සාහිත්‍ය නිර්මාණකරුවකු, නිදහස් පුවත්පත්කලාවේදියකු, සන්නිවේදන පර්යේෂකයකු හා බ්ලොග් රචකයකු වන ප‍්‍රභාත් චින්තක මීගොඩගේ විසින් රචිත නවතම පර්යේෂණ කෘතිය වන ”ශ‍්‍රී ලාංකේය පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්”, මෑතකදී ප‍්‍රකාශයට පත් විණි. ඔහු සමග කළ මේ සංවාදය ඒ නිමිත්තෙනි.
කලකට පසු නැවතත් ඔබ පර්යේෂණ කෘතියක් එළි දක්වා තිබෙනවා.
ඔව්. මගේ මුල්ම පර්යේෂණ කෘතිය වුණේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ නිබන්ධය ලෙස 2006 වසරේදී ඉදිරිපත් කළ ”දයාසේන ගුණසිංහ – තීරු රචනා විමර්ශන” නමැති ග‍්‍රන්ථය. එය පළ වුණේ 2011 වසරේදී. එම ග‍්‍රන්ථය මේ වන විට සිංහල පුවත්පත් තීරු රචනා විෂයය හැදෑරීම සඳහා වගේම දයාසේන ගුණසිංහ මහතාගේ පුවත්පත්කලා භාවිතාව හඳුනාගැනීම සඳහාත් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වගේම, ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේත් ප‍්‍රධාන මූලාශ‍්‍රයක් ලෙස භාවිත කරමින් තිබෙනවා.
පසුගියදා මම ප‍්‍රකාශයට පත් කළේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන පශ්චාත් උපාධියට (ශාස්ත‍්‍රපති) අදාළ පර්යේෂණ නිබන්ධය ආශ‍්‍රිතව සම්පාදනය කළ ”ශ‍්‍රී ලාංකේය පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්” යන ග‍්‍රන්ථය. මෙම කෘතියත් අපේ රටේ සන්නිවේදන පර්යේෂණ ක්ෂේත‍්‍රයේ සුවිශේෂ කෘතියක් වනු ඇති බව සඳහන් කරන්නට කැමතියි.
මෙම පර්යේෂණ ග‍්‍රන්ථයේ විශේෂත්වය කෙබඳුද?
අපේ රටේ මුද්‍රිත මාධ්‍ය සම්බන්ධවත්, ඒවායේ වෙළෙඳ දැන්වීම් සම්බන්ධවත් පර්යේෂකයින් විසින් විශ්ව විද්‍යාලයීය මට්ටමින් බොහොමයක් පර්යේෂණ සිදු කර තිබෙනවා. ඒ අතරින් ඇතැම් ඒවා මේ වන විට ග‍්‍රන්ථ ලෙස පළ කොට තිබෙනවා. මගේ මෙම පර්යේෂණයේ විශේෂතා කිහිපයක් පෙන්වා දෙන්නට පුළුවන්. එකක් තමයි සංවෘත ආර්ථිකය තුළ සහ වෙළෙඳ පොළ ආර්ථිකය තුළ වෙළෙඳ දැන්වීම් විසින් සමාජයට, පාරිභෝගික චර්යාවට කරන බලපෑම්වල ස්වභාවය තුලනාත්මකව අධ්‍යයනය කිරීම. මේ යුගයේ ලෝකයේ අලෙවිකරණය, වෙළෙඳාම, වෙළෙඳ ප‍්‍රචාරණය සිදුවෙමින් තිබෙන්නේ අන්තර් සංස්කෘතික පදනමක් මත. 1978 වසරේදී ලංකාවට හඳුන්වා දුන් නව ලිබරල්වාදී ආර්ථික ක‍්‍රමවේදය තුළ බහුජාතික සමාගම් විසින් සිය බහු විධ නිෂ්පාදන අන්තර් සංස්කෘතික ප‍්‍රවේශයකින් ලාංකේය සමාජය වෙත හඳුන්වා දීමට පටන්ගත්තා. 1975 සහ 1982 වර්ෂවල පුවත්පත් දැන්වීම් අන්තර් සංස්කෘතික සන්නිවේදනය නමැති න්‍යායික රාමුව තුළ අන්තර්ගත විශ්ලේෂණයට ලක් කරමින් ලංකාවේ ඒ මොහොත අධ්‍යයනය කිරීම මේ පර්යේෂණයේ අනෙක් විශේෂත්වයයි. මේ කාරණා දෙක අනුව සැලකීමේදීත් මෙය අපේ රටේ පුරෝගාමී පර්යේෂණයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.
ඔබගේ පර්යේෂණයට බඳුන් වූ කාරණා හා බැඳුණු සමාජ පසුබිම පිළිබඳව සඳහන් කළොත්…
පශ්චාත් යටත් විජිත ශ‍්‍රී ලංකාවේ 1970 දශකයේ අවසාන භාගය දක්වා මෙරට පැවතියේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය. එම ආර්ථික යාන්ත‍්‍රණය තුළ තීරණාත්මක භූමිකාව ඉටු කළේ රජය විසින්. නමුත් 1978 වසරේ වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමය මෙරටට හඳුන්වා දෙනවා. ලාංකේය ආර්ථිකයේ මෙම ව්‍යුහාත්මක වෙනස හේතුවෙන් ලාංකේය සමාජය තුළ විපර්යාස රැුසක් ඇති වුණා. පශ්චාත් යටත් විජිත ලාංකේය සමාජයේ තීරණාත්මක හැරුම් ලක්ෂ්‍යයක් වුණු මෙම ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස, මෙරට දේශපාලන – ආර්ථික හා සමාජ – සංස්කෘතික තත්ත්ව වෙත බහුවිධ ලෙස ප‍්‍රක්ෂේපණය වුණා. එහි ප‍්‍රතිඵල මහා සමාජයේ සිට ක්ෂුද්‍ර කුටුම්භ ජීවිතය දක්වා ඇති වුණා.
එතෙක් මෙරට පැවතුණු සුබසාධනවාදී සංවෘත ආර්ථික ක‍්‍රමය තුළ ගොඩනැඟී තිබුණු ලාංකේය මිනිසාගේ ගැමි ජීවන රටාව, මෙම නව ලිබරල්වාදී ආර්ථික ක‍්‍රමය තුළ පැහැදිලි වෙනසකට බඳුන් වුණා. ධනේශ්වර ආර්ථික ක‍්‍රමයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය යාන්ත‍්‍රණයක් ලෙස විශේෂඥයින් විසින් හඳුන්වා දෙනු ලබන ‘වෙළෙඳ ප‍්‍රචාරණය’, ලාංකේය මිනිස් ජීවන රටාව ද නව පාරිභෝජන ක‍්‍රම සමඟ බැඳුණු ජීවන රටාවක් බවට පත් කිරීම සඳහා ප‍්‍රබල කාර්යභාරයක් ඉටු කරන්නට වුණා.
1978 වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමය විසින් පැහැදිලි ව ඛණ්ඩනය කරන ලද ලාංකේය මිනිස් ජීවිතයේ, අවකාශ පිරවීම වෙළෙඳ දැන්වීම් විසින් සිදු කරන්නට පටන් ගත්තා. මේ අවධියේ මෙරට ප‍්‍රධාන ජනමාධ්‍ය වූයේ පුවත්පත්. මේ නිසා නව පාරිභෝජන සංස්කෘතීන් – නව පාරිභෝගික ජීවන රටා සමාජගත කිරීම සඳහා වෙළෙඳ ප‍්‍රචාරණයේ ප‍්‍රමුඛතම වාහකය බවට පුවත්පත් පත් වුණා. මේවායේ ”වෙළෙඳ දැන්වීම්” නමැති සංදේශය තුළ වචන, පින්තූර, සංවාද, සංකේත ආදී අමුද්‍රව්‍ය ඇසුරෙන් ලාංකේය සමාජයේ නව ජීවන රටා ගොඩනැඟීම සඳහා විශාල දායකත්වයක් ලැබුණා. මේ විදියට වෙළෙඳපොළ ආර්ථිකය විසින් මෙරට සංස්කෘතිය කොටස් දෙකකට ඛණ්ඩනය කෙරුණා. බහුජාතික භාණ්ඩ නිෂ්පාදන සමාගම් සිය අලෙවිකරණ හා ප‍්‍රචාරණ මෙහෙයුම් ලාංකේය සමාජය මත වඩාත් පුළුල් ලෙස මුදාහරින්නට පටන් ගත්තා.
ඇත්තෙන්ම, මෙය හුදු ලංකාවට පමණක් අදාළ ව බහුජාතික සමාගම්හි වෙළෙඳ ප‍්‍රචාරණ උපාය මාර්ගික මැදිහත්වීමක් ක‍්‍රියාත්මක වූ අවස්ථාවක් නෙවෙයි. ඉන් ඔබ්බට ගිය දේශපාලන – ආර්ථික වාස්තවික තත්ත්වයක් ලෝක පරිමාණ ව ම මේ වන විට ගොඩනැඟී තිබුණා. අපේ රටේ සංවෘත ආර්ථික අවධියේ පාරිභෝගික සමාජය හා විවෘත ආර්ථිකයේ ආරම්භක අවධියේ පාරිභෝගික සමාජය මෙම පර්යේෂණ කෘතිය තුළ සාකච්ඡුා වෙනවා.
ඔබගේ පර්යේෂණයේ සන්නිවේදන න්‍යායික රාමුව වී ඇත්තේ අන්තර් සංස්කෘතික සන්නිවේදනය. මේ පිළිබඳව පැහැදිලි කළොත්…
බහුජාතික සමාගම් තමන්ගේ අලෙවිකරණ මෙහෙයුමක් ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට යාමේදී මුහුණ දෙන වඩාත් දුෂ්කර තෝරාගැනීමක් වන්නේ, ලෝකයේ විවිධ රටවල පවතින විවිධ වූ රුචිකත්වයන්ට, සංස්කෘතීන්ට අනුව සිය ප‍්‍රචාරණය හැඩගස්වා ගන්නේ කෙසේ ද යන්න. බොහෝ අවස්ථාවලදී සමාගම් සිදුකර ඇත්තේ එක් රටකට අදාළ ව සිය අලෙවිකරණ උපාය මාර්ගය වැඩි දියුණු කර, ඉන්පසු එය ”අත්හදාබැලීමක්” වශයෙන් අනෙක් රටවල් තුළ ද දියත් කොට ඒ ඒ රටේ වෙළෙඳපොළට ගැලපෙන වඩාත් හොඳ ම ආකාරය සොයාගැනීමට උත්සාහ කිරීමයි. නමුත් මෙය බොහෝවිට බලපෑම් සහගත නො වන අලෙවිකරණ/ප‍්‍රචාරණ වැඩසටහන් සඳහා මඟ පෙන්වමින් සමාගමේ කීර්ති නාමය බිඳ දමන බව ප‍්‍රචාරණ විශේෂඥයින්ගේ මතය වී තිබෙනවා.
මේ නිසා නව ගෝලීය වෙළෙඳපොළ තුළ පිළිගැනීමට ලක්වී තිබෙන්නේ වෙළෙඳපොළ තුළ පැවතීම සඳහා සහ වෙළෙඳපොළ කොටස පුළුල් කර ගැනීම සඳහා වාර්ගික හෝ උප සංස්කෘතික මාර්ග ඔස්සේ සිදු කරන අලෙවිකරණ උපාය මාර්ග වඩාත් සුදුසු බවයි. පාරිභෝගිකයින් කෙරෙහි වෙළෙඳපොළ බලපෑම් කිරීම සඳහා ඔවුන්ට තිබෙන විවිධ සංස්කෘතික වටිනාකම් අන් සියල්ලට ම වඩා අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා මෑත ඉතිහාසය තුළ සිදු කළ පාරිභෝගික චර්යා පිළිබඳ පර්යේෂණවල කේන්ද්‍රීය ඉලක්කය වී තිබෙන්නේ සංස්කෘතිය.
මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර වෙළෙඳාම සාර්ථක කරගැනීමට ”අන්තර් සංස්කෘතික අධ්‍යයන” භාවිත වෙමින් පවතිනවා. එහිදී ලෝකයේ විවිධ රටවල සංස්කෘති හඳුනාගනිමින්, ඒ මත පදනම් ව ප‍්‍රචාරණ උපාය මාර්ග සැලසුම් කරමින්, ඒ හරහා අදාළ සමාජවල ජනතාව තුළ නව අවශ්‍යතා ගොඩනඟමින්, නව සංස්කෘතික තත්ත්ව සූක්ෂ්ම ලෙස ගොඩනඟමින්, නව වෙළෙඳපොළවල් නිර්මාණය කරගැනීමට බහුජාතික සමාගම් කටයුතු කරමින් සිටිනවා.
වෙළෙඳ ප‍්‍රචාරණය යනු තවදුරටත් හුදෙකලා ප‍්‍රපංචයක් නො ව ගෝලීය ආර්ථික අවශ්‍යතා අනුව ක‍්‍රියාත්මක වන හුදු ආර්ථිකමය අවශ්‍යතාවලට පමණක් සීමා නො වූ, ”සංස්කෘතික අධිරාජ්‍යවාදයක්” ක‍්‍රියාත්මක වන බල ක්ෂේත‍්‍රයක් වී තිබෙනවා. යටත් විජිත යුගයේදී රටවල් යටත් කරගෙන අමුද්‍රව්‍ය රැුගෙන ගිය සමාගම්, වර්තමාන සමාජ මොහොතේ රටවල් සංස්කෘතික වශයෙන් යටත් කරගෙන, තමන්ගේ් නිෂ්පාදන සඳහා නිත්‍ය වෙළෙඳපොළවල් සකස් කරගෙන තිබෙනවා.
අතීත යටත්විජිතකරණය තුළ ඒ කෙරෙහි ප‍්‍රතිවිරෝධයක් ස්වදේශික සමාජ තුළ නිර්මාණය වුවත්, නූතන තත්ත්වය තුළ සිදු ව ඇති සංස්කෘතික විජිතකරණය තුළ එකී ක‍්‍රියාදාමයට ප‍්‍රතිපක්ෂ බලවේග නිර්මාණය වීමක් සිදුවන්නේ නැහැ. ඊට හේතුව, ඒ ඒ රටවල පවතින සංස්කෘතික තත්ත්වයට අනුව ඉතා සූක්ෂ්ම ලෙස නූතන වෙළෙඳපොළ යටත් විජිතකරණ උපාය මාර්ගය සැලසුම් කර තිබීම. ඒ සැලසුම් සඳහා මෙම බහුජාතික සමාගම් භාවිත කරන්නේ ”අන්තර් සංස්කෘතික අධ්‍යයන” නමැති සන්නිවේදන විද්‍යාත්මක ප‍්‍රවේශයයි. ඒ අනුව නිර්මාණය කරන මෙවලම වන්නේ ”අන්තර් සංස්කෘතික වෙළෙඳ ප‍්‍රචාරණයයි.”
මෙබඳු පසුබිමක, වෙළෙඳ දැන්වීම් විසින් ලාංකේය සංස්කෘතිය වෙත කරන ලද බලපෑම ”අන්තර් සංස්කෘතික සන්නිවේදන” යන න්‍යායික රාමුව තුළ අධ්‍යයනය කිරීම, සමාජ විද්‍යාත්මක හා සන්නිවේදනාත්මක වශයෙන් අතිශයින් ම වැදගත්.
ඔබ මෙම පර්යේෂණයේදී වෙළෙඳ දැන්වීමක අන්තර්ගතය කරුණු ගණනාවක් යටතේ තියුණු විශ්ලේෂණයකට බඳුන් කරනවා.
ඔව්. මෙහිදී මගේ පර්යේෂණය මූලික වශයෙන් අන්තර්ගත විශ්ලේෂණය මත පදනම් වූවක්. එතැනදී වෙළෙඳ දැන්වීමක අන්තර්ගතය පුළුල් ලෙස විශ්ලේෂණය කරන්නට මා යොමු වුණා.
මෙම අන්තර්ගතයට අදාළ සමස්ත වෙළෙඳ දැන්වීම් පසුතලය හඳුනාගැනීම සඳහා, පළ වී ඇති සමස්ත දැන්වීම් සංඛ්‍යාව, දැන්වීම්වල අවකාශ ප‍්‍රමාණය, දැන්වීම් පළ වී ඇති වාර ගණන වගේම, ඒවායේ වර්ණ භාවිතය, දෘෂ්‍ය රූප භාවිතය, ඡුායාරූප හා රේඛා චිත‍්‍ර භාවිතය, දෘෂ්‍ය රූපවල ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හා පවුල් ඒකකය නිරූපණය, සංස්කෘතික ප‍්‍රතිරූප භාවිතය, සංස්කෘතික උත්සව / අවස්ථා නිරූපණය, සාම්ප‍්‍රදායික වචන /යෙදුම්, ජනවහර / කටවහර භාවිතය, භාණ්ඩ පරිභෝජනය හා සේවා පරිභෝජනය, භාණ්ඩ හා සේවාවල හිමිකාරීත්වය සහ පවතින පාරිභෝගික ජීවන රටා සහ නව පාරිභෝගික ජීවන රටා හඳුන්වාදීම යන ප‍්‍රවේශ යටතේ ප‍්‍රමාණාත්මක දත්ත රැුස්කොට විශ්ලේෂණය කළා.
එහිදී ඔබ හඳුනාගත් තත්ත්වයන් කෙබඳුද? සංවෘත ආර්ථික ක‍්‍රමය හා විවෘත ආර්ථික ක‍්‍රමය තුළ මේ වෙනස්කම්වල ස්වභාවය ඇසුරෙන් පැහැදිලි කළොත්…
ඔව්.. පර්යේෂණයේදී හඳුනාගත හැකි වූ කාරණා ගණනාවක් සඳහන් කරන්නට පුළුවන්..සමාජයීය වශයෙන් පාරිභෝගිකයා වෙනත් තලයකට කැඳවන දැන්වීම්හි වර්ධනයක් සංවෘත ආර්ථික අවධියට වඩා විවෘත ආර්ථික අවධියේදී හඳුනාගත හැකි වුණා. මෙහිදී එතෙක් මෙරට පැවති ‘චාම්බව’ හා ‘අල්පේච්ඡුබව’ වෙනුවට ‘සුඛෝපභෝගීත්වය’ හා ‘බහුභාණ්ඩිකත්වය’ ඔසොවා තබන දැන්වීම්කලාවක මූලාරම්භය සනිටුහන් කර තිබෙනවා. වඩා පහසු, වඩා ලස්සන, වඩා ලාභදායක, වඩා කැපී පෙනීම, වඩා සුඛෝපභෝගී, වඩා පෝෂ්‍යදායී, වඩා රසවත්, වඩා කාර්යක්ෂම, වඩා බලවත් ආදී වශයෙන් සාමාන්‍යය ඉක්ම වූ අතිශයෝක්තිමය ගුණය මෙම දැන්වීම් මගින් පාරිභෝගික මනස වෙත යොමු කර තිබෙනවා. දැන්වීම් මගින් නිෂ්පාදනයක් එහි මූලික ගුණය ඉක්මවා ගිය පාරිභෝගිකයාගේ සිහිනමය ජීවිතයකට අවශ්‍ය ආරම්භක ගුණ පාරිභෝගික චර්යාවට එකතු කිරීමේ ස්වභාවය මෙම දැන්වීම්හි දැකගන්නට පුළුවන්. යම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝජනය කිරීමට පාරිභෝගිකයා පොළඹවන ගුණය විවෘත ආර්ථික අවධියේ පළ වී ඇති දැන්වීම්වල ඉහළ ගොස් තිබෙනවා.
ඒ වගේම, දැන්වීම්වල විශාලත්වය හා නිර්මාණශීලීත්වය අතින් ඉදිරියෙන් ඇති දැන්වීම් අති බහුතරය බහුජාතික සමාගම්වල නිෂ්පාදන සම්බන්ධ දැන්වීම්. ඒවා සියල්ල ම පාහේ මෙරට ප‍්‍රධාන වෙළෙඳ ප‍්‍රචාරණ නියෝජිත ආයතන මගින් නිර්මාණය කෙරුණු ඒවා. ඒවගේම, ආසන්න සති කිහිපයක නැවත නැවත පළ වී ඇති දැන්වීම් ද මෙබඳු බහුජාතික සමාගම්වල නිෂ්පාදනවලට අදාළ දැන්වීම්. නිතර පාරිභෝගිකයාගේ ඇස ගැටීම තුළ එම සන්නාම පාරිභෝගික මනසේ ඉහළින් රඳවාගත හැකි වීම මෙයට අදාළ පසුබිමයි.
සංවෘත ආර්ථිකයට වඩා විවෘත ආර්ථිකය තුළ බහුජාතික සමාගම් පාරිභෝගික ජීවන රටා කෙරෙහි මැදිහත්වීම එනම්, දැන්වීම් මගින් සිය නිෂ්පාදන හඳුන්වාදීම ඉහළ ගොස් තිබෙනවා. එහිදී මෙරට පාරිභෝගිකයින්ගේ පවතින ජීවන රටාවලට අදාළ නිෂ්පාදන හා සේවා මෙන් ම, නව ජීවන රටා නිර්මාණය කරමින් ඊට අදාළ නිෂ්පාදන භාණ්ඩ ඉදිරිපත් කිරීම ද වර්ධනය වී තිබෙනවා. මෙම පාරිභෝගික ජීවන රටාවලට මැදිහත්වීමේදී දේශීය සමාගම් සිය දැන්වීම් සඳහා සංස්කෘතික කාරණා ප‍්‍රවේශ කොට ගැනීම ඉහළ ගොස් ඇති අතර, බහුජාතික සමාගම් සිය දැන්වීම් ස`දහා අන්තර් සංස්කෘතික තත්ත්ව ප‍්‍රවේශ කොට ගැනීම ඉහළ ගොස් තිබෙනවා. මෙම දැන්වීම්වලදී පාරිභෝගිකයාගේ සංස්කෘතික, මනෝ විද්‍යාත්මක, ස්ත‍්‍රී – පුරුෂ සමාජභාවී තත්ත්ව පසුබිම් කොටගත් දැන්වීම් නිර්මාණය වර්ධනය වී ඇති අතර, දැන්වීම්වල නිර්මාණාත්මකභාවය ද සාපේක්ෂ ව වැඩි වී තිබෙනවා.
මෙම යුගය තුළ දැන්වීම්වලදී අවකාශය වඩාත් විශාල හා දෘෂ්‍ය රූප භාවිත දැන්වීම් වැඩි ප‍්‍රමාණයක් පළ වී ඇත්තේ බහුජාතික සමාගම්වල නිෂ්පාදන හා සේවා සම්බන්ධවයි. එම දැන්වීම්, ප‍්‍රචාරණ නියෝජිත ආයතන විසින් නිර්මාණය කළ ඒවා. මේ නිසා විවෘත ආර්ථික අවධිය තුළ වෙළෙඳ ප‍්‍රචාරණ නියෝජිත ආයතනවල පැවැත්ම සඳහා සුදුසු ආර්ථික – සමාජ පරිසරයක් නිර්මාණය වී තිබෙන බව හඳුනාගත හැකියි.
සංවෘත ආර්ථික අවධියට වඩා විවෘත ආර්ථික අවධිය තුළ පාරිභෝගිකයින්ගේ දෛනික ජීවිතය වෙත දැන්වීම්වලින් සිදු කෙරෙන බලපෑම දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ පර්යේෂණයට විවෘත ආර්ථිකයේ ආරම්භක අවධිය, එනම් විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දී වසර 4කට පමණ පසු කාල වකවානුව පදනම් කරගත් නිසා, ඒ ආරම්භක අවධිය තුළ එතරම් ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනවා නම්, විවෘත ආර්ථිකයේ වර්ධනීය අවධිය වන පසු කාලයේදී එය ඉතා ම ඉහළ අගයකින් පාරිභෝගික ජීවන රටාවලට බලපා ඇති ආකාරය දකින්නට පුළුවන්.
මේ තත්ත්වය මෙරට මුද්‍රිත මාධ්‍ය දැන්වීම් ඉතිහාසය අනුව බැලීමේදී රටේ ආර්ථික ක‍්‍රමවේදයේ වෙනසක් මෙරට දැන්වීම් මත පරාවර්තනය වීමක් ලෙස හඳුනාගත හැකි යි. අනෙක් අතට එම දැන්වීම්වල සිදුවන වෙනස්කම් නැවත මෙරට පාරිභෝගික ජීවන රටා වෙනස්වීම සඳහා බලපා තිබෙනවා.
මෙම පසුබිම තුළ බහුජාතික සමාගම්වලට සිය ආර්ථික ආක‍්‍රමණය සඳහා අන්තර්ජාතික මැදිහත්වීම් සිදු කිරීම පිණිස උචිත ආර්ථික පසුතලය නව ලිබරල්වාදී වෙළෙඳපොළ ආර්ථිකය මගින් නිර්මාණය වී තිබෙන බව හඳුනාගත හැකියි. එහිදී බහුජාතික සමාගම් සිය ආර්ථික ආක‍්‍රමණය වෙළෙඳ දැන්වීම් මගින් සිදු කිරීමේදී අන්තර් සංස්කෘතික ප‍්‍රචාරණ භාවිතය ඒ සඳහා යොදා ගෙන තිබෙනවා.
මෙම පර්යේෂණය අනුව ඔබගේ නිගමන කෙබඳුද කියා අප දැනගන්නට කැමතියි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ නව ලෝක පරිමාණ ආර්ථික ප‍්‍රවණතා සහ සමාජවාදී දේශපාලන කඳවුර බිඳවැටීම නිසා වේගවත් වූ ගෝලීය නව ලිබරල් ආර්ථික රටාව තුළ ශක්තිමත් වූ බහුජාතික සමාගම් ජාලයේ දැන්වීම් ප‍්‍රවර්ධන වැඩපිළිවෙළ, නව තාක්ෂණික උපක‍්‍රම සහිත ව පැතිරුණු ජනමාධ්‍ය සමූහයේ සහයෝගීත්වයෙන් ලෝකයේ සියලූ කලාපවල රටවල සමාජ වෙත නව ජීවන රටා හඳුන්වා දෙමින් එම සමාජවල සංස්කෘතික පදනම් දෙදරීමට ලක් කරන බැව් පැහැදිලියි.
1977 දී ශ‍්‍රී ලංකාවට නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය හඳුන්වා දීමත්, 1982 දී එම වැඩපිළිවෙළ ශක්තිමත් කෙරෙන පරිදි රූපවාහිනී මාධ්‍යය හඳුන්වාදීමත් මගින් ලාංකේය පාරිභෝගික සමාජයට ඇති කරන ලද බලපෑම මුද්‍රිත මාධ්‍ය දැන්වීම් තුළින් නිරූපණය වන ආකාරය අධ්‍යයනයට ලක් වුණා.
එහිදී අනාවරණය වූ කරුණු අනුව දැන්වීම්වල අවකාශ ප‍්‍රමාණය, දැන්වීම් පළ වී ඇති වාර ගණන, ඒවායේ වර්ණ භාවිතය, දෘෂ්‍ය රූප භාවිතය, දෘෂ්‍ය රූපවල ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හා පවුල් ඒකකය නිරූපණය, සංස්කෘතික ප‍්‍රතිරූප භාවිතය, සංස්කෘතික උත්සව / අවස්ථා නිරූපණය, සාම්ප‍්‍රදායික භාෂා භාවිතය ආදිය මගින් නිශ්චිත සහ ඉලක්ක සහගත ලෙස, පෙර නො වූ නව සංස්කෘතික සහ සමාජ වටිනාකම් තහවුරු කිරීමට තෝරාගත් කාල පරාසය තුළ මුද්‍රිත මාධ්‍ය දැන්වීම් ක‍්‍රියා කර ඇති බව පැහැදිලි වෙනවා.
1975 වර්ෂයේ (සංවෘත ආර්ථික අවධියේ* දැන්වීම් තුළ පුද්ගල ජීවිතයට අවශ්‍ය කරන පාරිභෝගික භාණ්ඩ හා සේවා ආදිය පිළිබඳ ව හඳුන්වාදීම සඳහා තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. භාෂාව, දෘෂ්‍ය රූප සහ සංස්කෘතික ප‍්‍රතිරූප ආදිය සමකාලීන සමාජයේ පවත්නා වටිනාකම් හා සංස්කෘතික සංඝටක තුළින් තෝරාගෙන තිබෙනවා. එම දැන්වීම් පවත්නා සමාජ සංස්කෘතික සාරධර්ම හා අගයන් අභිබවායාමක් පෙන්නුම් කරන්නේ නැහැ.
1982 වර්ෂයේ දැන්වීම් (විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු) පැහැදිලි ලෙස ම පෙර යුගයේ (1975 වර්ෂයේ* වෙළෙඳ දැන්වීම් තුළ අන්තර්ගත සමාජයීය හර, සංස්කෘතික වටිනාකම්, පරිභෝජන රටා සහ ජීවන රටා වෙනුවට, නව ආර්ථික ක‍්‍රමය සමග හඳුන්වා දෙන ආගන්තුක හර පද්ධති නිරූපණය කරන බව එම දැන්වීම්හි යොදාගෙන ඇති භාෂාව, දෘෂ්‍ය රූප හා සංස්කෘතික ප‍්‍රතිරූප ඇසුරින් මැනවින් තහවුරු වෙනවා. ලෝකය පුරා සෑම රටක ම සමාජ, ‘සජාතීයකරණය‘ කිරීමේ ගෝලීය නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය පැහැදිලි ලෙස ම ඒවා තුළ නිරූපණය වේ. ඒ සඳහා අන්තර් සංස්කෘතික ප‍්‍රචාරණ භාවිතය යොදා ගෙන ඇති බව නිගමනය කරන්නට පුළුවන්.
ලංකාවේ මුද්‍රිත මාධ්‍ය දැන්වීම් ඉතිහාසය හා සසඳා බැලීමේදී නිර්මාණාත්මක හා කලාත්මක ලෙසත්, මනෝවිද්‍යාත්මක හා සංස්කෘතික ලෙසත් උපක‍්‍රම භාවිත කරන දැන්වීම් කලාවක ලක්ෂණ 1982 වසරේ දැන්වීම් තුළ හඳුනාගත හැකියි.
නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය මගින් හඳුන්වා දෙනු ලැබූ නව ජීවන රටා සහ සංස්කෘතික රටා, වෙළෙඳ දැන්වීම් මගින් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ලෝකය පුරා පැතිර ගිය ප‍්‍රවණතාව, ශ‍්‍රී ලාංකේය සමාජය තුළ ද තහවුරු කරනු පිණිස දැන්වීම් ක‍්‍රියාකරන ආකාරය, 1982 වසරේ ‘සිළුමිණ’ පුවත්පතේ දැන්වීම්හි අන්තර්ගත ලක්ෂණ මගින් මැනවින් ප‍්‍රකට වෙනවා.
මෙම අධ්‍යයනය අනුව 1975 වර්ෂයට (සංවෘත ආර්ථික අවධියට* වඩා 1982 වර්ෂය (විවෘත ආර්ථික අවධිය* තුළ, අධ්‍යයනයට ලක් කළ වෙළෙඳ දැන්වීම්හි, ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක වශයෙන් ද, සංස්කෘතික හා අන්තර් සංස්කෘතික වශයෙන් ද පාරිභෝගික ජීවන රටා වෙනස් කිරීමේ ලක්ෂණ අන්තර්ගත වී තිබෙන බව නිගමනය කරන්නට පුළුවන්.
මෙම පර්යේෂණ කෘතිය වැදගත් වන ක්ෂේත‍්‍ර ගැන ඔබගේ අදහස කුමක්ද?
ඇත්තටම මෙය, ලංකාවේ දැන්වීම්කරණය සංවෘත ආර්ථිකය හා විවෘත ආර්ථිකය ආශ‍්‍රිතව අන්තර් සංස්කෘතික සන්නිවේදන රාමුවක් තුළ අධ්‍යයනයට ලක්වුණු පුරෝගාමී පර්යේෂණයක් බව කිය යුතුයි. ඒ නිසා මේ කෘතිය මෙය කළමනාකරණ – අලෙවිකරණ – ජන සන්නිවේදන – වෙළෙඳ ප‍්‍රචාරණ – සමාජ විද්‍යා විෂයයන්ට අදාළ උපාධි හා පශ්චාත් උපාධි විද්‍යාර්ථීන්ට මෙන් ම, වෙළෙඳ ප‍්‍රචාරණ හා අලෙවිකරණ වෘත්තිකයින්ට ද අත්‍යවශ්‍ය වන ”අන්තර් සංස්කෘතික අධ්‍යයන” විෂයයට සප‍්‍රයෝජනවත් දැනුමක් සම්පාදනය කර තිබෙනවා. ලාංකේය සමාජයීය විද්‍යා පර්යේෂණ කතිකාව තුළ සුවිශේෂ අනන්‍යතා ලකුණක් සනිටුහන් කරන්නට මේ ග‍්‍රන්ථය සමත්වනු ඇතැයි මා විශ්වාස කරනවා.
ඔබගේ සන්නිවේදන පර්යේෂණ ගැන මට දැනෙන විශේෂත්වයක් තිබෙනවා. එනම් පුවත්පත්කලා, සන්නිවේදන ක්ෂේත‍්‍රයේ වෘත්තීයමය වශයෙන් නිරත වී සිටින අයට හසු නොවූ – මඟ හැරුණු සුවිශේෂ තැන් ඔබගේ විමර්ශනයට ලක් වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් දයාසේන ගුණසිංහ මහතාගේ තීරු ලිපි ගැන ඔබ කළ අධ්‍යයනය දක්වන්නට කැමතියි.ඔබගේ මෙම සන්නිවේදන ක්ෂේත‍්‍රයේ අධ්‍යයන හැදෑරීම් ඇරඹුනු ආකාරය ගැන සඳහන් කළොත්…
මෙවැනි අධ්‍යයනවල මූලාරම්භය ගැන කියනවා නම්, මගේ මතකයට එන්නේ අනූව දශකය මැද භාගයේ පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් පසුව සිතිජය මාධ්‍ය සංසදය සමග සම්බන්ධ වීමයි. මූලික වශයෙන් ‘සිතිජය’ සඟරාව පළකිරීම කේන්ද්‍රගත වුනත්, එය සමාජ – දේශපාලන ව්‍යාපාරයක් හා බැඳුණු අධ්‍යයන – හැදෑරීම් – කියවීම් සංස්කෘතියක් සහිත කවයක්. මේ අධ්‍යයන – හැදෑරීම් සඳහා කැමැත්තක් ඇති වුණේ එතැනින්. ඇත්තටම ඒ කාලය මගේ මෙම පසුකාලීන පර්යේෂණාත්මක කටයුතු සඳහා අභ්‍යාසලාභී කාලයක් වගේ. ඉන්පසුව මට සමාජ – දේශපාලන ව්‍යාපාර හා බැඳුණු තවත් මාධ්‍ය කටයුතු කිහිපයක වර්ෂ ගණනාවක් කටයුතු කරන්නට ලැබුණා. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු කරද්දී බාහිර සමාජයේ එවැනි සමාජ – දේශපාලන ව්‍යාපාර හා සම්බන්ධ ජනමාධ්‍ය කටයුතුවල නිරත වී තිබීම, වෙනස් කියැවීමක් තිබීම ශාස්ත‍්‍රාලයීය හැදෑරීම් සඳහා වඩා පහසුවක් වුණා වගේම, දැක්මක් සහිතව ඒ අධ්‍යයනවල නිරත වීමට හේතු වුණා.
අපේ රටේ පර්යේෂණ ග‍්‍රන්ථකරණය සම්බන්ධව ඔබගේ අදහස කෙබඳුද?
ඇත්තටම එය සාකච්ඡුාවට ලක් විය යුතු තත්ත්වයක්. පර්යේෂණ ග‍්‍රන්ථ ගැන රජයේ අදාළ අංශවල අවධානය ප‍්‍රමාණවත් යැයි මා සිතන්නේ නැහැ. ඒ වගේම සාහිත්‍ය සම්මාන උළෙල රැුසක් තිබුනත් පර්යේෂණ ග‍්‍රන්ථ ගැන ඇගයීමක් සිදුවන්නේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී පමණයි. ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය මගින් සිදු කරන සාහිත්‍ය සම්මාන උළෙලට පවා පර්යේෂණ ග‍්‍රන්ථ අදාළ නැහැ. පර්යේෂණ සඳහා ප‍්‍රමුඛ අවධානය යොමු විය යුතු විශ්ව විද්‍යාල පද්ධතියෙන් පවා එය නොසලකා හැර තිබීම කනගාටුවට කරුණක්. ඇත්තටම පර්යේෂණ ග‍්‍රන්ථ ගැන ඇගයීමක් කරනවා නම් එය, පර්යේෂකයින් නිහ`ඩව කරන කාර්යභාරයට විශාල ධෛර්යයක් වෙනවා.
ඒ වගේම උසස් අධ්‍යාපන ආයතනයක නිබන්ධයකට සීමා නොවී එය ග‍්‍රන්ථයක් ලෙස ප‍්‍රකාශයට පත් කරනවා නම්, වඩාත් වැඩි පාඨක ප‍්‍රජාවකට ඒ දැනුම විවෘත වෙනවා. සාමාන්‍ය පුස්තකාලවල පවා විමර්ශන අංශයේ කෘතියක් ලෙස එය භාවිත වෙනවා. නමුත් එය උපාධි නිබන්ධනයක් පමණක් ලෙස පැවතුනොත් සමහර විට විශ්ව විද්‍යාල පුස්තකාලයක පමණක් සිරවී පුස්කමින් පවතීවි. එවිට ඒ පර්යේෂණ ග‍්‍රන්ථයේ පවතින දැනුම වෙත ප‍්‍රවේශ විය හැකි වන්නේ ඉතා සීමිත පිරිසකට පමණයි. එය ඇත්තටම අපරාධයක්. ඒ පර්යේෂණ දැනුම වඩ වඩාත් සමාජගතවීම අවශ්‍යයි. ඒ පර්යේෂණයෙන් සම්පාදිත නව දැනුම භාවිත වන්නේ සහ ඒ දැනුම ඔස්සේ තවත් පර්යේෂණවලට පර්යේෂකයින් යොමු වනු ඇත්තේ එවිට පමණයි. ඒ පර්යේෂණයෙන් සම්පාදිත නව දැනුම ගැන සමාජ කතිකාවක් ඇති වන්නේ එවිට පමණයි. එබඳු පර්යේෂණ සංස්කෘතියක් රටකට අත්‍යවශ්‍යයි කියා මා සිතනවා. ඒ වගේම සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් එබඳු පර්යේෂණ ග‍්‍රන්ථ මිල දී ගෙන මහජන පුස්තකාල සඳහා අනිවාර්යයෙන්ම යොමු කිරීමේ වැඩපිළිවෙළක් තිබෙනවා නම් එය පර්යේෂණ ග‍්‍රන්ථකරණයට විශාල ශක්තියක්.
අනෙක් අතට, අද පශ්චාත් උපාධි පාඨමාලා හදාරන සැලකිය යුතු පිරිසක් එය හදාරන්නේ තමන් සිටින රැුකියාවේ උසස්වීමක්, විශේෂ දීමනාවක් අපේක්ෂාවෙන් බව දකින්නට පුළුවන්. ශාස්ත‍්‍රාභිලාෂයක්, නව දැනුමක් එකතු කිරීමේ වුවමනාවක් ඔවුන් තුළ නැහැ. මේ නිසා අද වන විට පශ්චාත් උපාධි නිබන්ධ කුලියට ලිවීමේ ව්‍යාපාරයක් අපේ රටේ ඇති වී තිබෙනවා. ඇතැමුන් මුදලට උපාධි නිබන්ධන ලියවාගෙන ඉදිරිපත් කර පශ්චාත් උපාධි ලබාගන්නා රටක, මෙබඳු පර්යේෂණයක් සිදු කොට එය පර්යේෂණ ග‍්‍රන්ථයක් ලෙස පළ කොට ක්ෂේත‍්‍රයට දැනුමක් සම්පාදනය කරන්නට හැකිවීම ගැන මා තුළ ඇත්තේ සතුටක්.
සංවාද සටහන
– ජීවන්ත ජයතිස්ස
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...