පුරවැසි කොලම

300 කට අධික අහිංසක මිනිසුන් කාන්තාවන් සහ ළමුන් මරුමුවට පත්කරමින් පසුගිය වසරේ සිදු වූ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රග්බි ක‍්‍රීඩාවේ මෙන් එකිනෙකාට බෝලය පාස්කරමින් අත පිසදාගැනීමට උත්සාහ කරන බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රමුඛ රජයට අවබෝධ වී ඇත.

එක් පොලිස් නිලධාරියෙක් පාස්කු ප‍්‍රහාරය දුටුවේ විද්‍යුත් නාලිකාවකින් යැයි කිසිදු ලැජ්ජාවකින් තොරව කියා සිටියේය. හිටපු හමුදාපති මහේෂ් සේනානායක පැවසූවේ ප‍්‍රහාරය ගැන දැනගත්තේ වෙබ් අඩවියකින් බවයි. තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් තමා කතෝලික දෙව්මැඳුරකට ආරක්‍ෂාව සැලසූ බව පැවසුවත් දෙව්මැඳුර භාර පියනම සඳහන් කළේ එවන් ආරක්‍ෂාවක් සැලසුවේ නැති බවයි. එසේම හමුදා බුද්ධි අංශ නිලධාරියකු අනාවරණය කළේ මාවනැල්ල බුදුපිළිමය කඩා දැමීම සහ වනාතවිල්ලූව පොල්වත්තක තිබී හමු වූ පුපුරණ ද්‍රව්‍ය සම`ග අත්අඩංගුවට ගත් ඉස්ලාමීය අන්තවාදීන් තිදෙනාගෙන් පාස්කු ප‍්‍රහාරය එල්ලවීමට පෙර ප‍්‍රශ්න කිරීමට හිටපු රහස් පොලිසියේ ප‍්‍රධානී ශානි අබේසේකර ඉඩ දුන්නේ නැති බවයි. මේ බව හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයා විසින් හමුදාපති වෙත දැනුම් දුන් බවද එම නිලධාරියා තවදුරටත් හෙළි කරයි.

එහෙත් බුද්ධි නිලධාරීන් 3500 කට අධික සංඛ්‍යාවක් සිටින හමුදාවේ බුද්ධි ඒකකයට ප‍්‍රහාරය ගැන කිසිම තොරතුරක් ලැබුණේ නැති බවත් එවන් තොරතුරු ලැබුණේ නම් ප‍්‍රහාරය වළක්වා ගැනීමට හැකිවන බවත් හිටපු හමුදාපති මහේෂ් සේනානායක පවසනු ලැබීය.

එසේ වුවත් වත්මන් රජයේ ඉහළ පෙළේ බලධාරීන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව ඉන්දීය හමුදා බුද්ධි සේවාව පාස්කු ප‍්‍රහාරය ගැන ශ‍්‍රී ලංකා හමුදාවට දැනුම් දී තිබේ. ඉන්දීය සහ ශ‍්‍රී ලංකා හමුදා බුද්ධි සේවා අතර බුද්ධි තොරතුරු හුවමාරුකර ගැනීමේ එක`ගතාවක් තිබූ බවටද තොරතුරු හෙළි විය.

මේ පසුබිම මත හිටපු හමුදාපතිවරයා ජනාධිපති ධුරයට තරග වැදුණේ පාස්කු ප‍්‍රහාරයේ වගකීමෙන් ගැලවීමටද?

පාස්කු ප‍්‍රහාරය සිදු වී වසරක් ගතවන අවස්ථාවේ අනාවරණය වන තොරතුරුවලින් 2015 සිට 2019 අපේ‍්‍රල් 21 දක්වා කාලය තුළ රටේ ජාතික ආරක්‍ෂාව අරාජික තත්ත්වයට පත්ව තිබූ බව සනාථ වී ඇත.

මෙම සමයේ බුද්ධි අංශවලින් රටට එරෙහි සතුරන් ගැන නිසි පරීක්‍ෂණ සිදු වී නැත.

ඉන්දීය ජාතික බුද්ධි සේවාව පාස්කු ප‍්‍රහාරය ගැන කීපවිටක්ම කළ අනතුරු ඇ`ගවීම නොසලකා හැර තිබූ අතර රටේ ආරක්‍ෂාව බිහිසුණු තත්ත්වයක පැවැති බව වැඩිදුරටත් හෙළි විය.

මේ බව තවදුරටත් සනාථ වුණේ ඉන්දීය බුද්ධි සේවාව අපේ‍්‍රල් 21 වැනිදා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප‍්‍රහාර එල්ල වන බව විශේෂ කාර්ය බළකායට දැනුම් දී ආරක්‍ෂාව ලබා ගැනීමයි. එසේ නම් මෙදින තවත් ස්ථානවලට ප‍්‍රහාර එල්ල වනු එතැයි විශේෂ කාර්ය බළකායේ බලධාරීන්ට අවබෝධ නොවූයේ මන්ද?

මේ නිසා ජාතික ආරක්‍ෂාවට ප‍්‍රමුඛත්වය දීමට ජනාධිපතිවරයා කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළේය.

ආරක්‍ෂාව උදෙසා පිහිටු වූ 13 ක ගෙන් යුත් මේ කාර්ය සාධක බළකායට ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති පියල් ද සිල්වා, ගුවන් හමුදාපති සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය, විශ‍්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් (ජාතික බුද්ධි සේවා ප‍්‍රධානී) මේජර් ජෙනරාල් සුරේශ් සැලේ (රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී) මේජර් ජෙනරාල් ඒ. එස්. හේවාවිතාරණ (හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ) කපිතාන් එස්. ජේ. කුමාර) නාවික බුද්ධි ඒකකය ගුවන් කොමදෝරු එම්. ඞී. ජේ. වාසගේ (ගුවන් බුද්ධි ඒකකය) ටී. සී. ධනපාල, (නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්ය බළකාය) සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අයත් විය.

රටේ ආරක්‍ෂාව උදෙසා මෙම විශේෂ කාර්ය සාධක බළකාය ආරම්භ කිරීමත් සම`ගම කොටි ඩයස් පෝරාව සහ ඊට අනුබද්ධ සංවිධාන මෙන්ම හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකාද එරෙහි විය.

මෙම පිරිස් ශ‍්‍රී ලංකාව හමුදාකරණය වී ඇති බවට ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත පැමිණිලි කරනු ලැබීය.

සුකා පැවසුවේ ජනපති ශෝඨාභය තවත් රටේ හමුදාපාලනයක් ස්ථාපිත කර ඇති බවයි.

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට ක‍්‍රියාත්මක වන කීපදෙනෙකුට සීමා වූ පර්ල් නමැති සංවිධානය පැවසූවේ ගෝඨාභයගේ විශේෂ කාර්ය සාධක බළකායේ පාලනයට උතුරු නැගෙනහිර ද්‍රවිඩයන් ගොදුරු වී ඇති බවයි. මෙම පර්ල් සංවිධානය මෙහෙය වන්නේ මාරියෝ අරුල්තාස් සහ මනෝරංජන් තාෂා නමැති කොටි හිතවාදීන් දෙදෙනායි.

එම පර්ල් සංවිධානය තවදුරටත් සඳහන් කළේ එම විශේෂ කාර්ය සාධක බළකායට යුධ අපරාධ චෝදනා එල්ල වූවන්ද අයත් වන බවය.

මේ හැර පාක්‍යයෝති සවරිමුත්තු හෙවත් පී, සරා මෙහෙය වන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයද හමුදා සහ පොලිස් නිලධාරීන් ගෙන් යුත් විශේෂ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට එරෙහි විය.

රනිල් මෛත‍්‍රිපාල යහ පාලන රජය සමයේ රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව උපදෙස් දුන් සංවිධාන අතර විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ද විය. එහෙත් අද මොවුන්ගේ බලය බිඳ වැටී අවලංගු කාසි බවට පත් වී ඇත.

මේ පසුබිම මැද උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන්ද ආරක්‍ෂාව උදෙසා වූ විශේෂ කාර්ය සාධක බළකාය ස්ථාපිතවීමෙන් අන්දමන්ද විය.

ඔහු එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය හමු වී රටේ ඉහළ ධුරවලට හමුදා නිලධාරීන් පත් කිරීමෙන් රට හමුදා පාලනයකට ගෙන යන බවට පැමිණිලි කළේය. එසේම මෙම විශේෂ කාර්ය සාධක බළකායට එරෙහිව බටහිර තානාපතිවරුන් හමුවේ කරුණු දක්වන බවද විග්නේශ්වරන් තවදුරටත් සඳහන් කර ඇත.

ද්‍රවිඩ සංධාන හිටපු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන්ද උතුරු නැගෙනහිර හමුදාකරණය කිරීමට ජනාධිපතිවරයා ක‍්‍රියා කරන බවට දක්වන ප‍්‍රචාරයේ කොටස්කරුවෙකි. ඔහු කොටි සුසාන භූමි පරීක්‍ෂාවට ගොස් එම සුසාන භූමි ද්‍රවිඩයන්ට අයත් බව කියා සිටියේය.
එහෙත් කොටි සුසාන භූමි ස්ථාපිත වූයේ රජයේ ඉඩම්වලය. වරක් තමිල්නාඩුවට ගොස් ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව පැවසූ ශ‍්‍රීධරන් ගෝඨාභ්‍ය ජනපතිවීමෙන් පසු උතුරු නැගෙනහිර හමුදාකරණය වර්ධනය වී ඇති බව පළ කළේය.

එහෙත් උතුර සහ නැගෙනහිර මුළුමනින්ම හමුදාකරණය වී ඇති බවට ඇමෙරිකාවේ ඕක්ලන්ඞ් සංවිධානයද ජීනිවා සිට ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියා කරන හිටපු කැරලිකරු සුනන්ද දේශප‍්‍රිය හෙවත් රංජි මල්ලිද උතුරේ සෑම ද්‍රවිඩයන් පස් දෙනෙකුට එක හමුදා භටයකු සිටින බව සඳහන් කර තිබිණි.

මේ අතර රටේ ආරක්‍ෂාව සඳහා පත් කළ විශේෂ කාර්ය සාධක බළකාය කාලයෙන් කාලයට රටේ තත්ත්වය ගැන සහ රාජ්‍ය ආයතනවල තත්ත්වය ගැන ජනපති වෙත වාර්තා කළ යුතු බවටද නියෝග වී ඇත.

මෙතෙක් මෙවන් ක‍්‍රියාපටිපාටියක් පැවැතියේ නැත. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සිදු කරන ලද විමර්ශනවලදී තවදුරටත් හෙළි වූයේ පොලිසියේ උසස්ම නිලධාරීන් බුද්ධි සේවා තොරතුරු සැ`ගවීමයි. ඇතැම් නිලධාරීන් පොලිස් භටයන් ලවා පොලිස් පොත් වෙනස් කර තිබේ.

මෙය පුදුමයක් නොවේ. යහ පාලන රජය සමයේ බුද්ධි අංශ විසින් ඉදිරිපත් කළ බව දක්වමින් බුද්ධි වාර්තාවක් හිටපු ජනපති හා අගමැති වෙත ඉදිරිපත් කර තිබූ බව හෙළි විය.

මේ බුද්ධි වාර්තාව මෙසේයි.

සටන් විරාම ගිවිසුම නිසා මරාගෙන මැරෙන කොටි ප‍්‍රහාර දුර්වල වුණා. මේ බොරු වාර්තාව ප‍්‍රකාශයට පත් කර තිබුණේ එ. ජා. ප. දේශපාලන බලධාරියකුගේ මාධ්‍ය උපදේශකයකු විසින් බව හෙළි විය.

එසේම 2015 න් පසු යහපාලන රජය මෙරට බුද්ධි සේවාව බිඳ දමනු ලැබීය.

ශ‍්‍රී ලංකාවට තර්ජනයක් එල්ල නොවන බව දක්වමින් කොටි ඩයස්පොරා සංවිධාන අටක තහනමද ඉවත් කළේය.

බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩ කොන්ග‍්‍රසය, ඕස්ටේ‍්‍රලියානු ද්‍රවිඩ කොන්ග‍්‍රසය, ගෝලීය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩ ජාතික කමිටුව, ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය සහ ලෝක ද්‍රවිඩ තරුණ කමිටුව යන කොටි හිතවාදී සංවිධානවල තහනම ඉවත් වෙද්දී මෑතකදී කැනඩාවේ අටවාගෙන ඇති ඇතැම් සංවිධාන ඊට එරෙහි වූයේ නැත.

අද යළිත්වරක් කොරෝනා වෛරසයට මුවා වී මේ කොටි හිතවාදී සංවිධාන අරමුදල් එකතු කිරීම අරඹා ඇත.

මේ හැර වන්නියේ බංකරයක තිබී විදේශ කොටි ක‍්‍රියාකාරීන් 400 කගේ ලැයිස්තුවක් හමු වූ අතර ඉන් රැසකට පනවා තිබූ තහනම යහ පාලන රජය අහෝසි කළේ ඔවුන් මෙරටට තර්ජනයක් නැති බව දක්වමිනි.

මේ නිසා යහපාලන රජය යටතේ බුද්ධි අංශ ක‍්‍රියා කළේ කෙසේදැයි අනාවරණය විය.

එසේම කැනඩාවේ කොටි ක‍්‍රියාකාරීන් වූ ගැරී ආනන්ද සංගරී, නේතන් ශාන්, රාධිකා, සීතා සබේසන් ඇතුළු කොටි හිතවාදීන්ට උතුරට ඒමටද යහපාලන රජය ඉඩ දුන්නේ ජාතික ආරක්‍ෂාව ගැන තැකීමක් නොකරමිනි.

යාපනයට ගිය ගැරී ආනන්ද සංගරී ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කර ඇතැයි කියමින් ජාත්‍යන්තර අධිකරණය ලවා පරීක්‍ෂණයක් කළ යුතු බව කියා සිටියේය. මේ ප‍්‍රකාශය නිසා ගැරී ආනන්ද සංගරී මෙරටින් පිටුවහල් කළ යුතු වූවත් රජය නිහඬ විය. මේ හැර කැනඩාවේ ටොරන්ටෝ  නගරාධිපති ජෝන් ටෝරිට මුලතිව් වෙත යෑමටද යහපාලන රජය ඉඩ දුන්නේය. මුලතිව් හමුදා කඳවුර දුටු ටෝරි මේ කඳවුර මොකට දැයි ප‍්‍රශ්න කළේය. එසේම මෙරට ජාතික ආරක්‍ෂාවට කිසිසේත්ම සම්බන්ධ නැති පාර්ශ්ව ආරක්‍ෂක ලේකම් ලෙස පත් කෙරුණි. කරුණාසේන හෙට්ටිආරච්චි, හේමසිරි ප‍්‍රනාන්දු සහ කපිල වෛද්‍යරත්න යන අයවළුන් ආරක්‍ෂක ලේකම්වරු විය.

එක් ආරක්‍ෂක ලේකම්වරයෙක් කොටි ත‍්‍රස්තවාදීන්ව ඇමතුවේ සහෝදර ත‍්‍රස්තවාදීන් යනුවෙනි. තවත් ආරක්‍ෂක ලේකම්වරයෙක් හමුදා නිලධාරීන් 11 කට යුද අපරාධ චෝදනා ගැන නඩු පැවරෙන බවත් සාක්කි තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් ඩයස් පොරාවෙන් ඉල්ලීමක් කළේය.

ඔහු තවදුරටත් පැවසූවේ පාස්කු ප‍්‍රහාරය

ගැන දැනසිටි බවත් මෙතරම් බරපතළ ප‍්‍රහාරයක් සිදුවන බව අපේක්‍ෂා නොකළ බවයි.

මෙවන් අරාජික තත්ත්වයක් පිළිබඳව තොරතුරු අනාවරණය වන අවස්ථාවේ පාස්කු ප‍්‍රහාරයට පෙර ජාතික ආරක්‍ෂක මණ්ඩලය පවා රැස් වී නැතැයි හෙළි විය.

පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආරක්‍ෂාව ගැන උපදෙස් දීමට හිටපු ජනපතිවරයා කමිටුවක්ද පත් කෙරුණි.

එහි සාමාජිකයෙක් වුයේ කොටි හිතවාදීයකු වූ සිංගප්පූර් මහාචාර්ය සොර්නරාජයි. හිටපු ජනපතිවරයා යටතේ බුද්ධි අධ්‍යයන ඒකකයක් නොතිබූ බව මින් සනාථ විය.

මේ අතර ආරක්‍ෂාව උදෙසා විශේෂ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීම ගැන උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී.

විග්නේශ්වරන් මෙන්ම ද්‍රවිඩ සංවිධානයද මහත් සේ කලබලයට පත් විය.

විග්නේශ්වරන් විගස ජාත්‍යන්තර ප‍්‍රජාව වෙතින් ඉල්ලීමක් කරමින් උතුරු නැගෙනහිර හමුදාකරණය සිදු වී ඇති බවත් මුළුමණින්ම පූර්ණ පෙඩරල් පාලනයක් ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් කියා සිටියේය.

එසේම මුල්වරට විග්නේශ්වරන් මුස්ලිම් ප‍්‍රජාව වෙනුවෙන්ද උතුරු නැගෙනහිර මුස්ලිම් කලාපයක් ස්ථාපිත කළ යුතු බව දක්වා තිබිණි.

මින් බෙදුම්වාදී සර්පයාගේ සැබෑ ස්වරූපය සනාථ විය. මේ අතර රජය සහ කොටස් දෙකකට කැඩුණු විපක්‍ෂය මැතිවරණය ගැන යොමු වී සිටියදී රාජ්‍ය නොවන සංවිධාන පෙත්සම් තොග පිටින් විදේශ ගත කිරීමේ මෙහෙයුමේ යෙදී සිටිති.

කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් වූ ඉන්පෝම් සංවිධානය පිටු 48 ක වාර්තාවක් ජාත්‍යන්තර ප‍්‍රජාවට යවනු ලැබීය. මේ වාර්තාවෙන් රජය දැඩි මර්දනකාරී පිළිවෙතක් දියත් කර ඇතැයි දක්වා තිබිණි.

ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස්ගේ සිද්ධියට සම්බන්ධ මාධ්‍ය පාර්ශ්වවලින් රහස් පොලිසිය ප‍්‍රශ්න කිරීම මර්දනයක් බව එම වාර්තාවේ දක්වා තිබිණි.

මේ ස්විස් සේවිකාවගේ සිද්ධියට අදාළ දර්ෂා බැස්ටියන් නමැත්තිය බි‍්‍රතාන්‍යයේ සිටින අතර මෙතෙක් ඇගෙන් ප‍්‍රකාශයක් ගැනීමට රහස් පොලිසියට නොහැකි වී ඇත.

මෙවන් තත්ත්වයක් මැද ජාතික ආරක්‍ෂාව සඳහා වූ විශේෂ කාර්ය සාධක බළකාය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉලක්කය වී ඇත.

මෙයට සමගාමීව පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු පාර්ශ්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානද මැදිහත් වී තිබේ.

මේ සතියේ ආරක්‍ෂක කරලිය තුළ මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ වසර 30 කට පෙර සිදු වූ පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීමේ සිද්ධිය ජුනි 11 දාට යෙදී තිබිණි.

1990 ජුනි 11 දා කොටි ත‍්‍රස්තයන් විසින් තිරුක්කෝවිල් කැලෑවට ගෙන ගොස් ඝාතනය කළ පොලිස් භටයන් වෙනුවෙන් මේ දක්වාම පරීක්‍ෂණයක් කිරීමට කිසිදු රජයක් ක‍්‍රියා කළේ නැත.  මෙම සමූල ඝාතනයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරියකු වූ විශ්වන්ට බි‍්‍රතාන්‍යයේ දේශපාලන රැකවරණ ලැබී තිබේ.  ඔහු නැගෙනහිර කොටි හමුදා නායකයන් වූ රාම් සහ නගුලන්ගේ ප‍්‍රධානතම සගයායි.  රාම් සහ නගුලන් අදටත් සුවසේ ජීවත්වන අතර ත‍්‍රස්ත මර්දන ඒකකය මොවුන්ගෙන් ප‍්‍රශ්න කර නැත.

එහෙත් පොලිස් භටයන් ඝාතනය වීමේ සිද්ධිය යුද අපරාධයක් යැයි දක්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළේ විශේෂ කාර්ය බළකායේ හිටපු නිලධාරියකු වූ ජනිත් විමල පමණි. ඔහු පසුගිය වසරේ මෙරටට පැමිණ පොලිස් භටයන් ඝාතනය වූ රූපස්කුලම්හි ඝාතන භූමියට ගියේය. එම ඝාතන භූමියේ ස්මාරකයක් ඉදිකිරීමට ජනිත් විමල සැලසුම් කළත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එහි ස්මාරකයක් ගොඩන`ගන බව පවසනු ලැබීය.
එම ස්මාරකය අද වනතුරු ඉදිවූයේ නැත.

මේ අතර රජය විජයග‍්‍රහණ දිනය සමරන අවස්ථාවේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලෙයි අන්තර්ජාලය ඔස්සේ කොටි සමරු උත්සවයකට සහභාගී විය. දකුණු අප‍්‍රිකානු තමිල් සංගම් කොටි හිතවාදී සංවිධානය මෙහෙය වූ කළ මේ සමරුවට නවි පිල්ලෙයි පැමිණ සිටියේ කොටි ධජයේ වර්ණවලින් යුත් සාරියකින් එම අවස්ථාවට  නැගෙනහිර කොටි හමුදානායකයාව සිටි රමේෂ්ගේ බිරිය වත්සලා දේවිද පැමිණ සිටියාය.

කීර්ති වර්ණකුලසූරිය

දිවයින ඉරිදා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More