පුරවැසි කොලම

සුමන්තිරන් හා හකීම් මැතිවරණ කොමිසම ජූනි 20 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ ව අධිකරණයට යන්න සූදානම් වන බවක් කියනවා. සුමන්තිරන්ට අනුව මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවක් නැතිව රට කරගෙන යෑමට බැහැ, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ තුන් මසකට පෙර පාර්ලිමේන්තුව කැඳවන අවශ්‍යතාවට යටත් ව පමණක් නිසා ජූනි 2 වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ජනාධිපති නිවේදනය අවලංගු වෙනවා. සුමන්තිරන් කියන්නේ ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියට අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව කැඳවන දිනය වෙනස් කළ හැකි නමුදු එය තුන්මසකට මෙහා දිනයක් විය යුතු බවයි. සුමන්තිරන්ට අවශ්‍ය කල් ඉකුත් වු ද පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජනමතය අවලංගු වූ ද පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමටයි. සුමන්තිරන් කියන විධියට ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුැවා හැරීම නීත්‍යානුකූල නැහැ.

හකීම්ලාට අනුව ජූනි 20 පිළිබඳ කොමිසමේ තීරණය ව්‍යවසථාවේ 70 (3) වගන්තියට පටහැණියි. ඔවුන් ව්‍යවස්ථාවේ 70 (7) වගන්තියත් ගෙන හැර දක්වනවා. සුමන්තිරන් ජනාධිපති නීතිඥයෙක්. හකීම්ටත් කාරියප්පර් නමින් ජනාධිපති නීතිඥයෙක් ඉන්නවා. මා වැඩිම වුණොත් ගොඩ පෙරකදෝරුවෙක්. ගොඩේ බයියෙක්. අපි තර්ක කරමු. අපි සිද්ධි දාමය එකින් එක බලමු. මට නැවතත් ව්‍යවස්ථාවෙන් හා මැතිවරණ පනතෙන් උපුටා දක්වන්න සිදු වෙනවා.

සිද්ධි දාමය පටන් ගන්නේ ජනාධිපති මාර්තු 2 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්. එසේ කරන්නේ ව්‍යවඩස්ථාවේ 70 (1) යටතේ. ඒ මෙසේයි. “70. (1) ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ යඃ

එහෙත් එය කළ යුත්තේ 70(5)ට යටත්ව. ඒ මෙසේයි.
70 (5) (අ) පාර්ලිමේන්තුව විසුරුවා හරින ප‍්‍රකාශනයෙහි, අභිනව පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරයන් තෝරාපත් කර ගන්නා දිනය හෝ දින නියම කොට තිබිය යුත්තේ ය. එසේ ම, එකී ප‍්‍රකාශනය නිකුත් කළ දින සිට මාස තුනක් ගත වන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැුස්වීම ඒ ප‍්‍රකාශනයෙන් ම කැඳවිය යුත්තේ ය.

(ආ) 62 වැනි 70ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාවේ විධිවිධාන ප‍්‍රකාර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තේරීම සඳහා ප‍්‍රකාශනයක් මගින් නොපමාව දිනයක් හෝ දින නියම කොට අභිනව පාර්ලිමේන්තුව, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් මාසයකට පසු දිනයක් නොවන දිනයක රැුස්වන ලෙස කැඳවිය යුත්තේ ය.

(ඇ) (අ) ඡෙදයේ හෝ (ආ) ඡෙදයේ විධිවිධාන යටතේ ප‍්‍රකාශනයක් මගින් අභිනව පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කරන ලද දිනය ඉන් පසුව කරන ප‍්‍රකාශනයක් මගින් වෙනස් කරනු ලැබිය හැක්කේ ය. එහෙත් පසුව කරන ප‍්‍රකාශනය මගින් නියම කරන දිනය මුල් ප‍්‍රකාශනයේ දින සිට මාස තුනකට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේ ය.

70 (5) (ඇ) 70 (5) (අ) හා (ආ)ට වඩා වෙනස්. 70(5) (අ) හා (ආ) ජනාධිපති කළ යුතු දේ පිළිබඳවයි. ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හරින විට අර තුන් මස් අවශ්‍යතාවට අනුකූල ව ප්‍රකාශන කළ යුතුයි. දැන් එසේ ප්‍රකාශ නිකුත් කළ පසු මැතිවරණය පැවැත්වීම පිළිබඳ කටයුතු මැතිවරණ කොමිසමට පැවරෙනවා. එසේ පැවරුනාට පසු ජනාධිපතිට නැවත දිනය වෙනස් කිරීමට හැකි මිසක් යුතු නැහැ. 70(5) (ඇ) උපවගන්තියෙන් කියන්නේ එයයි. එසේ වෙනස් කිරීමේ දී නැවතත් අර තුන් මස් අවශ්‍යතාව එනවා. ඒක ඇත්ත. එහෙත් ජනාධිපති තවමත් 70 (5) (ඇ) යටතේ ක්‍රියාකර නැහැ.

දැන් ක්‍රියාත්මක වන්නේ මැතිවරණ කොමිසම. එය මැතිවරණ පනතේ 24(3) යටතේ මැතිවරණය පැවැත්වෙන දිනය වෙනස් කරලා. 24 (3) මෙසේයි. “24(3) යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතුකොට ගෙන යම් මැතිවරණ කොට්ඨාසයක මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම, මැතිවරණය සම්බන්ධයෙන් (1) වන උපවගන්තිය යටතේ පළ කරන ලද දැන්වීමෙහි සඳහන් දිනයෙහි කළ නොහැකි වූ අවස්ථාවක, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් කොමසාරිස්වරයා විසින් ඒ ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකි අතර, ඒ වෙනත් දිනය, ගැසට් පත්‍රයෙහි නියමය පළ කරනු ලැබීමෙන් පසුව එළඹෙන දහතරවන දිනයට කලින් වූ දිනයක් නොවිය යුතු ය.”

මෙහි අර තුන් මස් අවශ්‍යතාව කියැවෙන්නේ නැහැ. මැතිවරණ කොමිසමට මාස හයකින් පසුව වුණත් එන දිනයක් නියම කරන්න පුළුවන්. මා නම් හැමදාමත් කිවුවේ නුවර පෙරහැර කාලය ඉලක්ක කර ගත යුතු බවයි. මැතිවරණ කොමිසම ඊයේ පෙරේදා ජූනි 20 මැතිවරණ දිනය ලෙස ප්‍රකාශ කෙළේ ඒ අනුවයි. මා දන්නා විධියට හූල් ද එයට එකඟ වී තිබෙනවා. මැතිවරණ කොමිසමට තත්වය හමුවේ අවශ්‍ය නම් ජූනි 20 ද වෙනස් කරන්න පුළුවන්. පුළුවන් මිස යුතු නැහැ.

දැන් මේ ක්‍රියත්මක වන්නේ ජනාධිපති මාර්තු 2 වැනි දා පාර්ලිමේන්තුව විසුරුුවා හැරීමෙන් ඇරඹූ ක්‍රියාවලියයි. මැතිවරණ කොමිසම කොවිඩ් 19 හමුවේ මැතිවරණය පවත්වන දිනය ව්‍යවස්ථාවට හා මැතිවරණ පනතට අනුව වෙනස් කර තිබෙනවා. එහි කිසිම නීත්‍යානුකූල නොවන බවක් නැහැ.

අනෙක් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තියට අනුව කොමිසමේ තීරණවලට විරුද්ධ ව අධිකරණයට යෑමට බැහැ. අපි ඒ වගන්තියත් ගෙන හැර දක්වමු.

“104අ. 126 වැනි ව්‍යවස්ථාවේ (1) ඡෙදය සහ 104ඌ ව්‍යවස්ථාව සහ 130 වැනි ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පවරා දී ඇති අධිකරණ බලයට සහ 144 වැනි ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණය වෙත පවරා දී ඇති අධිකරණ බලයට හා ඡුන්ද පෙත්සම් හෝ ජනමත විචාරණ පිළිබඳ පෙත්සම් අසා තීරණය කිරීම සඳහා යම් නීතියකින් යම් අධිකරණයක් වෙත පවරා දී ඇති අධිකරණ බලයට යටත්ව,-

(අ) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ කොමිෂන් සභාව විසින් කරන ලද හෝ ගනු ලැබූ හෝ කරන ලදැයි නැතහොත් ගන්නා ලදැයි කියනු ලබන යම් තීරණයක්, විධානයක් හෝ ක‍්‍රියාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කවර හේතුවක් නිසා වුව ද, කවර ආකාරයකින් වුව ද භාර ගැනීම හෝ ඇසීම හෝ තීරණය කිරීම හෝ ප‍්‍රශ්න කිරීමට පාත‍්‍ර කිරීම සඳහා බලය හෝ අධිකරණ බලය කිසිදු අධිකරණයකට නැත්තේ ය. කොමිෂන් සභාවේ තීරණ, විධාන හෝ ක‍්‍රියා අවසානාත්මක සහ තීරණාත්මක විය යුත්තේ ය”

කොමිසම ජූනි 20 තීරණය ගෙන ඇත්තේ 126(1), 104 ඌ, 130, 144 වගන්තිවල අධිකාරියට යටත් ව නො වෙයි. මැතිවරණ කොමිසමේ තීන්දුව අවසාන හා තීරණාත්මකයි. සුමන්තිරන් දැන් මොකද කියන්නෙ. නඩු කියනවා ද? නඩු කියන්නෙ කාට විරුද්ධ ව ද?

දැන් හකීම්ට හැරෙමු. හකීම් හා කාරියප්පර් තර්ක කරන්නේ ව්‍යවස්ථාවේ 70 (3) හා 70(7) අනුව කියනවා. 70(3) මෙසේයි.

“70(3) පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරන්නා වූ ප‍්‍රකාශනයෙන් ඊළඟ වාරය පටන් ගැනීම සඳහා දිනයක් නියම කළ යුත්තේ ය. ඒ දිනය ප‍්‍රකාශනයේ දින සිට මාස දෙකක් නොඉක්මවන දිනයක් විය යුත්තේ යඃ
එසේ වුව ද, පාර්ලිමේන්තුවේ වාරයක් අවසන් කොට ඇති කවර වූ හෝ අවස්ථාවක –
(i) ප‍්‍රකාශනයක් මගින්, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් දවසකට ‘කලින් දිනයක්’ නොවිය යුතු නියමිත කලින් දිනයක රැුස්වන ලෙස පාර්ලිමේන්තුව කැඳවීමට හෝ
(ii) මේ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, ප‍්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හෝ
ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.

මට එකවරට ම හිතුණේ මේ මොන කුණුහරුපයක් ද කියා. මෙහි පාර්ලිමේන්තු වාර අවසානයක් සිදු වී නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා පාර්ලිමේන්තුවේ වාරයක් අවසාන වීම අතර ඇති වෙනස නොදන්නා නීතිඥයන් ජනාධිපති නීිතිඥයන් ඉන්න බව පැහැදිලියි. මා නීතිය නොහැදෑරීම ගැන සතුටු වෙනවා. එතකොට 70(7). ඒක මෙහෙමයි.

“70 (7) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුව ද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැුස්වීම අවශ්‍යවන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප‍්‍රකාශනයක් මගින්, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයක දී රැුස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය අවසන් වීම යන මෙයින් කලින් එළඹෙන අවස්ථාවේ දී විසිරෙන්නේ ය.”

මේ ගැන කියන්න තියෙන්නේ එක ම එකයි. ජනාධිපතිට පැරණි පාර්ලිමේන්තුව කැඳවීමට බලය තියෙනවා. එහෙත් ජනාධිපති කියන්නේ තමා ඒ බලය පාවිච්චි නොකරන බවයි. මෙහි බලය ඇත කියනවා මිස බලය යොදා ගත යුතු ය කියන්නේ නැහැ. ජනාධිපති සියලු බලය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණ කොමිසමට පවරලා. මැතිවරණ කොමිසම දෙන තීරණවලට ජනාධිපති හිස නමන බවයි පේන්නෙ.

දැන් කවද කරි මැතිවරණ කොමිසම මැතිවරණය තිබ්බට පස්සෙ ජනාධිපති තීරණය කරාවි පාර්ලිමේන්තුව කැඳවන දවස. එය ජූනි 2 නම් වෙන්න බැහැ. ඒ සඳහා කාල යාත්‍රා කරන්න ඕන. ඒක බටහිර භෞතික විද්‍යාවෙ තියෙන කුනුහරුපයක් වෙච්ච හිතළුවක්.

මගේ ආචාර්ය උපාධි නිබන්ධය සම්බන්ධ වාචික පරීක්‍ෂණය කළ මහාචාර්යතුමාත් What is Time කියල පොතක් පළ කරල තියෙනවා. පසුව මා දැන ගත්තා කාලය කියන්නෙ ප්‍රඥප්තියක් පමණක් බව. අර නීතියෙ කියනවා නොවැ බැරි දේවල් කරන්න බැහැ කියලා. සුමන්තිරන් හා හකීම් නම් හැමදාමත් හදන්නෙ බැරි දේ කිරීමටයි. ඒ සිංහල බහුතරය සුළුතරයක් බවට පත් කිරීමට.

තව ටිකෙන් වැදගත් කාරණයක් අමතක වෙනවා. ව්‍යවස්ථාවෙ මෙහෙම කාරණයක් තියෙනවා. “70(2) පාර්ලිමේන්තුව සෑම වසරකට වරක්වත් කැඳවිය යුත්තේ ය.” ජනතාව හිතන්නෙ අලුත් පාර්ලිමේන්තුව ලබන වසරෙ පෙබරවාරි අග රැස් වුණාම ඇතිය කියා. ජනාධිපතිතුමා ඔහොම යං.

-නලින් ද සිල්වා



One thought on “ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං”

  1. ලකෙ පවතින්නෙ පර්ලිමෙන්තු ක්‍රමයක් නොව රිජු ප්‍රජාතන්ත්‍රවාද ක්‍රමයකි

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More