකාව හෝ ක්ෂය රෝගය වැනි රෝගයකින් පෙළෙන බව ප්‍රකාශ කිරීමට මැළි වන්නේ එය සමාජ භීතිකාවක්, කැලලක් හෝ අපකීර්තියක් ලෙස සලකමිනි. මෙම ව්‍යාකූල මානසික තත්ත්වයද ඉගෙනුම් ක්‍රියාවලිය ඇසුරින් වටහා ගත නොහැකි සිද්ධාන්තයකි. බිය විය යුතු සහ ප්‍රවේශම් විය යුතු රෝග කෙරෙහි තැකීමක් නොකර, සිරුරට අත්‍යන්තයෙන්ම අහිතකර වූ රෝගී තත්ත්වයන් නොසලකා හරිමින් එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යෑම සුළුකොට තැකිය හැකි කාරණයක් නොවේ. මෙම උදාහරණ සියල්ල විවිධ පුද්ගලයන් තුළ ඇති ආකල්ප පිළිබඳව අපට පෙන්වා දෙන තවත් එක් පැතිකඩක් පමණි. මෙවැනි අවිද්‍යාත්මක ආකල්ප පවතින අධ්‍යාපන ක්‍රමයේ ඉගෙනුම් ක්‍රියාවලිය තුළදී ප්‍රශ්න කිරීමට ලක් නොවන්නේ යැයි කිසිවෙකුටත් කිව නොහැකිය. අනවශ්‍ය ලෙස මානව සහ හෞතික සම්පත් වැය කරමින් සෞඛ්‍ය, ආරක්ෂක සහ ජනමාධ්‍ය කොවිඩ් රෝගයෙන් තොර සමාජයක් පවත්වාගෙන යෑමට දරන ලද අප්‍රමාණ උත්සාහය සහ වෙහෙස වරෙක අප කම්පනයකට පත් කරන තරම් විය.

තෙවැන්න වශයෙන් හඳුනාගත හැකි වූයේ සමාජ ව්‍යසනයක් තුළදී පවා තමන්ගේ සහ තම පවුලේ අය පිළිබඳව හෙළි කළ යුතු කරුණු හිතාමතාම වසන් කිරීමයි. කොවිඩ්-19 නිසා බලාත්මක නීතිරීති මාධ්‍ය මගින් දිනපතාම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා හට පෙන්වා දීමට සිදු වූයේ සිය රහස්‍ය භාවය හෝ පෞද්ගලිකත්වය සඳහා වුවද සමාජයට අවැඩදායක දෙයක් සිදු වන කරුණක් වසන් කිරීම නීතියට පටහැනි බවයි. මෙවැනි නීති බලපැවැත්වෙන බව බොහෝ දෙනෙක් වටහා ගත්තේ එම පැහැදිලි කිරීම්වලින් පසුවය. ඒ අනුව පෙනී යන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය මූලික, සරල නීතිමය කරුණු පිළිබඳව දැනුවත් වීමක් සිදු වී නොමැති බවයි. ‘නීතිය පිළිබඳ නොදැනීම නිදහසට කරුණක් නොවේ’ යන්න නීතිමය ක්ෂේත්‍රයේ තුළ ප්‍රබල සිද්ධාන්තයක් වුවද, නීතිය නිසිලෙස දැනගැනීම නිසා එම තත්ත්වයන් ගෙන් වැළකී නීතියට යටත්ව ක්‍රියා කිරීමට බොහෝ දෙනෙක් පෙලඹීම සිදුවන බවද අප තේරුම් ගත යුතුය.

සිව් වැන්න නම් සමාජය විසින් දැනගත යුතු සහ ඉතාමත් මැනවින් අධ්‍යයනය කළ යුතු කාරණයකි. එනම්, සමාජය තුළ ඇති වෙමින් පවත්නා නීතියට ගරු නොකිරීමේ ක්‍රියාවලිය ඉතාමත් තීරණාත්මක, ඛේදාන්තයක් බවට පත්වී ඇති බවය. මහා මාර්ගවල ගමන් කිරීමේදී මෙන්ම රිය ධාවනය කිරීම සහ වෙනත් සියලු කාරණාවලදී දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝ දෙනා විසින් පවත්නා නීති රීති පද්ධතිය උල්ලංඝනය කරන අතර, එය සාධාරණීකරණය කිරීමේ වෑයමක්ද දක්නට හැකිය. අපරාධ මෙන්ම වෙනත් විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්හි නියැළෙන්නන් අපට වටහා දෙනු ලබන්නේ සැලකිය යුතු පිරිසක් නීතිය පිළිබඳව අවතක්සේරුවකින් යුතුව ක්‍රියා කරන බවයි. එමනිසා නීතිය බලාත්මක කිරීම පිළිබඳ පවතින ආයතන සහ පුද්ගලයන් මෙන්ම පොදුවේ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඇති මහජන විශ්වාසය දැඩි ලෙස බිඳවැටී ඇත. නීතියෙහි විවිධ අර්ථකථන තිබිය හැකි නමුත් සාමාන්‍ය මහජනතාවට නීතිය ගැන කිසිම වැටහීමක් නොමැති බව පෙනේ. ඔවුන් විසින් සිය දැනුම අනුසාරයෙන් ගොඩනගා ගන්නා සාවද්‍ය සිතිවිලි සමාජගත කර ගැනීමෙන් නීතිය නොසලකා හරින මෙන්ම නීතිය උල්ලංඝනය කිරීම එදිනෙදා සාමාන්‍ය සිදුවීමක් සේ සලකා ක්‍රියා කිරීමට ඉඩ දීමද අනාගතය උදෙසා කරනු ලබන අසාර්ථක ආයෝජනයකි.

ඉහත සඳහන් සියලු කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලාංකීය සමාජය තුළ කුමන හෝ අයුරකින් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහා පහත සඳහන් කරුණු කෙරෙහි බලධාරීන්ගේගේ අවධානය යොමු විය යුතුව ඇතැයි යෝජනා කරමි. ඉන් පළමුවැන්න නම් ඉතා කුඩා කල පටන් ම පාසල් විෂය මාලාව තුළට සමාජ ව්‍යසන පිළිබඳ දැනුවත් කිරීම් ඇතුළත් කළ යුතුය. විශ්ව විද්‍යාලවල ආපදා කළමනාකරණය ඉගැන්වීම සිදු කරන අයුරින් සමාජ ව්‍යසනය කළමනාකරණය කර​ගත යුතු ආකාරය පිළිබඳවද සමාජය දැනුවත් කළ යුතුව ඇත. එමෙන්ම හය වසර සිට පාසල් විෂය මාලාවට මූලික නීතිය විෂයයක් ලෙස හඳුන්වා දිය යුතුය. මීට ටික කලකට ඉහත දී පාසල් විෂය මාලාවට සාරධර්ම අධ්‍යාපනය හඳුන්වා දුන් අයුරින්, ආකල්ප සහ කුසලතා සංවර්ධනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ඒ සඳහා ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්ද පුහුණු කළ යුතුය. ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ යම්කිසි දුර්වලතාවක් ඇත්නම්, ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා පවත්නා තත්ත්වයන් ප්‍රතිශෝධනය ට ලක් කළ යුතුය. එමගින් මෙවැනි ව්‍යසනයකදී අත්‍යවශ්‍ය සමාජ සාධක වන ගරුත්වය, විනය, හික්මීම, කැපවීම වැනි සාධක පුද්ගල චරිත තුළට හඳුන්වා දීම සිදු කළ හැකිය.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් විසින් පුද්ගලයන් නීතියට අවනත නොවීමේ මානසික තත්ත්වයන් පිළිබඳව මීට වඩා ගැඹුරින් සිය පර්‌යේෂණ දියත් කළ යුතු බවය. පාඨමාලා සම්පාදකයන්, පෙළපොත් රචකයන්, අධ්‍යාපන පර්‌යේෂකයන්, ගුරුවරුන් මෙන්ම පොදුවේ අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලුම දෙනා සිය දායකත්වය මේ සඳහා ලබා දිය යුතුය. එසේම පර්‌යේෂණ ඇසුරු කර ගනිමින් සමාජය වඩාත් යහපත් තත්ත්වයකට ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කළ යුතුය. ඉදිරියේදී කොවිඩ්-19 ටත් වඩා බියකරු ව්‍යසන ඇතිවන බවට පුරෝකථනය කර ඇති බැවින් එවැනි සමාජ ව්‍යසනයන්ගෙන් අප සමාජය ඉතාමත් කෙටි කලකින්, උපක්‍රමශීලීව ආරක්ෂා කරගත හැකි අඩිතාලම සැපයීම යහපත් සමාජයක් පිළිබඳ උනන්දුවක් දක්වන සියල්ලන්ගේම සමූහ වගකීමකි.

•ආචාර්ය උපුල් ලේකම්ගේ

කථිකාචාර්ය, සමාජීය විද්‍යා පීඨය, සබරගමුව විශ්වවිද්‍යාලය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ සියලු තොරතුරු නිලධාරීන්ම ‘වෙලේ සුදාට’ දීලා

තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි කාලය තුළ දී එහි වැටලීම් සම්බන්ධ තොරතුරු වෙලේ සුදා වෙත නිලධ...


Read More

කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා...


Read More

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 8කට මැලේරියාව

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ. මැලේරියා මර්දන ව්&#...


Read More