පුරවැසි කොලම

දැන් සෑම පුවත්පතකම පාහේ පාතාල ලෝකය ගැන සඳහන් වූ විශේෂාංග ලිපි ලියවේ. නමුත්, ත්‍රාසය භීතිය පිරි පාතාල ලෝකයේ කතා සිංහල පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන අනුර හොරේෂස් ය. ඩීමන් ආනන්ද මාරක කතා චක්‍රවර්ති වූ සේද අනුර හොරේෂස් පාතාල කතා චක්‍රවර්ති විය. පාතාල ලෝකය ගැන ඔහු හෙළි කළ තොරතුරු ‘‘ගිනි අවි සහ ගිනි කෙළි” නමින් කෘතියකටද රචනා විය. එම කෘතිය ඇසුරින් චිත්‍රපටයක් ද, ටෙලි නාට්‍යයක් ද බිහිවිය. වසර ගණනාවක සිට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන අනුර හොරේෂස් දිගු කලකට පසු සිය නිහඬතාව බිඳ දමමින් ‘‘සති අග අරුණින්” ඔබ හමුවට මෙසේ පැමිණේ.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට නීතිපතිවරයෙක් බන්ධනාගාරයක සංචාරය කළේ ඉකුත් සතියේය. ඒ වර්තමාන නීතිපති දප්පුල ද ලිවේරාය. වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කළ සංචාරයෙන් පසු ඔහු විසින් සියලුම බන්ධනාගාරයන්හී අධිකාරිවරුන් වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේදී අමතනු ලැබිණ. එහිදී නීතිපතිවරයා නිලධාරීන් හමුවේ ‘සැර කතාවක්’ කළේය. ඔහු විසින් එහිදී පෙන්වා දෙන ලද්දේ හිරගෙදර සිටින අපරාධකරුවන්ට විවිධ ගණ​යේ අපරාධ කිරීමට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ‘අභ්‍යාස ආයතන’ බවට අද පත් වී තිබෙන බවයි.

අද මෙම ලිපියෙන්ද අනාවරණය කරනු ලබන්නේ බන්ධනාගාරගත වී සිටින සමහර රිමාන්ඩ් සිරකරුවන් සහ දඬුවම් විඳින සිරකරුවන් විසින් කරගෙන යනු ලබන කූට ජාවාරම් කීපයක් පිළිබඳ තොරතුරුය. මෙම ජාවාරම්වලට අනුබල දෙමින් ඔවුන්ගෙන් මුදල් ගන්නා බන්ධනාගාර නිලධාරින් අතළොස්සක් දෙනා පිළිබඳ තොරතුරු මේ වනවිටත් බලධාරින් අතට පත් වී තිබේ.

සමාජයේ මොන තරාතිරමේ පුද්ගලයකුට වුවත් කොයි මොහොතේ රිමාන්ඩ් බන්ධනාගාරගත වන්නට සිදුවේදැයි කිව නොහැකිය. ඉතාමත්ම අනපේක්ෂිත හෝ අහඹු සිදුවීම් මුල්කර ගනිමින් ඇතමුන්ට රිමාන්ඩ් බන්ධනාගාරගත වන්නට සිදුවේ. සැකකරුවකු රිමාන්ඩ් කිරීමට නියෝගය දෙනු ලබන්නේ මහෙස්ත්‍රාත්වරයකු විසිනි. මෙහිදී එම පුද්ගලයාගේ හෝ තැනැත්තියගේ සමාජ තරාතිරම මහෙස්ත්‍රාත්වරයාගේ සැලකිල්ලට භාජනය නොවේ. හෙතෙම අන්ත අසරණ දිළින්දෙකු වුවත් සිටුවරයකු වුවත් කළ වරදට මුලින්ම රිමාන්ඩ් බන්ධනාගාරගත වන්නට සිදුවේ. රිමාන්ඩ් ඒත් නැත්නම් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ යම් නඩුවකට චෝදනා ලැබූ සැකකරුවන්ය.

රිමාන්ඩ් සිරකරුවකු ලෙසින් යකඩ දොරෙන් ඇතුළට ගිය විගසම පළමුවෙන්ම අසන්නට ලැබෙන්නේ බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරියාගේ ආරම්භක දේශනයයි. මෙම දේශනය හා හා පුරා කියා රිමාන්ඩ් බන්ධනාගාරයට යන සැකකරුවන්ට අතිශයින් වැදගත් ය. මන්ද උදේ නැගිටින වේලාව, ආහාර ගන්නට පෝලිමට යා යුතු වේලාව පමණක් නොව, සවස 4 වනවිට අනිවාර්යයෙන් රාත්‍රි ආහාරය බෙලෙක් පිඟානකට ගෙන කූඩු වන්නට යා යුතු පිළිවෙළද කියා දෙන්නේ මෙම ආරම්භක දේශනය මගින්ය. එමෙන්ම බන්ධනාගාරයේ නීතිරීති රෙගුලාසි සම්බන්ධයෙන්ද මොවුන් දැනුවත් කෙරේ. තමන් රිමාන්ඩ් බන්ධනාගාරගත වී සිටින බව ගෙදර උදවිය නොදන්නේ නම් ඒ පිළිබඳ දැනුම් දීම සඳහා ටෙලිෆෝන් පහසුකම් පවා පුනරුත්ථාපන නිලධාරියා විසින් සපයනු ලැබේ.

මේ සියල්ල දෙස ඇස ගසාගෙන සිටින්නට බන්ධනාගාරගත වී සිටින ජාවාරම්කාර සිරකරුවන් සමත්ය. දිනපතා බන්ධනාගාර බස්රියෙන් රැගෙන එන රිමාන්ඩ් සිරකරුවන් අතරින් තමන්ට ‘වාසනාව’ ගෙනෙන ආධුනික රිමාන්ඩ් සිරකරුවන් කවුරුන්දැයි ඔවුන්ගේ උකුසු ඇස් වහ වහා විමසිලිමත් වෙමින් සොයා බලයි.

මෙසේ බන්ධනාගාරගත වූ රිමාන්ඩ් සිරකරුවන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ ගෙදරට කතා කිරීමයි. රජෙකුට වුවත් රිමාන්ඩ් සිර ගෙදර දී තමන්ගේ දරු පවුල, අම්මා, තාත්තා හෝ ලෙඩින් දුකින් පෙලෙන ඥාතීන් ගැන සොයා බලන්නට අවශ්‍ය වේ. සමහරුන් තමන්ගේ අම්මා, තාත්තා බලන්නට මාස ගණනකින් ගොස් නැති වුවත් රිමාන්ඩ් වූ විගස මව්පියන් මතක් වී ඔවුන් අමතන්නට ක්‍රමෝපායන් සොයයි. එය මනුෂ්‍ය සොභාවයයි. රටේ මැති ඇමැතිවරුන් රිමාන්ඩ් සිරකරුවන් බවට පත් වූ සෑම අවස්ථාවකදීම ඔවුහු තමන්ගේ ජංගම දුරකතන පරිහරණය කළහ. ඒ සඳහා බන්ධනාගාර අධිකාරියේ සහනය ද ඔවුනට ලැබිණ. නමුත් මෙම වරප්‍රසාදය සිවිල් සමාජයේ බොහෝ දෙනාට අහිමිය. විශේෂයෙන් අනපේක්ෂිත සිදුවීම් මුල්කර ගනිමින් රිමාන්ඩ් බන්ධානාගරගත වන සිරකරුවන්ට තමන්ගේ බිරිඳට, දරුවන්ට වරින්වර කතා කරන්නට දුරකතනයක් අවශ්‍ය වුවත් එම මෙවලම ඔහු සතුව නැත. එහෙත් මෙම පුද්ගලයා අතමිට හිඟ නැති අයකු බව ජාවාරම්කාර රිමාන්ඩ් සිරකරුවෝ ඔහු සමග කරන සුහද කතාබහේදී තේරුම් ගෙන සිටිති. ආධුනික රිමාන්ඩ් සිරකරුවන්ට පිහිට වීම සඳහා ‘දෙවියෙකු’ මෙන් ජාවාරම්කාර රිමාන්ඩ් සිරකරුවන් ඉදිරියට එන්නේ එතැන් පටන් ය.

“සර්ට කාටද කතා කරන්න ඕනේ..?”

“මගේ වයිෆ්ටයි.. ළමයින්ටයි.”

“ගන්න සර් මගේ ‌ෆෝන් එකෙන්.. ඕන තරමක් කතා කරන්ඩ..” ජාවාරම්කාර රිමාන්ඩ් සිරකරු ආධුනික රිමාන්ඩ් සිරකරුවාට සිය ජංගම දුරකතනය පිරිනමන්නේ සිරකරුවෝ මනුෂ්‍යයෝය යන්න පමණක් නොව, ‘‘සිරකරුවා දෙවියකු’’ යැයි අලුතෙන් සැකසී සැකකරුවාට දැනෙන ලෙසය.

මේ ආකාරයට එකම සිම්පත යෙදූ ජංගම දුරකතනය හරහා දිනකට ආධුනික රිමාන්ඩ් සිරකරුවෝ දහ දොළොස් දෙනා වරින්වර සිය බිරින්දෑවරුන්ට, දරුවන්ට, ඥාතීන්ට, මව්පියන්ට කතා කරති. එවැනි සංවාදයක් අවසන් වූ වහාම ගොස් එම අංකය පොතක ලියා තබන්නේ අදාළ ආධුනික සිරකරුවාගේ නමද එහි සඳහන් කරමින්ය.

දින දෙක තුනක් පමණ නිසොල්මනේ ගෙවී යන්නට ඉඩ හරින ජාවාරම්කාර රිමාන්ඩ් සිරකරුවා වෙනත් සිම්පතක් යෙදූ ජංගම දුරකතනයක් හරහා ආධුනික රිමාන්ඩ් සිරකරුවා විසින් පළමු ඇමතුම ලබාගත් ඔහුගේ බිරිඳට, මවට, පියාට හෝ ඥාතියාට කතා කරයි.

“හරි වැඩේනේ වුණේ. මහත්තයා කතා කරපු ෆෝන් එක ලොක්කට අහුවුණා. දැන් මට නඩු දාන්ඩ හදනවා. නඩු නොදා ෂේප් කරන්ඩනං රුපියල් විසිදහක් ඉල්ලනවා. මේ නොම්බරේට විසිදාහක් ‘ඊෂිකෑෂ්’ දාන්ඩ පුළුවන්ද?” ජාවාරම්කාර රිමාන්ඩ් සිරකරුවාගේ ඉල්ලීම නොසලකා හරින්නට බොහෝ දෙනා අසතුටුය. මන්දයත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහොත් සිරගෙදර සිටින සිය සැමියාට හෝ දරුවාට මොන විපතක් ඉන් අනතුරුව වේදැයි ඔවුන් බියට පත්වන බැවිණි. වහාම විසිදහස ‘ඊෂිකෑෂ්’ ක්‍රමයට අදාළ ජංගම දුරකතන අංකය වෙත යොමු කරන්නට ඔවූහු පියවර ගනිති.

නමුත් සමහර අවස්ථාවලදී ඉල්ලන මුදල දෙන්නට සමහරු අකැමැතිය. එවිට තර්ජනය ආරම්භ වෙයි.

“එහෙමද.. එහෙනං මං මහත්තුරුන්ට කියන්නං නඩු දාන්ඩ කියලා. එතකොට මගේ ෆෝන් ඩීටේල්ස් ගත්තම අහුවෙනවනේ මහත්තයා කතා කළේ ඔය ගොල්ලන්ට කියලා. එතකොට ඔයාලටත් නඩුවක් වැටෙනවා.මහත්තයටත් තවත් නඩුවක් වැටිලා එළියට එන්ඩම වෙන්නේ නෑ. ඔයාලටත් උසාවි නගින්න වෙනවා..එහෙම කරමු..”

රිමාන්ඩ් සිරකරුවාගේ එම තර්ජනයෙන් වෙව්ලා යන ආධුනික රිමාන්ඩ් සිරකරුවාගේ පාර්ශ්වය වහාම ඉල්ලන මුදල ‘ඊෂිකෑෂ්’ ක්‍රමයට සපයන්නට පසුබට නොවෙති.

මෙම ජාවාරම අද සිරගෙවල් තුළ ධන නිධාන උල්පතක් බවට පත් වී තිබේ. රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයන මෙම ජාවාරම්කාර රිමාන්ඩ් සිරකරුවෝ සමහර අවස්ථාවලදී ඔවුන්ගේ සහායට ඇතැම් බන්ධනාගාර නිලධාරින්ද සම්බන්ධ කර ගනී. එවිට වැඩේට තවත් රිද්මයක් ලැබේ. ඇතැම් අවස්ථාවල දී ආධුනික රිමාන්ඩ් සිරකරුවාගේ බිරිඳ හෝ ඥාතියා අමතනු ලබන්නේ එවැනි නිලධාරින්ය.

“ඔයාගේ මහත්තයාට තවත් නඩුවක් වැටෙන්ඩයි යන්නේ. හිරගෙදර ඉඳලා ටෙලිෆොන් කළාට. අපි ෆෝන් එකත් අත්අඩංගුවට අරගෙනයි තියෙන්නේ. නඩුවක් වැටුණොත් හිරකාරයා කියයි ෆෝන් එක එයාගේ නෙමෙයි මහත්තයගේ කියලා. කතා කරලා ෂේප් කර ගන්ඩ බලන්ඩ..”

මේ ආකාරයට ජාවාරමට සම්බන්ධ වන නිලධාරියකුට ජාවාරම්කාර රිමාන්ඩ් සිරකරුවා විසින් මසකට රුපියල් ලක්ෂයක මුදලක් සපයන බව මට දැන ගන්නට ලැබිණ. මෙවැනි දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අතළොස්සක් නිලධාරීන්ය. බොහෝ පිරිසක් ඉතා අවංක හා කාර්යශූර නිලධාරීන්ය. නමුත් විවිධ පෞද්ගලික හේතු මුල්කර ගනිමින් ඔවුන්ගෙන් නිසි සේවයක් ලබා ගන්නට පරිපාලනය තවමත් අපොහොසත්ය. එවැනි හඳුනා ගැනීමක් කෙරෙහි අවධානය යොමු වුවහොත් යළිත් ජනාධිපතිවරයාගෙන්, නීතිපතිවරයාගෙන් බැණුම් අසන්නට සිදුනොවනු ඇත.

බන්ධනාගාරයේ තවත් ජාවාරමක් සිදුවේ. එය හඳුන්වනු ලබන්නේ ‘බොනැන්සෝ ගැහීම’ යනුවෙනි. හිටිහැටියේ පිටස්තරයකුගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබේ. එහි සඳහන් වී ඇත්තේ “ඔබගේ ජංගම දුරකතන අංකයට ඇමරිකන් ඩොලර් අටදහසක දිනුම් ත්‍යාගයක් හිමි වී ඇති” බවයි. ඩොලර් අටදහසක් යනු සෑහෙන මුදලකි. අඩුම තරමින් එය රුපියල් ලක්ෂ දහයකට වැඩි මිසක් අඩු නැත.

දිවයිනේ ඇතැම් ජංගම දුරකතන සමාගම් සිය පාරිභෝගික සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම සඳහා විවිධ තෑගි ක්‍රම හඳුන්වා දෙයි. මෙම තත්ත්වය මත සිය ජංගම දුරකතනයට ලැබුණ කෙටි පණිවුඩය පිළිබඳ බොහෝ දෙනා සැක නොකරති. මෙය සිදුවන්නේ බන්ධනාගාරය තුළ සිර දඬුවම් විඳින සිරකරුවන්ගේ සංවිධාන ජාලයක් හරහාය. මෙම ජාලයේ නායකයා වන්නේ සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයම චතුර ආකාරයට කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව තිබෙන අයෙකි. හෙතෙම ‘විලී’ යනුවෙන් පහසුව පිණිස අපි හඳුන්වමු. විලීට මෙම භාෂා කතා කිරීමේ හා ලිවීමේ හැකියාව පමණක් නොව, තවත් විශේෂ දක්ෂතාවක් තිබේ. එනම් පටිගත කළ හඬපටයක් ආකාරයට මෙම ත්‍යාග දිනුම පිළිබඳ පණිවුඩය පිටස්තර ජංගම දුරකතන අංකවලට සැපයීමේ හැකියාවයි. එම හඬපටය අසන ඕනෑම අයෙකු විශ්වාස කරන්නේ අදාළ ජයග්‍රහණය සිය ජංගම දුරකතන සමාගම මගින් තමන්ට ලබා දී ඇති බවයි. මෙම හඬපටය සිංහල,දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම සපයා තිබීම හේතුවෙන් ග්‍රාහකයාට තමන් කැමැති හඬපටය තෝරා ගෙන ඊට සවන් දීමට පිළිවන.

ත්‍යාග මුදලක් දිනා ඇති බව දැනුම්දීම සඳහා විලී යොදා ගනු ලබන්නේ වෙනම සිම්පතකි. අනෙකුත් කටයුතු සඳහා ඔහු සන්තකයේ සිම්පත් විසිපහක් පමණ තිබේ. පිටස්තර සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ දුරකතන අංක විලී අතට පත් වන්නේද සැලසුම් සහගත වැඩ පිළිවෙළක් යටතේ ය. ඔහු දැකීමට පැමිණෙන පිටස්තර සාමාජිකයා නොවරදවා ඉරිදා පත්‍ර කීපයක් රැගෙන එනු ලැබේ. ඒවා විලී අතට පත්වීමෙන් පසු එම පුවත්පත් සිය ජාලයට අයත් සෙසු සිරකරුවන් අතට නොබෝ වේලාවකින් පත් කෙරේ. මෙම පුවත්පත් හී පළ වී තිබෙන ලුහුඬු දැන්වීම්, විවාහ මංගල දැන්වීම්, මෝටර් රථ දැන්වීම් ආදියේ සඳහන් සියලුම දුරකතන අංක අභ්‍යාස පොත්වල සටහන් කරගනු ලබන්නේ දැන්වීමේ සඳහන් විස්තරයද සමගිනි.

අනතුරුව වෙනත් සිම්පතක් යොදා ගනිමින් ජංගම දුරකතනයට හෝ ගෘහස්ථ දුරකතන අංකයට කතා කිරීම ඇරඹේ. මෙම සාකච්ඡාවේදී තමන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගැනීමත් ඒවා සටහන් කර ගැනීමත් සිදුවන්නේ විලීගේ ගෝලබාලයන් අතින්ය. ගෘහස්ථ දුරකතන අංකයකට කතා කළහොත් වැඩිදුර තොරතුරු පසුව දැන ගැනීම සඳහා ජංගම දුරකතන අංකයක් ලබා ගැනීමද උපක්‍රමශීලිව සාර්ථක කර ගැනේ.

සතියකට පමණ පසු අදාළ ජංගම දුරකතනයට ලබා දෙන කෙටි පණිවුඩය අවසානයේ “මෙම පණිවුඩය ලැබුණ බව කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙන්නැ”යි කරන ඉල්ලීමක්ද සමග වෙනත් ජංගම දුරකතන අංකයක් ද සඳහන් කෙරේ. ඩොලර් අටදහසක ත්‍යාගයක් ලබා ගන්නට අකැමැති කවුරුන්ද? එබැවින් වහාම අදාළ ජංගම දුරකතන අංකයට කෙටි පණිවුඩයක් යවමින් ග්‍රාහකයා සඳහන් කරන්නේ “සපයන ලද කෙටි පණිවුඩය තමන්ට ලැබුණ” බවයි.

නොබෝ වේලාවකින් දෙවැනි කෙටි පණිවුඩය නිකුත් කෙරේ. එනම් “මෙම ත්‍යාග මුදල ලබා ගන්නට අවශ්‍ය ආකාරය” සඳහන් කරන ලෙසයි.

පළමුවැනි ක්‍රමය වන්නේ “ඩී.එච්.එල්. හරහා එක්දින සේවාව යටතේ හෝ දෙවැනි ක්‍රමය වන ඩී.එච්.එල්. සාමාන්‍ය සේවාව යටතේ” යැයි පෙන්වා දෙයි. එක්දින සේවාව යටතේ ත්‍යාග මුදල ලබා ගන්නට නම් රුපියල් විසිදහසක් අය කරන බවත්, සාමාන්‍ය සේවාව යටතේ ලබා ගන්නට රුපියල් අටදහසක් අය කරන බවත් වැඩිදුරටත් ග්‍රාහකයා දැනුවත් කෙරේ.

මේ වනවිට විලීගේ ‘බොනැන්සෝ’ ජාලයේ පිටස්තර සාමාජිකයා සූදානම් ය. සමාජයේ දී අප දකින සුලබ දසුනක් වේ. එනම් විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය මුදල් සොයන පිරිස් ය. හෘද සහ වකුගඩු රෝගීන් ඉන් ප්‍රධාන තැනක් ගනී. සමහරුන්ට විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ඉන්දියාවට ගොස් සිය රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමටය. එවැනි පුද්ගලයන් හමුවන්නට යන විලීගේ සාමාජිකයා ඔහුට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා උපකාර කරන බව පවසා වෙනම ගිණුමක් ඔහුගේ නමින් ආරම්භ කොට බැංකු කාඩ්පතද තමන්ගේ අතට ගන්නට සමත් වී සිටී. එම ගිණුම අරඹන අවස්ථාවේ බැංකුවට සපයා ඇත්තේ විලීගේ සාමාජිකයාගේ ජංගම දුරකතන අංකයයි.

බොනැන්සෝ ත්‍යාගය ලබා ගන්නට කැමැති කිනම් සේවාව යටතේදැයි ග්‍රාහකයා විසින් කෙටි පණිවුඩයක් හරහා දැනුම් දුන් වහාම විලීගේ සාමාජිකයා තමන් සතුව තිබෙන රෝගියාගේ ගිණුම් අංකය අදාළ ග්‍රාහකයා වෙත ලැබෙන්නට සලස්වයි. බොහෝ අවස්ථාවල ග්‍රාහකයා වැඩි සතුටක් දක්වන්නේ එක් දින සේවාව හරහා මෙම ත්‍යාගය ලබා ගන්නටය. රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් තව සුළු මොහොතකින් තමන් අතට පත්වන බවක් විශ්වාස කරන ග්‍රාහකයා ඒ වෙනුවෙන් රුපියල් විසිදහසක් දෙන්නට කිසි විටෙක මැළි නොවේ. අදාළ මුදල ගිණුම්ගත කළ වහාම බැංකුව මගින් ගිණුම් හිමියාගේ ජංගම දුරකතන අංකයට කෙටි පණිවුඩයක් සපයනු ලැබේ. එම පණිවුඩය ලැබෙන්නේ විලීගේ සාමාජිකයාගේ ජංගම දුරකතනයටය.

ඔහු ඒ මොහොතේම අදාළ බැංකුවට ගොස් මුදල ගනී. ඉන්පසුව සිම්පත ගලවා ඇළකට, දොළකට හෝ ගංඟාවකට විසි කෙරේ. රෝගියාගේ අතටද රුපියල් පන්දහසක් ලබා දෙන්නට අමතක කරන්නේ නැත. දිනකට මෙම ජාවාරම මගින් විලී රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයන බව මා හට දැන ගන්නට ලැබිණ.

අනුර හෙරේෂස් බ්‍රිස්බෙන් සිට
[email protected]



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ සියලු තොරතුරු නිලධාරීන්ම ‘වෙලේ සුදාට’ දීලා

තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි කාලය තුළ දී එහි වැටලීම් සම්බන්ධ තොරතුරු වෙලේ සුදා වෙත නිලධ...


Read More

කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා...


Read More

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 8කට මැලේරියාව

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ. මැලේරියා මර්දන ව්&#...


Read More