පුරවැසි කොලම

කොරෝනා වසංගතයත් සමඟ ලෝක ආර්ථිකය මෙන්ම ලංකාවේ ආර්ථිකයත් බරපතළ අර්බුදවලට මුහුණ දෙමින් තිබේ. මෙවන් ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබ පුවත්පත සමග මා කතා කර තිබෙන්නේ 2002 වසරේ පටන්ය. දැවෙන ආර්ථික ප්‍රශ්න නමින් තීරු ලිපියකින්ද අපි නොයෙක් විග්‍රහ කළෙමු. අඛණ්ඩව වසර 18 ක් මෙවන් විග්‍රහ හරහා ආර්ථිකයට නිවැරැදි මඟ පෙන්වීමට උත්සාහ කළෙමු.

අද වන විට ලෝකයට අලුත් ප්‍රශ්නයකට මුහුණදීමට සිදුව තිබේ. එහි ඇති බලපෑම කොතෙක්ද යන්න දැන් අපට දැනෙමින් තිබේ. ලෝකයේ ඇතිවූ තත්ත්වය හේතුවෙන් පැති කීපයක් ඔස්සේ දැවැන්ත ප්‍රහාරයක් එල්ලවූ කාලයක අපි සිටින්නෙමු. එනිසා සෑම අංශයකින්ම සිතා බලා අවශ්‍ය මෙවලම් පාවිච්චි කර පවතින අභියෝගවලට මුහුණදීම අද දවසේ අවශ්‍යතාව වී තිබේ. ලෝකයේ කර්මාන්ත සහ සේවා රාශියක් දැවැන්ත ලෙස කඩා වැටී අවසන්ය. සංචාරක, ඇඟලුම්, ක්‍රීඩා ආදී අංශ උදාහරණ කීපයකි. මේ දැවැන්ත අර්බුදයේ ප්‍රතිඵලයක් වී ඇත්තේ ලංකාවට ලැබෙන ආදායම් අඩුවීමය. දේශීය කර්මාන්ත සහ සේවා අඩපණවීමට ද එය හේතුවකි. මේ තත්ත්වය කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රශ්න ඇති කරන්නකි. මෙමගින් ඇතිවන දැවැන්ත කම්පනයට මුහුණදීමට කෙටිකාලීනව අපට සිදුවනු ඇත.

විදේශ විනිමය අත්හිටුවීම, ආදායම් අඩුවීම, පොලී ගෙවීමට ඇති අවකාශය වැඩිවීම ආදිය ඒ අතර ප්‍රමුඛය.

ඒ සමඟම ඉදිරියට යනවිට යම් කාලයකදී වෙනස්වන ලෝකයට හැඩගැසීමේ අභියෝගයද අප හමුවේ තිබේ. මේ අභියෝග දෙකටම එකවර සාර්ථකව මුහුණ දුනහොත් ජයගැනීමට හැකිය.

ඇතිවී තිබෙන කම්පනයට සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ මුහුණදීමට නොහැක. ඒ නිසා අලුත් විධියට සිතීමට පුරුදු විය යුතුය. ලබාගෙන ඇති ණය මේ අවස්ථාවේ ගෙවීමට ගියහොත් නැවත ආර්ථිකය ගොඩනැංවීමට රටේ තිබෙන මුදල් ප්‍රමාණවත් වන්නේ නැත. එය මේ මොහොතේ ඇති බරපතළ ප්‍රශ්නයකි. එනිසා ගෙවීමට ඇති ණයවලින් වසර දෙකකට පමණ නිදහස්වීමට හැකිනම් දැවැන්ත වාසියක් ලබාගත හැකිය. මෙය අපට පමණක් නොව නැගී එන රටවල් රාශියකට මතුවන ප්‍රශ්නයකි.

එවන් රටවල් එක්වී ණය විරාමයක් ලබාදෙන ලෙස මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට ඉල්ලීම් කළ යුතුය. එවන් ණය විරාමයක් ලබාගත හැකි නම් අපේ සම්පත් රටෙන් පිටට ගලායාම විශාල වශයෙන් අඩුකර ගැනීමට හැකිවනු ඇත. ඇ.ඩො. බිලියන 2500 ක් පමණ මේ හරහා ඉතිරිකර ලංකාවට ඉතිරි කර ගත හැකිය. එම මුදල් මේ රටේ ව්‍යාපාර නැංවීමට, ජන කොටස්වලට සහනදීමට, ඉල්ලුම වැඩිකර ගැනීමට යෙදවීමට පුළුවන. එවිට ආර්ථිකය යළි ගොඩනැඟීම පහසුය. ඒ වගේම ණය ගෙවීමේ හැකියාව ඉහළ තලයකට ගෙනඒමට එය හේතුවනු ඇත.

ඇතිවී තිබෙන්නේ ගෝලීය ප්‍රශ්නයකි. එනිසා ඇ.ඩො. මිලියන පනහකින්, සියයකින් එය විසඳිය නොහැක. ලංකාවේ අද ඇත්තේ ඇ.ඩො.මි 84,000 ක ආර්ථිකයකි. එවන් ආර්ථිකයකට මිලියන පහකින් හෝ සියයකින් කළ හැක්කේ ඉතා අඩු බලපෑමකි. දැනෙන බලපෑමක් කිරීමට ඇ.ඩො.මි. 2500 ක පමණ උත්තේජනයක්, වාසියක් රටට ලබාගත යුතුය. මේ සම්බන්ධව ජාත්‍යන්තරය සමග සාකච්ඡා කිරීමට මට හැකිවුණි. නැගී එන රටවල්වලට මේ අවස්ථාවේ උදව් කරන ලෙස ඇමෙරිකාවේ සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් ට්‍රම්ප් ජනපතිගෙන් පසුගියදා ඉල්ලීම් කළේ ද තත්ත්වය වටහාගෙනය.

මෙවන් වැඩපිළිවෙළක වාසිය ලැබෙන්නේ ඉල්ලීම් කරන රටවලට පමණක් නොවේ. දැන් පවතින තත්ත්වයෙන් මිදී ලෝක ආර්ථිකය සන්සුන් වීමට එය බලපානු ඇත. ඒවගේම දැනට පවතින කම්පනවලින් මිදීමට හැකිය. ලෝකය දැඩි කම්පනයක සිරවී ඇති අවස්ථාවක එවන් පියවර අත්‍යවශ්‍යය. ණය ගෙවීමට හැකිවේද නොහැකිවේද යන සාකච්ඡාව ලොව පුරා ඇතිව තිබේ. ණය ගෙවීම් යම් ආකාරයකට පැහැර හරින තත්ත්වයක් ඇතිවුවොත් එහි බලපෑම ලොව බලවත් රටවලටද දැනෙනු ඇත. ජී-අට රටවලට, ලෝක බැංකුවට, මූල්‍ය අරමුදලට එහි බලපෑමෙන් ගැලවීමට නොහැක.

එවන් තැනකට තල්ලුවීමට පෙර මේ ආයතන සහ බලවත් රටවල් අවශ්‍ය පියවර ගත යුතුය. මුළු ලෝකයටම මෙයින් කෙරෙන බලපෑමෙන් ලංකාවටද විශාල ශක්තියක් ලබාගත හැකිය. මේ මොහොතේ කළයුතු මූලිකම කාරණය එයයි. එනිසා එයට කඩිනමින් යොමුවිය යුතුය.

ඒ වගේම තවත් පියවරක් තිබේ. කොරෝනාවට පෙර ගෙවුණු වසර හතර හමාරක කාලයේදී මෙරට ව්‍යාපාර රැසක් දුර්වල වී තිබුණි. එම කාලයේ මෙරට ආර්ථිකය ක්‍රමයෙන් සංකෝචනය වූවේය. දුර්වල වූ ව්‍යාපාර පාස්කු ප්‍රහාරය හමුවේ කඩාවැටුණි. කොරෝනා හමුවේ එම ආයතන අන්ත අසරණ වී තිබේ. කොරෝනා ප්‍රශ්නයට පෙර ආණ්ඩුව බදු සහන ලබාදුන්නේය. ඒ සමඟ ණය ගෙවීමේ පහසුකම් සැලසීමට ද කටයුතු යොදමින් සිටියේය. එම කටයුතු ඊටත් වඩා වැඩි අගයකින් කිරීමට දැන් සිදුව තිබේ. දැන් ඇතිවී තිබෙන්නේ මේ ආයතනවලට දරාගත නොහැකි ප්‍රශ්නයකි. එනිසා මේ ආයතන බැංකුවලට ගෙවිය යුතු මුදල්වලට යම් කාලයකට විරාමයක් ලබාගත යුතුය. එම විරාමය ප්‍රාග්ධන විරාමයක් මිස පොලී විරාමයක් නොවිය යුතුය. පොලී ගෙවීම යම් කාලයකට අත්හිටවුවොත් බැංකු සහ මූල්‍ය ආයතන කඩාවැටෙන්නට පුළුවන. මේ ආයතන පවතින්නේ ද්‍රවශීලතාව සහ එම ආයතනවල ලාභාංශ මතය. ඒවා දුර්වල කළොත් එම ආයතන දුර්වල විය හැකිය. එය මුළු ආර්ථිකයටම දැඩි බලපෑමක් ඇතිකරන්නකි. මෙතැනදී කළ යුත්තේ තුලනයකි. වසරක පමණ කාලයක් පොලිය පමණක් ගෙවා මූල්‍ය ආයතනද රැකගෙන ව්‍යාපාරවලට යම් සහනයක් දිය යුතුය.

මේ ආයතන දැනටම ණය සීමාවලට ගොදුරු වී තිබේ. තව තවත් මේ ආයතනවලට ණය ලබාදීමකින් වෙන්නේ තවදුරටත් එම ආයතන දුර්වලවීමය. එසේ නොවීමට කළ යුත්තේ මේ ව්‍යාපාර ආයතනවලට අලුත් ප්‍රාග්ධනය එක්කිරීමය. ඒවායෙහි අයිතිය රැකගනිමින් ප්‍රාග්ධන යෙදවීම්වලට මඟ පෑදිය යුතුය.

මෙවන් කටයුතුවලට අරමුදල් ලෝකයේ තිබේ. ඒවා සමඟ සාකච්ඡා කර ලංකාවට පිවිසීමට ඒවාට ඉඩදිය හැකිය. එවන් ක්‍රියාවලියක් ඔස්සේ මෙරට ව්‍යාපාර දහසකට, දෙදහසකට අලුත් ප්‍රාග්ධනය ලබාදීමට කටයුතු කළොත් නව ජීවයක් ලැබිය හැකිය. රුපියල් බිලියන 150 ක 200 ක ප්‍රාග්ධන අරමුදලක් ඇති කිරීම මෙයට ඇති විසඳුම බව මගේ යෝජනාවය. ඒ වගේම මේ අරමුදල පාලනය විය යුත්තේ ඊට සුදුසු පුද්ගලයන්ගෙනි.

මේ යෝජනා දෙකට අමතරව තෙවැන්නක්ද තිබේ. රටපුරා විශාල පිරිසක් මේ වනවිට අසරණ තත්ත්වයට පත්ව සිටිති. මේ අයට ණය ගෙවාගැනීමට නොහැකි වී තිබේ. ණය කාඩ්පත්වල උපරිමයට ගොසිනි. ඇතැම් අයගේ රැකියා, ජීවනෝපාය අහිමිවෙලාය. මේ අයට සහනයක් දීම අත්‍යවශ්‍යය. සේවක අර්ථසාධක අරමුදලේ ඇති ඔවුන්ගේ මුදලින් සියයට විස්සක් ඔවුන්ටම නිදහස් කළයුතු බව මගේ යෝජනාවය. එවිට එම මුදල් ඔවුන්ගේ අත්‍යවශ්‍ය කටයුතුවලට යොදා ගැනීමට පුළුවන. ඉහළ පොලියට ගෙන ඇති ණය ගෙවා යම් සහනයක් ලබාගත හැකිය. සේවක අර්ථසාධක අරමුදලේ දැනට ඇති මුදල රුපියල් බිලියන 2500 ක් පමණය. එයින් බිලියන 500 ක් පමණ මුදාහැරියහොත් එය ලබන සාමාජිකයන්ට ආර්ථික කටයුතුවලට නිරත විය හැකිය. අනවශ්‍ය අයට එය ලබානොගෙන සිටිය හැකිය. එහෙත් අවශ්‍ය අයට මුදල් ලබාගෙන තමන් මුහුණ දෙන උග්‍ර ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නට පුළුවන.

මේ කතාව ඇතැම් අයගේ විවේචනයට බඳුන්වුණි. එසේ කරන අය විකල්ප ඉදිරිපත් කළ යුතුය. අර්බුදයට ලක්ව ඇති ආර්ථිකය ජනජීවිතය යළි ගොඩනඟන ආකාරය පැහැදිලි කළ යුතුය. එසේ නැතිව හුදු විවේචනය පමණක් ඵලක් නැත. ආර්ථික ප්‍රශ්නවලින් පීඩිත ජනතාව අතට යම් මුදලක් ලැබෙන ක්‍රමයක් මේ අය යෝජනා කළ යුතුය. එකක් කිව යුතුය. එනම් මා මේ යෝජනාව කළ පසු ඕස්ට්‍රේලියාව, ඉන්දියාව ඒහා සමාන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවය. දැනටමත් එය ක්‍රියාත්මකය. ඒ මෙවන් ක්‍රියාවලියකින් ආර්ථිකයට සහ ජනතාවට කළ හැකි බලපෑම කොතෙක්දැයි ඔවුන් දන්නා නිසාය.

නැවත අලුත් මාවතකට පිවිසිය යුතු බව හතරවැනි කරුණ වශයෙන් අප තේරුම් ගත යුතුය. සංචාරක, ඇඟලුම් ආදී ක්ෂේත්‍ර මේ කාලයේ අඩපණ වී තිබේ. කෙටි කාලයකදී මේ ක්ෂේත්‍ර ගොඩනඟන්නේ කෙසේද? සංචාරකයන් යළි ගෙන්වා ගන්නේ කෙසේද? ඇඟලුම් කම්හල් සිය ගණනකි. මේවාට නැවත වැඩ සොයාගන්නේ කෙසේද? ඇතැම් ආයතන මුඛ ආවරණ ආදිය නිපදවීමට යොමුවී තිබේ.

ලෝකයට අත්‍යවශ්‍ය දේ නිපදවීමට යොමුවීම හොඳ ප්‍රවණතාවකි. උනන්දු විය යුත්තේ එවන් අවස්ථා හැකි තරම් සොයා ගැනීමටය. අනෙක් රටවල්ද එවන් උනන්දුවකින් කටයුතු කරන බව මේ මොහොතේ වටහාගත යුතු ප්‍රමුඛතම කරුණකි. එනිසා අනෙක් රටවල් විසඳුම් සොයන පසුබිමක හැකි ඉක්මනින් විසඳුම් සොයා ගැනීමට අප යොමුවිය යුතුය. ‘නොට්ටු බී බිග් බට් ටු බී ෆාස්ට්’ යන්න අද ලෝකයේ ඇති මූලික කරුණකි. ඉක්මන් විය යුතු බව මෙයින් ප්‍රකට වන්නකි. මේ පදනම මත පිහිටා අලුත් නිපැයුම්, අලුත් වෙළෙඳපොළ වෙත ඉක්මනින් යොමුවිය යුතුය.

සංචාරයට බොහෝ දෙනෙකු අකැමැති නිසා ගුවන් සේවා නැව් සේවා අඩාල විය හැකිය. සංචාරක කර්මාන්තයට මෙය බරපතළ කරුණකි. සංචාරයට ඇති බිය දුරුකිරීම මෙයට පිළියමකි. මේ හරහා අපට කළ හැක්කේ කුමක්ද? කොරෝනා වසංගතයට උග්‍ර ලෙස ගොදුරු වූයේ යුරෝපය, ඇමෙරිකාව, චීනය ආදී බලවත් රටවල වයස්ගත පිරිස්ය. එහෙත් ලංකාවේ එවැන්නක් පෙන්නුම් කළේ නැත. මෙරට පවතින උෂ්ණත්වය සහ වාතයේ තිබෙන ජල වාෂ්පවල ප්‍රතිශතය එයට හේතුවූවා විය හැකිය. එයින් අපට ප්‍රයෝජනගත නොහැකිද? සාමාන්‍ය සංචාරකයකු මෙරට රැඳෙන්නේ දින දහයකි. දිනකට සාමාන්‍යයෙන් වියදම් කරන්නේ ඇ.ඩො. 180 ක් පමණය. බලවත් රටවල සිටින වත්කම් ඇති, පොහොසත් වයස්ගත පිරිස් මෙරටට ආකර්ෂණය කරගත හැකි නම් එළැඹෙන ශීත කාලයම ඔවුන්ට මේ රටේ සිටීමට පුළුවන. ලංකාව කොරෝනාවෙන් තොර රටක් බවට විශ්වාසය ගොඩනැගිය හැකි නම් සහ වයස්ගත අයට මේ රට සුරක්ෂිත බව තහවුරු කළ හැකි නම් සංචාරක කර්මාන්තයට විශාල ශක්තියක් ලබාගත හැකිය. සංචාරකයකු දින 90 ක් මේ රටේ තබාගැනීමට හැකි ක්‍රම ගැන අලුතෙන් සිතිය යුතුය. බලවත් රටවල්වල බලධාරීන් සමඟ සාකච්ඡා කර වැඩිහිටියන් මේ රටට ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළොත් මෙරට සංචාරක කර්මාන්තය සහ ඒ ආශ්‍රිත අනෙක් සියලු අංශ පිබිදීමකට ලක්කළ හැකිය.

මෙවන් කටයුතු කරන බව ලෝකයට පෙන්වීමට කටයුතු කළයුතුය. එය පස්වැනි කාරණාවය. මේ මොහොතේ ආයෝජකයන්ගේ ඇස ලෝකයේ සෑම රටකටම යොමු වී තිබේ. ඉක්මනින්ම කොරෝනා පරාජය කරන්නේ කවුදැයි ජාත්‍යන්තරයේ ප්‍රචාරය වෙමින් තිබේ. ලංකාවද එහි ප්‍රමුඛස්ථානයක සිටීම අපට ආඩම්බරයකි. ඒ වගේම ජාත්‍යන්තරව අපට හොඳ අවස්ථා උදාවීමකි.

ආර්ථිකමය වශයෙන් පිබිදීමක් ඇතිකරන රටවල් සම්බන්ධයෙන්ද ආයෝජකයෝ නෙත් යොමති. එවන් පරිසරයකදී වචනයට සීමා නොවී ප්‍රායෝගිකව අපගේ වැඩසටහන් ක්‍රියාත්මක කළොත් ජාත්‍යන්තරව යම් මතයක් ඇතිකළ හැකිය. ලංකාවේ ආර්ථිකය පිබිදීමකට ලක්ව ඇති බව ජාත්‍යන්තරයට ප්‍රකට කළ හැකිය. අප රට කෙරෙහි විශ්වාසය ගොඩනැඟීමට එය බෙහෙවින් උපකාරීවනු ඇත. මේ වනවිට රට තිබෙන්නේ යම් පීඩනයකය. යම් යම් ආනයන සීමා කර තිබේ. තවත් දැඩි පියවරවලට දැනටමත් යොමුවී තිබේ. මෙවන් දැඩි පියවර දිගටම පවත්වාගෙන ගියහොත් ආර්ථිකයට හානියක් වන්නට පුළුවන. එනිසා ඒවායෙන් මිදීමට ඉක්මනින්ම කටයුතු කළ යුතුය. මෙරට ආයෝජනය කළොත් ඒ අයට කිසිදු ප්‍රශ්නයකින් තොරව එම කටයුතු කරගෙන යාමට හැකි වාතාවරණය සකසා ඇති බව ලෝකයට පෙන්නුම් කළ යුතුය. නැවත වරක් ගෝලීය වශයෙන් ලෝකයට සම්බන්ධ වී අපේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගොඩනැඟිය හැක්කේ එවැනි ක්‍රියාවලියකිනි. එනිසා එම කාරණය කෙරෙහිද අවධානය යොමුකළ යුතුය. මෙය තරමක් අසීරු කටයුත්තක් වුවද ආර්ථිකය ගොඩනැඟීමට එය අත්‍යවශ්‍යය.

වත්මන් ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩඒමට අනුගමනය කළ යුතු හයවැනි කාරණයක්ද තිබේ. මේ වනවිට මෙරට පාර්ලිමේන්තුව විසුරුවා තිබේ. දැන් ගෙවන්නේ නොනගත කාලයකි. පවතින ආණ්ඩුවට ඇත්තේ තාවකාලික පැවැත්මක් බව සැවොම දන්නා කරුණකි. එනිසා මැතිවරණය පවත්වා තිරසාර සහ ස්ථිර ආණ්ඩුවක් බිහිකර ගැනීම මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී අත්‍යවශ්‍යය. විදේශ හෝ දේශීය ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට කතා කිරීමේදී පසුපසින් ශක්තිමත් බලවේගයක් තිබිය යුතුය. දැන් එම තත්ත්වය නැත. එම බලය ශක්තිය ලැබෙන්නේ තිරසාර ආණ්ඩුවක් හරහාය. දේශපාලනික ස්ථාවරත්වයක් මගිනි. එම තත්ත්වය ඇතිකර ගැනීමට නම් ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතුය.

පෝලිම්වල ගොස්, මත්පැන්, අනෙක් භාණ්ඩ මිලදීගත හැකි නම් ජලය, විදුලිය අඛණ්ඩව දිය හැකි නම් රුපියල් 5000 දීමනාව විනීතව ලබාගත හැකි නම් ඡන්දය ගණන් කිරීමට පමණක් නොහැකි වන්නේ ඇයි දැයි ප්‍රශ්නයකි. ඇතැම් අයට අවශ්‍ය වී ඇත්තේ රටේ ස්ථාවරත්වයට බාධා කිරීමට මැතිවරණය කල් දැමීමටය. මේ කතා කරන්නේ ආර්ථිකමය කෝණයෙන් මිස දේශපාලන කෝණයෙන් නොවේ. මේ මොහොතේ කුමන හෝ ආර්ථික කටයුත්තකට යොමුවීමට නම් ශක්තිමත් ආණ්ඩුවක් පසුබිමේ තිබිය යුතුය. එය සැවොම අවබෝධ කරගත යුත්තකි.

කතා කර කර, තැවි තැවී සිටිමින් මේවා කළ නොහැක. අපට ඇත්තේ දැවෙන ප්‍රශ්නයකි. දැවෙන ප්‍රශ්නවලට ඉතා ඉක්මනින් විසඳුම් සෙවිය යුතුය. අනතුරක් වූ අයකු හදිසි අනතුරු අංශයට ගෙනාවිට ඔහුට ප්‍රතිකාර නොකර දින ගණන් සිටින්නේ නැත. වෛද්‍යවරු හතර පස්දෙනෙක්වත් එක්ව රෝගියා පරීක්ෂා කරති. එක් වෛද්‍යවරයකු පමණක් පරීක්ෂා කිරීමෙන් ලෙඩා සුවවන්නේ නැත. ඒ සඳහා කණ්ඩායමක් සිටිය යුතුය. ඒ කණ්ඩායම එක් එක් අංශ පරීක්ෂා කරමින් ප්‍රතිකාර කළ යුතුය. පරීක්ෂා කරති. අසාධ්‍ය ලෙඩකු සුව කිරීමට වෛද්‍යවරුන් කිහිපදෙනකු අවශ්‍යය. අසාධ්‍ය රෝගීන් හතරපස් දෙනකු සිටින විට එක් වෛද්‍යවරයකුට සියල්ල කළ නොහැක. එනිසා ආර්ථිකය ගොඩනැගීමටත් විශේෂඥ කණ්ඩායමක් යෙදවිය යුතුය. වැඩේ හරියට කළ හැක්කේ එවිටය. එක් වෛද්‍යවරයකුට පමණක් ආර්ථික ලෙඩා සුවකළ නොහැක. අවසන් වශයෙන් එම කරුණ අවධානයට ගතයුතුය.

Lankadeepa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More