පාස්කු ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරයට දින දෙකකට පෙර එනම් මහ සිකුරාදා දිනයේද සියොන් දේවස්ථානයට ගොස් ඇති බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණි.
සියෝන් දේවස්ථානය භාර දේවගැතිවරුන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේ මේ බව අනාවරණය වු අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරය එල්ල කිරීමට පෙරද එම ප්‍රහාරකයා තමන් හමු වූ නමුත් ඔහු බෝම්බකරුවකු යැයි හඳුනාගැනීමට තමන්ට නොහැකි වු බවයි.
එසේම ඊයේ සාක්ෂි දුන් අවස්ථාවේ සියොන් දේවස්ථානයේ දේවගැතිවරු කොමිසම හමුවේ හඬාවැටුණි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ දින පළමුව සාක්ෂි ලබාදුන්නේ මඩකලපුව සියොන් දේවස්ථානයේ ගනේෂමූර්ති තිරුකුමාර් දේවගැතිවරයායි.
එහිදි කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් දේවගැතිවරයා සඳහන් කළේ ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින උදෑසන මින් පෙර තමන් නොදුටු පුද්ගලයෙකු දේවස්ථානය අසල සිටිනු නිරීක්ෂණය කළ බවයි.
පසුව අදාළ තැනැත්තාගෙන් කළ විමසීමේදි ඔහු තමන්ව උමර් ලෙස හදුන්වාදුන් අතර දේවස්ථානය නැරඹිම සඳහා එහි පැමිණි බව සඳහන් කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේය.
කෙසේ වෙතත් දේවස්ථානය ඇතුළතට යෑමට කළ ආරාධනය ඔහු ප්‍රතික්ෂේප කළ අතර තම මවට අසනිප තත්ත්වයක් ඇති බැවින් දේව අශිර්වාදයක් කර ගැනීමට අවැසි බවත් සදහන් කළේ යැයි දේවගැතිවරයා පැවසුවා.
මෙහිදි කොමිසම දේවගැතිවරයාගෙන් විමසා සිටියේ අදාළ සංවාදය කුමන භාෂාවෙන් සිදුවුයේද යන්නයි.
සංවාදය දමිළ බසින් සිදුවු අතර ඔහු සිය මවට ‘‘උම්මා‘‘ යනුවෙන් ආමන්න්‍රණය කල නිසා අදාල පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් යැයි තමන්ට හැඟී ගිය බව දේවගැතිවරයා පැවසුවේය.
අදාළ පුද්ගලයා ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ සිට පැමිණියේ යැයි ඔහු තමන්ට පැවසු බවත් එම තැනැත්තා රෝස පැහැති ටී ෂර්ටයක් ඇඳ සපත්තු පැලඳ විශාල බෑගයක් පිට එල්ලාගෙන තොප්පිය පපුවට තදකරගෙන සිටි අතර ඒ තුළද කුඩා බෑගයක් තිබු බව සාක්ෂිකරු සඳහන් කළේය.
පසුව එම තැනැත්තාව දේවස්ථානයේ කටයුතු කළ ස්ටැන්ලි නම් දේවගැතිවරයාට මුණගස්වා තොරතුරු ලබාගන්න යනුවෙන් ප්‍රකාශ කර තමන් දේවස්ථානයෙන් පිටව ගිය බවයි දේවගැතිවරයා පැවසුවේ.
කෙසේ වෙතත් තමන් දෙවස්ථානයෙන් පිටත්ව කිලෝමිටර් 5 කට ආසන්න දුරක් යන විට දේවස්ථානයේ කලබලයක් ඇති වී තිබෙන බව දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණේ යැයි දෙවගැතිවරයා ප්‍රකාශ කළේය.
ඇමතුම ලද සැනින් යළි දේවස්ථානයට පැමිණි තමන්ට ස්ටැන්ලි දේවගැතිවරයාව මුණ ගැසුණු අතර ඔහු හඩමින් ‘‘ අර මනුස්සයා තමයි මොනවහරි කළේ “ යැයි පැවසූ බවද හෙතෙම පැවසුවේය.
මෙහිදි වඩාත් සංවේදි වෙමින් දේවගැතිවරයා සඳහන් කළේ බෝම්බ ප්‍රහාරයෙන් තම 12 හැවිරිදි කුඩා පුත්‍රයාද ජීවිතාක්ෂයට පත් වූ බවයි.
පුතු මියගිය බව දැනගන්නා විට එදින ප.ව 6.00 පමණ වි තිබු අතර හඳුනාගැනීමට පවා නොහැකි වන සේ විකෘති වී තිබු කුඩා පුතුගේ සිරුර හඳුනා ගැනීමට හැකි වුයේ එදින දේව මෙහෙයේදි ඇඳිමට තමන් පුතුට මිලදී ගෙන දුන් නවතම කමිසයේ රෙදි කැබැල්ලක් මෘත ශරීරයේ ඇලී තිබීමෙන් බව කී දේවගැති ගනේෂමූර්ති තිරුකුමාර් කොමිසම හමුවේ හඬා වැටුණි.
ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් නාගයියා ස්ටැන්ලි දේවගැතිවරයාද සඳහන් කළේ තමන්ද උමර් නැමැත්තාට දේවස්ථානය ඇතුළතට පැමිණෙන ලෙස සඳහන් කළද තමන්ට දුරකථන ඇමතුමක් ලැබීමට නියමිත යැයි පවසමින් ඔහු එම ආරාධනය ප්‍රතික්ෂේප කළ බවයි.
කෙසේ වෙතත් එම පුද්ගලයාට තිබුනේ අයි.එස්.අයි.එස් සංවිධානයේ සමාජිකයෙකුගේ පෙනුම යැයි තමන්ට සැක මතුවු බවද සාක්ෂිකරු පැවසුවේය.
එසේම එම පුද්ගලයා පිළිබඳව දේවස්ථානයේ සේවය කළ යොගනාදන් නැමැත්තාට පැවසු විට යොගනාදන් ඊට දින දෙකකට පෙර එනම් මහ සිකුරාදා දිනයේ මෙම තැනැත්තා සියෝන් දේවස්ථානය අසල සිටිනු දුටුවේ යැයි පැවසූ බවද ස්ටැන්ලි දේවගැතිවරයා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළේය.
අනතුරුව ආගන්තුක පුද්ගලයා ගැන සොය බැලීමට දේවස්ථානයේ සිටි තම හිතවතුන් දෙදෙනෙකු යොමු කළ බවත් , ඔවුන් එම තැනැත්තා සමඟ යම් මතභේදාත්මක අදහස් හුවමාරුවක නිරත වූ අවස්ථාවේ එකවරම විශාල පිපිරුම් හඩක් ඇසුනු බවත් හෙතෙම පැවසුවේය.
ප්‍රහාරය සිදුවු අවස්ථාවේදිම තමන් දෙවස්ථානය තුළට ගිය අතර සෑම තැනම විසිරී තිබු කුඩා දරුවන්ගේ අප්‍රාණික සිරුරු තම ජීවිතයේ දුටු ඛේදනියම දර්ශනය බව කී ස්ටැන්ලි දේවගැතිවරයාද ජනාධිපති කොමිසම හමුවේ හඩාවැටුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...