ජිනීවා යෝජනාවලිය අනුව යමින් වසර 3ක් තුළ අපේ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමට උවමනා යාන්ත්‍රණය මේ වන විට මේ ආණ්ඩුව විසින් සාදා දී අවසන් යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
අද(25) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
“අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය බාර දී දින කිහිපයක් ඇතුළත අපට පෙනෙනවා, ගිලෙන නැවෙන් මීයන් පැන දුවනවා වගේ අගමැතිවරයා අවට සිටි පිරිස් ඉතා වේගයෙන් ඔහුගෙන් ඉවත් වන ආකාරය. එක්සත් ජාතික පක්ෂය තුළ මෙන්ම ආණ්ඩුව තුළත් මේ විශ්වාසභංගය නිසා දැවැන්ත පිපිරීමක් සිදුවීමේ ලකුණු දැක ගත හැකියි.
‘බල සුබ නිමිති’
පැරණි කියමනක් තිබෙනවා, ‘බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩී’ කියා. ඒ වගේ අප්‍රේල් 4 වැනිදා විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර සිටම සුබ නිමිති දැක ගත හැකියි. මේ ආණ්ඩුවේ වසර තුනක අස්වැන්නට නියම පිළිතුරු ලැබෙන දිනය අප්‍රේල් 4 වැනිදා බව පෙනෙන්නට තිබෙනවා. මහ බැංකු මහා මංකොල්ලයට තමන්ගේ හෘද සාක්ෂියට අනුව විරුද්ධ එහෙත් මෙතෙක් කලක් එය එළිපිට ප්‍රකාශ නොකළ එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයේ දී ඡන්දය පාවිච්චි කරලා තමන්ගේ සුජාතභාවය මේ රටේ ජනතාවට පෙන්වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. විශ්වාසභංගයේ සඳහන් එක කරුණක් තමයි ‘තෙල්දෙණිය සිදුවීමේ දී නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පොලිසිය නිසි පරිදි යෙදවීමට අසමත් වීමෙන් ගැටුම්කාරී තත්ත්වය තීව්‍ර වුණා’ කියන එක. ඒ චෝදනාව ආණ්ඩුව තුළ සිටින මුස්ලිම් මැතිඇමතිවරුන්ගේ ඒ දිනවල ප්‍රසිද්ධියේ එල්ල වුණා.
ඒ නිසා ඒ කරුණු පදනම් කර ගනිමින් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට මේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේ දී ඊට පක්ෂව ඡන්දය ලබා දීමේ අවස්ථාව දැන් ලැබී තිබෙනවා. ‘සල්ලි මලු සමග සිට ගෙන මේ විශ්වාසභංගයට විරුද්ධ වෙනවා ද? රටේම විශ්වාසය භංගය වී ඇති මේ අගමැතිවරයාට එරෙහිව ඡන්දය දීලා ජනතාව සමඟ සිට ගන්නවා ද?’ කියන තීන්දු දෙකෙන් එකක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාට අප්‍රේල් හතරවැනිදා ගැනීමට ඉතිරි වී ඇත්තේ.
‘මානව හිමිකම් මුවාවෙන් බෙදුම්වාදය’
පසුගිය සතියේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිස්හත් වැනි සැසි වාරය අවසන් වූවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාකලාපය ඉතාමත් සෝචනීයයි. ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් සෑදීම සඳහා වූ බටහිර බලවතුන්ගේ ක්‍රියාමාර්ග 2009 මැයි 19 වැනිදා නතර වුණා. ඒ අපේ රණවිරුවන් වෙනම රාජ්‍යයක් සෑදීම වෙනුවෙන් බටහිර බලවතුන් යොදවා සිටි ඔවුන්ගේ සුරතලුන් හෙවත් කොටි ත්‍රස්තවාදීන් සහමුලින්ම පරදවා දැමීම නිසායි. ඉන්පසුව බටහිර බලවතුන් ශ්‍රී ලංකාව තුළ තම බෙදුම්වාදි න්‍යාය පත්‍රය දියත් කිරීම සඳහා යොදා ගත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයයි.
ජිනීවා යෝජනාවලට මහින්ද මුහුණ දුන් විදිය
ඒ අනුව පළමුවෙන් යුද්ධයේ නිමාවත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට මහලේකම් බැන්කි මූන් මහතා ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවී ඇත්දැයි බැලීමට ‘දරුස්මාන් කමිටුව’ පත් කළා. ඒ ගැන ප්‍රශ්න කළාම එදා කීවේ එමගින් තමන්ට උපදෙස් ලබා දීම පමණයි සිදු කරන්නේ කියා. නමුත් ඒ දරුස්මාන් කමිටුව ලබා දුන් වාර්තාවෙහි සඳහන් වුණා, ‘ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා උතුරේ සිවිල් ජනතාව හතළිස්දාහක් ඝාතනය කර ඇත’ කියා. මේ වාර්තාව පදනම් කර ගනිමින් පසුව චැනල් ෆෝ නාලිකාව චිත්‍රපට්යක් පවා කළා.
මේ විදියේ අසත්‍ය වාර්තා චිත්‍රපට ප්‍රචාරය වන අතර තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඒවා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා දිගින් දිගටම ගෙන ඒමට පටන් ගත්තේ. නමුත් කවර අඩුපාඩු මධ්‍යයේ වුව ද මහින්ද රාජපක්ෂ පාලනය ඒවාට සාර්ථකව මුහුණ දුන්නා. ‘උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමක්’ පිහිටුවා ලොව වටා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීමට තිබෙන ඉඩකඩ නතර කළා. රුසියාව, චීනය, පකිස්ථානය වැනි ජාත්‍යන්තර මිතුරන් සමග එක්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවන් කළමනාකරණය කර ගැනීමට කටයුතු කළා.
‘රණවිරු දඩයමට අවශ්‍ය යාන්ත්‍රණය සාදා අවසන්’
නමුත් මහින්ද රාජපක්ෂ පාලනය ගෙදර යවා බලයට ආපු ආණ්ඩුවේ විදේශ ඇමැති ‘ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කර ඇත. ඒ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතුව ඇත’ කියන පදනමේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය හා බි්‍රතාන්‍යය එක්ව ඉදිරිපත් කළ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වුණා. එසේ සම අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වීමේ ප්‍රතිඵල තමයි අද අපට එකිනෙක දැක ගැනීමට ලැබෙන්නේ. මේ වන විට ‘අතුරුදහන් කිරීම’ යන යුද අපරාධය අපේ ආරක්ෂක හමුදා විසින් සිදු කළ බව තහවුරු කිරීමට බොරු චෝදනා නිපදවන ‘චෝදනා ෆැක්ටරියක්’ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය නමින් කොළඹ පිහිටුවා අවසන්. එයට කොමසාරිස්වරුන් ලෙස කොටි හිතවාදීන් පත්කර අවසන්. දැන් විද්‍යුත් තැපෑලෙන්, කොටි ත්‍රස්තවාදීන් අතුරුදහන් බවට ඔවුන්ගේ ඥාතීන් එවන පැමිණිලි අනුව අපේ රණවිරුවන් දඩයම් කිරීම මේ අර්ධ අධිකරණ බලයක් ඇති අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් අරඹා තිබෙනවා.
‘තමන් විසින්ම තම බෙල්ලට තොණ්ඩුව දමා ගැනීම’
මේ කාර්යාලයෙන් අපේ රණවිරුවන්ට එරෙහිව සකසන චෝදනා විභාග කිරීමට දේශීය යුද අපරාධ අධිකරණයක් හදන්නත් විදේශ රටවල දී ඒ චෝදනා අනුව නඩු අසන්නත් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැන් සකසා අවසන්. ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පනත් කෙටුම්පත’ සම්මත කර ගැනීමෙන් මේ ආණ්ඩුව මේ බටහිර බලවතුන්ට උවමනා දේ ඉටුකර දුන්නා. ශ්‍රී ලංකාව තමන් විසින්ම තම බෙල්ලට තොණ්ඩුව දමා ගෙන තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ගියත් ඊට විරුද්ධ වීමට නිශේධ බලය ඇති අපේ මිතුරු රටවල් වන චීනය සහ රුසියාවට බැහැ.
ජිනීවා යෝජනාවන් අනුව බටහිර බලවතුන්ගේ සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් සියල්ල ඉටු කර දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා. ඒ බවට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා රජයේ නිත්‍ය නියෝජිත රවිනාථ අරියසිංහ මෙවර සැසියේ දී යළි යළිත් පොරොන්දු වූවා. ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකා එක්සත් ජනපද යෝජනාවලිය එන්නේ ‘ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු කර ඇත’ කියන පදනමේ සිටයි. ඊට අදාළ පරීක්ෂණයක් තමයි ඒ යෝජනාවලියෙන් සිදු කරන්නේ. එහෙමනම් ඊට සම අනුග්‍රහය දක්වන මේ ආණ්ඩුව ‘ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කර ඇත’ යන්න ඔප්පු කිරීමටයි අද කටයුතු කරමින් සිටින්නේ.”
මෙම මාධ්‍ය හමුවට බොරැලැස්ගමුව නගර සභාවේ මන්ත්‍රී ජගත් කිත්සිරි මහතා ද එක්ව සිටියේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...