පුරවැසි කොලම

පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ කෙරුණු පාර්ලිමේන්තු මහ මැතිවරණය කල්දැමීම විසින් ගැටළු රැසක් මතුකර ඇති බව මාධ්‍යවල දැක්වේ. නැවත පාර්ලිමේන්තුව රැස්වියයුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවට මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද ඒ මාධ්‍ය වාර්තා විසින් නිවේදනය කරනු ලැබ ඇත. උද්ගතව ඇති තත්වය, ඊට බලපෑ පසුබිම ද සමග පැහැදිලිකරගැනීම මෙහිදී වඩා ප්‍රතිඵලදායක වනු ඇත. ඒ මෙසේය.

පාර්ලිමේන්තුව විසිරවීම සහ නව මහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම
ජනාධිපතිවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව 2020 මාර්තු මස 02වන දින නිකුත් කළ අංක 2165/8 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින්;
(අ) එදින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින අතර, අභිනව පාර්ලිමේන්තුව වර්ෂ දෙදහස් විස්සක් වූ මැයි මස දහහතරවැනි දින පළමු රැස්වීම සදහා කැදවන බවත්
(ආ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරාපත්කරගන්නා දිනය වශයෙන් වර්ෂ දෙදහස් විස්සක් වූ අප්‍රේල් මස විසිපස්වැනි දිනය නියම කරන බවත්
ප්‍රකාශයට පත්කර ඇත. ඒ සදහා ජනාධිපතිවරයාට බලය පැවරුණු ආකාරයද එම ගැසට් නිවේදනයේ පැහැදිලිව දක්වා ඇත.

එකී නිවේදනය අනුව යමින් මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 19වන දිනෙන් අවසන් වන නාමයෝජනා කාලයක් ප්‍රකාශයට පත්කරන ලද අතර කොවිඩ් වසංගතයේ මුව විට සිටිමින් වුවද, මුකවාඩම්-සැනිටයිසර් පෙරට තබාගෙන ඒ කාර්යය ද නිසිපරිදි අවසන් කරන ලදි. නාමයෝජනා භාරගැනීම අවසන් වූ පසු මැතිවරණ කොමිසම විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ මැතිවරණය අප්‍රේල් 25වනදා පැවැත්වීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. එනම් මැතිවරණය කල්යන බවයි.

නාමයෝජනා ඇතුළත් ගැසට් පත්‍රය
පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(1) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිසම විසින් නාමයෝජනා ලබාගැනීමෙන් පසු සිදුකළ යුත්තේ “නාමයෝජනා ඇතුළත් ගැසට් පත්‍රය” නිකුත් කිරීමයි. මැතිවරණ කොමිසම විසින් 2020.03.20 දිනෙන් යුතුව 2167/12 සහ 13 දරණ ගැසට් පත් ද 2020.03.21 දිනෙන් යුතුව 2167/19 දරණ ගැසට් පත ද ලෙස කොටස් වශයෙන් ගැසට් පත් කිහිපයක් නිකුත් කරමින් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට උත්සාහ කර ඇතත් අදාල කාර්යය සම්පූර්ණ වන පරිදි තවමත් ගැසට්පත් නිකුත් කර අවසන් වී නොමැත. මේ කියන “නාමයෝජනා ඇතුළත් ගැසට් පත්‍රය” බොහෝදුරට මාර්තු 25 සදුදා නිකුත් කළ හැකි වනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාර්තු 19 පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළද ඇතිව තිබෙන තත්වය හේතුවෙන් මේ ප්‍රමාදය සිදුව ඇති බව වටහා ගැනීම අපහසු නැත. තවද එකී ගැසට්පත්වලින් එකක් වන 2167/19 දරණ ගැසට් පත්‍රයේ අමතර කරුණක් වශයෙන් දක්වා ඇති මැතිවරණය අප්‍රේල් මස 25වන දින පැවැත්වීමට නොහැකි වී ඇති බව එදා පැවති තත්වයනට අනුව මැතිවරණ කොමිසම විසින් කරන ලද නිවේදනයක් ලෙස සැළකිය යුතුය. නමුත් ඒ ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි එම කල්දැමීමේ නිවේදනය කරනුයේ පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරවය යන්න නම් කිසිසේත් නිවැරදි නොවේ.

ඡන්ද විමසීම සදහා වෙනත් දිනයක් නියම කරන ගැසට් පත්‍රය
මන්ද යත් පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තිය මගින් දක්වා ඇත්තේ “යම් හදිසි තත්වයක් හේතුකොටගෙන- ඡන්ද විමසීම- කලින් සඳහන් කළ දිනයෙහි කළ නොහැකි අවස්ථාවක- කොමසාරිස්වරයා(කොමිසම) විසින්- ගැසට් පත්‍රයෙහි පළකරනු ලබන නියමයක් මගින්- ඒ ඡන්ද විමසීම සදහා වෙනත් දිනයක් නියම කළ හැකිය” යනුවෙන් මිස “පැවැත්විය නොහැක” යනුවෙන් ප්‍රකාශයයට පත්කිරීම නොවේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තිය මගින් වෙනත් දිනයක් නියම කිරීමට ලැබී ඇති බලතල භාවිතා කරමින් – වෙනත් දිනයක් නියම කිරීමකින් තොරව- මැතිවරණය කල් දැමීම පමණක් සිදු කිරීම දෝෂ සහිතය. තමා මැතිවරණය කල් දමන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරවය යන්න ප්‍රකාශ කිරීමද දෝෂ සහිතය. අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තිය යටතේ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පෙර කොමිසම විසින් මැතිවරණය පවත්වන දිනය ද සහිත “නාමයෝජනා ඇතුළත් ගැසට් පත්‍රය” නිකුත්කර අවසන් කර තිබිය යුතුය. මෙහිදී ඒ අවශ්‍යතාවද ඉටුවී නොමැත.

ඒ බව කොමිසමේ සභාපතිවරයා විසින් මාධ්‍ය හමුවේදි කළ ප්‍රකාශයෙන්ද තවත් පැහැදිලි වේ. එනම් නාමයෝජනා ඇතුලත් ගැසට් පත්‍රය 25 දින ප්‍රකාශයට පත් කරනු හැකිවනු ඇති බවත් එය ප්‍රසිද්ධ කරන තෙක් මැතිවරණය කල් දැමීම ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ පනතේ විධිවිධාන අනුව නොහැකි බවත් ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු 26 වනදා ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීමය. ඔහු ඉතා නිවැරදිව ඒ ප්‍රකාශය සිදුකළේ ඉහත කී “නාමයෝජනා ඇතුළත් ගැසට් පත්‍රය” නිකුත් කරන තෙක්, (පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තිය මගින් නියම කර ඇති “ඡන්ද විමසීම සදහා වෙනත් දිනයක් නියම කරන” ගැසට් පත්‍රය නිකුත් කිරීමට කොමිසමට බලයක් නොමැති බැවිනි.

එනම් දැන් මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුත්තේ;
පළමුව – පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(1) වගන්තිය අනුව නිකුත් කළ යුතු “නාමයෝජනා ඇතුළත් ගැසට් පත්‍රයේ” තවත් කොටස් ඉතිරිව ඇත්නම් ඒවා නිකුත්කර අවසන් කිරීමයි.

දෙවනුව – පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තිය අනුව නිකුත් කළ යුතු “ඡන්ද විමසීම සදහා වෙනත් දිනයක් නියම කරන” ගැසට් පත්‍රය නිකුත් කිරීමයි.

මෙහිදී පැනනගින ගැටළුව වනුයේ ඒ “ඡන්ද විමසීම සදහා නියම කරන වෙනත් දිනය” කුමක්ද යන්නයි. ඒ දිනය තීරණය කිරීමේදී මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයා ඇතුළු රජයත්, ජනාධිපතිවරයා විසින් කොවිඩ් වසංගතයට මුහුණදීම සදහා පිහිටුවා ඇති කාර්යසාධක බලකායත් හමුවී සාකච්ඡා කොට වඩාත් ප්‍රායෝගික දිනයක් පිළිබදව අදහසක් ලබාගත හැකිය. ඒ “වෙනත් දිනය” තීරණය කිරීමේ පූර්‍ණ බලැති අධිකාරය පවතින්නේ මැතිවරණ කොමිසම වෙත වන බැවින් මේ සාකච්ඡාව කැදවීමේ හෝ ඉල්ලා සිටීමේ හැකියාව කොමිසම සතු වේ. කොවිඩ් වසංගතය සමනය/පාලනය වනු ඇතැයි අදාල සාකච්ඡාවේදී අනුමාන කරනු ලබන දිනයට මැතිවරණයට සූදානම්වීම සදහා ගතවන කාලයත්, කෝකටත් කියා අමතර වශයෙන් තවත් සති හතරක පමණ කාලයකුත් එකතුකර ලැබෙන දිනය “මැතිවරණය පැවැත්විය හැකි වෙනත් දිනය” ලෙස මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කළ හැකිය.

තවද ඒ නිගමනයට එළඹිය හැක්කේ ද කොරෝනා වසංගත තත්වය අපට පාලනය කරගත හැකිවේ යයි උපකල්පනය කරන තත්වයක් යටතේ පමණි. යම් හෙයකින් ඉහත කී වෙනත් දිනය නියම කළ පසුද තත්වය යහපත් නොවුනහොත් මැතිවරණ කොමිසමට සිදුවනුයේ පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තිය අනුව නිකුත් කළ යුතු “ඡන්ද විමසීම සදහා තවත් වෙනත් දිනයක් නියම කරන” තවත් ගැසට් පත්‍රයක් පසුව නිකුත් කිරීමයි.

මේ වන විට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5)ආ වගන්තිය අනුව තම කාර්යය අකුරටම ඉටුකර ඇත. එනම්; – පාර්ලිමේන්තුව විසුරුවාහැර- අභිනව පාර්ලිමේන්තුව වර්ෂ දෙදහස් විස්සක් වූ මැයි මස දහහතරවැනි දින පළමු රැස්වීම සදහා කැදවන බවත්- මැතිවරණය පැවැත්වෙන දිනය වශයෙන් වර්ෂ දෙදහස් විස්සක් වූ අප්‍රේල් මස විසිපස්වැනි දිනය නියම කරන බවත් ප්‍රකාශයට පත්කර ඇත. එනම් ජනාධිපතිවරයා මැතිවරණය නම් සහාය දිවීම තරගයේ පළමු වටය අවසන්කර යෂ්ටිය මැතිවරණ කොමිසමට භාර දී ඇත. දැන් ඇත්තේ ඉහත දක්වා ඇති පරිදි මැතිවරණ කොමිසම විසින් ඊළග වටය සාර්ථකව අවසන් කිරීමයි. ඒ සදහා අදාල ගැසට් පත්‍ර දෙක නිකුත් කිරීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5)ඇ වගන්තිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5)ඇ වගන්තියේ සදහන් මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය යන්න මැතිවරණ කොමිසම විසින් මතුකරන අනෙක් ප්‍රශ්නයයි. මේ ප්‍රහ්නය මතුකිරීමට පෙර මැතිවරණ කොමිසම විසින් ඉටුකළ යුතු නීතිමය අවශ්‍යතාවක් තිබේ. එනම් “මැතිවරණය පවත්වන වෙනත් දිනය” ප්‍රකාශයට පත්කිරීමයි. මන්දයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5)ඇ වගන්තියේ සදහන් මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය යන්න ප්‍රශ්නයක් බවට පත්ව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පිනිස සළකාබැලීමේදී “මැතිවරණය පවත්වන වෙනත් දිනය” කවදාද යන්න මූලිකම තීරනාත්මක කාරණය වන බැවිනි. මැතිවරණයක් නොපවත්වා නව පාර්ලිමේන්තුවක් රැස්විය නොහැකි බැවිනි.

පවතින තත්වය යටතේ කිසි ලෙසකින්වත් මැතිවරණ කොමිසමට ඉහත කී කාලය තුළ එනම් ජුනි මස දෙවෙනිදාට පෙර මැතිවරණය පවත්වා අවසන් කළ නොහැකි බව කොමිසමේ සභාපතිවරයාගේ 2020.04.01 දිනැති ලිපියේ පැහැදිලිව දක්වා ඇත. එවැනි තත්වයක් යටතේ ජනාධිපතිවරයාට සිදුවනුයේ “තමන් 2020 මාර්තු මස 02වන දින නිකුත් කළ අංක 2165/8 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් දක්වා ඇති – අභිනව පාර්ලිමේන්තුව වර්ෂ දෙදහස් විස්සක් වූ මැයි මස දහහතරවැනිදින රැස්වියයුතුය යනුවෙන් දක්වා ඇති කොටස – සංශෝධනය කළ යුතුව ඇති බවත් ඒ කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය විමසීමත්” ය. නමුත් ඊට පෙර අනිවාර්යයෙන්ම; මැතිවරණ කොමිසම විසින් “මැතිවරණය පවත්වන වෙනත් දිනය” ප්‍රකාශයට පත් කර තිබිය යුතුය. එම දිනය නොමැතිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම, අසම්පූර්ණ සහ අපැහැදිලි විමසීමකි. සිදුකළ නොහැකි කටයුත්තකි.

එබැවින්, මැතිවරණ කොමිසම අප්‍රේල් මස පළමු දින ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඇති ලිපිය ආපසු කැදවා කොමිසම විසින් ඉටුකළයුතුව ඇති නීතීමය පියවරයන් ගෙන අවසන්කළ යුතුය. එනම්, “මැතිවරණය පවත්වන වෙනත් දිනය” ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළ යුතුය. ඉන්පසු සුදුසු සංහෝධන සහිතව මේ ලිපිය නැවත ජනාධිපති ලේකම්වරයාට යැවිය යුතුය. ජනාධිපතිවරයාට ඉදිරි පියවර ගතහැකි වන්නේ එවිට පමණි.

නීතීඥ කපිල ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More