පුරවැසි කොලම

වර්තමාන ආණ්ඩුව බලයට පත් වී ගත වූ මාස 6 ක කාලය තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව මුදල් අමාත්‍ය වරයාගේ අත්සනින් පමණක් අවස්ථා 5 කදී ආනයනික භාණ්ඩ සඳහා බදු සහන ලබා දීම සහ බදු පැනවීම සිදුකොට ඇත. ඒ සඳහා රේගු ආඥා පනත, ආනයන – අපනයන පාලන පනත, විශේෂ පරිභෝජන බදු පනත, වැට් බදු පනත ආදී පනත් වලින් මුදල් අමාත්‍යවරයාට බලය තිබෙන බව සත්‍යයකි. එහෙත් 1977 ට පෙර එසේ නව බදු පැනවිම හෝ සහන දීම සිදු කරනු ලැබුවේ අය වැය මඟින් හෝ රටට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන යම් විශේෂ හේතු දැක්වීම් සහිත ප්‍රකාශයක් මඟිනි. ඒ ආකාරයට බදු පැනවීම හෝ සහන දීම මඟින් ආර්ථිකය තුළ සිදුවන වෙනස එනම් දිරිගැන්වීම හෝ අධෛර්යමත් කිරීම කුමක්දැයි මහජනයාට පැහැදිළි වන අතර එය සාධාරණීකරනය කෙරේ.

නමුත් 1977 න් පසු ආරම්භ වී දැන් එක්තරා උච්චතම අවස්ථාවකට පත් වී ඇති මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ සිදුකරනු ලබන බදු වෙනස්කම් පිළිබඳ තීන්දු ගනු ලබන්නේ නිලධාරීන් කිහිප දෙනෙකු විසිනි. බොහෝවිට එසේ ලබා දෙන බදු සහන පිළිබඳ සොයා බැලීමේදී පැහැදිළි වන්නේ අදාළ තීන්දු වලින් යම් තෝරාගත් සමාගම්, විශේෂයෙන්ම ආනයනික, භාණ්ඩ වෙළඳාමේ නියුක්ත සමාගම්, කහිපයකට පමණක් වාසි අත්වී ඇති බවය. එම බදු සහන මඟින් දිරිගන්වනු ලබන ආර්ථික ක්‍රියාවලිය කුමක්දැයි මහජනතාවට පැහැදිළි නැති අතර එම බදු සහන වල වාසිය භාණ්ඩ වල මිල අඩුවීමක් ලෙස ඔවුන්ට නොලැබෙන බව ද රහසක් නොවේ. උදාහරණයක් ලෙස වැට් බදු සහන ලබාදිම් නිසා රජයට කෝටි 40,000 කට වැඩි බදු ආදායම් අහිමිවූ බව ආදායම් බදු කොමසාරිස්වරයා විසින්ම පිළිගත්ත ද මහා සමාගම් වලට ලබාදෙන ලද එම සහනයේ ප්‍රතිලාභ මහජනයාට ලැබුනේ නැත.

ඊට අමතරව තිරිඟු පිටි ආනයනය සඳහා ලබාදුන් බදු කි.ග්‍රෑම් 1 කට රු. 28 ක බදු  සහනය නිසා තිරිඟු පිටි නිෂ්පාදන වල මිල අඩු වූයේ නැත. ආනයනික තිරිඟු පිටි ආහාර බදු සහන යටතේ අඩු මිලට මහජනයාට ලබා දිම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් යැයි ඉන් අදහස් නොවේ. එහෙත් ආණ්ඩුව එසේ වැරදි ප්‍රතිපත්තියක් මත ලබාදෙන බදු සහනය සමාගම් වල භාණ්ඩාගාරයට මිස මහජනයාගේ සාක්කුවට නොවැටෙන බව පෙන්වා දිය යුතුය. එසේ රු. 28 ක බදු සහනනය ලබා දිම සඳහා අදාළ නිලධාරීන් විසින් රේගු ආඥා පනත, විශේෂ පරිභෝජන භාණ්ඩ පනත සහ ආනයන අපනයන පාලන පනත වශයෙන් පනත් 3 ක් යොදා ගනු ලැබීය. නමුත් එසේ තමා දන්නා සමාගම් වලට බදු සහන ලබා දීමේදී ඉතා සූක්ෂමව ක්‍රියා කළත් සහල් වලට පාලන මිල පැනවීමේදී එම සූක්ෂමභාවය පෙන්වූයේ නැත.

ගොවියාට රු. 50 කට සහතික මිලක් ගෙවන්නේ නම් නිලධාරීන් විසින් නියම කළ මිලට සහල් ලබාදිය නොහැකි බව තේරුම් ගැනීමට 8 වැනි පන්තියේ අංක ගණිත දැනුම ප්‍රමාණවත් වේ. එහෙත් අවසානයේදී එම නිලධාරීන් විසින් ඇතිකළ අවුල ලිහනු ලැබුවේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මඟිනි. ඒ අතර අප්‍රේල් 16 වැනිදා ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ ගැසට් නිවේදනයේ මූලික අරමුණ තාවකාලිකව ආනයන පාලනය කිරීම මඟින් විදේශ විනිමය වෙළඳපළ මත ඇති කරන පීඩනය අවම කරගැනීම ලෙස සඳහන් විය. එහෙත් පිටු 78 ක් වූ එම නිවේදනයේ අඩංගු වූ භාණ්ඩ සියල්ල පාලනය කළද ඩොලර් මිලියන 200 ක වත් සහනයක් ලැබෙන බවක් නොපෙනේ. ඒ මඟින් වාහන, අති සුබෝපභෝගී භාණ්ඩ, අධි මිල දුරකථන වැනි විදේශ විනිමය වෙළඳපළ මත විශාල පීඩනයක් ඇති කරන භාණ්ඩ ආනයනය සීමා කොට නොතිබුණි. එසේම යම් භාණ්ඩ දේශීය ණයවර ලිපි මඟින් ආනයනය කිරීම නැවත්වුවද ඒවා විදේශීය කෙටිකාලීන ණය මත ආනයනයට ඉඩ දී ඇත.

උදාහරණයක් ලෙස ෆාම්තෙල් ආනයනය සීමා කළ ද විදේශීය ණය යටතේ ආනයනය කළ හැක. ලෝක වෙළඳපළේ ෆාම්තෙල් මිල පහත වැටී ඇති තත්වයක් යටතේ ෆාම් තෙල් කිසිඳු බාධාවකින් තොරව ණයට ආනයන කිරීමේ හැකියාව ඇත. ඒ නිසා එම ගැසට්ටුව මඟින් ෆාම් තෙල් ආනයනය සීමා වන්නේ නැත. ඒ අතර ෆාම් තෙල් පරිභෝජනය සීමා කිරීමේ අරමුණ ඇතිව පොල්තෙල් සඳහා පනවා තිබූ රු. 295 ක විශේෂ පරිජන බද්ද රු. 100 කින් අඩු කරනු ලැබිණි. මතුපිටින් බලන විට ෆාම්තෙල් වෙනුවට පොල්තෙල් පරිභෝජනය දිරිමත් කිරීම නිවැරදි තීන්දුවකි. එසේම මුදල් අමාත්‍යවරයාගේ මැයි 21 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මඟින් ෆාම් තෙල් නිෂ්පාදන සඳහා කි.ග්‍රෑම් 1 කට රු. 250 සිට 310 දක්වා ප්‍රමාණවලින් පනවා තිබූ බද්ද සමස්ථයක් ලෙස රු. 350 දක්වා වැඩි කරනු ලැබීය. ඒ මඟින් ෆාම්තෙල් ආනයනය විශාල වශයෙන් අධෛර්යමත් කෙරෙන නිසා මහජන සෞඛ්‍යයට අදාළව සහ පොල් වගාවේ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත වල පැවැත්මට අදාළව එම තීන්දුව ප්‍රතිපත්තිමය වශයෙන් ඉතා වැදගත් වේ.

එසේ වුවත් ඒ සමඟම පොල්තෙල් ආනයනය සඳහා පනවා තිබූ බද්ද තවදුරටත් රු. 70 කින් අඩුකොට එය රු. 125 මට්ටමට පහත දැමීම නිසා සංකීර්ණ ගැටළුවක් මතුවේ. එනම් මාස දෙකක් ඇතුළත රු. 295 ක බද්ද රු. 125 ක් දක්වා රු. 170 කින් අඩු කිරීම නිසා වෙළඳපළ තුළ බරපතල මිල විකෘතියක් ඇතිවේ. විශේෂයෙන්ම විදේශීය ණය යටතේ පොල්තෙල් ආනයනය කිරීමේදී ඒ සඳහා හැකියාව සහිත මහා සමාගම්වලට පමණක් පොල්තෙල් ආනයනය කිරීමේ ඒකාධිකාරිය ලැබේ. බොහෝ විට ශ්‍රී ලංකාවේදී එම වාසිය ලැබෙනු ඇත්තේ සිංගප්පූරුව සහ මැලේසියාව පදනම් කර ගත් විශාල ගබඩා ධාරිතාවක් සහිත සමාගමක් සහ තවත් දේශීය සමාගමකට පමණි. ඒ අනුව ඔවුනට පොල් තෙල් බෝතලයක් රු. 240 වැනි මිලකට වරායෙන් එළියට ගෙන තම ගබඩා දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබේ. දැනට පොල්තෙල් බෝතලයක් සිල්ලර වෙළඳපොළ තුළ අලෙවි වන්නේ රු. 460 සිට 480 දක්වා මිලකටය. ඒ අනුව එම සමාගමට විශාල ලාභයක් තබාගත හැකි අතර ෆාම් තෙල් බදු ඉහළ මට්ටමක පවතින නිසා එම වාසිය තව දුරටත් තහවුරු වේ. දැනට ෆාම් තෙල් ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකක් පොල් තෙල් ජාවාරමට යොමු වූ විට ඔවුනට වර්ෂයකට ලැබෙන අමතර ලාභය රු. මිලියන 20,000 ලෙස ගණන් බැලිය හැක.

එහිදී, එම මහා සමාගම තමාට ලැබෙන විශාල බදු සහනය මඟින් ලාභය පමණක් වැඩි කර ගන්නේ නම් එම සහනය මහජනයාට ලැබෙන්නේ නැත. අනෙක් පැත්තෙන් ගත්විට එසේ අඩු මිලට පොල් තෙල් වෙළඳපළට නිකුත් කළ හොත් දේශීය පොල් තෙල් නිෂ්පාදන කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇත. කෙසේ වෙතත්, ෆාම් තෙල් බදු වැඩි කිරීම තුළ දැනට මෙ.ටො 240,000 ක් පමණ වන ෆාම් තෙල් වෙළඳපළ හැකිලෙන ප්‍රමාණයට සාපේක්ෂව දැනට මෙ.ටො 90,000 ක් පමණ වන පොල් තෙල් වෙළඳපළ පුළුල් වනු ඇත. ඒ අනුව පොල් තෙල් ආනයනය වැඩි කිරීම මඟින් දේශීය පොල් තෙල් නිෂ්පාදනයට හානියක් සිදු නොවන බවට ද පොල් තෙල් පරිභෝජන වැඩි කිරීම මහජන සෞඛ්‍ය පැත්තෙන් ගත් විට යහපත් දෙයක් බවත් වාද කළ හැක. නමුත් එම තර්කය ප්‍රායෝගිකව යථාර්තයක් වීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය. පළමුවැන්න ආනයන බදු අඩු කිරීම දළ වශයෙන් රු. 100 ක මට්ටමේ පවත්වා ගත යුතුය. එනම් පළමු බදු සහනයට පසු නැවත දෙවන වටයකින් බදු සහන ලබාදීම නොකළ යුතුව තිබුණි. දෙවැන්න ආනයන කෝටා ක්‍රමයක් මඟින් බදු සහන යටතේ රටතුලට ආනයනය කරන පොල් තෙල් ප්‍රමාණය අවශ්‍යතාවය අනුව සීමා කිරීමය.

ඒ දෙකම සිදුනොවී, කුමන හෝ මැදිහත්වීමක්, මත දෙවන බදු සහනය ලබා දීම නිසා සහ ලෝක වෙළඳපළේ ෆාම්තෙල් මිල බරපතල ලෙස පහත වැටී ඇති තත්වයක් තුළ පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කොට ආනයනය කිරීමේ ඉඩක් විවර වේ. විශේෂයෙන්ම නව තත්වයක් යටතේ පොල්තෙල් ආනයනයට මාරු වන සමාගම් දැනටමත් රටට බහුලව ෆාම් තෙල් ආනයනය කරන සමාගම් වීම නිසා එම සම්භාවිතාව වැඩි වේ. ඊට අමතරව අප රටේ තෙල් වල හෝ මේදයේ අඩංගු ෆාම් තෙල් මේද අම්ල වර්ග හඳුනා ගැනිමට භාවිතා කරන ගල් යුගයේ පරීක්ෂණ ක්‍රමවේද වලින් 40% දක්වා ෆාම් තෙල් මිශ්‍ර කළ සාම්පල හඳුනා ගත නොහැක. ඒ අනුව පොල් තෙල් බදු අඩු කිරීම සහ ෆාම් තෙල් බදු වැඩි කිරීම යන දෙකම අවභාවිතාකොට වෙළඳපළ තුළ බරපතල විකෘතියක් ඇති කිරීමේ හැකියාවක් ඇතිවේ. ඒ තුළ පොල් ගෙඩි මිල පහත වැටීම නිසා දැනට යම් පමණකට හිස ඔසවමින් තිබෙන පොල් වගාව නැවත වටයකින් කඩා වැටීමට ඉඩ ඇත.

ඊට අමතරව කූඨ ලෙස ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරමින් දේශීය ගම්මිරිස් වගාව විනාශ කළ ආකාරයට බදු සහන යටතේ ෆාම් තෙල් මිශ්‍ර පොල් තෙල් ප්‍රතිඅපනයනය කිරීමේ කූඨ ජාවාරමක්ද ආරම්භ විය හැක. මේ ආකාරයට බදු සහන පිළිබඳව දීර්ඝ පූර්විකාවක් අවශ්‍ය වන්නේ බදු සහන දීමේදී මෙන්ම බදු පැනවීමේදී අදාළ නිශ්චිත උපාය මාර්ගික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු නොකරන බව පෙන්වා දීම සඳහාය. විපක්ෂය පැත්තෙන් ගත් විටද ඔවුන් දරන්නේ ඊටත් වඩා අමන ප්‍රතිපත්තියකි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කිසිඳු ආනයන ද්‍රව්‍යයකට බදු නොගසන ලෙසය. වෙනත් වචන වලින් කියන්නේ නම් ආනයන සමාගම් වලට බදු සහන ලබා දෙන ලෙසය.මීට පෙර පාන් පිටි සහ කිරි පිටි සඳහා අදාළ ආනයන සමාගම් වලට බදු සහන ලබාදුන් පසුව එම සහන මහජනයාට නොලැබීම පිළිබඳව ඔවුන් කිසිඳු හඬක් නොනැගීම තුළින් පැහැදිළි වන්නේ ඔවුන් හඬ නගන්නේ මහජනයා වෙනුවෙන් නොව සමාගම් වලට බදු සහන ලබා ගැනීම සඳහා බවය.

ඊට අමතරව මුදල් අමාත්‍යවරයා විසින් එසේ පොල් තෙල් වලට විශාල වශයෙන් සහන ලබාදෙන අතර සහ තවත් ආහාර වර්ග වලට ඉතා සුළු බදු පනවන අතර අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන්නේ ඒ සියල්ල මඟින් දේශීය කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට අපේක්ෂා කරන බවය. නමුත් පොල් තෙල් වලට ලබාදිය යුතු සහනයට වඩා විශාල බදු අඩුකිරීමක් මඟින් පොල් මිල පහත වැටී පොල් වගාව අධෛර්යමත් වන බවට කිසිඳු සැකයක් නැත. එසේම ආනයනික කඩල වලට පනවා තිබූ කි.ග්‍රෑම් 1 කට රු. 2 ක් වූ ඉතා සුළු බද්ද රු. 5 දක්වා වැඩි කිරීම මඟින් දේශීය මුං සහ කව්පි වැනි ධාන්‍ය වගාව ප්‍රචලිත කළ නොහැකි බව පැහැදිළිය. කඩලවලට රු. 5 ක බද්දක් පනවන අතර කව්පි වලට රු. 70 ක බද්දක් පැනවීම මඟින් ප්‍රචලිත කරන්නේ දේශීයව වැවෙන කව්පි වෙනුවට දේශීයව වැවෙන්නේ නැති කඩලද යන ප්‍රශ්ණය මතුවේ. එසේම ආනයනික කව්පි සඳහා පනවා තිබූ රු. 70 ක බද්ද වැඩි නොකර එසේම පවත්වා ගැනීම මඟින් දේශීය ධාන්‍ය වගාව ප්‍රචලිත කරන්නේ කෙසේද?

ඒ අතර කෘෂි කර්ම අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ප්‍රකාශ කොට ඇති පරිදි මුදල් අමාත්‍යවරයාද අමාත්‍ය මණ්ඩලයට ඉතා පැහැදිළි වචනයෙන් සඳහන් කරන්නේ ආනයනික කිරිපිටි වලට ඉතා ඉහළ බදු පැනවීමෙන් තොරව දේශීය කිරි ගොවිතැන වර්ධනය කළ නොහැකි බවය. නමුත් වචන වලින් එසේ ප්‍රකාශ කළද නිකුත් කළ කිසිඳු ගැසට් නිවේදනයක ආනයනික කිරිපිටි වලට සතයක්වත් බද්දක් පනවා නොමැත. පසුගිය රජය විසින් ඒ වන විට පැවති කි.ග්‍රැම් 1 කට රු. 225 ක් වූ ආනයන බදු රු. 2 ක් දක්වා රු. 223 කින් අඩු කිරීමෙන් පසුව අද වන තුරු එම බදු වෙනස් කොට නැත. ආනයනික බටර් සඳහා පනවා තිබූ බදු මට්ටම්ද වෙනස් කොට නැත. ඒ අනුව වචන වලින් කුමක් කීවද නිශ්චිත ලිඛිත ප්‍රතිපත්තියක් නොමැති තත්වයක් යටතේ ක්‍රියාත්මක වන්නේ දේශීය කිරි කර්මාන්තය අධෛර්යමත් කරන ක්‍රියාමාර්ගයන්ය.

ඊට අමතරව දේශීය වී වගාව දැනට පවතින වාර්ෂික මෙ.ටො මිලියන 4.5 ක අස්වනු මට්ටමේ සිට මෙ.ටො මිලියන 5.5 දක්වා වැඩි කිරීමට නම් තිරිඟු පිටි පරිභෝජනය දැනට පවතින මෙ.ටො ලක්ෂ 17 ක  ප්‍රමාණය අඩු තරමින් ලක්ෂ 10 ක් දක්වා පහත දමාගත යුතුය. තිරිඟු පිටි වලට කි.ග්‍රෑම් 1 කට රු. 28 ක සහනයක් ලබාදීම මඟින් එය සිදුකළ නොහැක. එසේම වී වගාව සහ සෙසු භෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීමෙන් තොරව ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කළ නොහැකි බවට විවාදයක් නැත. එහෙත් ආනයනික කිරි පිටි වලට බදු පැනවීමට බිය වන හෝ ආනයනකරුවන්ට පක්ෂපාති නිලධාරීන්ගෙන් පාර අසාගන්නා ආණ්ඩුවකට එය කළ නොහැක. ඉහත සඳහන් කළ ආකාරයට අප රටට ආශිර්වාදයක් සහ වාසනාවක් වන කප්රුක හෙවත් පොල් වගාව රැක ගැනීමට නම් වගා කරුවන්ට සාධාරණ මිලක් ලැබිය යුතුය. දැනට තිබෙන පොල්වතු ප්‍රමාණයෙන් ජල සැපයුම දියුණු කිරීම මඟින් පමණක් අස්වැන්න 30% කින් වැඩි කළ හැකි බව විද්වත්හු පවසති.

එහෙත් ආනයනික පොල් තෙල් වලට අසීමිතව බදු සහන ලබාදීම මඟින් අපනයන නිෂ්පාදන 37 ක් ලබා දෙන පොල් වගාව දියුණු කළ නොහැක. එසේම යම් කිසි තෝරාගත් නිෂ්පාදනයක් අපනයනය හෝ ආනයනය දිරිගැන්වීම සඳහා අදාළ සමාගම්වල උවමනාව මත බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම මඟින් එම ක්ෂේත්‍රයේ පොදු දියුණුව අපේක්ෂා කළ නොහැක. උදාහරණයක් ලෙස මේ වන විට එක්තරා බහු ජාතික සමාගමක් විසින් පොල් කිරි සහ පොල් කිරි පිටි අපනයනය 4 ගුණයකින් වැඩි කිරීම සඳහා තම නිෂ්පාදන ධාරිතාව වැඩිකොට ඇත. එසේම වියලි පොල් හෙවත් “ ඩෙයිකේටඩ් කොකනට් ” අපනයන ව්‍යාපාරය ද පොල් ගෙඩි මිල ඉහළ යාම නිසා යම් අර්බුදයකට ලක් වී ඇත. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම පරිදි පොල් ගෙඩි මිල පහත දැමීම සඳහා පොල් තෙල් ආනයන බදු අඩු කිරීම මඟින් සමස්ථ පොල් වගාව සහ ඒ ආශ්‍රිත අපනයන නිෂ්පාදන කාණ්ඩ 37 සමස්ථයක් ලෙස වර්ධනය කළ නොහැක.

මේ සමස්ථ කථාව තුලින් පැහැදිළි වන්නේ සිතල කාමර වල සිටින තෝරාගත් නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් සමඟ සබඳතා පවතවන වෙළඳුන්ගේ මතවාද හෝ ඉල්ලීම් අනුව බදු පැනවීමේ සහ බදු සහන දීමේ ක්‍රමවේදය වහාම නැවැත්විය යුතු බවය. එසේම රටේ ආහාර සුරක්ෂිතතාවය රැකෙන සහ දේශීය ගොවියා මෙන්ම කර්මාන්තකරුවා දිරි ගැන්වෙන සහ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා ආනයනය පාලනය කිරීම සඳහා උපාය මාර්ගික සැලසුමක් සහ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ. ඒ තුළ පාරිභෝගිකයාට කෙටි කාලීනව දැරීමට සිදුවන අපහසුතා පිළිබඳව මෙන්ම පොට පටලවාගත් වාමාංෂික පක්ෂ “ බදු නොගසනු ” යනුවෙන් සමාගම් වෙනුවෙන් පෙනී සිටීමේ වරද පිළිබඳව දියුණු මහජන සංවාදයක් දිරි ගැන්විය හැකි වන ඇත්තේ එවැනි ලිඛිත ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කිරීම මඟිනි. එවැනි ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුව මඟින් සම්මත කිරීම මඟින් අදාළ මහජන සංවාදයට අවස්ථාව නිර්මාණය වන අතර නිලධාරීන් අතලොස්සක් විසින්රට පාලනය කිරීමේ සංස්කෘතිය පිටු දැකීමට ද අවස්ථාව නිර්මාණය වනු ඇත.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More