පුරවැසි කොලම

මහ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආරම්භව ඇති අතිශය කාර්යබහුල මොහොතක ‘දිවයින’ ආරාධනාව පිළිගත්  අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අප සමඟ සම්මුඛ වූයේ අරලියගහ මැඳුරේදීය.

එහිදී පවතින දේශපාලන වාතාවරණය, ඉදිරි ජයග‍්‍රහණය, රටේ ආර්ථිකය ඇතුළු කරුණු කාරණා රැසක් පිළිබඳ සාකච්ඡුාවට බඳුන් කෙරිණි.

පහතින් පෙළගැසෙන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ‘දිවයින’ කළ එම සම්මුඛ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන්ගේ ප‍්‍රචාරක කටයුතුවලට බාධාවක් මතුව ඇති බව ඔබ ප‍්‍රකාශ කර තිබුණා.

පිළිතුර – පැහැදිලිවම ඔව්. මෙතෙක් කාලයක් අපේක්‍ෂකයන්ගේ කාර්යාලවල පින්තූර ගහන්න ඉඩ ලබාදී තිබුණා. මැතිවරණ කොමිසම එසේ කරන්න එපා කියලා දැන් කියනවා. දැන් කරන්න පුළුවන්කම තිබෙන්නේ කාර්යාලයේ නම ප‍්‍රදර්ශනය පමණයි.

ඇත්තටම මෙතන ප‍්‍රශ්නය තියෙන්නේ එක් ප‍්‍රධාන පක්‍ෂයක් පසුගිය කාලයේදීම ඔවුන්ගේ පෝස්ටර්, ඒ ඒ අපේක්‍ෂකයන්ගේ නම් අංක සහිතව රට පුරා ප‍්‍රදර්ශනය කළා. ඒ අය මේ නීතිය ඉදිරියේදී පැමිණේවි යැයි දැනගෙන සිටියාදැයි ලොකු සැකයක් පැනනඟිනවා. පළමු වරට මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ට මෙමගින් ලොකු අසාධාරණයක් සිදුවෙනවා. මීට පෙර මැතිවරණවලට ඉදිරිපත්වූ ප‍්‍රසිද්ධ අයට කෙසේ හෝ තමන්ගේ අංකය ප‍්‍රසිද්ධ කර ගන්න පුළුවන්. නමුත් පළමුවරට ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ට එය එසේ කරන්න බැරි වෙනවා. ඇත්තටම මේක හරි පව් වැඬේ.

ප‍්‍රශ්නය – මේ ප‍්‍රශ්නයේදී මැතිවරණ කොමිසමේ කඹ ඇදිල්ලක් තිබෙන බව ඔබ සඳහන් කළේ ඇයි?

පිළිතුර – කොමිසමේ සාමාජිකයන්ගෙන් එක් සාමාජිකයකු මීට විරුද්ධව කටයුතු කර තිබෙන බව ආරංචියි. නමුත් ඉතුරු සාමාජිකයන් දෙදෙනා මෙම නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවට දැඩි තීරණයක එළැඹ සිට තිබෙනවා. ඒකයි මම මෙහි කඹ ඇදිල්ලක් තිබෙන බව ප‍්‍රකාශ කළේ.

ප‍්‍රශ්නය – අගමැතිතුමා, නමුත් අපේක්‍ෂකයන්ගේ අංක සහ නම් කාර්යාලවල ප‍්‍රදර්ශනය තහනම් කර ඇති තත්ත්වය නීතියක් ලෙස පවතිනවා නේද?

පිළිතුර – ඒක හරි. නමුත් එය මෙතරම් කාලයක් එලෙස කි‍්‍රයාත්මක වුණේ නැහැ. පසුගිය සෑම මැතිවරණයකදීම ඒ සඳහා කොමිසම ඉඩදුන්නා. මෙම නීතිය ප‍්‍රායෝගික ද යන්න ගැටලූවක් පවතිනවා. ඇත්තටම මම එක දෙයක් කියන්න ඕනෑ. මෙම නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ මම කථා කරන්නේ සමස්ත අපේක්‍ෂකයන් ගැන සිතා මිස අපේ අපේක්‍ෂකයන් ගැන සිතා නොවෙයි. මොකද අපි ඉදිරිපත් කර තිබෙන අපේක්‍ෂකයන් ඒ ඒ දිස්ත‍්‍රික්කවල, කොට්ඨාසවල මිනිස්සු දන්නවා. නමුත් ඇතැම් පක්‍ෂ ඉදිරිපත් කර ඇති සමහර අපේක්‍ෂකයන් අද ප‍්‍රසිද්ධවත්, මිනිස්සු දන්නේවත් නැහැ. මේ තුළින් ඒ අයට සිදුවන්නේ ලොකු අසාධාරණයක්.

ප‍්‍රශ්නය – මැතිවරණ කොමිසම මෙම නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමට බලපා ඇති හේතුව කුමක්ද යැයි සිතන්න පුළුවන්ද?

පිළිතුර – ඒක තමයි ප‍්‍රශ්නය. සමහරුන්ට මුලින් අවස්ථාවක් දී පසුව එය සැමට අහිමි කර තිබෙනවා.

ප‍්‍රශ්නය – ඡුන්ද ප‍්‍රචාරක කටයුතු සඳහා විකල්ප තිබෙනවා?

පිළිතුර – අපි නම් විකල්ප සොයා ගත්තා. දැන්ම එය ප‍්‍රසිද්ධියේ කියන්න බැහැනේ.

ප‍්‍රශ්නය – මෙවර මහ මැතිවරණය පවත්වන්නේ බාධක රැසක් මධ්‍යයේ. එක පැත්තකින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ තිබෙනවා. තවත් පැත්තකින් මැතිවරණ කොමිසම පනවන ලද නීති සීමා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ අපේක්‍ෂක ප‍්‍රවර්ධන කටයුතු සිදුකිරීම පැහැදිලි අභියෝගයක් නොවේද?

පිළිතුර – පැහැදිලිවම අභියෝගයක්. ප‍්‍රචාරක කටයුතු කිරීම ලේසි නැහැ. කලින් මම සඳහන් කළා වගේ එය අපේක්‍ෂකයන්ට ලොකු ප‍්‍රශ්නයක්. අලූත් ක‍්‍රම සහ විධි යොදා ගන්න වෙනවා.

ප‍්‍රශ්නය – මෙවන් තත්ත්වයක් තුළ අපේක්‍ෂකයන්ට සාධාරණයක් කිරීම රජයේ යුතුකමක් වෙනවා. ඒ සඳහා කිනම් හෝ කි‍්‍රයාමාර්ගයක් ගැනීමට කටයුතු කරනවාද?

පිළිතුර – ඇත්තටම මගේ අදහස සියලූ අපේක්‍ෂකයන්ට සාධාරණ අවස්ථා හිමිවිය යුතු බවයි. රාජ්‍ය මාධ්‍ය සැමට සමාන අවස්ථා ලබා දිය යුතුයි. රාජ්‍ය මාධ්‍යයන් මේ අවස්ථාවේ ලාභ අපේක්‍ෂාවෙන් තොරව කටයුතු කළ යුතු යැයි මම කල්පනා කරනවා. සියලූ අපේක්‍ෂකයන්ගේ නම් සහ අංක සමාජගත කිරීමේදී සාමාන්‍ය මිල ගණන් යටතේ දැන්වීම් පළ කළ යුතු බව මාගේ හැඟීමයි. ඒ සඳහා සාධාරණ මිලක් ලබාදිය යුතුයි. මේ සඳහා අපේක්‍ෂකයන්ගෙන්ද ඉල්ලීමක් ලැබී තිබෙනවා. විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව දන්වා තිබෙනවා.

ප‍්‍රශ්නය – මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන්නේ කිනම් ජයග‍්‍රහණයක්ද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම අපි විශාල ජයග‍්‍රහණයක් බලාපොරොත්තු වෙනවා. අද එජාපය දෙකට කැඞී තිබෙනවා. ඇත්තටම සජිත් එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කර වෙනම පිලක් හදාගෙන සිටියනම් එය වෙන කාරණයක්. නමුත් ඔහු දැන් වෙනම පක්‍ෂයක් හදාගෙන තිබෙන්නේ. මේ නිසා එජාපය හරියටම දෙකට කැඩිලා. මන්ත‍්‍රීවරු ඉන්නවා කියන්නේ ජයග‍්‍රහණයේ සාධකයක් නෙමෙයි. ඇත්තටම ඔවුන්ට ආණ්ඩුව තිබිලත් පසුගිය වසර පහ තුළ කරපු වැඩකුත් නැහැනේ. වැඩ නොකරපු මේ අයට එජාපයේ අයත් කැමැති නැහැ. හම්බන්තොටින් දේශපාලනය ආරම්භ කළ සජිත්ට අන්තිමට එය දාලා එන්නත් වුණා. මම කුරුණෑගල ගිය එකයි සජිත් කොළඹ ආපු එකයි කාරණා දෙකක්. එහි ලොකු වෙනසක් තිබෙනවා. ඇත්තටම එතුමා අසාර්ථකයි.

ප‍්‍රශ්නය – අගමැතිතුමා ඇත්තටම ඔබ කුරුණෑගලට ගියේ ඇයි?

පිළිතුර – මට සෑම දිස්ත‍්‍රික්කයකින්ම පාහේ ආරාධනා ආවා. මුළු රටටම මගේ දැඩි ඇල්මක් තිබෙනවා වගේම කුරුණෑගලටත් විශේෂ ඇල්මක් තිබෙනවා. එය හම්බන්තොට වගේම දිස්ත‍්‍රික්කයක්. එහි දේශගුණය, ගොවි ජනතාව හම්බන්තොට වගේ මට සමීපයි. ඒ වගේම එය රාජධානි හතරක භූමියක්. කුරුණෑගල මට දැනෙනවා.

ප‍්‍රශ්නය – අපි කතා කළේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි ජයග‍්‍රහණය පිළිබඳවයි. ඔබ එහිදී සඳහන් කළේ විශාල ජයග‍්‍රහණයක් බලාපොරොත්තු වන බව. නාමයෝජනා අත්සන් කරන සමයේදී තුනෙන් දෙකක ජයග‍්‍රහණය ලබාගත හැකි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් සඳහන් වූ කාරණයක්. තවදුරටත් එය වලංගුද?

පිළිතුර – අනිවාර්යයෙන්ම. අපි තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය – පවතින ඡුන්ද ක‍්‍රමය අනුව එය විය හැකිද?

පිළිතුර – අපි ගණන් හදලා තියෙන විදිහට එය වෙන්න පුළුවන්. ජනතාවත් එවැනි ජයග‍්‍රහණයක් ලබාදීම සඳහා සැදී පැහැදී සිටිනවා. ඒ තරමට රටට විපක්‍ෂය එපා වී තිබෙනවා. ජනාධිපතිතුමාගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ කි‍්‍රයාත්මක කරවා ගැනීමට අවශ්‍ය සහයෝගය රටේ ජනතාව ලබාදෙන බව විශ්වාසයි.

ප‍්‍රශ්නය – මැතිවරණ සමයේ පිල් මාරු වීම් පිළිබඳ කතා බහ වෙනවා. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත පැමිණීමට පිරිස් ඉන්නවාද?

පිළිතුර – එජාපයේ සහ සජිත් පිළේ බොහෝ පිරිසක් එන්න අහනවා. එම පිල් දියාරු වෙමින් යන එක වළක්වාලන්න බැහැ. එන්න හදන සේරම ගන්නත් බැහැනේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය කළහොත් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට සහාය දීමට පැමිණේවි යැයි සිතනවාද?

පිළිතුර – අපි අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරනවා. ජනතාව අපට විශාල බලයක් ලබාදේවි යැයි විශ්වාස කරනවා. ඒ නිසා ආණ්ඩු බලය ගත් පසු විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු ආණ්ඩුව ගන්න යැයි සිතා වැඩ කරන්නේ නැහැ. සමහරවිට සමහර මන්ත‍්‍රීවරු ඒවි. මේ තත්ත්වයන් තුළ තුනෙන් දෙක නිර්මාණය වෙන එක ස්ථිරයි.

ප‍්‍රශ්නය – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා මහ බැංකු ප‍්‍රධානීන් හමුවේ දැඩි ලෙස අදහස් පළ කිරීම රට තුළ විශාල කතාබහක් නිර්මාණය වූ සිදුවීමක් වුණා.

පිළිතුර – ඔව්. එය විශාල කතාබහක් නිර්මාණය වූ සාකච්ඡුාවක් වුණා. පොතේ නීති පෙන්න පෙන්න රටක ආර්ථිකය හදන්න බැහැ. රටේ ආර්ථිකය හදන්න ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පිරිස සහාය දැක්විය යුතුයි. ජනාධිපතිතුමාත් ඒ පිළිබඳව තමයි, එදා කතා කළේ

ප‍්‍රශ්නය – රටේ නීති කි‍්‍රයාත්මක වීමේදී දුප්පතාට සහ ධනවතාට එය කි‍්‍රයාත්මක වන්නේ දෙයාකාරයකින්. ණය සම්බන්ධ කාරණයේදී එය දැඩිව පෙනෙන්නට තිබෙනවා. ඉදිරි රජයක් යටතේ මේ ක‍්‍රමය වෙනස් කිරීමට හැකි වේවිද?

පිළිතුර – ඇත්තටම ඔව්. අපේ බලාපොරොත්තුව ණයක් ගැනීමේදී පුරවන ෆෝම් කොල, අත්සන් කරන අත්සන් කෙරිලි හැකිතාක් අඩුකර ඔවුන්ට සහනයක් ලබාදීමයි. බැංකු රැුකෙන්න ඕන තමයි. නමුත් බැංකු ලෑන්ඞ් සේල්කරුවෙක් සහ නිවාස වෙළෙන්දෙක් වෙන්න බැහැ. ඇතැම් අවස්ථාවල පොඩි මිනිසුන්ගේ දේපළ පවරා ගන්නවා. නමුත් ධනවතාට එහෙම වෙන්නේ නැහැ. බැංකු වැඩිපුරම ණය ලබාදී තිබෙන්නේ ඉහළම අයටයි. බැංකුවලට වැඩිපුරම පොලූ තියලා තියෙන්නේත් ඉහළම අයයි. ඇතැම් පොහොසතුන්ට රුපියල් බිලියන එක දෙක තුන ණය ලබාදී තිබෙනවා. නමුත් ඔවුන් කරපු වැඩක් නැහැ. ඒ වගේම ආපසු ගෙවන්නෙත් නැහැ. එලෙස නොගෙවා සිටිය පසු ඔවුන්ගෙන් නැවත අය කරගන්නවත්, දේපළ පවරා ගන්නවත් බැහැ. මොකද ඔවුන් ණය ලබාගැනීමේදී ඇප තියලා නැහැ. පසුගිය යහපාලන රජය සමයේ ඒ වගේ කටයුතු බොහෝ වෙලා තිබෙනවා. අපේ කාලේ එහෙම වුණානම් අපිට ඇතිවෙන්න පහර දෙනවා.

ප‍්‍රශ්නය – ඔබ ආණ්ඩු බලය ලබාගැනීම ස්ථිර බව සඳහන් කළා. එසේනම් බලය ලබාගත් පසු එම රජයේ පළමු රාජකාරිය කුමක්ද?

පිළිතුර – අපි පළමුව අය වැය ඉදිරිපත් කරන්න ඕනෑ. එය මේ වනකොට හදාගෙන යනවා. ඇදවැටී ඇති ආර්ථිකය ශක්තිමක් කිරීමට අප වහා කටයුතු කළ යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ

‘‘සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඇති සියලූ කාරණා අප මෙම ඉදිරි පස් වසර තුළ කි‍්‍රයාත්මක කරනවා. ඇත්තටම අපිට මහින්ද චින්තනයේ කි‍්‍රයාත්මක කරන්න බැරිවුණේ සියයට දහයක් වැනි කාරණා පමණයි. අපි කෘෂිකර්මාන්තයේ විශාල දියුණුවක් කළා. ආර්ථිකය ශක්තිමත් කළා. පසුගිය ආණ්ඩුව ඒ සියල්ල විනාශ කළා. අපි නැවතත් සෞභාග්‍යයේ දැක්ම කි‍්‍රයාත්මක කරමින් රට හරි මඟට

ගන්නවා. ඒ වගේම මහින්ද චින්තනයේ කි‍්‍රයාත්මක කරන්න නොහැකිවූ කරුණු කාරණාත් සෞභාග්‍යයේ දැක්මට එකතු කර කි‍්‍රයාත්මක කරනවා.

ඇත්තටම මේ වනවිට ජනාධිපතිතුමාගේ ධුර කාලයෙන් මාස අටක් ගෙවී ගිහින්. මේ මැතිවරණයේ නීති පෙන්නලා උපාධිධාරීන්ට රැකියා දෙන එක නැවැත්තුවා. රැුකියා ලක්‍ෂය නැවැත්තුවා. රුපියල් පන්දහස නැවැත්තුවා. මේවගේ ප‍්‍රශ්න රැසක් ඇතිකළා. ආණ්ඩු බලය ගත්පසු රට සීඝ‍්‍ර වෙනසකට යොමුකර අලූත් රටක් නිර්මාණය කරනවා.

ප‍්‍රශ්නය – අප රට ඉදිරියේ ආර්ථික අර්බුදයක් පෙනි පෙනී තිබුණා. එය කොරෝනා ගැටලූව හේතුවෙන් තවත් තීව‍්‍ර වෙලා තිබෙනවා. මේ ආර්ථික අභියෝගය ජය ගන්නේ කෙසේද? ඒ වගේම බදු සහන ලබාදීමේ කාර්යයත් විවේචනයට ලක්ව තිබෙනවා.

පිළිතුර – කොරෝනා එන්න කලින් අපි බදු සහන ලබා දුන්නේ පුද්ගලික අංශය ශක්තිමත් කර ආර්ථිකයට නව ජීවයක් ලබාදීමටයි. සෑම අංශයකම නව සංවර්ධනයක් ඇති කිරීමට අපට අවශ්‍ය වුණා. බදු සහන දුන් පසු ලෝකයේ හැම රටකම ආයෝජකයෝ මෙහි පැමිණ ආයෝජනය කරන්න පටන් ගත්තා. අලූතින් සංවර්ධන වැඩපිළිවෙළක් වෙත රට ගමන් කරන අතරේ තමයි, කොරෝනා පැමිණියේ.

යහපාලන රජයට ප‍්‍රථම අපගේ ආණ්ඩුව කාලයේ මුළු රටම වැඩබිමක් බවට අපි පත්කළා. ඒ යුගය අප නැවත උදා කරනවා. රට ආර්ථික අතින් නංවාලීම සඳහා අපට වැඩපිළිවෙළක් තිබෙනවා. එම සැලසුම අතේ තියාගෙන තමයි, අප මහ මැතිවරණයට මුහුණ දෙන්නේ. ජනතා බලය ලබාගත් පසු එය කි‍්‍රයාත්මක කර රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.

ප‍්‍රශ්නය – ඔබතුමාගේ දේශපාලන දිවියට වසර පනහක්

පසුගියදා සපිරුණා. ඒ පිළිබඳ අප පුවත්පත සුබ පැතුම් පිරිනමන ගමන් මම අගමැතිතුමාගෙන් අප විමසා සිටින්නේ ඒ පනස්වසරක ගමන් මඟ පිළිබඳ ඔබ තෘප්තිමත්ද යන්නයි.

පිළිතුර – ඇත්තටම ඔව්. රට වෙනුවෙන් යමක් කළා යැයි මම හිතනවා. මම දේශපාලනයට එනකොට තරුණ කොල්ලෙක්. එතෙක් මෙතෙක් කාලය තුළ රටේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න වලට විසඳුම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. යුද්ධය අවසන් කර රටට නිදහස ලබාදීමට පුළුවන්කම ලැබුණා. අප යුද්ධය කළේ ත‍්‍රස්තවාදයට එරෙහිව මිස දෙමළ ජනතාවට එරෙහිව නෙමෙයි. අප ත‍්‍රස්තවාදය නැති කළේ සමස්ත රට වැසියා වෙනුවෙන්.

එසේම මුළු ලෝකයම කොරෝනා වසංගතයේ ගොදුරක් වෙද්දී අප රට ඉන් මුදාගැනීමට දායක වීමට අපට හැකිවුණා. ආගම දහමට මුල්තැන දෙමින්, කෘෂිකර්මාන්තය දියුණු කරමින් රටේ ආර්ථිකය නඟාසිටුවමින් රට ලෝකයේ ඉහළට ඔසවා තැබීමට දිය හැකි දායකත්වය අප ලබාදුන්නා. මේ සියල්ල සිහිපත් කිරීමේදී පසුගිය පනස් වසරක දේශපාලන ජීවිතය ගැන බොහෝ තෘප්තිමත්.

සාකච්ඡා කළේ  – නෝමන් පළිහවඩන – සිරිමන්ත රත්නසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More