පුරවැසි කොලම

මහ බැංකු සන්නිය

June 22, 2020 4:01 pm | Lanka Lead News

මම හරියට ම අවුරුදු 18 ක් මහ බැංකුවේ වැඩ කරලා තියෙනවා. මහ බැංකුවේ හරි වැරැදි ගැන යම් ප්‍රමාණයක දැනුමකුත් මට තියෙනවා. නිතර ම ලියන කියන කෙනෙක් විදිහට ගිය සතියේ මහ බැංකුවේ සම්බන්ධයෙන් ඇති වෙච්ච හා හූව සම්බන්ධයෙන් යමක් ලියන එක මගේ යුතුකමක් කියලා මම හිතනවා.

මහ බැංකුව කියලා කියන්නේ සෑහෙන වැඩ ප්‍රමාණයක් කරන, ඒ වගේ ම සෑහෙන වැඩ ප්‍රමාණයක් කරන්න උත්සාහ කරන ආයතනයක්. උදාහරණයක් විදිහට කොරෝනා උවදුර ආරම්භ වෙච්ච ජනවාරි මාසයේ ඉඳලා මේ වෙන කල් ම මහ බැංකුව පැත්තෙන් සෑහෙන වැඩ ප්‍රමාණයක් සිද්ද වෙලා තියෙනවා. ඒත් මේ හා බැඳිච්ච ලොකු වැරැද්දකුත් මහ බැංකුව පැත්තෙන් සිද්ද වෙනවා.

තමන් කරන දේවල් හරියාකාරව මහජනතාවට සන්නිවේදනය කරන්න බැරි අසනීපයක් මහ බැංකුවට තියෙනවා. ඉතින් ජනවාරි මාසයේ ඉඳලා මහ බැංකුව කරපු දේවල් මොනවා ද කියලා දැන ගන්න විදිහක් ජනතාවට නෑ. මේ ගැන දොස් කියන්න ඕන මහ බැංකුවට නැතිනම් වෙන කාට ද?

මේ වැරැද්ද සහ තවත් වැරැදි ගැන යමක් කියන්න කලින් මහ බැංකුව කරන වැඩ රාජකාරි ගැන ටිකක් කතා කරමු.

අපේ රටේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක මහ බැංකුවට පැවැරිලා තියෙන ප්‍රධානම වැඩවලින් එකක්. මේකට අදාළ පොලී අනුපාත සහ වෙනත් කාරණා එහා මෙහා කරලා රටේ මුදල් සැපයුම කළමනාකරණය කරන්න මහ බැංකුවට පුළුවන්. අනවශ්‍ය විදිහට මුදල් සැපයුම වැඩි වුනොත් මුදලේ වටිනාකම පහළ බහිනවා. ඒ එක්ක ම බඩු මිල ඉහළ යන්න සහ තව තව අකරතැබ්බ ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක බොහොම වගකීමකින් කරන්න ඕන වැඩක්. ඒත් තමන් කරන මේ වැඩේ ගැන ජනතාවට පැහැදිළිව කියලා දෙන්න මහ බැංකුවට බැරි වෙලා තියෙනවා. ගිය සතියේ ඇති වෙච්ච ගාලගෝට්ටියෙන් පස්සේ මහ බැංකුව තීරණ කීපයක් ගත්තා. ඒ තීරණ හින්දා රටේ මුදල් සැපයුම අනිවාර්යයෙන් ම වැඩි වෙනවා. ඉතින් ලබන මාසයේ ඉඳලා උද්ධමනයේ සිද්ද වෙන වෙනස්කම් බලා ගන්න අපිට පුළුවන් වෙයි.

අපේ රටේ මූල්‍ය පද්ධතිය රැක බලා ගන්න වැඩෙත් පැවරිලා තියෙන්නේ මහ බැංකුවට. බැංකුවලට සහ බැංකු නො වන මූල්‍ය ආයතනවලට බලපත්‍ර දෙන එක, ඒ විදිහට පිහිටුවපු ආයතන නියාමනය සහ අධීක්‍ෂණය කරන එක, ගෙවීම් පියවීම් වැඩවලට අදාළ පහසුකම් සම්පාදනය කරන එක, ඒකට අදාළ ගෙවීම් පද්ධතිය නියාමනය කරන එක, ජාතික ව්‍යවහාර මුදල් (රුපියල්) නිකුත් කිරීම සහ බෙදා හැරීම වගේ වැඩ මේ යටතේ මහ බැංකුවෙන් සිද්ද වෙනවා. බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු පහක් තමයි මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් වග කියන්නේ.

අද වෙද්දි බැංකුවේ වැඩ කරන්නේ 1338 දෙනයි (මේ තොරතුර හරි ම අමාරුවෙන් හොයා ගත්ත එකක්. එහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා පස්සේ කියන්නම්). මේ සේවක පිරිස බැංකුවේ දෙපාර්තමේන්තු 31 කට අනුයුක්ත කරලා තියෙනවා. ඉතින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය වෙනුවෙන් පිහිටුවලා තියෙන දෙපාර්තමේන්තු පහේ පරිපාලන වැඩට සම්බන්ධ අය, සුළු සේවකයෝ වගේ අය අයින් කරලා ගණන් හැදුවාම විෂයයට අදාළ රාජකාරි කරන ප්‍රමාණය මහා පිරිසක් නෙවෙයි කියන එක අපිට තේරෙනවා.

ඒත් මේ දේවල් ගැන අපේ මිනිස්සු දන්නේ නෑ. ඒකටත් වගකියන්න ඕන මහ බැංකුව ම තමයි. මහ බැංකුවේ තියෙන සන්නිවේදන දුර්වලකම තමයි මේකටත් හේතු වෙලා තියෙන්නේ. මේකට අදාළව හොඳ සන්නිවේදන කටයුත්තක් කරන්න පුළුවන් නම් මේ ගැන හොඳ සංවාදයකුත් රටේ ඇති කරන්න පුළුවන්. එහෙම වුනාම තමයි මේකට අදාළ අඩුපාඩු හදාගන්න පුළුවන් වෙන්නේ. මූල්‍ය (Finance) සමාගම් සහ කල්බදු (Leasing) සමාගම් පිළිබඳ ගැටලුවත් ඒ වගේ සංවාදයක් හරහා විසඳා ගන්න පුළුවන්.

දිස්ත්‍රික්ක පදනම් කරගෙන මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් හදන්න බැරි ද? එක දිස්ත්‍රික්කයකට මේ වගේ සමාගම් දෙක දෙක තිබුණා ම මදි ද? මෙහෙම කළොත් අදාළ දිස්ත්‍රික්කවල මුදල් කොළඹට ඇදෙන එක පාලනය කර ගන්න බැරි ද? මෙන්න මේ වගේ කාරණා එහෙම සංවාදයකින් ඉස්සරහට එන්න පුළුවන්. ඒ අනුව ඒකට අදාළ නීති හදා ගන්නත් පුළුවන්.

ඒත් මේ වැඩේට අදාළ හරියාකාර නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙන බවක් නම් පේන්න නෑ. 2013 – 14 කාලයේ ඉවරයක් නැතුව මූල්‍ය සමාගම් ඇති කළා. ඊට පස්සේ 2016 – 17 අවුරුදුවල ඒවා එකතු කරන්න පටන් ගත්තා. මේ සෙල්ලම් හින්දා ඉස්සර ඉඳලා හොඳට ක්‍රියාත්මක වෙච්ච Chilaw Finance වගේ මූල්‍ය සමාගම් අර්බුදවලට මුහුණ දුන්නා. අපේ මුල්‍ය පද්ධතිය ගැන හොඳ සංවාදයක් රටේ ඇති කරන්න පුළුවන් නම් මේ විදිහෙ සෙල්ලම් කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ.

විදේශ විනිමය පාලනය සම්බන්ධයෙන් මහ බැංකුවට පැවැරිලා තිබුණු වගකීම මේ වෙද්දි විනිමය අනුපාත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් දක්වා වෙනස් වෙලා. ඒත් මේ ගැනත් අපේ මිනිස්සු දන්නේ නෑ. මේකට වග කියන්න ඕනත් මහ බැංකුව ම මිසක් වෙන කවුරුවත් නෙවෙයි. තමන් කරන වැඩ ගැන ජනතාවට කියන්න බැංකුව අසමත් වෙලා.

අපේ රටට අයිති නිල විදේශ සංචිත කළමනාකරණය කරන වැඩෙත් මහ බැංකුව කරනවා කියලා දන්නේ කීයෙන් කී දෙනෙක් ද? අර ග්‍රීක බැඳුම්කර කතන්දරේ ගැන සංවාදයක් ඇති වෙච්ච වෙලාවේවත් ඒ ගැන හරියට කියැවුනේ නෑ. මේකටත් වග කියන්න ඕන මහ බැංකුව ම තමයි.

අපේ ආර්ථිකයට අදාළ දත්ත එක එක විදිහට සම්පාදනය කරලා ප්‍රසිද්ධ කරන වැඩේ නම් මහ බැංකුවෙන් සිද්ද වෙන බව අපි සෑහෙන දෙනෙක් දන්නවා. ඒත් මේ වැඩේට අදාළ සමහර කරුණු මිනිස්සු දන්නේ නැති හින්දා ඒ දත්ත විශ්වාස කරන පිරිස ඉතාමත් අඩු බවත් රහසක් නෙවෙයි. ඉතින් මේ කාරණයට අදාළවත් විශාල සන්නිවේදන ප්‍රශ්නයක් තියෙනවා.

රජයේත් රජයට අයිති සමහර ආයතනවලත් බැංකුව විදිහට මහ බැංකුව වැඩ කරනවා කියලා දන්න පිරිසක් ඉන්න පුළුවන්. උසස් පෙළට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න අය මේ වගේ කරුණු ඉගෙන ගන්නවා. ඒත් මේ වැඩේ ගැනත් මීට වඩා පැහැදිළිව මිනිස්සුන්ට කියන්න මහ බැංකුව ඉගෙන ගන්න ඕන.

2015 අවුරුද්දෙන් පස්සේ භාණ්ඩාගාර බැඳුම්කර ගැන ලොකු සද්දයක් ඇති වුනා. ඒක සිද්ද වුනෙත් බැඳුම්කර මංකොල්ලයට පින් සිද්ද වෙන්න. ඒත් භාණ්ඩාගාර බැඳුම්කර සහ අනෙකුත් රාජ්‍ය සුරැකුම්පත් ගැන සාමාන්‍ය ජනතාව තවමත් දන්නවා කියලා හිතන්න අමාරුයි. මේ හා බැඳිච්ච රාජ්‍ය ණය කළමනාකරණ වැඩේ මහ බැංකුව කළත් ඒ ගැනත් හරි හමන් සන්නිවේදනයක් කරන්න මහ බැංකුවට බැරි වෙලා තිනෙවා.

වාණිජ බැංකුවලටත්, අනෙකුත් බැංකුවලටත්, ප්‍රාථමික වෙළෙඳුන්ටත් අවශ්‍ය ජංගම ගිණුම් පහසුකම් සපයන්නෙත් මහ බැංකුව. මේවා දිනපතා ම කරන්න ඕන වැඩ. ඒත් මහ බැංකුව මේ වගේ වැඩ කරන බව දන්නේ කීයෙන් කී දෙනා ද?

සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු විදිහට මහ බැංකුව වැඩ කරන බව නම් රටේ සෑහෙන පිරිසක් දන්නවා. ඒ, ඒ වැඩේ අපි හුඟක් දෙනෙක්ගේ ජීවිතවලට කෙළින් ම සම්බන්ධ වෙලා තියෙන හින්දා. මේ කටයුත්ත වෙනුවෙන් බැංකුවේ සේවකයන් විශාල ප්‍රමාණයක් යොදවලාත් තියෙනවා.

සුළු සහ මධ්‍යම කර්මාන්ත අංශයට අදාළ ණය පහසුකම් සැපැයීමටත් මහ බැංකුව සම්බන්ධයි. ඊයේ පෙරේදා ඇති වෙච්ච ඝෝෂාවට අදාළ සියයට 4 ණය වැඩේ කරන්නෙත් මේ වෙනුවෙන් ඇති කරලා තියෙන මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්. ඒ කොහොම වුනත්, මේ අංශයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයක් මහ බැංකුවෙන් සිද්ද වෙන බවක් නම් පේන්න නෑ. ඒකට අදාළ වැඩ කරන්නේ නැතුව මේ විදිහට ණය අයැදුම්පත් එකෙන් එක පරීක්‍ෂා කර කර ඉන්න එක මහ බැංකුවට අදාළ වැඩක් කියලා මම නම් හිතන්නේ නෑ.

කොහොම වුනත් මේ වැඩේ වෙනුවෙන් අදාළ දෙපාර්තමේන්තුවේ සේවකයෝ මහන්සි වෙච්ච විදිහ මම පුද්ගලිකව ම දන්නවා. මම දන්න විදිහට, අප්‍රේල් 17 වැනි දා ඉඳලා මේ අය එක දිගට ම වැඩ කළා. සතියේ දවස්වලට අමතරව සෙනසුරාදා දවස්වල පවා මහ රෑ වෙන කල් ඒ අය වැඩ කරපු බව මම දන්නවා. ඒත් මහ බැංකුව මේ වගේ වැඩ කරන බව දන්නේ කවුද? මේ සන්නිවේදන අඩුපාඩුවට වග කියන්න ඕනත් මහ බැංකුව ම නෙවෙයි ද?

සල්ලි හෝදනවාට විරුද්ධ වැඩත් මූල්‍ය බුද්ධි සේවා සපයන එකත් මහ බැංකුව කරනවා. මේ ගැනත් මිනිස්සුන්ට කියන්න පුළුවන්. මහ බැංකුව ඒ වැඩේ හරියට කරනවා ද?

මහ බැංකුවේ අද වෙද්දි සේවය කරන 1338 දෙනා ම මේ වැඩවලට කෙළින් ම සම්බන්ධ නැති බවක් අමුතුවෙන් කියන්න ඕන නෑ. අදාළ පරිපාලන වැඩ, සුභසාධන වැඩ කරන අයත් ඒ අතර ඉන්නවා. ඒ වගේ ම, වැඩට කම්මැලි අයත් නැතුවා නෙවෙයි. රජයේ විතරක් නෙවෙයි පුද්ගලික ආයතනවලත් එහෙම අය ඉන්නවානේ.

මේ දක්වා කියපු විස්තරවලින් මහ බැංකුවේ තියෙන විශාල අඩුවක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි සන්නිවේදන වැඩවලට මහ බැංකුව දක්වන බැරි බැරියාව. මේ සඳහා බලපාපු කාරණා සෑහෙන ප්‍රමාණයකුත් තියෙනවා. ඒවා ගැනත් යමක් නොකියා බෑ.

ඒත් ඊට කලින් තවත් කාරණයක් කියන්න ඕන. බැංකුවේ රස්සාවට එකතු වෙද්දි රාජකාරිවලට අදාළ රහසිගතභාවය රකින්න අපි පොරොන්දු වෙනවා. මේ වැඩ බොහොම අපූරුවට බැංකුවේ සිද්ද වෙනවා. ගෙවීම් හා පියැවීම්වලට අදාළව කටයුතු කරන අය හුඟක් වානිජ බැංකුවල රහස් දන්නවා. ඒත් ඒ තොරතුරු ඉතාම හොඳින් ආරක්‍ෂා වෙලා තියෙනවා.

රහසිගතභාවය රකින මේ වගකීම හැම වැඩේකට ම පටලවා ගන්න අසනීපයකුත් බැංකුවේ සමහරුන්ට තියෙනවා. අද වෙද්දි බැංකුවේ සේවකයන් 1338 ක් ඉන්නවා කියලා හොයා ගන්න එක මහ අමාරු වැඩක් වුනෙත් ඒ හින්දා. බැංකුවේ මානව සම්පත් කළමනාකරණයට සම්බන්ධ සමහර අය හිතන්නේ මේ වගේ තොරතුරුත් බැංකුවේ රහස් කියලා.

අවුරුදු 18 ක් බැංකුවේ වැඩ කරපු හින්දා කියන්න ඕන දේ සහ නො කියන්න ඕන දේ ගැන අවබෝධයක් මටත් තියෙනවා. ඒ වුනත් අද වෙද්දි බැංකුව මුහුණ පාලා තියෙන ඉරණම දකිද්දි සමහර කරුණු තවදුරටත් නො කියා ඉන්න එකේ තේරුමක් නෑ කියලා මට හිතෙනවා. කොහොම වුනත් මේ කියන්න යන්නේ මහ බැංකුවේ වැඩ කරන අය රකින්න ඕන “රහස්” නම් නෙවෙයි.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන සමහර අය තමන් ගැන හිතන්නේ මහාවංසෙන්. තමන් තරම් සුපිරි පිරිසක් තවත් නෑ කියලා තමයි ඒ අය හිතන්නේ. ඉතින් මහ බැංකුවේ හුඟක් අඩුපාඩුවලට මේ සන්නිය හේතුවක් වෙලා තියෙනවා.

උදාහරණයක් විදිහට කාරණයක් දෙකක් කියන්න පුළුවන්. හුඟක් වෙලාවට බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ විදිහට පත් කරන්නෙත් ආර්ථික පර්යේෂකයෙක්. ඉතින් බැංකුවේ සේවය කරන සෑහෙන පිරිසක් මේ නො ගැලපෙන පත් කිරීම හින්දා දුක් විඳිනවා. ඒ විතරක් නෙවෙයි. බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ විදිහට ආර්ථික පර්යේෂකයන් පත් කරන අවස්ථා තියෙනවා. ආර්ථික පර්යේෂකයෝ කියලා කියන්නේ කෝකටත් තෛලයක් නෙවෙයි කියලා මහ බැංකුවේ ලොක්කෝ දන්නේ නෑ. ඉතින් මේ දෙපාර්තමේන්තුවලින් සිද්ද වෙන්න ඕන වැඩ එකක්වත් කාර්යක්‍ෂම විදිහට කරන්න බැරි වෙලා තියෙනවා.

1998 අවුරුද්දේ මම මහ බැංකුවට සම්බන්ධ වෙද්දි “සටහන” සඟරාව හැම මාසයක ම පළ කළා. ඒක එක දවසක්වත් පමා වුනේ නෑ. ඒත් මෑතක ඉඳලා ඒ වැඩේ එහෙම පිටින් ම අඩපණ වුනා. දැන් මාස හතරකට සැරයක් “සටහන” සඟරාව පළ කරන බවක් කියනවා. මේ සඟරාවට ලියන හැම ලිපියක් ම අර සුපිරි ආර්ථික පර්යේෂකයන්ගේ අනුමැතියට යවන හින්දා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. ඒ අය සන්නිවේදනය ගැන දන්නේ නෑ. ඒත් බැංකුව එහෙම හිතන්නේ නෑ.

වෙන එකක් තියා මගේ ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණ යෝජනාවත් යොමු කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට. මගේ පර්යේෂණයේ විෂයය ක්‍ෂේත්‍රය වුනේ අන්තර්-සංස්කෘතික සන්නිවේදනය. මගේ පර්යේෂණයේ මාතෘකාව වුනේ Framing Economic Issues in a Contested Culture කියන එක. මේක ආර්ථික පර්යේෂණවලට අදාළ මාතෘකාවක් නෙවෙයි. ඒත් බැංකුවට වැළඳිලා තියෙන මේ සන්නිය හින්දා මෙහෙම නාඩගම් බලන්න අපිට පුළුවන්.

මහ බැංකුවේ සන්නිවේදන ගැටලුවට අදාළ භාෂා අජීර්ණයකුත් තියෙනවා. අද වෙද්දිත් බැංකුවේ වැඩ කරන අති බහුතරයක් (සියයට 99 කටත් වැඩි පිරිසක්) සිංහලෙන් ඉගෙන ගෙන ඉහළට ආපු අය. ඒත් බැංකුව වැඩ කරන්නේ ඉංග්‍රීසියෙන්. හැම වෙලාවේ ම ඉංග්‍රීසි පුවත්පත් නිවේදනය තමයි කලින් ම එළියට එන්නේ. ඊට පස්සේ තමයි ඒක සිංහලටත් දෙමළටත් පරිවර්තනය කරන්නේ. මේ වැඩේ වෙනුවෙන් පරිවර්තකයෝ බඳවා ගන්න ඕන කියලාවත් බැංකුව හිතන්නේ නෑ.

ඉතින් මේ විදිහට නටන නාඩගම්වල නියම ප්‍රතිඵලය මහ බැංකු වාර්තාවෙන් බලා ගන්න පුළුවන්. විවේක වෙලාවක දී සිංහල මහ බැංකු වාර්තාවේ පිටුවක් දෙකක් කියවලා බලන්න. මේ වාර්තාව නිකුත් වෙන දවසට අපි ඒක කියවා කියවා බඩ අල්ලාගෙන හිනා වෙනවා. මේකට හේතුව බැංකුවේ ඉංග්‍රීසි අජීර්ණය මිසක් වෙන එකක් නෙවෙයි.

සිංහලෙන් ඉගෙන ගෙන ඉහළට ආපු අය ලවා ඉංග්‍රීසියෙන් වාර්තා ලියවනවා. ඊට පස්සේ පරිවර්තකයෝ නොවන සාමාන්‍ය සේවකයන්ට කියලා ඒ වාර්තා සිංහලට සහ දෙමළට පරිවර්තනය කරවනවා. මේවා මේ විදිහට කරන එක මළ විකාරයක්. ඉංග්‍රීසි කියන්නේ දකුණු ශාඛා (Right-branching) භාෂාවක්. සිංහල කියන්නේ වම් ශාඛා (Left-branching) භාෂාවක්. සිංහලෙන් අපි හේතු ප්‍රත්‍ය කාරණා කියලා ඊ පස්සේ තමයි නිගමනය කියන්නේ. ඉංග්‍රීසියෙන් නිගමනය කලින් කියලා ඒකට අදාළ හේතු ප්‍රත්‍ය කාරණා පස්සේ කියනවා. ඉතින් භාෂාව ගැන දැනුමක් නැති අයට මේ පරිවර්තන වැඩ කරන්න බෑ. ඒත් මහ බැංකුව මේ වැඩ ගැන හිතන්නේ නෑ.

මහ බැංකුව වාර්තාව විතරක් නෙවෙයි පුවත්පත් නිවේදනයක්වත් මේ විදිහට ලියන එක තේරුමක් තියෙන වැඩක් නෙවෙයි. අදාළ බලධාරීන් විසින් තීරණය කරන්න ඕන වාර්තාවට ඕන දත්ත, කරුණු සහ තර්ක හේතු දැක්වීම් විතරයි. ඒ දේවල් පාවිච්චි කරලා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි වාර්තා වෙන වෙන ම ලියන්න ඕන. එහෙම කළොත් විතරයි අදාළ සන්නිවේදන කාර්යය හොඳින් කරන්න පුළුවන් වෙන්නේ.

අපේ රටේ අනිත් ආයතනත් එක්ක සළකලා බැලුවා ම මහ බැංකුව තමන්ගේ සේවකයන්ට හොඳ පුහුණුවක් ලබා දෙන බව රහසක් නෙවෙයි. ආචාර්ය උපාධි සහ ශාස්ත්‍රපති උපාධි තියෙන අය විශාල පිරිසක් මහ බැංකුවේ වැඩ කරනවා. අපේ විදේශ අමාත්‍යංශය වගේ ආයතනයක් එක්ක මේ කාරණය සන්සන්දනය කරලා බලන්න පුළුවන්. මම දන්න තරමින් අපේ විදේශ සේවයට සම්බන්ධ අයට මේ වගේ පුහුණුවීමේ අවස්ථා ලැබෙන්නේ නෑ.

ඒ කොහොම වුනත් සන්නිවේදන කාර්යයට අදාළ පුහුණු කිරීම් මහ බැංකුව කරන්නේ නැති තරම්. තමන්ගේ පුහුණු අවශ්‍යතා ගැන කියන්න අවස්ථාවක් බැංකු සේවකයන්ට දීලා තියෙනවා. සිංහල භාෂා පුහුණුවක් මට උවමනා බව මම අවුරුදු ගානක් තිස්සේ කියලා තියෙනවා. ඒත් බැංකුව ඒ ගැන කිසිම සැළකීමක් දැක්වුවේ නෑ. බැංකුවේ අයට ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේ ම දෙමළ ඉගෙන ගන්නත් අවස්ථා තියෙනවා. ඒත් තමන්ගේ සේවකයෝ සිංහල ඉගෙන ගන්න ඕන කියලා බැංකුවේ ලොක්කෝ හිතන්නේ නෑ.

සන්නිවේදනය කියන්නේ විශේෂ හැකියාවක් තියෙන පිරිසක් විසින් කරන්න ඕන වැඩක්. හැමෝට ම ඒ වැඩේ කරන්න බෑ. ඒත් බැංකුව එහෙම හිතන්නේ නෑ. ඉතින් හිතෙන හිතෙන වෙලාවට A මහත්තුරු B නෝනලා මහ බැංකුවේ සන්නිවේදන වැඩට පත් කරනවා. අද මේ ඇතිවෙලා තියෙන තත්ත්වයට මේ කාරණයත් හේතු වෙලා තියෙනවා.

තවත් කියන්න සෑහෙන දෙයක් තිබුණත් ඒ හැම දෙයක් ම කියන්න ඉඩක් නෑ. රටේ ආර්ථිකයට වග කියන ප්‍රධාන ම ආයතනයක් විදිහට මහ බැංකුව මේ අඩුපාඩු ගැන හිතයි කියලා මම හිතනවා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති



2 thoughts on “මහ බැංකු සන්නිය”

  1. People are not so ignorant of the duties performed by the CB as Dr.Chandrakeerthi has mentioned in this letter. They issue periodical news letters and even hold press briefings which are published in newspapers.The only problem is Sinhala newspapers do not give the kind of coverage given to CB’s activities to the extent English papers do. Only a handful of people read the peridicals and only those who are interested in fiancial matters matters delve into the functions performed by Banks. The incident that occured last week was due to the delay in taking appropriate actions based on the suggestions made by he President. His speech which was relayed over the TV and the prompt actions taken by CB on the following day tells the entire story. If anyone carefully goes through the news reports over the weeknend published by the newspapers they will know the truth.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More