අඳුරෙන් එළියට

රනිල් ගෝඨා භය

March 28, 2018 10:41 am | Lanka Lead News

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අලකලංචිය තුළ භය දෙකක් නිර්මාණය වී ඇත. ඉන් එකක් නම් යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 09 සිට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ මඟින් රටට සිදුවී ඇති විපත නිසා එම වැඩපිළිවෙළේ මෙහෙයුම්කරු වන රනිල් වික්‍රමසිංහ අගමැති පිළිබඳව රටේ අති බහුතරයක් තුළ ඇතිවී තිබෙන භයයි.
අනෙක නම් අනාගතයේ රනිල් හා යහපාලන ආණ්ඩුවට අභියෝගයක් විය හැකි යැයි සිතන ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව රනිල් ඇතුළු ඔහුගේ කණ්ඩායම තුළ උද්ගතව ඇති භයයි. එම භය යහපාලන ආණ්ඩුව පිහිටුවීමට ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණකරුවන් තුළද ඇතැයි සිතිය හැකිය.

2015 ජනවාරි 08 සිදුවූයේ 1915 ඉංග්‍රීසීන් විසින් සිංහලයන් රවටා සිංහල රට ඉංග්‍රීසීන්ගේ යටත්විජිතයක් කරගත් වැඩපිළිවෙළේ පුනරාවර්තනයකි. එදා සිංහලයට එරෙහිව ක්‍රියාත්මක වූයේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පමණි. කුමන්ත්‍රණය මෙහෙය වූයේ ජෝන් ඩොයිලි නම් වූ කපටි කෛරාටික සුදු ඒජන්තයා විසිනි. මෙදා කුමන්ත්‍රණය පිටුපස ඇටමරිකාව – ඛ්ධ්ඒ, බි්‍රතාන්‍යය – ර්ධ් 6 ඇතුළු ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, කැනඩාව වැනි බටහිර රටවල්ය. ඉන්දියාවද – අඒඑ, මෙරට හා පිටරට ක්‍රියාත්මක දෙමළ බෙදුම්වාදීන්ද, බෙදුම්වාදයට සහාය දුන් ව්ට්ර්ණී කාරයෝද, ක්‍රියාත්මක වූහ. ඒ නිසා 2015 ජනවාරි 08දා සිදුවූ බල පෙරළිය විශාල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි.
කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වූයේ බටහිර ගැති දේශීයත්වයට ඇල්මක් නැති රනිල් වික්‍රමසිංහ බලයට පත්කර ඔහු මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර හෝ නව ව්‍යවස්ථාවක් හදා හෝ දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉටුකර දීමයි. එනම් රට තුළ වෙනම රාජ්‍යයක් බිහිකර දීමයි. ප්‍රභාකරන් ලවා ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කර අවි බලයෙන් රට බෙදා දෙමළ ඊළමක් බිහි කිරීමට උදවු කළේද මෙම කුමන්ත්‍රණකරුවන්මය. ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකර දැමීමට ඔවුන් කුමන්ත්‍රණය කළේද එතුමා ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට එරෙහිව සිටි නිසාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව ඇති බිය නිසා, නොකළ වැරදිවලට එතුමන් පටලවාගෙන හිරේ විලංගුවේ දැමීමට හෝ මඩ ප්‍රචාර මඟින් චරිත ඝාතනයකට හෝ යහපාලන නඩය උත්සාහයක යෙදෙන බව පෙනේ. ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක වැඩපිළිවෙළ හා මිග් යානා මිලදී ගැනීම පිටුපස ගෝඨාභය මහතා සිටින බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග හරහා එතුමාට එරෙහිව ගත් උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බව දැනගන්නට ඇත. ඊළඟට ඔවුන් උත්සාහ ගන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සිද්ධියට ද ගෝඨාභය මහතා මැදිහත් වී ඇතැයි පෙන්වා දීමටය. එහෙත් එයද අසත්‍ය කරුණු පදනම් කරගෙන ක්‍රියාත්මක වන්නකි. මෙම විමර්ශන වලදී හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලවාද ගෝඨාභය මහතාට එරෙහිව බොරු ප්‍රකාශ ගැනීමට යොදවා තිබුණේ ශානි අබේසේකර, නිශාන්ත කන්දප්පා යන පොලිස් නිලධාරීන්ය. බොරු සාක්ෂි හදමින් දේශපාලකයන්ට කඩේ යන මෙවැනි නිලධාරීන්ට කෙදිනක හෝ දඬුවම් ලැබෙන බව ඔවුන් දැන ගත යුතුය.

ත්‍රස්තවාදීන්ගෙන් රටත් ජනතාවත් බේරාගත් ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාට එරෙහිව අභූත චෝදනා නඟමින් මෙලෙස ක්‍රියා කරන්නේ මොන හිතකින්දැයි පොදු ජනතාව ද මහත් කනස්සල්ලට පත්ව සිටිති. එහෙත් ත්‍රස්තවාදය පිටුපස ක්‍රියාත්මක වූ දෙමළ බෙදුම්වාදීන් හා ඔවුන්ට හා ත්‍රස්තවාදයට සහාය වන විදේශ බලවේගවල අවශ්‍යතාව මත පිහිටුවනු ලැබූ, ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටුකිරීමට බැඳී සිටින, බලය ගැන මිස රට ගැන නොහිතන රනිල් ඇතුළු කණ්ඩායමට, ගෝඨාභය භීතියක් ඇතිවීම අරුමයක් නොවේ. අනාගතයේ ගෝඨාභය මහතා පාලන තන්ත්‍රයේ ඉහළ තැනකට පැමිණෙතැයි ඔවුන්ට මහත් බියක් ඇතිවී තිබේ. ගෝඨාභය මහතාට මෙතරම් කෙනෙහිලිකම් කරන්නේ ඒ නිසාය. එහෙත් මෙරට මහා සංඝරත්නය මෙන්ම පොදු ජනතාවද ගෝඨාභය මහතා සමඟ සිටින බව රනිල් ඇතුළු දේශපාලකයන් මෙන්ම ඔවුන්ට කඩේ යන පොලිස් නිලධාරීන්ද හොඳින් දැනගත යුතුය.

රනිල් භීතිය මෙරට ජනතාව තුළ මුලින්ම ඇති වූයේ ඔහුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ බටලන්ද වධකාගාර සිද්ධියත් සමඟයි. ඒ පිළිබඳ කොමිසමක් පත්කර අදාළ අයට දඬුවම් කිරීමට චන්ද්‍රිකා කුමාරතුංගගේ හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයන් තුළ නිසි ක්‍රියාමාර්ග නොගැනීම බලවත් වරදකි. එසේ කළා නම් රනිල් අද සිටින්නේ අගමැති පුටුවේ නොව හිර ගෙදරකය. 2002 වසරෙහි මිනීමරු ප්‍රභාකරන් සමඟ ගිවිසුමක් ඇති කරගෙන ත්‍රස්තවාදීන්ට පහසුකම් සැලසීම හා ත්‍රස්තවාදීන්ට බරපතළ ප්‍රහාර එල්ල කළ මිලේනියම් සිටි දිගදුර විහිදුම් බළකාය හෙළිදරව් කොට එම බළකායෙහි සාමාජිකයන් කොටි ලවා ඝාතනය කිරීමට මඟ හැදීම ද රනිල්ට එරෙහිව ඇති බරපතළ චෝදනාවන්ය. රටේ ආර්ථිකය මුළුමනින්ම අගාධයට ඇද දැමූ මහ බැංකු බැඳුම්කර මගඩිය ද රනිල්ගේම වැඩකි.

මෙම හේතු සාධක පදනම් කරගෙන 30 වතාවක් පරාජයට පත්වූ හෙවත් පොදු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද රනිල් වික්‍රමසිංහ පිළිබඳ පොදු ජනතාව තුළ ඇත්තේ මහත් බියකි. එම බිය ඇති කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික හෙළ උරුමයේ නායකයන් ද වගකිව යුතුය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රනිල්ගේ නායකත්වයට එරෙහිව (කැපුවත් කොළ යැයි හිතන යූ.ඇන්.පී. කාරයන් හැර) අති බහුතර ජනතාව තම ඡන්දය පාවිච්චි කළේ රනිල් භීතිය නිසයි. ඉදිරි මැතිවරණවලදී එය වැඩිවනු මිස අඩු නොවනු ඇත.

රනිල් වික්‍රමසිංහ පිළිබඳව රටවැසියන් තුළ ඇතිව තිබෙන බිය සාධාරණ බව ඇත්ත ඇති සැටියෙන් දකින කවරකුට නමුත් වැටහී යනු ඇත. කුමක් හෙයින්ද යත් ඔහුගේ ක්‍රියාදාමයන් රටට හා ජනතාවට හිරිහැරයක්, කරදරයක් පීඩාවක් වූවා මිස යහපතක් නොවූ බැවිනි. රටත් ජනතාවත් ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට ඔහුගෙන් සහායක් ලැබුණේ නැත. ඒ වෙනුවට ත්‍රස්තවාදීන්ට හා බෙදුම්වාදීන්ට හිතවත්ව ක්‍රියාකර ඇත. එවැන්නෙක් තම පක්ෂයේ නායකයා වී සිටීම ගැන එක්සත් ජාතික පාක්ෂිකයන් ලැජ්ජා විය යුතුය. එබැවින් එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු රටට හිත ඇති සියලු දෙනාගේම යුතුකම හා වගකීම විය යුත්තේ රටට බරපතළ තර්ජනයක් හා හානියක් වී ඇති ‘රනිල් භය’ වහාම ඉවත් කර දැමීමයි.

“ගෝඨා භය” ඇති වී තිබෙන්නේ රටට ආදරය කරන අයට නොව රටට ද්‍රෝහි වන අයටය. එම භය හේතු කොට ගෙන ගෝඨාභය රාජපක්ෂයන්ට හිරිහැර කිරීම රටට ආදරය කරන කිසිවෙක් අනුමත නොකරයි. එම භය හරියටම මිනිසුන් බිලිගැනීමට බලා සිටින යක්ෂයන්ට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයකු පිළිබඳව ඇතිවූ බියක් හා සමානය. එහිදී පොදු ජනතාව මහ සඟරුවන සමඟ එක්වී යකුන්ගේ බල බිඳීමටත් යකුන් එළවීමට ක්‍රියාකරන තැනැත්තා රැකගැනීමටත් කළ යුතු, කළ හැකි සියලු දේ කළ යුතුය. රටට ශාන්තියක් ඇතිවන්නේ එවිටයි.

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More