පුරවැසි කොලම

කරුණා අම්මාන් විසින් මැතිවරණ වේදිකාවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ව්‍යාපාරය නිහඬ ඇයි දැයි එල්.ටී.ටී.ඊ. හිතවාදීහු , එජාපයේ බෙදුණු කොටස් සහ ජවිපෙ සහෝදරවරු මාධ්‍යය හා සමාජ ජාලා තුළ ප්‍රශ්න කරති.

උතුරේත් දකුණේත් මැතිවරණ වේදිකාවල ඇසෙන ගැලරිය පිනවන කතා අතර කරුණාගේ කතාව තවත් එක තකතීරු ප්‍රකාශයකි. එල්ටීටීඊය වෙනුවෙන් අලිමංකඩ ප්‍රහාරය මෙහෙයවනු ලැබූ කණ්ඩායමේ කරුණා එක් සාමාජිකයකු පමණක් වන අතර ඔහුට ඉහළින් සෘජුවම ප්‍රභාකරන්ගේ මැදිහත් වීම, බාල්රාජ්, තිලයිපලෙම් සහ සිවනේසන් සිටියහ. සංඛ්‍යා ලේඛන අනුව නම් 2000 අප්‍රේල් මස 22 එල්ල වූ අලිමංකඩ දෙවන ප්‍රහාරයෙන් සමස්ත මුල් දිනයේදී හමුදා සෙබළුන් 205ක් ද පසුව යාපනය අර්ධද්වීපය දක්වා ඇවිළුනු සටනේදී තවත් සෙබළුන් හයසීයකට වඩා දිවි පුදකළහ. සෑම රණවිරුවකුගෙම පණ නල මහා පොළවට වටිනාකමක් එක් කරන අතර කිඹුල් කඳුළු හෙළන්නන්ගේ පාවා දීම් කරුණාගේ පුරාජේරුව තුළින් වසන් කළ නොහැක.

අලිමංකඩ ප්‍රහරය ගැන කත කරන ඉහත කී පිරිස් අමතක කරන කරුණක් වන්නේ රණවිරු ජීවිත නිරපරාදේ විනාශ මුඛයට ඇද දැමූ එවකට පැවති දේශපාලන නායකත්වයයි. A9 මාර්ගය ඔස්සේ යාපනය අර්ධද්වීපයට ප්‍රවිෂ්ටවීමේදී අලිමංකඩ යුද මූලෝපායික වශයෙන් තීරණාත්මක මර්මස්ථානයකි. ප්‍රභාකරන් විසින් අලිමංකඩ කඳවුරේ සැපයුම් මාර්ග අවහිර කර සෙබළුන් දුර්වල කළ විට, එවකට සන්නද්ධ සේනාවල සේනාධිනායිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංග අලිමංකඩ අතහැර යන ලෙස හමුදාවට අණ දුන්නාය. ලංකා ඊළාම් යුද ඉතිහාසයේ බරපතළම යටත්වීම සටහන් වන්නේ එවැනි නිවට දේශපාලන නායකත්වයක් යටතේය. අලිමංකඩ ජීවිත හානියට දෙවන නොවන පරිදි හමුදාව සතු මිලිමීටර 152 දිගු දුර ආටිලරි ප්‍රහාරක යන්ත්‍ර තුනක්, මිලි මීටර 122න් දෙකක් මිලිමීටර 120 මෝටාර් ප්‍රහාරක උපකරණ 12ක් ඇතුළු බැර අවි සහ මූනීස්සම් එල්ටීටීඊය යටතට පත්විය. අවුරුදු ගණානවක් පුරාවට එල්ටීටීඊය අපට ප්‍රහාර එල්ල කළේ අපෙන් පැහැර ගත් එම ආයුධවලිනි. යුරෝපයේ දෙමළ ඩයස්පෝරාවට වඩා චන්ද්‍රිකා ආණ්ඩුව එල්ටීටීඊයට ආයුධ සන්න්ද්ධ වීමට ඉඩ ලබා දුන්නේ ඒ ආකාරයෙනි.

රණවිරුවා ගැන විස්සෝපයට පත් සමගි ජන බලවේගය, අහිංසක සිංහල මිනිසුන් ඝාතනය කිරීමට රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා කොටි සංවිධානයට ආයුධ ලබාදීම පහසුවෙන් අමතක කර තිබේ. එවකට ආරක්ෂක ලේකම් සේපාල ආටිගල ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ උපදෙස් මත පතොරම්, ආර්. පී. ජී. සහ රයිෆල් තුවක්කු දහස් ගණනක් එවකට වැලිඔය සිවිල් සම්බන්ධීකරණ නිලධාරියා වූ කර්නල් T.M. බෝහාරාන් මගින් එල්ටීටීඊයට භාර දෙනු ලැබුණි. රනිල් වික්‍රමසිංහ ද සාමාජිකයකු වූ ජනාධිපතිවරයාගේ සාම සාකච්ඡා කණ්ඩායමේ උපදෙස් මත ජෙනරල් සේපාල ආටිගල සහා ජෙනරල් සිරිල් රණතුංග වැලිඔය ප්‍රදේශයේ සිංහල ජනයාට එල්ලවන කොටි ප්‍රහාර ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස උපදෙස් ලබා දුන් බව කර්නල් බොහාරාන් තහවුරු කරයි. එපමණක් නොව එල්ටීටීය විසින් විදේශ රටවලින් ගෙන්වන ලද සන්නිවේදන උපකරණ නිෂ්කාශනය කරනු ලැබූයේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයයි. සාම සාකච්ඡා සඳහා පැමිණි ඇන්ටන් බාලසිංහම්ගේ ගලධාරි හෝටලයේ කාමරයේ තිබූ මුදල් පෙට්ටි, ඉතා පරිස්සමෙන් වන්නියට යැවීමට ප්‍රේමදාස රජය කටයුතු යොදවා තිබිණි.

කරුණා අම්මාන්ගේ කතාව ගැන ලත වන මේ පිරිස ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නියෝගය මත තිරුක්කෝවිල් කැලයේදී එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන් හයසීය ගැන කිසිදු හඬක් නැත. එල්ටීටීඊය විසින් මෙසේ සමූහ ඝාතනයට ලක් කළේ ජනාධිපතිවරයාගේ නියෝගය මත එවකට පොලිස්පති අර්නස්ට් සිල්වාගේ අණින් ත්‍රස්තවාදීන්ට යටත් වූ නිරායුද පොලිස් නිලධාරීන් හයසීයකි. වෙනත් තැන්වල වළවල් හාරන, ජාත්‍යන්තර යුද අපරාධ ගැන කතා කරන යහපාලන නඩයවත්, එන්ජීඕ වත් මෙම යුද අපරාධය ගැන කිසිදු පරීක්ෂණයක් ඉල්ලා නැත. ඒ ගැන කිසිදු මතයක් ප්‍රකාශ කර නැත. කල්මුණේ පොලිස් ස්ථානාධිපතිරයා වූ සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු, පොලිස්පතිවරයාගේ නියෝගය නොතකා එල්ටීටීඊය සමග සටන් වදින විට ගුවන් සහ හමුදා සහය ඉල්ලා සිටියදී එවකට රජය විසින් එම හමුදා ඛණ්ඩාංක ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී. අවසානයේදී පොලිස්පතිවරයා ඔහුට පෞද්ගලිකව කතා කොට ඔහුට යටත්වීමට නියෝග කරන ලදී. මේ තාක් දුරට ගරිල්ලා ප්‍රහාරක කණ්ඩායමක් ලෙස පැවති එල්ටීටීඊය යුදමය හමුදාවක් බවට පත් වූයේ මෙම සංහාරයන් අත් කර ගත් ආයුධ සහ භූමි වාසිය නිසා බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහසයි.

එජාපයේ එම පාවාදීමේ ඉතිහාසය එතැකින් නිමා නොවේ. 2001 සටන් විරාම ගිවිසුම එහි කූඨාප්‍රාප්තියයි. එල්ටීටීඊය වෙනම රාජ්‍ය පාර්ශ්වයක් ලෙස පිළිගනිමින් මොන්ටීවීඩීයෝ සම්මුතිය අනුව රාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය ජාත්‍යන්තර පිළිගැනීම, බැංකු, පොලිසි සහ උසාවි නිල වශයෙන් පිළිගැනීම එමගින් සිදු විය. අනෙක් අතට එල්ටීටීඊයට යුදමය මෙහෙයුම් කිරීමට අවශ්‍ය සන්නිවේදන උපකරණ කටුනායක ගුවන් තොටුපළින් රේගු බදු නොගෙවාම, කන්ටේනර් විවෘත කිරීමකින් තොරව වන්නියට යැවීමට තරම් රනිල් වික්‍රමසිංහ පරිත්‍යාගශීලී විය.

රනිල් වික්‍රමසිංහගේ සටන් විරාම ගිවිසුමත් චන්ද්‍රිකා කුමාරතුංගගේ අන්තර් ස්වයං පාලන අධිකාරිය ක්‍රියාත්මක වුණා නම් , කරුණා අම්මාන්ට මහින්ද රාජපක්ෂගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නට උවමානාවක් ඇති නොවේ. උතුරු නැගෙනහිර නීත්‍යනුකූලව බෙදා ගත් ඊළාම් රාජ්‍යයක ජනාධිපතිවරයා ලෙස අපේ නිදහස් උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රභාකරන් සහභාගිවීමට ඉඩ තිබිණි. ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊය දේශපාලන ප්‍රවාහයට යොමු කිරීම සම්බන්ධයෙන් එජාපය උදම් අනනු ඇත. මිලිටරි හමුදාවන් සහ ත්‍රස්තවාදය දේශපාලන උපායමාර්ග ලෙස භාවිත කළ කණ්ඩායම් දේශපාලනය ප්‍රවිෂ්ට වීමත් එසේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එක්වීම නිසා ඔවුන්ගේ පෙර සටන්වලදී සිදු වූ වැරදි සම්මුතික වශයෙන් නොතකා හැරීමත් සාමාන්‍ය දේශපාලන සංසිද්ධියකි. අයර්ලන්ත විප්ලවකාරි සංවිධානය, ශිම්පේන් සංවිධානය, පල්ස්තීන විමුක්ති සංවිධානය සහ නේපාලයේ මාවෝ ගරිල්ලාවරුන් පවා සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට එක්ව රජයේ තනතුරු ලබාගත්හ.

අද කරුණා අම්මාන්ට චෝදනා කරන පිරිස්, තවත් පසෙකින් එල්ටීටීඊයෙන් කරුණා වෙන් කිරීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහට හිමිවිය යුතු බවට මිත්‍යාවක් පතුරවති. සටන් විරාමයට එක් වූ කරුණා මඩකළපුවේ කෑලෑ ඇඳුමෙන්, යුරෝපීය ඇඳුමට මාරු වූයේ රනිල් වික්‍රමසිංහගේ උපායමාර්ගික වැඩපිළිවෙළට අනුව නම්, රනිල්ගේ අනෙක් ක්‍රියාකාරකම් එම උපාය මාර්ගයට සමපාත විය යුතුය. නැතිනම් අවම වශයෙන් එල්ටීටීඊය යුදමය හෝ දේශපාලන වශයෙන් පරාජයට පත් කිරීමේ මෙහෙයුමේ එතැන් සිට ඉදිරියට කරුණා මෙහෙයවීම හා කළමනාකරණය වීම සිදු විය යුතුය. තොප්පිගල කැලයක් කියූ රනිල් වික්‍රමසිංහගේ එජාපයට එවැනි උපායක් නොතිබූ බව සටන් විරාම ගිවිසුම් කාලය තුළ මෙන්ම ඉන් පසුව ඔවුන් හමුදාව ගැන මෙන්ම මානුෂික මෙහෙයුම ගැන දැක්වූ ආකල්පයන්ගෙන් පැහැදිලි වේ.

මේ අතර කරුණාට නොදෙනිව ප්‍රකාශයක් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක කර තිබේ.88 /89 ඔවුන්ගේ අරගලවලදී දෙමළ මුස්ලිම් ජනයාට කිසිදු හානියක් නොවීමට ඔවුන් වගබලාගත් බවයි. හැට වසරක ජවිපේ ඉතිහාසය තුළ මේ රටේ සුළු වාර්ගික කොටස් ජවිපෙට ඡන්දයක් ලබාදී නැත. බිමල් රත්නායක විසින් ඉතා නිවරැදිව සනාථ කර ඇත්තේ ජවිපේ මෙරට සිංහල බෞද්ධ ජන පදනම මතම වෙසෙමින් එය විනාශ කරන කඳන් පණුවකු බවයි. මෙම ප්‍රකාශ ඔස්සේ සහ සජිත් ප්‍රේමදාසට දෙවන මනාපය දීම පිළිගැනීමෙන් ජවිපේ සැබෑ නිරුවත වඩ වඩාත් හෙළි දරව් වෙමින් පවතී. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීමට ජනතාව ජවිපෙට අවස්ථාව දෙනු ඇත.

යහපාලන ආණ්ඩුව, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව කාර්යාලය පනත, බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත, අපරාධ සහයෝගීතා පනත මගින් ජිනීවා යෝජනා බලාත්මක කරමින් බුද්ධි අංශ අඩපණ කරමින් ජීවත්වන රණවිරුවාගේ නිදහසත් දිවි දුන් රණ විරුවාගේ ගෞරවයත් වෙනුවෙන් සටන් කළේ මහ සඟ රුවන ප්‍රමුඛ ජාතික ව්‍යාපාරය මිස එජාප ජවිපෙ ඇතුළු එන්ජීඕ නොවන බව අවසන් වශයෙන් සටහන් තබමි.

-නීතීඥ නුවන් බැල්ලන්තුඩ‍ාව-

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More