පුරවැසි කොලම

මේ දිනවල රටේ වැඩිම කතාබහට ලක්වන ආයතනය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. ඊට හේතු වී ඇත්තේ පසුගිය සතිය පුරාම කිහිප වතාවකදීම මහ බැංකුවේ මෙන්ම එහි නිලධාරීන්ගේ ක්‍රියාපටිපාටියද දැඩි ලෙස විවේචනයට ලක්වීමයි. සාමාන්‍යයෙන් රජයේ ආයතන විවේචනයට ලක් වන්නේ මහජනයා වෙතින් වුවද මෙවර එම විවේචනය අති දැවැන්ත චෝදනා මාලාවක්ද සමග එල්ල වූයේ රටේ නායකයා එනම් ජනාධිපතිවරයා වෙතින් වීම නිසා ඊට ලැබුණු අවධානයද අතිවිශාල විය.

අනෙක් අතට ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයෙන් අනතුරුව මහ බැංකු ප්‍රධානීන් ඉතිහාසයේ පළමු වරට මහ බැංකු ගොඩනැගිල්ලේ විදුලි බුබුළු දල්වාගෙන මධ්‍යම රාත්‍රිය වනතුරු අදාළ විවේචනය ට ලක් වූ දිනයේදීම රාජකාරි කිරීමද සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස හාස්‍යයට ලක් කෙරිණි.

ඇත්තෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙලෙස ජනපතිවරයාගේ නිර්දය විවේචනයට ලක්වූයේ ඇයි? සරලව කෙටියෙන් පිළිතුරක් දුනහොත් ඊට හේතුව කොවිඩ් – 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට (විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට) සෘජුව දැනෙන සහන සැලසීමට මහ බැංකුව අපොහොසත් වීමයි. ව්‍යාපාර අහිමිවූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම ස්වයං රැකියා නියුක්තිකයන්ටද සහන සැලසීම වෙනුවෙන් විශේෂ ආර්ථික සහන පැකේජයක් හඳුන්වාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් රජය ගනු ලැබීය. එහිදී එම සහන පැකේජය ක්‍රියාත්මක කිරීමේ නිසි බලධරයා වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.

රජය විසින් ක්ෂණිකව අදාළ සහන වෙනුවෙන් වෙන් කරන ලද මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 50ක් විය. එම සහන තවදුරටත් පුළුල් කරමින් මහ බැංකුව 2020 මාර්තු 27 වැනිදා 2020 අංක 05 දරන දෙවන චක්‍ර ලේඛයද නිකුත් කළේය. එමගින් කෘෂිකර්මය සහ වෙළෙඳාම (උදා – ඖෂධ වෙළෙඳාම) ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක්ම සහන පැකේජයට ඇතුළත් කර තිබිණි. මෙම නියෝග වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කිරීමේදී ඒවාට සිදුවන අලාභයන් සියල්ල ප්‍රතිපූර්ණය (නැවත පියවීමේ) කිරී‍මේ වගකීමද අදාළ චක්‍රලේඛ ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාර ගනු ලැබිණි.

එසේ නම් මහ බැංකුව විසින් මෙතරම් පුළුල් සහන ප්‍රමාණයක් ලබාදීමට නියෝග කර තිබියදී එහි ප්‍රධානීන් මෙලෙස ජනාධිපතිවරයාගේ නිර්දය විවේචනයට ලක් වූයේ ඇයි? ඊට දිය හැකි සරල පිළිතුර වන්නේ මෙම නිර්දේශ ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව කිසිදු සහායක් ලබා නොදීමයි.

අදාළ සහන පිළිබඳව ජනමාධ්‍ය විසින් සුළු ප්‍රචාරයක් ලබාදීමත් සමග ඒවායින් සහන ලැබෙතැයි සිතූ කාණ්ඩවලට අයත් ජනතාව සැනසුම් සුසුමක් හෙළන ලද්දේ ඇඳිරිනීතිය ලිහිල් කරන ඉදිරි දිනයකදී නව හුස්මක් ගෙන සිය ආර්ථීකය නැවත ගොඩ නගා ගැනීමේදී රජයෙන් සහායක් දැනමටත් ලැබී ඇතැයි යන හැඟීමෙනි. එහෙත් මහ බැංකුවේ නියෝග නිකුත් කර සතියක් ගත වන්නටත් මත්තෙන් තමන්ගේ ලීසිං වාරික කපා ගත් බවටත්,ණය වාරික අයකරගෙන ඇති බවටත්,ණයවර පත් (ක්‍රෙඩිට් කාඩ්) වාරික කැපී ඇති බවටත් ජනතාව ​චෝදනා කරන්නට පටන් ගත්හ. එසේම හදිසියේ නැවතුණු ව්‍යාපාර වෙනුවෙන් මෙන්ම වසා දැමුණු ව්‍යාපාරික ආයතනවල එදිනෙදා වියදම් (කාරක ප්‍රාග්ධනය) වෙනුවෙන් චක්‍ර ලේඛයේ සඳහන් දෑ ලබා ගැනීමට බැංකු වෙත ගිය ව්‍යාපාරිකයන්ට හිස් අතින් ආපසු පැමිණීමට සිදුවිය. මෙහිදී බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් ලැබී තිබුණු පිළිතුර වූයේ රජය අදාළ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුවෙන් මුදල් නිකුත් නොකරන බවයි.

මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මහ බැංකුවේ අදාළ උපදෙස් පිළිපැදීමේදී ලංකා බැංකුව මුහුණ දුන් අත්දැකීම දෙස බැලීමේදී ලබා ගත හැකිය. මහ බැංකුවේ උපදෙස්වලට අනුව (පසුව සංශෝධනය කළ) කොවිඩ් – 19 වයිරසයෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන්ට සහන සැලසීම සඳහා 4%ක පොලියට ව්‍යාපාරිකයකුට මිලියන 25ක උපරිමයකට යටත්ව ණය මුදල් නිකුත් කිරීමට ලංකා බැංකුවට නියෝග ලැබී තිබිණි. මෙම වැඩපිළිවෙළ යටතේ පසුගිය මැයි 29දා පස්වරු 06 දක්වා අයැදුම්පත් භාරගැනීමට ලංකා බැංකුව කාලය ලබා දී තිබුණු අතර එදින සවස 04 වන විට බැංකුවලට ලැබී තිබුණු අයැදුම්පත්වල වටිනාකම රුපියල් බිලියන 6.9ක් විය. මෙහිදී මහ බැංකුව විසින් හදිසියේ සිය නියෝග වෙනස් කර තිබුණු අතර අයැදුම්පත් භාර ගැනීමේ කාලය පැය 2කින් අඩු කළ බැවින් තවත් බිලියන 02ක පමණ වටිනාකමකින් යුත් අයැදුම්පත් භාර ගැනීමට පැවැති අවස්ථාව මග හැරී ගොස් තිබිණි.

කෙසේ වෙතත් අදාළ රුපියල් බිලියන 6.9ක මුදලින් පසුගිය ජුනි 13 වැනි සිකුරාදා වන විට (දින 15 කට පසුව) මහ බැංකුව විසින් අනුමත කර තිබුණේ රුපියල් බිලියන 2.6ක් පමණි. කෙසේ වෙතත් එලෙස අනුමත කළ මුදලින් රුපියල් බිලියන 1.6ක්ම ලංකා බැංකුව විසින් ඒ වන විටත් කඩිනමින් අයැදුම්කරුවන්ට නිකුත් කර තිබිණි. (ලංකා බැංකුව හරහා ණය නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කළ මෙම නිද්‍රාශීලී පිළිවෙත පසුගිය සතියේ විශේෂයෙන්ම විවේචනයට ලක් විය.)

මේ පිළිබඳව පෞද්ගලික ක්ෂේත්‍රයේ බැංකුකරුවන් කිහිප දෙනකුගෙන් ‘‘අරුණ’’ කරන ලද විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේද මහ බැංකුවේ සහාය නොමැතිවීම හේතුවෙන් 4% පොලියට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදීමේ ක්‍රියාවලිය ප්‍රායෝගික නොවන බවයි.

මේ අතර මීට දෙසතියකට පෙර කැබිනට් මණ්ඩලය විසින් සිය කොවිඩ් – 19 ආර්ථික සහන පැකේජයට තවත් රුපියල් බිලියන 100ක් එක් කළේය. ඒ අනුව මහ බැංකුවට තමන් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන හරහා මහජනයා වෙත නිකුත් කරන රුපියල් බිලියන 50ක මුදල රුපියල් බිලියන 150 දක්වා පුළුල් කිරීමේ හැකියාව ලැබිණි.

එහෙත් පසුගිය ජුනි 16 වැනිදා ජනාධිපතිවරයා විසින් මහ බැංකු ප්‍රධානීන් දැඩි සේ දෝෂදර්ශනයට ලක් කරන අවස්ථාව වනතුරුත් අදාළ මුදල් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන හරහා අවශ්‍යතාව සහිත පුද්ගලයන්ට හෝ ආයතන වෙත මුදා හැරීමට මහ බැංකුවට ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොවීය. මේ නිසාම ජනාධිපතිවරයාට අදාළ ක්‍රියාවලිය මෙසේ ප්‍රශ්න කිරීමට සිදුවිය.

‘‘සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් වෙන්න දෙන්න බැහැ. පොඩි රටවල් විතරක් නෙවෙයි ලොකු රටවල් පවා මේ සඳහා පියවරවල් අරගත්තා. ඇමෙරිකාව බිලියන හයසීයක් තමන්ගේ වැඩසටහනට එකතු කරනවා. අද ජපානය සහ ඔස්ට්‍රේලියාවත් තමන්ගේ වැඩසටහන් ගැන නිවේදනය කරනවා. දැන් අපි මොකක්ද පාවිච්චි කරල තියෙන ටූල් (ක්‍රමවේදය) එක? කිසි දෙයක් නැහැ. ඔයාලා ළඟ විවිධ ටූල්ස් තියෙනවා. ඒ ටූල්ස් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි අපේ මහ බැංකුව කිසිම ටූල් එකක් පාවිච්චි කරල නැහැ.

ඇත්තෙන්ම ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කරන වෙනත් රටවල් භාවිත කර ඇති ශ්‍රී ලංකාවේ මහ බැංකුව භාවිත නොකළ ටූල්ස් මොනවාද? ඒ පිළිබඳව කරන ලද විමසුමකදී ජනාධිපතිවරයා එම සාකච්ඡාවට ඉදිරිපත් කළ ඇමෙරිකානු නිදර්ශන පිළිබඳව අපගේ අවධානය යොමු විය. එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ආර්ථික මූලෝපායන් සහ පුනර්ජනන වැඩසටහන් ඒ ආකාරයෙන්ම මෙරටට ආදේශ කළ නොහැකි බව යමකු තර්ක කළත් ජනාධිපතිවරයා එහිදී පැහැදිලිව පවසා සිටියේ ඇමෙරිකාවට එලෙස කළ හැකි නම් අපේ මහ බැංකුවටද අපටම අනන්‍ය වූ ටූල්ස් භාවිත කළ නොහැක්කේ මන්ද යන ප්‍රශ්නයයි. මන්ද ආර්ථික විද්‍යානුකූලව සියලුම ටූල්ස් එකම නිදර්ශක ධාරාවක් ඔස්සේ ගොඩනැගෙන බැවිනි.

එක්සත් ජනපදය දෙසට හැරුණහොත් කොවිඩ් – 19 වසංගත ව්‍යාප්තිය ආරම්භ වූ වහාම 2020 මාර්තු 23 වැනිදා වහාම ක්‍රියාත්මක වූ එරට ෆෙඩරල් සංචිතය වයිරසයෙන් විනාශ වන ඇමෙරිකානු ආර්ථිකය අවපාතයකින් බේරා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා බව නිවේදනය කළේය. එම සතියේ සඳුදා දිනය වන විටම ඇමෙරිකානු මහ බැංකුව විසින් අසීමිත බැඳුම්කර මිලදී ගැනීම් සහ ණය පහසුකම් 03ක් සහ ඉදිරියට ක්‍රියාත්මක තවත් ණය වැඩසටහනක් සමගින් සිය ගලවා ගැනීමේ මෙහෙයුම වේගවත් කළේය. මේ සඳහා මූලිකව ඩොලර් බිලියන 300ක් දක්වා වූ නව මූල්‍යකරණ සහායක් ලබා දෙන බවද එරට මහ බැංකුව අවධාරණය කළේය. මෙහිදී ආයතනික බැඳුම්කර මිලදී ගැනීම සඳහා විශේෂ ආයතනයක් පිහිටුවීමට මහ බැංකුව රජයෙන් හදිසි බලතලද ඉල්ලා සිටියේය. ඒවනවිටත් පොලී අනුපාත බිංදුව දක්වා අඩු කර තිබුණු බලපත් නව පියවරයන් සමගින් ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ අපේක්ෂා ඉහළ ගොස් තිබිණි.

ඉන් අනතුරුව අප්‍රේල් 29 වැනිදා යළිත් තීරණාත්මක ප්‍රකාශයක් සිදු කරමින් ‘නරක ලෙස හානියට පත් ආර්ථිකයක සලකුණු අඛණ්ඩව දක්නට ලැබෙන බැවින් පොලී අනුපාත ශූන්‍ය අගයේ සිට 0.25% දක්වා පවත්වා ගැනීමට වොෂින්ටනයේ ප්‍රතිපත්ති සම්පාදකයන් එකඟ වූ බව ‘ෆෙඩරල් සංචිතය’ නිවේදනය කළේය. එසේම මාර්තු මාසයේ සිට ආරම්භ කළ බැඳුම්කර වෙළෙඳපොළ ඇතුළුව විවිධ ණය දෙන වෙළෙඳපොළවල් සඳහා ද්‍රවශීලතාව සැපයීම වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක් ආර්ථිකයට මුදා හරින වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඇමෙරිකානුවන්ට දැනුම් දුන්නේය. එසේම ක්ෂණිකව ණය වෙළෙඳපොළ බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා මහාපරිමාණ නැවත මිලදී ගැනීමේ ගිවිසුම් දිගටම ලබා දෙන බවටද පොරොන්දුවක් ලබා දුන්නේය. සරලව කිවහොත් ණය ලිහිල් කිරීමේ පියවරයන් හි පරිමාණය සහ විෂය මෙය පුළුල් කිරීම සඳහා එඩිතරව මැදිහත් වන බව ඇමෙරිකානු මහ බැංකුව එදින තවදුරටත් ශපථ කළේය.

මෑතම පියවර ලෙස ජුනි 15 වැනිදා ඇමෙරිකානු මහ බැංකුව ප්‍රකාශ කරන ලද්දේ අවදානම් සහිත ණයවලින් වැඩි ප්‍රමාණයක් තමන්ගේ ශේෂපත්‍රවලින් ඉවත් කරන බවයි. ඒ ඔස්සේ කොවිඩ් – 19 සමග අරගලයක නිරත සමාගම්වලට යළිත් ණය ලබාදීමට බැංකු දිරිමත් කරන බවද මහ බැංකුව නිවේදනය කළේය. එහිදී මහ බැංකුව අවධාරණය කර ඇත්තේ මෙම දුෂ්කර කාලයේදී කඩා වැටී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය වීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි. එසේම උප ණය දෙන ආයතනවලට මහ බැංකුවේ අලුතින් ලියාපදිංචි වී ණය අයැදුම් කරන්නන්ට කඩිනමින් පස් අවුරුදු සැලැස්මක් යටතේ ඩොලර් 250,000 සිට මිලියන 300 දක්වා ණය ලබාදීමටද දිරිමත් කර ඇත.

ඉහතින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා උපුටා දැක්වූ ඇමෙරිකානු උදාහරණය පමණි. ජනාධිපතිවරයා අවධාරණය කරන ලද්දේ වහාම මෙරට ආර්ථිකයට ගැළපෙන ක්‍රමෝපායන් අනුගමනය කරමින් ජනතාව අතට මුදල් ගලා යන ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසයි. ඒ අනුව අදාළ බැණුම් මධ්‍යයේ මහ බැංකු ප්‍රතිපත්ති තීරණයන් එදිනම (ජුනි 16) මධ්‍යම රාත්‍රිය වන තෙක් සාකච්ඡා කොට එහි මුදල් මණ්ඩලය හරහා දැන් තව පියවර කීපයක් හඳුන්වාදී ඇත. ඒ යටතේ වාණිජ බැංකුවලට 1% සහන පොලී අනුපාත යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබාදීම ඇතුළු හදිසි ක්‍රියාමාර්ග කිහිපයක් පවතින අතර රජයෙන් අනුමත රුපියල් බිලියන 150ම අවශ්‍යතාව සහිත ජනතාව සහ ව්‍යාපාරිකයන් අතට පත් කරන බවට ප්‍රතිඥා ලබාදී ඇත. ඒ අනුව දැන් මහ බැංකුවේ මෙතෙක් ප්‍රායෝගික නොවූ ක්‍රියාමාර්ග මහ පොළොවට බසින ආකාරය පිළිබඳව ජනතාවට ඇස ගසාගෙන සිටිය හැක. ජනතාව එසේ ඇස ගසාගෙන නොසිටියත් ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ඒ දෙස ඇස ගසාගෙන සිටින බැවින් මහ බැංකුවේ දැන් ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ප්‍රායෝගික විය යුතුම විය යුතු බවද කිව යුතුය.

නයන තරංග ගමගේ

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More