පුරවැසි කොලම

ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මහා මඩ ව්‍යාපාරයක් පිළිබඳව අඳෝනාවක් පහුගිය දිනවල ජව්පෙ නායකයන්ගෙන් අසන්නට ලැබුණි. එහි නායකයන් කියන තරම් ජවිපේ අහිංසක සහා නිර්ව්‍යාජ දේශපාලන ව්‍යාපාරයක් ද?

පසුගිය කාලය තුල ලාංකීය දේශපාලනය තුල හරවත් සංවාදයක් සඳහා පැවති පුංචි හෝ ඉඩකඩ කුණු කර දැමුවේ ජව්පේ විසිනි. මතවාද සංවාද වෙනුවට අවලාද සහ ඕපාදූප කෙබ්බ ජව්පේ දේශපාලන භාවිතාව බවට පත්විය. අනුර කුමාරගේ අංග චලනය කෙබ්බ මුද්‍රාව ලෙස සන්නාම ගතවන තරමට ජව්පේ බොරුව තම ජීවිකාව කර ගත්හ. දේශපාලන චරිත වලට කතන්දර හදමින් ව්‍යාජ සංඛ්‍යා ලේකණ මගින් ඔවුන් වපුරන ලද බොරුව විසින්ම අද ඔවුන් ගිලගෙන තිබේ. ජවිපෙට එරෙහිවන අනෙක් ඕනෑම පුද්ගලයකු වහලකු ලෙස හෙළා දකින මානසික ප්‍රචන්ඩත්වය 88 ,89 යුගයේ සන්නද්ධ ප්‍රචණ්ඩත්වයට නොදෙවෙනි වේ. නායකයන් විසින ගොඩ නගන ලද බොරු ,පාක්ෂිකයන් විසින් තලු මරමින් රස විඳින කුජීතයන්ගේ එකමුතුව බවට ජව්පේ පත්ව තිබේ. අනෙක් අතට ජව්පේ විසින් කොටියා එන බව කියමින් මුලා කිරිම මත , අද ඔවුන් විසින් කියනු ලබන කිසිදු දෙයක් නොපිළිගන්නා තත්වයට ජනතාව පත්ව ඇත.

රටේ ප්‍රතිපත්ති තීරණය කිරිමට , මාධ්‍ය තුල මේ සා බේගල් ඇද බෑමට ජවිපෙට අයිතියක් ඇද්ද? පසුගිය කාලයේදි මැතිවරණ වලින් පරාජයට පත්වු සමහර දේශපාලන චරිත , දේශපාලනයෙන් සමුගත යුතුයැයි ජව්පේ අභියෝග කරන ලදි. 1969 වසරෙ සිට 50 වසරක දේශපාලනයෙන් ලැබු ජයග්‍රහණයක් නැති, ජවිපෙ සමස්තයක් වශයෙන් දේශපාලන වශයෙන් විසුරුවා හැරිය යුතුය. ඇත්ත වශයෙන් ජව්පේ විසින් හංගන ප්‍රධාන කාරණාවක් වන්නේ මේ වන විට කිසිදු නියෝජිත ආයතනයක නොසිටිය යුතු ව්‍යාපාරයක් ලෙස ජනතාව ජව්පේ ප්‍රතික්ෂේප කර ඇති බවයි. බොහෝ දෙනා විශ්ලේෂණය නොකරන 2018 පළාත් පාලන මැතිවරණයේදි ජවිපෙ විසින් ආසන 434 ක් දිනාගෙන තිබේ. ඉන් මැතිවරණ කොට්ඨාසයකට තරඟ වැදි ජයග්‍රහණය ලබා ඇත්තේ එක් අසුනක් පමණි. ඉතිරි මන්ත්‍රිධූර 433ක් ම ලබාගෙන ඇත්තේ ලැයිස්තුවේ බෝනස් එකට පින්සිදුවන්නය. 2020 දි ගමේ පාලනය ඉල්ලා සිටි ජව්පෙ, ලැයිස්තුව නිසා යම් තම් පණ නල රැකගෙන තිබේ. පළාත් පාලන මට්ටමේදිත් ලැයිස්තුවක් මත යැපෙන සුළු තරයකට රාජ්‍යයෙ ප්‍රතිපත්ති තීරණය කිරිමට ඉඩ හැරිම නකුට විසින් බල්ලා හැසිරවීම නොව මැක්කෙකුට බල්ලා හැසිරවීමට ඉඩ දීමකි.

88,89 යුගයේ මනුෂ්‍ය ජීවිතවල වටිනාකම බින්දුවට ඇද දමමින් එජාපය සමග එක්ව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරිමට ජව්පේ දැක්වු දායකත්වය ඓතිහාසිකය. ඔවුන්ගේ පාක්ෂිකයාට පුරුදු කරන ලද ගිරා පෝතක උත්තරය, විවේචකයන් තවමත් අසු අට කාලයට හිරවී සිටින බවයි. එදා මුලින්ම චන්දය දැමීමට යන දහ දෙනාගේ ඇඟිලි කපන බවට තර්ජන කරමින් ප්‍රචන්ඩකාරි ලෙස ප්‍රජාතන්ත්‍රවාදී උදුරා ගත් ජව්පේ අද ඉතාම ස්මාට් අකාරයට එයම කරමින් සිටියි. ජව්පේ විසින් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබු 20 වන සංශෝධන නඩුවේදිත් විජාතික බලවේග සමග ඔවුන්ගේ හැංගි හෝරා දේශපාලනයේ කූඨාප්‍රාප්තිය වු යහාපාලන රජයේ 19 සංශෝධන නඩුවේදිත් ඉතාම පැහැදිලිව , ජව්පේ විසින් ජනතාවගේ චන්ද අයිතිය උදුරා ගැනීමට විසින් දරන ලද වෑයම හඳුනාගෙන තිබේ. එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙන්නේ එම සංශෝධනය මගින් ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමට ජනතාවට ඇති සර්වජන චන්ද අයිතිය ඉවත් කිරිමට මෙම සංශෝධනයෙන් යෝජනා වන බවයි.

2018 ඔක්තෝම්බරයේ පවා සිදු වුයේ විධායකය සහා ව්‍යාවස්ථාදායකය අතර ගැටුමකින් රට අරාජික තත්වයකට පත්වීමයි. එයට පැවති හොඳම විසඳුම වුයේ පාර්ලීමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් මගින් නව ජනවරමකට ඉඩ සැලසීමයි. ජවිපේ විසින් රජය මැතිවරණයකට යෑම සම්පූර්ණයෙන් කඩා කප්පල් කරනු ලැබුයේ මැතිවරණයට හා චන්ද අයිතියට 88,89 දි තිබු භීතිකාව තවත් තහවුරු කිරිමෙනී.

යහපාලන ආණ්ඩුව බලයට පත් කිරිමට ජවිපේ විශාල කාර්‍යභාරයක් ඉටු කරන ලදි. එහෙත් ඒ වෙනුවෙන් පෙනි සිටීමට , එය තම පාක්ෂිකයා ඉදිරියේ සාධාරණිකරණය කර ගැනීමට ජවිපේ නායකයන්ට දේශපාලන පෞර්ෂයක් නොවීය. යහපාලන රජය බලයට පත් වු පසු ජව්පේ වියරු හැසිරීම සහ පළිගනීම සඳහා පැවති දෘඩතර ආශාව ජාතික විධායක සභාව නමින් චන්ද්‍රිකා කුමාරතුංග , මංගල සමරවීරලාගෙ සහයෙන් අටවා ගත් ව්‍යවස්ථා විරෝධි ව්‍යුහය භාවිත කරන ලදි. සාමාන්‍ය ජනතාවට පැමිණිල්ලක් කිරිමට අයිතියක් නොතිබු බරපතල මූල්‍ය අපරාධ විමර්ශන අංශයට (FCID) දෛනිකව බලපෑම් කල එවකට අරලිය ගහ මන්දිරයේ කීචන් කැබිනෙට්ටුවේ ප්‍රධාන චරිතයක් ජවිපෙ නියෝජනය කළහ. තමන්ගේම බලයක් නොලැබී , ජව්පේ ප්‍රදර්ශනය කල දේශපාලන උද්දච්චකම හා වියරුව කිසි දිනක ඔවුනට තනි බලයක් ලබා නොදියයුත්තේ ඇයි දැයි පැහැදිලි කරයි.

ජව්පෙට අනුබද්ධ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය කීර්ති විජයබාහුගේ එක් තුණ්ඩු කෑල්ලකින් රටම අක්‍රිය කිරිම භීෂණ සමයේ සාමාන්‍ය අත්දැකීමකි. පාර්ලීමේන්තුවේ තුණ්ඩු කැබලි වලින් හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් ඉවත් කිරිම මහින්ද ගේ ආණ්ඩුව ශිරාණි බන්ඩාරනායක ඉවත් කිරිමට එහා ගිය කලු පැල්ලමකි.

මහජනතාවගේ ඇස්වලට වැලි ගසා ජවිපෙ විසින් ප්‍රජාත්‍රන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව අමු අමුවේ මංකොල්ල කෑ අවස්ථාවක් ලෙස පළාත් සභා මැතිවරණ සංශෝධන කෙටුම්පත් දැක්වීය හැකිය. එය එක් පිටුවක ලියවුනු වගන්ති පහක කෙටි කෙටුම්පතකි. ඉන් වගන්ති දෙකක් කෙටුම්පත හඳුන්වාදීම සහා භාෂා ප්‍රමුඛතාව පිළිබඳව සඳහන් වන අතර කෙටුම්පතේ හරය වගන්ති තුනකට සීමා වී ඇත. කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුල් කර ගැසට් පත්‍රයේ පල කරන්නේ එම කෙටුම්පත පිළිබඳ මහජනයාට සංවාදයක් ඇති කිරිමටත් එහි ව්‍යවස්ථානූකුලබව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තුල ප්‍රශ්න කිරිමටත් අවස්ථාව ලබාදීමටයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නිර්දේශවලට පටහැනි මුල් කෙටුම්පතේ හරයට සපුරා පටහැනි පණතක් කාරක සභා අවස්ථාවේදි සම්මත කර නොගැනීම ලෝක පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. ඒ සම්ප්‍රදායට පයින් ගසමින් සිය අභිලාෂයන් කෙසේ හෝ මුදුන්පත් කරගනිමින් මුල් කෙටුම්පතට සම්පූර්ණ වෙනස් කෙටුම්පතක් සම්ම්ත කර ගැනුණි. අවසානයේදි 2017 අංක 17 දරණ පණතේ වගන්ති 27කි. පිටු 44 කි. එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසු ජව්පේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනුවෙන් පැවති ජනතා විශ්වාසයට එල්ල කලේ ඊට නොදෙවනි මරු පහරකි.

මේ අවස්ථාවේ මෙන්ම , 20 වන සංශෝධනය ගෙන ඒමෙන් ද ජව්පේ සුදානම් වුයේ දියාරු පාර්ලිමේන්තුවක බහුතරයේ අත් අඩංගුවට පත් විධායක අගමැතිවරයෙක් නිර්මාණය කර රට දේශපාලනික වශයෙන් අස්ථාවර සහා අරාජික තත්වයකට පත් කිරිමයි. ජාතික ප්‍රශ්නයට අපේ විසඳුම කෘතියේ රෝහණ විජේවීර ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත්තේ දෙමළ කොටි සංවිධානය ශ්‍රී ලංකාව දුර්වල කිරිම මගින් එහි අභ්‍යන්තරයට අත පෙවීම සඳහා යොදා ගනු ලබන ඉන්දියානු ව්‍යාප්තවාදයේ සහා ඇමරිකන් උවමනාවක ප්‍රතිපලයක් බවයි. අදවන විට ජව්පේ නිරතව සිටින්නේ විජේවීර පෙන්වා දුන් අස්ථාවර රාජ්‍යය නිර්මාණය කිරිමයි. අස්ථාවර රටක් පැවතීම ජවිපෙට දේශපාලන දුක සහ වෛරය විකිණීමට තෝතැත්නකි. එදා උනුත් එකයි මුනුත් එකයි කියු ජව්පේ අද තේමා පාඨය ” අස්ථාවර රටක්, ප්‍රශ්න ගොඩක්- ජව්පෙට තැනක්” බවට පත්ව ඇත.

මාක්ස්වාදය මතු පිටින් අතගාමින් ආගම අබින් යැයි කියමින් ලාංකිය සංස්කෘතියට වෛරය කිරිම ජවිපෙ භාවිතාවකි. විශ්ව විද්‍යාල තුල භික්ෂුව මහපාරේ උද්ඝෝෂණවලට ඇද දමමින් අනෙකුත් භික්ෂුන්ගේ සිල්වත්බව ප්‍රශ්න කරති. අලුත් පරපුර සහ මෙරට සංස්කෘතිය එහි අක්මුල් නොදැන හෑල්ලුවට ලක් කරන කලා කරුවන් සුළුතරයක් සමග අනාගාමික ඊනීයා විද්‍යාත්මක බූතවාදය පතුරවමින් සිටිති. උතුරු නැගෙනහිර වෙන් කිරිම වැනි ජාතිකවාදි ස්ථාවරයක සිටි ජවිපේ පහුගිය කාලය තුල තමන්ගේ පාර්ශව කරුවන් වු දෙමළ ජාතික සංවිධානයේ උසි ගැන්වීම් මගින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජාතික උරුමය වනසා දෑමීමට හෝ සිංහලයාට එරෙහිව කරන ලද වාර්ගික ශුද්ධකරණය පිළිබඳව කිසිදු හඬක් නොනගන ලදි.

මේ වන විට පාර්ලීමේන්තුවත්, මන්ත්‍රිවරු 225ත් පක්ෂ දේශපාලනයත් ජනතාව අතර බරපතල අප්‍රසාදයකට පත්ව තිබේ. එසේ වුවද අවම වශයෙන් ප්‍රධාන ධාරාවෙන් විතැන් වන චන්ද පදනම ආකර්ෂණය කර ගැනීමට නොහැකිවීම ජව්පේ උපාය මාර්ගික දුර්වලතාවකි. ඒ පිළිබඳව සාධනීය සංවාදයක් ගොඩ නැගිය යුත්තේ පාක්ෂිකයා සමග නොව , ජව්පේට ආකර්ෂණය නොවු චන්දදායකයා සමගයි. පාක්ෂිකයා පිනවන සුරංගනා කතාවල මුලාවීමෙන් එදා වේල පිනවා ගන්න පක්ෂයක් වීමෙන් විකල්ප බලවේගයක් ලෙස ජවිපෙන් රටට කළ හැකිව තිබු මෙහෙවර අහෝසි වී තිබේ.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
අරුණ 2020 මැයි 28.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More