පුරවැසි කොලම

..covid – 19.. එහෙමත් නැත්නම් ‘‘කොරෝනා” 2020 වසරේ මුළු ලෝකයම බය කරපු අද වෙනකොටත් විසඳුමක් සොයාගන්න නොහැකි වුණ උවදුරක් රුසියාවට ..covid – 19.. බලපෑම එල්ල වෙන්න පටන් ගත්තේ මාර්තු මාසයේ අග වෙද්දි. අප ඉගෙනුම ලබන ‘‘ත්වේර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය” වසා දමා online හරහා ඉගැන්වීම් කටයුතු සිදුකරන්න පටන් ගත්තා. රුසියාවේ කොරෝනා ආසාදිතයන් ගණන දිනෙන් දිනම ඉහළ යන්නට වුණ නිසා වසංගත තත්ත්වය පාලනය කරන්න අනෙක් රටවල් බොහොමයක වගේම රුසියාවේත් දේශ සීමා වසා දැමුණා. ඒ වෙනකොට ලංකාවේත් කොරෝනා රෝගීන් හමුවී තිබුණත් ලංකාවේ රජය මගින් ගෙනගිය කොරෝනා මර්දන වැඩපිළිවෙළ නිසා ඇත්තෙන්ම අනිත් රටවල්වලට සාපේක්ෂව ලංකාවේ වෛරසය ව්‍යාප්ත වීම සැලකිය යුතු මට්ටමකින් අඩුවෙලයි තිබුණෙ.

ඒ වාතාවරණයත් එක්ක වසංගත තත්ත්වය නිසා ලංකාවෙන් පිටත හිරවෙලා හිටපු ශ‍්‍රී ලාංකිකයන්ව මව්බිමට ගෙන්නගන්න ලක් රජය විශාල වැඩපිළිවෙළක් ආරම්භ කරලයි තිබුණෙ. ඒ අතරිනුත් සිසුන්ට ප‍්‍රමුඛතාවය ලබාදෙන්න රජය තීරණය කරලා තිබුණා. මේ අතරේ රුසියාවේ තත්ත්වයත් දිනෙන් දිනම බරපතල වෙමිනුයි තිබුණෙ. ඒත් රුසියාවේ වාර්තා අනුව කොරෝනා මරණ අනුපාතය අඩු අගයක තිබුණු නිසාත් ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ගැන ඔවුන් දැඩි විශ්වාසයෙන් සිටි නිසාත් online ක‍්‍රමය හරහා බඩු භාණ්ඩ ගෙන්වා ගැනීමේ පහසුකම පැවති නිසාත් රුසියානු වැසියන් මේ වසංගතය ගැන දැක්වූයේ අඩු සැලකිල්ලක්. එහෙත් අප හටද online හරහා බඩු භාණ්ඩ ගෙන්වා ගැනීමට පුලූවන්කම තිබූ නිසා ආහාර පාන හිඟයක් පැවැතුණේ නැහැ.

අප නේවාසිකාගාර ඇතුලේ සිටියේ පිටතින් වසංගතය නේවාසිකාගාර වලට පැමිණෙයි යන්න කියලා ගොඩක් බයෙන්. ඒ නිසාම අපේ විශ්ව විද්‍යාලයේත් බොහෝ දෙනෙක් ලංකාවට යන්න ඉල්ලීම් ඉදිරිපත් කළා. කොහොම වුණත් ඒ අවස්ථාව උදාකරගන්න එක ලෙහෙසි පහසු කටයුත්තක්නම් වුණේ නැහැ. ඒ වෙනුවෙන් අපේ ඉගෙනීම් කටයුතු වලටත් බාධාවක් නොවෙන විදිහට ලංකාවට යන්න අවසර ලබාගන්න REC Campus එකේ වෛද්‍ය ලසන්ත අමරකෝන් මහතා ලොකු මහන්සියක් දැරුවා. ඒ වගේම ලංකාවේ රජය දැනුවත් කරලා රජයේ අනුමැතිය ලබාගන්න අපේ සිසුන්ගේ දෙමාපියන් ලොකු වැඩකොටසක් ඉටුකළා. කොහොමහරි හැමෝගෙම උත්සාහයේත්, කැපවීමේත්, ප‍්‍රතිඵලයක් විදිහටත් ඒ වගේම ජනාධිපතිතුමන්ට සහ මේ සම්බන්ධව කටයුතු කරපු රජයේ අනෙක් නිලධාරීන්ට ද ස්තුතිවන්ත වන්නට මැයි 21 වෙනිදා රුසියාවේ මොස්කව්, කර්ස්ක්, ත්වේර් යන විශ්ව විද්‍යාලවල සිසුන්ව මව්රටට ගෙනයන්න පළවෙනි විශේෂ ගුවන් යානය රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රුසියාවට පැමිණි අපිට ලංකාවට යන්න අවස්ථාව ලැබෙනකන් නේවාසිකාගාරවල හිටපු අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන REC ආයතනයෙන් හොයල බැලූවා. ඇත්තටම අපිට මුලිකව වුවමනා වුණ ‘‘මාස්ක්”, ‘‘සැනිටයිසර්” වගේ දේවල් ඔවුන් අපිට ලබාදුන්නා. මැයි 22 වෙනිදා අපි මොස්කව් ගුවන් තොටුපළට ගියේ විෂබීජහරණය කරපු විශේෂ බස්රථවලයි. ඇත්තටම මේ දවස ඵනකන් අපි හිටියේ ඇඟිලි ගැන ගැන අපේ රටට යනව කියන හැඟීම පවා අපේ හිත්වලට ඇති කළේ ලොකු සතුටක් වගේම සැනසීමක්.

අපිව එක්ක යන්න ඇවිත් හිටපු ශ‍්‍රී ලංකා ගුවන් සේවයේ නිලධාරින් හැමෝම මේ ගමන ඇවිල්ල තිබුණෙ ඒ අයගේ ජීවිතත් අවදානමේ දාගෙන ලොකු කැපකිරීමක් කරලයි. ඔවුන්ට පිං සිදුවෙන්න මැයි 22 වෙනිදා අපිට ආරක්ෂිතව මව්බිමට එන්න පුළුවන් වුණා. කලින් අවස්ථාවලදී ලංකාවට එනවා වගේ නෙමෙයි. එදා අපිට ගුවන් තොටුපළේදී විඳගන්න ලැබුණෙ වෙනස්ම විදියේ අත්දැකීමක්. ගුවන් යානයෙන් බහිද්දිම අපිට දක්නට ලැබුණෙ සම්පුර්ණ ඇඟම වැහෙන විදිහට ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන හිටපු හමුදා නිලධාරීන්. ඒ අය මුලින්ම අපේ ශරීර උෂ්ණත්වය බලලා ඊට පස්සේ මීටරයක් දුරින් අපිව පෙළගැස්සුවා. ඒත් එක්කම අපේ අතේ තිබුණ ගමන් මළු එකින් එක අරන් ගිහින් විෂබීජහරණය කළා. ඒ අතර අපි ඵක එක්කෙනාව අත් සෝදගන්න යොමුකරලා විෂබීජනාශක ඉහලා අපිට අලූත් ‘‘මාස්ක්” සහ ‘‘ග්ලවුස්” දුන්නා. ඊට පස්සේ අපේ සෞඛ්‍ය වාර්තා පිරික්සල බැලූවා. ඒ හැමදෙයක්ම සිදුකළෙත් හමුදාවේ නිලධාරීන්. ඒ අය ඔක්කෝම මේ තරම් රස්නයක් තියෙද්දී ඇඟම වැහෙන ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන කොයිතරම් අපහසුවක් විඳින්නැති ද කියලා අපිට හිතුනා.

‘‘අපි අමාරු වැඩක් කරන්නේ දරුවෝ අපිට උදව් කරන්න” එතන හිටපු හමුදාවේ නිලධාරියෙක් අපිට කිව්වා. අපේ පුංචි රටේ මේ වසංගතය මැඬපවත්වන්න මේ මිනිසුන් දරණ උත්සහය අපිට තේරුණේ ඒ මොහොතෙයි. දිගු ගුවන් ගමනකින් වෙහෙසට පත් වෙලා හිටපු අපිට ඔවුන් කෙටි ආහාර වේලකින් සංග‍්‍රහ කළා. ඇත්තටම මේ තරම් අපි ගැන හොයලා බලයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. ඊට පස්සේ අපි ගියේ අපේ ප‍්‍රධාන ගමන් මළු ගන්න, ගොඩක් අය තම තමන්ගේ ගමන් මළු අරගෙන ගියත් අපේ යාළුවෙකුගේ ගමන් මල්ලක් එන්න පරක්කු වුණ නිසා අපි ඵතන නැවතිලා හිටියා. ‘‘බෙල්ට් එකේ නැගල ගියොත්නම් හොයාගන්න පුළුවන් වෙයි” එක් හමුදා නිලධාරියෙක් හිනාවෙලා කිව්වා. මේ අය කොච්චර සුහදශීලී ද? ඵ් හැඟීමත් එක්ක අපේ මුහුණුවලටත් හිනාවක් ආවේ ඉබේටමයි. ඊට පස්සේ පිළිවෙලට බස් රථවලට නංවාගෙන අපිව පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගියා. නිරෝධායන මධ්‍යස්ථානයේදී ආයෙත් විෂබීජනාශක ඉහලා අපි දෙන්නා ගානේ කාමරවලට දැම්මා. අපි කාමරයට ගියේ රෑ කෑම වේලත් අරගෙනයි.

කාමරේ ඇතුළට යනකොටම දැක්ක දේවල්වලින් අපි පුදුම වුණා. ඒ වෙලාවේ අපේ ඇස්වලට කඳුළු ආවේ ඉබේටමයි. අපි හැමෝටම වෙන වෙනම සති දෙක ගත කරන්න ඕන වෙන පිඟන්, කෝප්ප, දත් බුරුසු, සබන්, සෙරෙප්පු වගේ මූලික දේවල් විතරක් නෙවෙයි සුළු දේවල් පවා වෙන වෙනම පිළිවෙලට තියල තිබුණා. ඒ දේවල් දැක්කහම අපිට හිතුණේ මේ වගේ රටක් ලෝකේ වෙන කොහේවත් නැතුව ඇති කියලයි. නිරෝධායන මධ්‍යස්ථානයේ සති දෙකක් ගත කරනවා කියන එක ගොඩක් අමාරු දෙයක් වෙයි කියලයි. රුසියාවෙන් එද්දී අපිට හිතුණේ ඒත් ඇත්තටම ඒ සති දෙක ගතවුණේ අපිටත් නොදැනීමයි. දවසේ ප‍්‍රධාන ආහාර වේල් තුනට අමතරව දවසට තුන්පාරක් බිස්කට් එක්ක තේ දුන්නා. රෑ කෑම වේලෙන් පස්සේ කොත්තමල්ලි දෙන්නත් අමතක කළේ නෑ. කෑම දෙනකොට වුණත් එක එක්කෙනා කැමති අකමැති දේවල් හොයලා බලන්න තරම් ඵ් අය කාරුණික වුණා. ඒ සති දෙක පුරාවටම දවසට දෙපාරක් අපේ ශරීර උෂ්ණත්වය බැලූවා. අපිට අසනීපයක් වුණත් ප‍්‍රතිකාර කරන්න වෛද්‍යවරයෙකුත් ඒ මධ්‍යස්ථානයේම රැ`දිලා හිටියා ඒ විතරක් නෙමේ. online හරහා කරපු අපේ ඉගනීම් කටයුතු දිගටම කරගෙන යන්න සන්නිවේදන පහසුකම් (WiFi) පවා සපයලයි තිබුණේ. ජුනි 2 වෙනිදා තමයි අපේ මධස්ථානයේ හිටපු හැමෝගේම PCR පරීක්ෂණ කළේ PCR පරීක්ෂණයේ ප‍්‍රතිඵල ඵනකන් අපි බලාගෙන හිටියේ ගොඩක් බයෙන්. හරියට විභාගයක් කරලා ප‍්‍රතිඵල ඵනකන් බලන් ඉන්නවා වගේ. අපිට දැනුණේ කොහොමහරි අපි හැමෝගේම වාසානාවට පිටිපන අපේ නිරෝධායන මධ්‍යස්ථානයේ එක කෙරෝනා රෝගියෙක්වත් හමුවුණේ නැහැ. ඒ අනුව ජුනි 6 වෙනිදා නිරෝධායනය සාර්ථකව අවසන් කරපු පිරිසක් විදහට සහතික පත් භාරගෙන අපේ දෙමව්පියෝ ගාවට එන්න පුළුවන් වුණා. දුර පළාත්වල අයට තමන්ගේ ගෙවල්වලට යන්න හමුදාවෙන් විශේෂ බස් රථ යොදවලා තිබුණා.

‘‘කොරෝනා” වසංගතය ලෝකයේ බලවත් කියන හැම රටක්ම වගේ බිලිගන්නකොට අපේ පුංචි රට මුළු ලෝකයටම ලොකු ආදර්ශයක් දෙනවායි කියලයි අපිට හිතෙන්නේ.

කොරෝනා මර්දනයට අපේ රටේ ගෙන යන මේ විශාල වැඩ පිළිවෙල වෙනුවෙන් සහ පිටරට සිටින ශ‍්‍රී ලාංකිකයන්ව නිරුපද්‍රිතව ලංකාවට ගෙන්වාගන්න කරන කාර්යය වෙනුවෙන් අප රටේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්” ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැතිතුමාටත්, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාටත්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත්, විදේශ සබඳතා ලේකම් අද්මිරාල් ජයනාත් කොළඔගේ මැතිතුමාටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමාටත්, සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනියටත් ස්තුතිවන්ත වන අතරම අපගේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව කටයුතු කළ කර්නල් අශෝක අඹන්පොල මැතිතුමා ඇතුලූ දෙසතියක් පුරා අපගේ අවශ්‍යතා සොයා බලමින් අප වෙනුවෙන් ඇප කැප වූ සියලූ යුද හමුදා සාමාජික සාමාජිකාවන්ටත් හදවතින්ම අපගේ ගෞරවපුර්වක ස්තුතිය පුදකර සිටිමු.

අනතුරත් වෙද ලක් මව්න් හට
ඔබ ඵතැන ඇත නොවී පසුබට
වේදනා බිය දමා පසෙකට
දිවි පුදා හෝ රකී මව්රට

රටට ණය නැති මිනිසුන්ය ඔබ
සිහ ලෙයින් සැදී විරු පුතුන් ඔබ
ජාතියේ පින් බෙලෙන් ඉපදුන
අපේ මිහිපිට දෙවිවරුන් ඔබ

අවසාන වශයෙන් අප රටටත් ලෝකයටත් කොරෝනා උවදුරෙන් ඉක්මනින්ම මිදෙන්න හැකිවේවායි ඵක සිතින් ප‍්‍රාර්ථනා කරනවා.

පියුමි රණතුංග, පවනි රණතුංග

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More