පුරවැසි කොලම

දැනට දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මැලේරියා රෝගය මර්ධනයට භාවිත කෙරෙන ”හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්” නමැති ෙඖෂධය, කොවිඞ්-19 වෛරසය පාලනයට සුදුසු එන්නතක් ලෙස අත්හදා බැලීම තහනම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා තීරණය කළ බව වාර්තා වන්නේය. ප්ලැකනීල් නමැති වෙළඳ නාමයෙන් ප‍්‍රසිද්ධ මෙම ෙඖෂධය අතුරු ආබාධ රාශියක් ඇතිකරන බවත්, එහි සෞඛ්‍යාරක්‍ෂිතභාවය පිළිබඳව ගැටළු රාශියක් ඇති බවත් හෙළිවීමෙන් පසුව, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණයට එළැඹුණු බව වාර්තා වන්නේය. එහෙත් ඒ අතර, තමන් දිනපතා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඔසුව භාවිත කරන බවත්, ඒ නිසාම තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට හැකිවූ බවත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසන්නේය. එපමණක් නොව, කොවිඞ්-19 ආසාදිතයන්ට ප‍්‍රතිකාර කරන ඇමෙරිකානු වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු දිනපතා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් පෙත්තක් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේය.

එතෙකින් නොනැවතුණු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඇති සියලූ සබඳතා නවතා දැමීමට තීරණය කොට ඇති බවක්ද වාර්තා වන්නේය. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මූල්‍යාධාර නතර කිරීමට තීරණය කොට ඇති බවක්ද වාර්තා වන්නේය. ලෝ පුරා දරුණු ලෙස පැතිරුණු නව කොරෝනා වසංගතය මැඩලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත්වීම නිසාත්, එමෙන්ම මේ වන විට එම සංවිධානය මුළුමනින්ම පාහේ චීනයේ ආධිපත්‍යයට නතුව ඇති නිසාත් තමන් මෙවන් තීරණයකට එළැඹුණු බව ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේය. කොරෝනා වසංගතය මර්ධනය කිරීමෙහිලා තමන් වෙතින් පළවූ අසාර්ථකභාවය වෙනත් අයෙකු පිට පටවා ඇඟ බේරාගැනීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙර දරනා බවට බොහෝ දෙනෙකු චෝදනා කරන අතර, කොවිඞ්-19 වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය ආක‍්‍රමණය කළ දා සිටම ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අනුගමනය කළේ ඇඟ බේරාගැනීමේ ප‍්‍රතිපත්තියකි. විද්‍යා විරෝධී ප‍්‍රතිපත්තියකි.

කොවිඞ්-19 යනු අපට නිතර හමුවන සාමාන්‍ය වෛරසයක් වන බැවින් ඒ ගැන පමණට වඩා කලබල විය යුතු නැතැයි, ඩොනල්ඞ් ට‍්‍රම්ප් මුලින්ම පවසා සිටියේ පසුගිය පෙබරවාරි 26 දිනය. කොරෝනා වසංගතය පැවතියද, සුපුරුදු ලෙස දෛනික කටයුතුවල නිරත වන්නැයි ජනාධිපතිවරයා ඇමෙරිකානුවන්ට යෝජනා කළේ පසුගිය මාර්තු 10 දිනය. මැලේරියා නාශක ෙඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් කොවිඞ්-19 වෛරසය පාලනයට සාර්ථක ප‍්‍රතිකාරයක් බව ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ පසුගිය මාර්තු 19 දිනය. මෙයාකාරයට, කොරෝනා වසංගතය හමුවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිචාරය හා හැසිරීම සලකා බැලීමේදී පැහැදිලි වන වැදගත්ම සාධකය වන්නේ, ඔහු විසින් හිතාමතාම විද්‍යාඥයන්ගේ, වෛද්‍ය විශේෂඥයන්ගේ අවවාද-අනුශාසනා නොසලකා හරින බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හිතාමතාම නොසලකා හරින බවය.

විද්‍යාඥයන්ගේ නිර්දේශ නොසලකා හැරීම, විද්‍යාත්මක මතවාද ගණන් නොගැනීම වැනි ලක්‍ෂණ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වෙතින් දක්නට ලැබුණේ කොරෝනා වසංගතයට බොහෝ කාලයකට පෙර සිටය. ඔහු ජනාධිපති සටනට ඉදිරිපත් වූ දා සිටමය. පෘථිවියේ දේශගුණික විපර්යාසයන්හි බැ?රුම්කම, ඒ පිළිබඳව ඇති විද්‍යාත්මක සොයාගැනීම් පිළිනොගන්නා ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා, මෙය ව්‍යාජ රැුවටිල්ලක් යැයි පවසන්නේය. ජගත් දේශගුණික විපර්යාස යනු චීනය විසින් සෙසු ලෝකයා මත අටවන ලද උගුලක් යැයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේය.

එපමණක් නොව, ඇමෙරිකාවේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා රජය විසින් වෙන් කරනු ලබන මූල්‍ය ප‍්‍රතිපාදන කප්පාදු කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මුල සිටම උත්සාහ දැරුවේය. කොවිඞ්-19 වෛරසය දැඩි ලෙස ව්‍යාප්තවීමට පෙරාතුවම, ට‍්‍රම්ප් පරිපාලනය විසින් 2021 මූල්‍ය වර්ෂය සඳහා ඇස්තමේන්තු සකස් කරන ලද අතර, එහි විද්‍යාත්මක සහ සෞඛ්‍ය පර්යේෂණ සඳහා වෙන්කිරීමට යෝජිත මුදල් ප‍්‍රමාණයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන්නේය. ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ ජාතික විද්‍යා පදනම යන ආයතනවලට 2021 සඳහා වෙන්කිරීමට නියමිත මුදල, 2020 වසර හා සසඳන විට 7%ක අඩුවීමක් දක්නට ලැබෙන්නේය. මේ අන්දමට, විද්‍යාව හා තාක්‍ෂණය උදෙසා ඇමෙරිකානු රජය විසින් ලබාදෙන මූල්‍ය ප‍්‍රතිපාදන කප්පාදු කිරීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා මීට පෙරද උත්සාහ දැරුවද, කොංග‍්‍රස් මණ්ඩලයේ විරෝධය නිසා ට‍්‍රම්ප්ගේ අරමුණ අසාර්ථක වූයේය. මේ හැරුණු කොට, ජනාධිපති ධූරයට පත්වූ විගසම, ඩොනල්ඞ් ට‍්‍රම්ප් තවත් හපන්කමක් කළේය. එනම්, ඇමෙරිකානු ජාතික කවුන්සිලය යටතේ ක‍්‍රියාත්මක වූ ජාත්‍යන්තර සෞඛ්‍ය ආරක්‍ෂණ කාර්යාලය විසුරුවා හැරීමය. කොවිඞ්-19 වසංගතයට ඇමෙරිකා එක්සත් ජනපදය දැක්වූ ප‍්‍රතිචාරය දුර්වලවීමට, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම අ¥රදර්ශී තීරණයද සැලකිය යුතු බලපෑමක් ඇතිකළ බව ඇමෙරිකානු විශේෂඥයන් බොහොමයකගේ අදහස වන්නේය.

”සයන්ටිෆික් ඇමෙරිකන්” නමැති ජනප‍්‍රිය විද්‍යා සඟරාවේ කර්තෘ මණ්ඩලය විසින් පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී (2016 සැප්තැම්බරයේදී*, ”ඩොනල්ඞ් ට‍්‍රම්ප් විද්‍යාවට ගෞරව නොකිරීම අනතුරුදායකයි” යන මැයින් අපූරු ලිපියක් ප‍්‍රකාශයට පත්කොට තිබුණේය. එහි මෙවන් අපූරු කියමනක් සඳහන්ව තිබුණේය: ”ලෝකයේ සැබෑ ස්වරූපය ඇති සැටියෙන් පිළිගැනීමට, තේරුම් ගැනීමට සූදානම් ජාතියක් ලෙස ඇමෙරිකානුවෝ තමන් ගැන ආඩම්බර වෙති. යමෙකු කියන නිසා හෝ නැතිනම් යමෙකු විශ්වාස කරන නිසා ලෝකය ගැන යමක් පිළිගැනීමට ඇමෙරිකානුවෝ මැලි වෙති.” මින් කියැවෙන්නේ, ඇමෙරිකානු බහුතරය සාමාන්‍යයෙන්, විද්‍යාත්මක සාක්‍ෂිවලින් තොරව යමක් පිළිනොගන්නා බවය. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක‍්‍රියාත්මක වන ඊටම ආවේණික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම විද්‍යාත්මක මතවාදය බව සයන්ටිෆික් ඇමෙරිකන් සඟරාවේ කර්තෘ මණ්ඩලය තවදුරටත් අවධාරණය කරන්නේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝරන්ස් ලිවර්මෝර් විද්‍යාගාරයේ පරිසර විද්‍යාඥයෙකු වන බෙන්ජමින් සැන්ටර් විසින්, සයන්ටිෆික් ඇමෙරිකන් සඟරාවේ 2020 ජූනි කලාපයට තවත් අපූරු ලිපියක් ලියා තිබුණේය. පොදුවේ විද්‍යාව කෙරෙහිත්, විශේෂයෙන් විශේෂඥයන්ගේ නිර්දේශ කෙරෙහිත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා දක්වන නොසැලකිල්ල හේතුවෙන් සමස්ත ඇමෙරිකාවම ඉදිරියේදී අමාරුවේ වැටෙනා බව, ”වසංගත සමයේ විද්‍යාව නොසලකා හැරීම දුර්වල නායකත්වයේ ලක්‍ෂණයක්” නම්වූ එම ලිපියෙන් පරිසර විද්‍යාඥ බෙන්ජමින් සැන්ටර් පෙන්වා දෙන්නේය.

”අර්බුදකාරී අවස්ථාවන්හිදී, කොතෙක් කටුක වුවද, ජනතාව ඉදිරියේ සත්‍යයයම පමණක් ප‍්‍රකාශ කිරීම සැබෑ නායකයෙකුගේ ලක්‍ෂණයක් වන්නේය. තමන්ට විශේෂඥ දැනුමක් නැති ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් පණ්ඩිතයෙකු ලෙස පෙනීසිටීමට උත්සාහ නොකිරීම සැබෑ නායකයෙකුගේ ලක්‍ෂණයක් වන්නේය. පෞද්ගලිකව තමන් අතින් හෝ එසේත් නැතිනම් ආයතනික වශයෙන් හෝ සිදුවූ අතපසුවීම්, අඩුපාඩු පිළිබඳ වගකීම සෘජුව තමන් විසින් බාරගැනීම සැබෑ නායකයෙකුගේ ලක්‍ෂණයක් වන්නේය. එවන් වැරදි පිළිබඳ වගකීම අනුන් වෙත පටවා ඇඟ බේරාගැනීම සැබෑ නායකයෙකුගේ ලක්‍ෂණයක් නොවන්නේය. දරුණු වසංගත තත්ත්වයක් හමුවේ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව අවධානය යොමුකරනු වෙනුවට, ඊළඟ මැතිවරණය ජයගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමුකිරීම සැබෑ නායකයෙකුගේ ලක්‍ෂණයක් නොවන්නේය.” ‐ පරිසර විද්‍යාඥ බෙන්ජමින් සැන්ටර් සිය ලිපියෙන් තවදුරටත් පෙන්වා දෙන්නේය.

මෙහිලා, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ අනුගාමිකයන් විසින් හිතාමතාම අමතක කරනු ලබන තවත් වැදගත් කරුණක් වන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක බලවතෙකු බවට පත්වීමට බලපෑ ප‍්‍රධාන හේතුවක් වන්නේ නවීන විද්‍යාවෙන් සහ තාක්‍ෂණයෙන් එරට ලබාගත් සුවිශේෂී ජයග‍්‍රහණයන් බවය. විද්‍යාවේ සහ තාක්‍ෂණයේ ජයකෙහෙලි නංවන තරමට, එම ක්‍ෂේත‍්‍රයන් දියුණු වන තරමට, අදාළ රට සෙසු ලෝකයා අභිභවා ඉදිරියට ඇදෙන්නේය. සෙසු ලෝකයාට බලපෑම් කළ හැකි තරමේ ලෝක බලවතෙකු බවට පත්වන්නේය. ඇමෙරිකා එක්සත් ජනපදය අද සෙසු ලෝකයා අභිභවා ඉදිරියට පැමිණ සිටින්නේ විද්‍යාවේ සහ තාක්‍ෂණයේ දියුණුවට පින්සිඳු වන්නටය. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ විද්‍යා විරෝධය හේතුවෙන් මුළු ඇමෙරිකාවම පරිහානියට පත්වීමේ තර්ජනයක් එල්ල වී ඇතැයි, ඇමෙරිකානු විද්‍යාඥයින් විසින්ම අනතුරු අඟවන්නේ මෙම පසුබිම තුළය.

එපමණක් නොව, ලෝකයේ බලවත්ම රාජ්‍යයක නායකයා හැටියට, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා මෙයාකාරයට විද්‍යාඥයන්ගේ උපදේශ, නිර්දේශ තුට්ටුවකට මායිම් නොකිරීම, මුළු ලෝකයටම ලබාදෙන වැරදි ආදර්ශයක් වන්නේය. ලෝකයේ සෙසු රටවල රාජ්‍ය නායකයන්ද ඩොනල්ඞ් ට‍්‍රම්ප්ව අනුගමනය කරන්නට ගියහොත්, මුළු ලෝකයටම දෙයියන්ගේම පිහිටය.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More