පුරවැසි කොලම

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යළිත් කරළියට පැමිණ තිබේ. ඒ අදාළ ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමත් සමගය.

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම මහ මැතිවරණයෙන් පසුව අත්සන් කිරීමට යන බවට මේ වන විට රට තුළ මතයක් ඇතිවී තිබෙන අතර විපක්ෂයද එයම පවසද්දී ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් නොදී මුනිවත රැුකීම මේ තත්ත්වයට බලපා තිබේ.

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම විපක්ෂයේ සිටියදී පතුරු ගැසූ වර්තමාන රජය තමන් බලයට පත්වූ පසු කුණු කූඩයට දමන බවට ජනතාවට සපථ කළහ.

එහෙත් බලයට පැමිණි පසු රජය කළේ ඒ සම්බන්ධයෙන් කමිටුවක් හරහා වාර්තාවක් කැඳවීම ය.

රටේ වාසනාවකට එම කමිටුවේ රටට ජාතියට හිතවත් කීපදෙනෙකු සිටීම නිසා එම වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් කිසියම් හෝ බලාපොරොත්තුවක් තබාගත හැකි තත්ත්වයක් තිබේ. එහෙත් දැන් සිදුව ඇත්තේ අදාළ කමිටුව ද රටේ නීතිරීතිවලට මුවාවී අදාළ පනත පිළිබඳ වාර්තාව ප‍්‍රසිද්ධ නොකිරීමය.

කෙසේ වෙතත් සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

මේ අතර පසුගිය රජය 2017 සහ 2018 වසරවල  එම්. සී. සී. ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව ද ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4 ක් සහ මිලියන 2.6 ක් ප‍්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයිද එය භාරදෙමින් අදාළ කමිටු සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසා තිබේ. අප දන්නා පරිදි මේ ඇමරිකානු ගිවිසුම් ගැන කතාබහ 2006 වසර හෝ ඊටත් ඈතට දිවයයි. එහෙත් එදා පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් කෙසේ කටයුතු කළේද යන්න වෙනුවට මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ වර්තමාන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගන්නා තීරණයන්ය. ඒ එම තීරණ මත රටේ අනාගතයත් ජනතාවගේ අනාගතයත් අවසාන වශයෙන් ආණ්ඩුවේ දේශපාලන අනාගතයත් රඳා පවතින නිසාය.

මේ ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප‍්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බවද, නියෝජිතයන් දෙදෙනකුට, ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමේ හැකියාව පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බවද නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යෑමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බව ද මේ ගිවිසුම සම්බන්ධයෙන් වාර්තාව ලබා දෙමින් අදාළ කමිටුව පෙන්වාදී තිබේ.

මෙහිදී සලකා බැලිය යුතු අනෙක් ප‍්‍රධානතම කරුණ වන්නේ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම කි‍්‍රයාත්මක කළ සෙසු රටවල වර්තමාන තත්ත්වයයි. එම රටවල ඉඩම් පවා විදේශීය සමාගම්වලට අයිති වී ඇති අතර එම රටවල් කීපයක්ම මේ වන විට නැත්තටම නැතිවී තිබේ. එම නිසා එවන් ඉරණමක් අපේ රටටත් අත්කර  ගන්නවා දැයි යන්න තීරණය කළ යුතුව තිබේ.

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම කිසිදා අත්සන් නොකරන බව ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරු ප‍්‍රකාශ කළ ද ඒ බවක් මෙතෙක් ශ‍්‍රී ලංකා රජය විසින් ඇමරිකානු රජයට නිලවශයෙන් දැනුම් දී නැත.

මේ අතර ශ‍්‍රී ලංකා රජය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් සිටින බව තමන් විශ්වාස කරන බව ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල ප‍්‍රකාශිකා නැන්සි වැන් හෝන් පවසා ඇති අතර මෙරට ඇමරිකානු තානාපතිනිය ද පවසා තිබුණේ, ශ‍්‍රී ලංකා රජය සංක‍්‍රාන්ති කාලයක් පසුකරමින් සිටින බවත් මැතිවරණයෙන් පසුව රජය ස්ථාවර වූ පසු ගිවිසුම පිළිබඳව යළි සලකා බලනු ඇති බවත් ය.

ඒ අනුව පෙනී යන්නේ රජයේ මැති ඇමැතිවරුන් කුමක් ප‍්‍රකාශ කළද ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ අදහස ඇමරිකාව කිසිසේත්ම අත්හැර නැති බවය.

මේ අතර ආණ්ඩුවේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ මෙම ගිවිසුමට මේ වන විට දැඩි විරෝධයක් පළකර තිබේ.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක තමන් මොහොතක් හෝ නොසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කර තිබේ.

එය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නොව වෙනත් ඕනෑම නමකින් පැමිණිය ද තම මතය අදාළව බවද මෙරට ව්‍යවස්ථාදායකයට පවා උඩින් යන, අධිකරණයට පවා වග නොකියන, ලංකාවේ නීතිය අභිබවා යන තත්ත්වයක් ඇතිවෙන ගිවිසුම් කුමන නමින් ආවත් තම තමන්ගේ විරෝධය පළ කරන බව ද ඔහු පවසා තිබේ.

අපට දැනගන්නට ඇත්තේ ආණ්ඩුවේ සිටින රටට ජාතියට ආදරය කරන බොහෝ දෙනකු මේ සම්බන්ධයෙන් එළිපිට විරුද්ධව කරුණු නොදැක්වුවද මේ සඳහා විරෝධයක් දක්වන බවය.

අනෙක් අතට මෙය ශී‍්‍ර ලංකාවේ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනිය. එම නිසා මෙය ක‍්‍රියාත්මක කරන්නට නම් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද වෙනස් කළ යුතුව තිබේ. එසේම ඒ සඳහා මෙය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡුන්දයෙන් සම්මත කර ජනමත විචාරණයකින්ද සම්මත කර ගත යුතුය. එම නිසා රටේ ජනතාව කිසිදිනෙක එවැන්නකට ඉඩ දේ යැයි සිතිය නොහැක.

එම නිසා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ වත්මන් ස්ථාවරය ජනතාවට හෙළි කල යුතුය. එසේම රටේත් ජනතාවගේත් අනාගතය මෙන්ම දේශපාලනිකව ආණ්ඩුවේ අනාගතය ද ආණ්ඩුවේ මේ තීරණය මත රඳා පවතී. ඒ අනුව රටෙත් ජාතියේත් හෙට දවසත් ආණ්ඩුවේ පැවැත්මත් ගැන සිතා පසුගිය මැතිවරණවලදී පොරොන්දු වූ ආකාරයට මේ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉරා දැමීම මේ මොහොතේ සිදු කළ හැකි කාලෝචිත මෙන්ම ඥානවන්තම ක‍්‍රියාව බව අපගේ අදහසයි.

Divaina

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More