පුරවැසි කොලම

පශ්චාත් කොවිඩ් ලෝකයෙහි සියලු රටවලට බලපාන ආර්ථික බලපෑමින් මිදෙන්නට අපට පමණක් හැකියාවක් නැත. ඇත්තවශයෙන්ම එය අප රටට බලපෑම් කරනු ඇත්තේ වඩා තීව්‍ර ලෙසය. මන්දයත් එහිදී දැනටමත් අප වැටී සිටින ආර්ථික අගාධයේ පළල සුළුපටු නැති නිසාය. එහිදී මූලික වශයෙන්ම මගේ අවධානය යොමු වන කලාපයක් වන්නේ අපේ ආනයන අපනයන ආර්ථිකයයි. අපේ අපනයන වෙළෙඳපොළ දැන් තිබෙන්නේ අපේ පාලනයේ නොවේ. විදේශ විනිමය උපයන පැත්ත විමසිල්ලෙන් බැලීමෙන් එය තව පැහැදිලි කළ හැකිය. විදේශ විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් නම් තේය. ඇඟලුම්ය. අනෙක විදේශ සේවා නියුක්තිකයෝය. සංචාරක කර්මාන්තයයි. ප්‍රධාන ක්‍ෂේත්‍ර හතර එයයි. තේ යනු කවර තත්ත්වයක් පැමිණියත් මිනිසුන් පානය නතර කරන්නක් නොවේ. අනෙක් අතට කොරෝනා නිසා සිදුවුණේ තේ පානය වැඩිවීමය. එහෙත් ඇඟලුම් ආදිය එසේ නොවේ.

ඇඳුම් මිලදීගැනීමට මිනිස්සු ප්‍රමුඛ තැනක් නොදෙති. අනෙක් අතට යුරෝපාකරයේ ගන්නා ප්‍රතිපත්ති තීන්දු ද එයට බලපානු ඇත. එනිසා ඇඟලුම් ආදිය තිබෙන්නේ අපේ පාලනයෙන් බැහැරවය. විදේශ ශ්‍රමිකයන් වැඩිපුරම සිටින්නේ මැදපෙරදිග දකුණු කොරියාව ආදී කලාපවලය. එම රටවල ආර්ථික කඩාවැටීම් සමඟ බොහෝවිට මේ මිනිසුන්ගේ සේවා අත්හිටුවීමේ අවදානමක් මතුවේ. එසේ වුවහොත් මැදපෙරදිග ශ්‍රමිකයන් ද පෙරළා ලංකාවට ගෙන්වාගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇත. සංචාරක කර්මාන්තය කොවිඩ් 19 සමඟ කොහොමටත් වැටී ඇත්තේ අවුලකටය. ගුවන් තොටුපොළ විවෘත කළ ද රටට පැමිණෙන සංචාරකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැනගැනීම සඳහා සහතික කරගැනීම් අවශ්‍ය වනු ඇත. එවැනි පියවර අනිවාර් යයෙන්ම සංචාරක පැමිණීමට බලපෑමක් කරනු ඇත. මෙසේ බලද්දී විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ග තුනක්ම ඇත්තේ අවදානම් අඩියකය.

මේ තත්ත්වය තුළ අපට ඇති විකල්පය කුමක්දැයි අප දැන්ම කල්පනා කළ යුතුය. මට පෙනෙන ආර්ථික භූ දර්ශනය අනුව නම් අප යොමුවිය යුත්තේ මෙසේ අවදානමට වැටෙන විදේශ විනිමය උපැයුම් මංවලින් අහිමි වන ඩොලර් පංගුව රට තුළම ඉතිරි කරගැනීමකටය. එය නොකොට ආර්ථික වෘද්ධි වේගය නමැති මිථ්‍යාව පසුපස දිවීමේ නම් තේරුමක් නැත. විදේශයක ආධිපත්‍යය යටතේ හෝ මිනිසුන් කා බී ජීවත්වීම කමකට නැතැයි සිතන අයට නම් මෙය ගැටලුවක් නැත. එසේ නම් ඊට ඇත්තේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇමෙරිකානු ව්‍යවස්ථාව වන්නේ යැයි කියා එක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පාලනයට යෑමය.

එහෙත් අපට අවශ්‍ය එය ද? නැත. අපට අවශ්‍ය ශ්‍රී ලංකාව ස්වෛරී රටක් හැටියට මේ රටේ අනාගත පරපුරට මේ රටේ සම්පත්වල භූමියේ ආර්ථිකයේ අයිතිය සුරක්ෂිත වන පරිදි තෘප්තිමත්ව ජීවත් වන ජනතාවකි. මෙහි මහා ලොකු අභ්‍යවකාශ විද්‍යාවක් නැත. අප සැමට අවශ්‍ය වන්නේ කා බී සාමයෙන් සංහිඳියාවෙන් ජීවත්වීමටය. අපට අවශ්‍ය එය නම් ආර්ථික වෘද්ධිය පසුපස මිරිඟුවක් පසුපස මෙන් දිවයාමේ තේරුමක් නැත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය ආනයනය එපා යැයි කීමක් මෙයින් අදහස් වන්නේ නැත. අනවශ්‍ය සුඛෝපභෝගී දේවල් ඕනෑම නැත. දෙවැනුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හැර කිසිවක් ආනයනය කළ යුතු නැත. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද ආනයනය කළයුත්තේ දේශීයව නිෂ්පාදනය කළ නොහැකි නම් පමණි. දේශීයව නිෂ්පාදනයේදී යම් මුදලක් වැඩිපුර ගෙවන්නට සිදු වේ නම් එය ගෙවීමට අප සූදානම් විය යුතුය. උදාහරණයකට රටින් ගෙන්වන භාණ්ඩයක් රුපියල් දහසකට මිලදී ගන්නා පාරිභෝගිකයාට දේශීය නිෂ්පාදනය සඳහා රුපියල් එක්දහස් දහයක් දුන්නාට කම් නැත. මන්දයත් ඒ වැඩිවන රුපියල් දහය දේශීය නිෂ්පාදකයාට ආදායමක් වන බැවිනි. විශේෂයෙන් ආහාර, එළවළු වැනි නිෂ්පාදනවලදී මේ මුදල් යන්නේ අපේ ග්‍රාමීය දුප්පත් ගොවීන්ට වන බැවිනි.

පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය හා මෝටරිත නොවන ප්‍රවර්ධනය ද මේ තේමාවේදී අපේ අවධානයට ලක්විය යුතුම කොටසකි. අදටත් මා බම්බලපිටියේ දුම්රිය පොළේ සිට කොළඹ විශ්ව විද්‍යාලයට යන්නේ විශ්ව විද්‍යාල සිසුවකුව සිටි අවදියේ මෙන්ම පයින් ඇවිදගෙනය. එහෙත් අද වනවිට අපේ වත්මන් තරුණ පරම්පරාවට මේ දුර බස් රථයක හෝ කුලී රථයකින් හැර පා ගමනින් යෑම දුෂ්කර වී ඇත. පා පැදියකින් කිලෝ මීටර පහක දුරක් යන්නට මිනිසුන්ට කිසිදු අපහසුවක් නැත. අපේ ඈත ගම් දනව් දෙස බැලුවහොත් එය අත්දුටු සත්‍යයකි. අදටත් මේ රටේ සිසු දරුවන් රැසක්ම පාසල් යන්නේ පාපැදියෙනි. චීනය මතු නොව නෙදර්ලන්තය, ස්වීඩනය වැනි පෙර අපර දෙදිගම භාවිත කරන සාර්ථක ප්‍රවාහන මාධ්‍යයක් බවට අද වනවිට පා පැදිය පත්ව තිබේ. එය සෞඛ්‍යයට පමණක් නොව තමන්ගේ පොකැට්ටුවට ද හොඳය. පරිසරයට හොඳය. මොන අතින් බැලුවත් රටකට හොඳය. ඉන්ධන සඳහා මෙරටින් විදේශවලට ගලා යන මුදල් කන්දරාව මෙවැනි ප්‍රවාහන මාධ්‍ය මගින් කොපමණ නම් වළක්වා ගත හැකිද? එනිසා කිලෝ මීටර් පහකට අඩු දුරක් සඳහා පාපැදියකින් හෝ පයින් හැර බස් රථවල හෝ මෝටර් රථවලින් යාම අධෛර්යමත් කළ යුතුය.

ඖෂධ යනු අපට නැතිවම බැරි දෙයකි. එහෙත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තිබෙන්නේ හැත්තෑ ගණනකි. මෙම බෙහෙත් වර්ග දේශීයව නිෂ්පාදනය කරගැනීමට අපට බැරි ඇයි? ආහාර ද එසේය. මගේ මතය නම් ආහාර නම් ආනයනය කිරීම කිසිසේත් අවශ්‍ය නැති බවය. ඇත්තෙන්ම මේ හාල් මිල පාලන පියවර කුමක් සඳහාද කියා මට නම් තේරෙන්නේ නැත. ගොවියා නඟාසිටුවීමට නම් ගොවියාට වැඩිපුර ආදායමක් ලැබිය යුතුය. වී වල මිල දෙගුණ වන තරමට හොඳ මේ රටටමය. මිල වැඩි කිරීමේ වාසිය යන්නේ ගොවියාට නම් හාල් මිල තරමක් වැඩිවීම ප්‍රශ්නයක් නොවේ. ඒ සඳහා කළයුත්තේ ආනයනික සහල්වලට බදු ගැසීමය. ජපානය කරන්නේ එයයි. ජපානයේ හාල් ආනයනය තහනම්ය. ආනයනය කරන්නේ නම් 300%ක පමණ සුවිශේෂී බද්දක් පනවයි. එයින් සිදුවන්නේ හාල් නිෂ්පාදනයට දිරි දීමය. පාන් පිටිවලට සහන දීමෙන් එය කළ හැකි නොවේ.

මිනිසුන් එවිට කරන්නේ බත් වෙනුවට පාන් කෑමය. ඉතින් කෙළින්ම කිව්වොත් පාන් ගෙඩිය මේ මිලට විකිණීමෙන් ශ්‍රී ලංකාව ගොඩදාන්නට බැරිය. මෙසේ මිල වැඩිවීම නිසා සමාජයේ දරිද්‍ර කොටස්වලට ප්‍රශ්න පැන නගින්නේ නම් ඒ පිරිසට සහනයක් දිය හැකිය. පාසලේ නිල ඇඳුමට කූපන් දිය හැකි නම් සහල්වලට කූපන් දිය නොහැක්කේ ඇයි? ඒ කූපනය රැගෙන වෙළෙඳසලට ගිය විට ඊට නොමිලේ සහල් දුන්නත් පාඩු නැත. දැන් අප කරන්නේ කුමක් ද? තරු පහේ හෝටල්වලින් දිවා ආහාරය ගන්නා ධනපතීන්ට ද සහල් විකුණන්නේ රුපියල් අනූ අටටය. බියර් බෝතලයක් ගන්නට සුපිරි වෙළෙඳසලට යන තැනැත්තන්ට සහල් විකුණන්නේ රුපියල් අනූ අටටය. අපරාධ යනු ඒවාය. ඉතින් දැන් අප කළයුත්තේ කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක් සකසාගැනීමය. ඒ හරහා අපට ආහාරයෙන් ස්වයංපෝෂිත විය හැකිය. අනිවාර්යයෙන්ම අපට නැගී සිටින්නට අවශ්‍ය නම් ස්වයංපෝෂිත තත්ත්වයට යෑම අත්‍යවශ්‍යය. වටේටම මුහුද ඇති මේ රටට මාළු ආනයනය කරන්නේ ඇයි? මේ සඳහා බලපා තිබෙන්නේ වෙළෙඳ ප්‍රතිපත්තියයි. අපට වෙළෙඳ ප්‍රතිපත්තිය සංශෝධනය කරගැනීමට බැරි නම් මා කියන කිසි දෙයක් ප්‍රායෝගික කරගන්නට නොහැකි වනු ඇත. ජාත්‍යන්තර තත්ත්ව නිසා ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්තියකට යන්නට අපට බැරි යැයි කවරකු හෝ කියන්නේ නම් මේ කියන දේවල් කරන්නට බැරි වනු ඇත. අප මොන කතා කීවත් ලෝකයේ දියුණුව අත්පත් කරගත් රටවල් නැගී සිටි රටවල් ඒ තත්ත්වයට පැමිණියේ ද එමගින් බව ද සත්‍යයකි.

ලංකාවේ කර්මාන්තකරුවා නඟාසිටුවීමට නම් පහසුවෙන් ඔහුට ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීමට මං තැනිය යුතුය. එහෙත් ලංකාවේදී ඒ වෙනුවට සිදුවුණේ තිබුණු සංවර්ධන බැංකු දෙකම පෞද්ගලීකරණයයි. අද වනවිට ජාතික ආර්ථිකයට දායක වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පහසුවෙන් ණයක් ගැනීමට ක්‍රමයක් නැත. එනිසා රටට සංවර්ධන බැංකුවක් අත්‍යවශ්‍යව තිබේ. එය වර්තමානයේ වාණිජ පදනමින් තිබෙන පන්නයේ බැංකුවක් නොවේ. අතීතයේ පැවැති සංවර්ධන මූල්‍ය සංස්ථාව බඳු එකකි. ඒ හරහා ජාතික ආර්ථිකයට අවැසි කර්මාන්ත, නිෂ්පාදන, ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට අපට හැකිය. සියයට සියයක් ස්වයංපෝෂිත කතාව බොරුවකි. මේ කියන්නේ එවැන්නක් නොවේ. තාක්ෂණික බාධා නොමැතිව රට තුළ නිෂ්පාදනය කළ හැකි හැමදේම රටේ නිෂ්පාදනය කළ යුතුය.

ලෝකය විනාශ කරන, සම්පත් කාබාසිනියා කරන, ධරණීය නොවන හා මහ පොළවට දඬුවම් කරන ලිබරල්වාදී ආර්ථික රැල්ල අපට ගැළපෙන්නේ නැත. එය මානව වර්ගයාට පමණක් නොව සමස්ත ජෛව ප්‍රජාවටම හානිකරය. එහෙත් ශ්‍රී ලංකාව යනු බෞද්ධ සංස්කෘතික පදනමක් සහිත රාජ්‍යයකි. එහි මූලික දර්ශනයම ඇත්තේම අල්පේච්ඡතාවයි. එහෙව් දාර්ශනික මූල සහිත සමාජයක් මේ අධිපරිභෝජනවාදී කෑදර ක්‍රමයක ගැලී සිටිය යුතු නැත. ලිබරල්වාදී ආර්ථික මොඩලයේදී අපට මුණගැසෙන්නේ වෙළෙඳපොළ තුළ අතෘප්තිකර ලෙස ආශා ලුහුබඳින සත්වයෙකි. එහෙත් බෞද්ධ මානවයා යනු ආත්මාර්ථකාමී කෑදර සත්වයෙක් නොවේ. එනිසා ශ්‍රී ලාංකික පුරවැසියාට සිය බෞද්ධ උරුමයේ ඇති දාර්ශනික සමාජ හරය නිසි ලෙස ගළපා ගතහොත් යහපත් ආර්ථික ප්‍රතිසංස්කරණයකට පාර කැපීම අපහසු නැත. මෙම ආර්ථික ප්‍රතිසංස්කරණයේදී මූලික වන්නේ දෘෂ්ටිමය මඟපෙන්වීමය. ඒ සඳහා විසල්ම කාර්යභාරය පැවැරෙන්නේ අපේ රටේ අධ්‍යාපනයටය. ස්වදේශික චින්තනය සහිත එකී පුරවැසියා නිර්මාණයෙහි විසල්ම කාර්යභාරය පැවැරෙන්නේ අධ්‍යාපනයටය. බටහිර අධ්‍යාපන ක්‍රමය විසින් මෙතෙක් කල් සේවය කරනු ලැබ තිබෙන්නේ රටක අනන්‍යතාව, උරුමය සහ රට පිළිබඳ හැඟීමක් ඇති පුරවැසියකු නිර්මාණය කරගැනීමට නොවේ. දන්නා කල් පටන් උත්සාහ කර තිබෙන්නේ ගෝලීය පුරවැසියකු නිර්මාණයටය. මෙරට කම්කරුවාගේ ගොවියාගේ දහඩිය මහන්සියේ පිරිවැයෙන් අධ්‍යාපනය ලැබූවන් ගෝලීය පුරවැසියන් ලෙස සිතන්නට යාමේ අවසන් ප්‍රතිඵලය වී තිබෙන්නේ එලොවටත් මෙලොවටත් දෙකටම නැති මඟකට රට වැටීමය. අප මේ පුරවැසියන් තනන්නේ ඇමෙරිකාවේවත් ජපානයේවත් එංගලන්තයේවත් ඉන්දියාවේවත් සම්පත්වලින් නොවේ. ඉතින් එසේ තැනෙන පුරවැසියන් තුළ ‘‘අපි ලාංකිකයෝ’’ යන හැඟීම නැත්නම් පලක් නැත. ඉතින් දැන්වත් ස්වදේශිකත්වයට බර තබන ආර්ථිකයක් ගැන හැඟීමක් ලේ ඇට මිදුළුවලට එන්නත් කළ අධ්‍යාපනයක් රටට අවශ්‍ය කර තිබේ. නොඑසේව ලාංකිකයන්ගේ දහඩිය මහන්සියෙන් තෘතීයික අධ්‍යාපනය ලබා උපාධි ගසන ගෝලීය පුරවැසියන් තවදුරටත් විදේශවලටම සේවය කරනු ඇත.

ඇත්තටම මේ කලක් තිස්සේ අප තනන ගෝලීය පුරවැසියාට සිය මව් රට යනු තවත් වෙළෙඳපොළක් පමණි. එතැනින් ඔබ්බට මේ මගේ රට යැයි හැඟීමක් ඔවුන්ට නැත. සරල සමීකරණයක නොපවතින විචල්‍යයකට අගයක් නැති බව අපි දනිමු. මේ ගෝලීය පුරවැසියන්ගේ ආර්ථික සමීකරණයෙහි මව් රට යන විචල්‍ය නැති කල ඊට අගයක් කොයින්ද? ආර්ථික විද්‍යාඥයන් වර්ණනා කරන කේන්සියානු මාදිලිය යනු ද ජාතික ආර්ථික මාදිලියකි. 1930 දී ආර්ථික අවපාතයෙන් ගොඩ එනු වස් එය සැකැසුවේ බ්‍රිතාන්‍යයටය. සරලව කිවහොත් එරට ආර්ථික විද්‍යාඥයන් ආණ්ඩුවට කියා සිටියේ අයවැය හිඟය ගැන වද නොවී මිනිසුන්ගේ ආදායම් මට්ටම ඉහළ දැමීමට මුදල් පොම්ප කරන්නැයි කියාය. එහි නොකියා කියැවුණු කතාව නම් ඒ ආදායම පාවිච්චි කර මිනිසුන් රට තුළ භාණ්ඩ මිලදී ගැනීමය. කේන්සියානු ක්‍රමය සාර්ථක වීමේ පූර්ව කොන්දේසිය නම් ආරක්ෂණවාදයයි. ඉතින් අප දැන්වත් එය තේරුම් ගත යුතුය. අපේ දේ අප පරිභෝජනය නොකරන තාක් කල් කේන්සියානු තල්ලුව ලැබෙන්නේ ජාතික ආර්ථිකයකට නොව ගෝලීය ආර්ථිකයකටය. සැබැවින්ම කොවිඩ් 19 ලෝකය විසින් අප දැන් තල්ලු කරනු ලැබ තිබෙන්නේ මෙතෙක් කල් වචනවල එල්ලී හරඹ පෑ ආර්ථික විජ්ජාවලින් ගැලවීමට දෑස් පාදාගැනීමටය.

කේන්සියානු හෝ නව ලිබරල් ආදී සිද්ධාන්ත හා න්‍යායවලින් මිදී දැන්වත් අපේම ආර්ථිකයකට මඟ හසර විවර කරගැනීමට මේ මොහොත පාවිච්චි කළ යුතුය. අසීමිත න්‍යායවාදීන් නොවී අපේම සමාජ ආගමික මූලික හර සංයුක්ත කරගත් ආර්ථික මාවතකට අවතීර්ණ වීමට මේ නම් හොඳම මොහොතකි.

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More