පුරවැසි කොලම

ජෝර්ජ් ෆොලොයිඩ් නම් කළු ජාතිකයාව ගෙල සිරකර මරාදැමු එක් උන්මත්තක පොලිස් නිලධාරියෙකු නිසා ලොව බලවත්ම රටේ රාජ්‍ය නායකයා ලෙස සැලකෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ට භූගත බංකරයකට පසුබසින්නට සිදුවීම දෛවයේ සරදමකි. ලෝකයා හමුවේ කෙතරම් “ගණන්කාරයෙකු” වුවත් ජනතාව පොළු – මුගුරු අතට ගත් විට සිදුවන්නේ කුමක්දැයි සලකා බැලීම සඳහා මීට වඩා නිදසුන් අනවශ්‍ය බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පහරදීම සඳහා ගල් මුගුරු එසැවෙන්නේ, ඔල්වරසන් දිම සඳහා පෙරදිනයක එසැවුනු අත්වලින් ම බව තේරුම් ගැනීමට පුරවැසියෙකු සතු සරල සාමන්‍ය දැනීම පමණක් ම සෑහේ.

මේ රජය බලයට පත්වී සිදුකල “හොඳ වැඩ” ලැයිස්තුවක් පසුගියදා එලිදැක්වුනු අතර එහි සඳහන් වූ එක් කාරණයක් වූයේ ගල්-වැලි ප්‍රවාහනය සඳහා ලබාගත යුතුව තිබූ බලපත්‍ර අවශ්‍යතාව ඉවත්කිරීමයි. පරිසර සම්පත් සුරක්ෂිතතාව පිළිබඳ තිබුනාටත් වඩා අවධානය යොමුකල යුතුව තිබූ කාලයක මේ ලිහිල් කිරීමේ අවදානම හෝ එසේ කිරීමේ ප්‍රායෝගික අවශ්‍යතාව කුමක්වුවත් එයට “හොඳ” වැඩක් ලෙස ප්‍රචාරයක් ලබාදීම ජනතාව ගොනාට ඇන්දවීමේ මාධ්‍ය ක්‍රියාවලියේ පහත් ක්‍රියාකාරීකමකි. මෙම “හොඳ” වැඩය ඊයේ සිට නවතාදමා ඇති අතර නැවතත් අර බලපත්‍ර ලබාදීමේ ක්‍රමය – “නරක වැඩය” ක්‍රියාත්මක කර ඇත. මෙම ක්‍රියාවලිය සාධාරණිකරනයේ ලා කුමන ප්‍රචාරක වැඩපිළිවෙලක් සිදුකලත් ඇතැම් බලධාරීන්, නිලධාරීන් සහ මාධ්‍ය ප්‍රධානීන්, සමස්ත ලාංකීය ජනතාව ගොනුන් – මීහරකුන් සේ සලකා ක්‍රියාකරන බව රහසක් නොවේ.

ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නායකත්වය කෙතරම් වෙහෙසක් ගතත් ඒ සඳහා අනිවාර්ය සහයෝගය ලබාදිය යුතු නීතිය සුරකින ආයතන කෙතරම් අකාර්යක්ෂම දැයි පෙන්වාදීමට කොරෝනා කාලයේ මා මුහුණදුන් පෞද්ගලික අත්දැකීමක් මෙහි සටහන් කරමි. කොරෝනා ඇඳිරි නීති සමයේ මාගේ දෙමාපියන් නිවසේ නොසිටි රාත්‍රියක නිවසේ දොරවල් කඩා, දැඩි අලාභහානි සිදුකර එහි තිබූ ස්වර්ණාභරණ, පරිගණක සහ මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් මත්ලෝලී මංකොල්ලකරුවන් විසින් රැගෙන යන ලදී. එය මාගේ පියා විසින් පොලිසියට පැමිණිලි කල අවස්ථාවේ පොලිසිය පවසා ඇත්තේ පැමිණිලි සටහන් කිරීම අනවශ්‍යබවත් ඔවුන් ඒ පිළිබඳව සොයාබලා කටයුතු කරන බවත් ය. සති කිහිපයකට පසුව දෙවන වතාවටත් එම නිවස කඩා බිඳ ඇතුළු වී සියළුම අලිමාරි, යකඩ කබඩ් දොරවල් කඩා ඉමහත් විනාශයක් සිදුකර තිබිනි. මේ අවස්ථා දෙකේම පොලිස් නිලධාරියෙකු පැමිණ සිදුවීම නිරීක්ෂණය කර ඇත. මේ සොරකම කිරීම සඳහා හොරුන් ඉඩමට ඇතුළුවන අවස්ථාව සහ හොර බඩු රැගෙන අවස්ථාව පිළිබඳ එම දෙවතාවේම පටිගත වූ සීසීටීවී කැමරා දර්ශන පොලිසියට බාරදුන් අතර එම මංකොල්ලකරුවන් පැහැදිලිව ම හඳුනාගෙන ඇත.

කැළණිය පොලිසිය ඇත්තේ මගේ දෙමාපියන්නේ නිවසට මීටර 150 ක පමණ දුරකිනි. මත්ද්‍රව්‍ය භාවිතකරන අදාල මංකොල්ලකරුවන් පදිංචිව සිටින්නේ එම පොලිස් ස්ථානයේ සිට මීටර 100 ක පමණ දුරකිනි. පුරා මසක් ගතවී මා මේ ලිපිය ලියන මොහොත වනතුරු අදටත් මේ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැති අතර සමහරවිට අද රාත්‍රියේත් එම අපරාධකරුවන් පොලිස් ස්ථානය ආසන්නයේ ම කිසියම් නිවසක් මංකොල්ල කමින් හෝ අපරාධයක් කරමින් සිටිනවා විය හැකිය.

දැන් සිදුකිරීමට ඉතිරිව ඇති එකම දෙය වන්නේ අදාල සීසීටීවී දර්ශනවල හොඳින් හඳුනාගත හැකි පොලිසියට අතේ දුරින් වාසය කරන එම මත්ද්‍රව්‍ය ලෝලීන් බෙල්ලෙන් අල්ලාගෙන අවුත් කැළණිය පොලීසියට බාරදී, රුපියල් ලක්ෂ ගණනක් වටිනා සොරබඩු බාරදුන්නේ කාටදැයි හොරුන්ගෙන්ම අසා ඒවාද සොයාගෙන අවුත් නැවත පොලීසියට බාරදී අයිතිය තහවුරු කර රැගෙන යාම පමණි.

රිය අනතුරක සාක්ෂි චේතාන්විතව වසන්කිරීමේ චෝදනාව මත වැලිකඩ පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෙරෙනු නියෝගයක් ද මොහොතකට පෙර ජාතික සහ ජාත්‍යාන්තර ජනමාධ්‍ය මගින් ද වාර්තා කෙරුනි. මෙම අනතුරේ සීසීටීවී දර්ශන මැකී ඇතිබව අදාල නඩුවේදී පොලිසිය විසින් අධිකරණයට දැනුම්දෙන ලදී. ශ්‍රී ලංකා පොලීසියට වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ක්‍රියාත්මක වන පොලිස් සීසීටීවී කොට්ඨාශයක් ඇති බව මහජනතාව නොදන්නවා විය හැකිය. හරි නම් මෙම සීසීටීවී දර්ශන මැකීමට වගකිවයුතු තැනැත්තා සෙවීම සඳහා වෙනම පරීක්ෂණයක් සිදුකර ඔහු නීතිය හමුවට රැගෙන ආ යුතු ය. මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් සේවාව පිහිටුවා ඇති අතර බල්ලන් ගේ වැඩය කිරීම සඳහා පොලිස් සුනඛ කොට්ඨාශයක් වෙනම පිහිටුවා ඇති බව සියළුම උසස් පොලිස් නිලධාරීන් වෙත ගෞරවයෙන් මතක්කර සිටිමි.

එය එසේ වෙතත් සිය රාජකාරිය දේවකාරියක් සේ ඉටුකරන සමහර පොලිස් නිලධාරීන් (මගේ මුහුණුපොතේ පවා) සිටින බව ද ඔවුනට ගරු කිරීමක් ලෙස ලියා තබමි.

“තෙරපීම” වැඩිවන කිසියම් නිශ්චිත අවස්ථාවකදී නියතවම “පිපිරීම” සිදුවේ. මහජන පීඩනය මැනීමේ දර්ශකයන් අවබෝධකර ගැනීම සහ එහි නිවැරදි මානයන් කියවීම ප්‍රගුණ කල යුතු කලාවකි. එය ඉගෙනීම සඳහා දේශපාලකයන්, පරිපාලකයන් හා විශේෂයෙන් ම සාමය ආරක්ෂා කිරීමට බැඳි සිටින අයවළුන් පියවර ගත යුතුය.

සුවහසක් නීතිගරුකු පොලිස් නිලධාරීන් අතර සිටි එක් සුනඛයෙකු නිසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මොහොතේ ධවල මන්දිරයේ භූගත බංකරයක අසරණව සිටී. මුළු වෙඩි බෙහෙත් ගබඩාවකට ම අසුරු සැනින් වගකීමට එක ගිනිකූරකට හැකි බව ඉතිහාසය අපට උගන්වා ඇත.

මහත්වරුනි… ඒ ගිනිකූර නිවා දමන්න…!

චන්දන සේසත් ජයකොඩි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More