දේශීය පුවත්

පාස්කු ඉරිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ ප්‍රහාරයට පැමිණි බෝම්බකරු සතුව බැංකු ගිණුම් 32ක් පැවැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (22) අනාවරණ විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා අද කොමිසම හමුවේ ප්‍රකාශ කළේ කිංග්ස්බරී ප්‍රහාරකයා සහරාන් හෂීම්ගේ රියදුරා ලෙස ද කටයුතු කර ඇති බවයි.

ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ කිංග්ස්බරි හෝටලයේ ආරක්ෂක අධ්‍යක්ෂ ලෙස ක්‍රියා කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අයිවන් ධම්මික තුඩුවවත්ත මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණි.

සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේ 2019 අප්‍රේල් 17 වැනිදා හෝටලයට පැමිණි  අයෙකු “අබ්දුල්ලා අබ්දුල්ලා” නමින් අංක 819 දරන කාමරය වෙන් කරවා තමන් 20 වැනිදා එහි පැමිණෙන බව සඳහන් කර පිටව ගොස් ඇති බවයි.

ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද පෙරවරුවේ කැඳවා තිබුණේ කිංග්ස්බරි හෝටලයේ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතායි.

ඔහු ප්‍රථමයෙන් කොමිසමට පැවසුවේ හෝටලයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු, බෝම්බකරු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් ලෙස හඳුනාගත් බවයි.

ප්‍රහාරයට පෙරදින රාත්‍රියේ ඔහු රතු පැහැති මෝටර් රථයකින් හෝටලයට පැමිණ ඇති බව පැවසූ සාක්ෂිකරු ඊට අදාළ සීසීටීවී දර්ශන කොමිසමේ විනිසුරුවන් හමුවේ ප්‍රදර්ශනය කළේය.

එලෙස පැමිණෙන බෝම්බකරු හෝටලයේ පිළිගැනීමේ නිලධාරීන් වෙත ගොස් එහි කෙළවරේම ඇති කවුන්ටරයෙන් තොරතුරු විමසන ආකාරයත් ඔහු එලෙස සිදුකරන්නේ සීසීටීවී කැමරාවලින් වසන් වීමේ අරමුණින් බවත් සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.

කොමිසම විමසුවේ ඔහු හෝටලයට පැමිණෙන විටත් ඔහු සතුව පුපුරණද්‍රව්‍ය පැවතියේද යන්නයි.

හෝටලයට පැමිණෙන විටත් පුපුරණද්‍රව්‍ය ඔහු සතුව පැවති බවත් බෝම්බකරු හෝටලයට ඇතුළුවන විට ශරීර පරීක්ෂාවක් හෝ ගමන්මළු පරීක්ෂාවක් සිදු නොකළ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා පැවසුවේය.

පසුව බෝම්බකරු හෝටලයේ අටවන මහලේ පිහිටි කාමරයකට ගොස් තිබුණු බවයි සාක්ෂිකරු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එදිනම රාත්‍රී 8.59ට පමණ බෝම්බකරු හෝටලයෙන් පිටතට යන බවත් එහිදී ඔහු හෝටලයට රැගෙන ආ බෑගය වෙනුවට වෙනත් බෑගයක් පිටතට රැගෙන යන ආකාරය නිරීක්ෂණය කළ බවයි.

පසුව බෝම්බකරු ගාලුමුවදොර දෙසට ගොස් කුලී රථයක නැගී කොලොන්නාවේ සුපිරි වෙළෙඳසැළකට රාත්‍රී 9.25ට පමණ ගොස් ඇති බවද යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා පැවසුවේය.

එම වෙළෙඳසැළෙන් ආහාර සහ බීම වර්ගයක් මිලදී ගෙන ඔහු පදිංචිව සිටි කොළොන්නාව ජයන්ති මාවතේ කුලී නිවසට පාගමනින්ම ගොස් බිරිඳ සහ දරුවා හමුවී ඇති බවත් සාක්ෂිකරු කියා සිටියේය.

බෝම්බකරු මීට පෙර ග්‍රෑන්ඩ්පාස්,පානදුර,මට්ටක්කුලිය සහ දෙමටගොඩ යන ප්‍රදේශවලද කුලී පදනම මත නිවෙස්වල රැඳී සිට ඇති බව අනාවරණ වී තිබේ.

පැය එක හමාරක පමණ කාලයක් සිය නිවසේ රැඳී සිටි බෝම්බකරු ත්‍රිරෝද රථයක නැගී නැවත කිංස්බරි හෝටලය වෙත පැමිණ ඇත්තේ කළු පැහැති අත්බෑගයක්ද සහිතව බවයි සාක්ෂිකරු පැවසුවේ.

සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ බෝම්බකරු කිංස්බරි හෝටලයට  පළමු වරට පැමිණීමට පෙර පානදුර නගරයේ රැඳී සිට ඇති බවයි.

මෙම බෝම්බකරු පානදුරේ ප්‍රදේශයෙන් ආරක්ෂිත නිවසක් සහ වෑන් රථයක් කුලී පදනම මත ලබාගෙන තිබූ බව ද සාක්ෂිකරු කියා සිටියේය.

මෙවැනි දේ සඳහා බෝම්බකරුට මුදල් ලැබුණේ කෙසේදැයි කොමිසම ප්‍රශ්න කළේය.

මෙම බෝම්බකරුගේ නමට බැංකු ගිණුම් 32ක් තිබී ඇතැයි මේ වනවිට අනාවරණ වී ඇති අතර ඒ පිළිබඳ මේ වනවිටත් විමර්ශන සිදුකර බවයි යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා පැවසුවේ .

එමෙන්ම මොහු වෘත්තියෙන් පාවහන් අලෙවිසැළක් පවත්වාගෙන ගිය බවත් ඉන් බොහෝ දෙනෙකුට ණය වී ඇති නිසා ඔහු 2018 වර්ෂයේ සිට සමාජයෙන්
වසන් වී කල් ගත කර ඇති බව ද වාර්තා විනැයි සාක්ෂිකරු කොමිසමට පැවසුවේය.

බෝම්බකරු සහරාන් සමඟ සම්බන්ධවූයේ කෙලෙසදැයි කොමිසම විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ බෝම්බකරු කලකට පෙර සහරාන්ගේ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබුණු බවයි.

එමෙන්ම ඔහු 2010 වර්ෂයේ සිට දුරකථන අංක 14ක් භාවිත කර ඇති බවටත් ඉන් සිම් කාඩ්පත් 11ක්ම ඔහුගේ නමින් ලියාපදිංචි කර තිබුණු බවත් සාක්ෂිකරු පැවසුවේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර කාත්තන්කුඩියේ සිදුකළ යතුරු පැදිය පුපුරුවාහැරීමේ පෙරහුරුවටද මෙම බෝම්බකරු සහභාගීවී තිබුණු බවයි ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා කොමිසමට ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More