පුරවැසි කොලම

පුංචි තිරයේ පරසිදු විකට නළු කැළක යොදවා කොරෝනා කෙරෙන් නිදහස් වීමේ උපදෙස් වශයෙන් ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව මගින් නිෂ්පාදනය කළ සල දසුනක් (වීඩියෝවක්) යූ ටියුබයෙන් දැක ගතිමි. (https://www.youtube.com/watch?v=posPyX-Zrjg) මේ සටහන ලියන්නට මා පෙළඹවූයේ මෙම වීඩියෝව වුවත් අපේ දැනුම ගර්හාවට ලක්කරන එවැනි මතවාදයන්ට මෙය පිළිතුරකි.

මෙහි එන බටහිර වෛද්‍යවරයා ශාස්ත්‍රීය හා විශ්වසනීය දැනුම, උපදෙස ලබා දෙන්නා හැටියට විරාජමාන වේ. ඔහු කියන සියලු දේ ඉතා විශ්වාසකටයුතු, නිවැරදි, සත්‍ය දැනුම ලෙස අනෙක් සියළුදෙනා පිළිගත යුතු බවට විධානය කෙරේ.

පාරම්පරික දැනුම (සිංහල වෙදකම) ඉතිහාසයේ යම් අවස්ථාවක යොදා ගෙන ඇති බවත් එහෙත් එය දැන් යල් පැනගිය වැඩකට ගත නොහැකි බව කියා ගර්හාවට හා අවඥාවට ජාතික ඇඳුම හැඳි පුද්ගලයකු ලවා පත්කර තිබේ. (ජාතික ඇඳුම හැඳි කපටි සූට් කාරයින් මෙන්ම ටයි-කෝට් පල් හොරුන් ද හැම ක්‍ෂේත්‍රයකම වාගේ අද ඇති බව වෙනම කරුණක්. එහෙත් ජාතික ඇඳුම පමණක් මෙහි ගර්හිතවේ). එබැවින් පාරම්පරික දැනුම හෝ විශේෂයෙන් සිංහල වෙදකම නොවැදගත් අත්හැර දැමිය යුතු බව මෙම වීඩියෝවෙන් සමාජයට හැඟවීමට ඉඩ හරී. වෙනිවැල් ගැට, ඉඟුරු කොත්ත මල්ලි හා විශේෂයෙන් පෙරුම්කායන් ඉතා සියුම් ලෙස සභාවේ සිනාවට ලක් කෙරේ.

පළමුව සඳහන් කළයුත්තේ අප බටහිර වෛද්‍ය විද්‍යා තාක්ෂණ ප්‍රතික්ෂේප නොකරන බවයි. එමෙන්ම විශේෂයෙන් ම මෙම කොවිඩ් 19 වසංගත රෝග නිවාරණ කටයුතු වල දිවා රෑ නොබලා අපමණ වෙහෙස මහන්සියෙන් පරිත්‍යාගයෙන් කටයුතු කරන බටහිර වෛද්‍ය, හෙද, රසායනාගාර හා අනෙකුත් කාර්ය මණ්ඩලයට මෙන්ම ලෝකයේ විශිෂ්ඨ රෝග නිවාරණ නායකත්වයක් සපයන ගෝඨාභය අතිගරු ජනපති තුමා ඇතුළු රජයටත්, කාර්ය සාධක බලකායටත් යුධ හමුදාපති තුමා ඇතුළු සියලු ආරක්ෂක අංශ වලටත් අපගේ ගෞරවය ස්තුති පූර්වකව පලකරන අතර ඒ සියලු දෙනාටම පිං දෙමු.

අපේ විරෝධය අපේ පැරණි විද්‍යාව, වෙදකම හා දැනුම සිනහවට ගර්හාවට ලක් කිරීම මගින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිවයි. එමගින් අද අපට ලබා ගත හැකි ආලෝකය විසඳුම් වලට මග අහුරන පරගැතියනට එරෙහිවයි. බටහිර විද්‍යාව පමණක් ඇදහිය යුතු සත්‍ය වන අතර අනෙකුන් සියලු දැනුම් මිත්‍යාවන් හැටියට සලකන මහා හීන මානයෙන් පෙලෙන ඇතැම් ඊනියා ‘උගත්’ යයි සැලකෙන මුග්ධයන්ට එදිරිවයි.

මෙය තවදුරටත් කෙටියෙන් විමසමු.

මෙම සලරූ පෙලින් බොහෝ තැන් හි කියැවෙන සෞඛ්‍යාරක්ෂිත ඇතැම් පුරුදු පිලිබඳ වත් දැනුවත් කිරීමක් කෙරෙන අතර එමගින් සියලු ජනයා මෙය පිළිපැදිය යුතුබවට විශ්වාසයක් ගොඩනගා ගනී. ඒ අතර ඉතා සියුම්ව හා කපටි ලෙස අපේ මුල් අපටත් හොරෙන් ගලවා දැමේ.

මුඛවාඩම්
මේ දොස්තර බක පඬිතුමා මහා පාණ්ඩිත්‍යයෙන් අපට දෙසා බාන්නේ සාමාන්‍ය පොදු ජනයාට මුහුණු ආවරණ (මුඛවාඩම්) පැළඳීම කිසිදු වැඩකට නැති මෝඩ ක්‍රියාවක් බවයි. එය අවශ්‍ය වනුයේ ලෙඩේ තියෙන අයටත් බේත් කරන අයටත්ලු. ලෙඩේ තියෙන එහෙත් ඒ බව දන්නැති (වෛරසය ශරීර ගතව ඇති නමුත් රෝග ලක්ෂණ තවම නොපෙන්වන හෝ ඔහුගේ ප්‍රතිශක්තිය හේතුවෙන් කිසිදා රෝග ලක්ෂණ නොපෙන්වන එනමුදු රෝග වාහකයෙක් වන) හෝ කී දෙනෙක් අප අතර ගැවසේද? ඒ අය ගැන පඬි ඥානයට සිතීම අකැපද?

ඇත්තටම මෙවන් බක පඬින් හට හිතා මතා නුවණ මෙහෙයවා මතයක් පළ කිරීමට බැරිය. මොවුන් දන්නේ හූ කියනදේ පමණි. හූ කියන්නේ WHO ය. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ය. (රටට ගැලපෙන අයුරින් නිසි තැනක ජාත්‍යන්තර සම්මතයන් ප්‍රමිතීන් යොදා ගැනීම පිලිබඳ කිසිදු ප්‍රශ්නයක් නැත). එහෙත් අද WHO කියන්නේ කොවිඩ් 19 රෝගය පිළිබඳව හෝ එහි වෛරසය වන සාර්ස් කොව් 2 පිලිබඳව හෝ එයින් වැළකීම පිළිබඳව හෝ නිසි උපදෙසක්, මතයක් ප්‍රකාශ කර ගැනීමට අසමත් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනා පරිදි ඇත්තටම නනත්තාර වූ සංවිධානයකි. එහි ප්‍රධාන සම්පත් දායක කාරකාදීන් ද කිසි දෙයක් කරකියා ගත නොහැකිව හිස ලූ ලූ අත දුවන අසරණයන් වී ඇත. ඒ බොහෝ රට වල මළ සිරුරු ගොඩ ගැසෙන්නේ මැසි මදුරුවන් ගානටය.

දැන් WHO මුහුණු ආවරණ පිළිබඳ අලුත් කතාවක් කියයි. ඊයේ එපාලු. අද හැමෝටම දා ගන්නලු. දැන් අර බක පඬි දොස්තර තුමා හෙට ඇවිත් මොකද කියන්නේ? මේ දොස්තර පඬිතුමා රෙදි කඩකින් මුහුණ ආවරණ කරගත් සාමාන්‍ය මිනිසෙකු පතුරු ගසයි. දිවයිනේ විශිෂ්ඨ වියතෙකු වන මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමනයන් අද ප්‍රකාශ කලේ රෙද්දෙන් හරි මුහුණ වහ ගැනීමෙන් මහත් ආරක්ෂාවක් සැපයෙන බවයි.

චීනය ඇතුළු ඇතැම් රටවල් තම තමන්ට ආවේණික දේශජ ප්‍රවේශයන් ඔස්සේ මෙම වසංගතය හැකි තරමකට හෝ පාලනය කරගෙන ඇත.

අපේ ක්‍රම යල් පැන ගිහින්ද?
දොස්තර බක පඬිතුමා තවද අපේ වෙදකමට ගරහන්නේ මෙය අලුත් රෝගයක් බවත් ඉතිහාසයේ කෙදිනකවත් මෙම රෝගය නොතිබූ බැවින් පැරණි ක්‍රම මෙහිදී වලංගු නොවන බවත් කියමිනි.

පළමුව, ඉතිහාසයේ මිනිසුන්ට සෑදුනු සියලු වෛරස් රෝග හටගෙන ඇත්තේ කුමන වෛරසයකින්දැයි යන්න මේ බක පඬි තුමා දන්නේ කෙසේද? ඒ සියලු වාර්තා ඇත්නම් දුහුණන් ගේ දැනගැනීම පිණිස පල කළ හැකිද?

දෙවනුව, සිංහල වෙදකමේ මූලිකව කෙරෙන්නේ පුද්ගලයාගේ නිරෝගීකම වර්ධනය කිරීමයි. එනම් ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමයි. ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ඖෂධයන් හැටියට තමයි වෙනිවැල් ගැට, කොත්තමල්ලි, ඉඟුරු, සුදුළුණු, පෙරුම්කායන් හා තවත් බොහෝ ඔසු නිසි පරිදි යොදා ගන්නේ. ප්‍රතිශක්තිය ප්‍රබලයි නම් වෛරසයට කළ හැකි කෙන්ගෙඩියක් නැති බව මොළේ කලඳක් හෝ තියෙන බටහිර වෛද්‍යතුමන්ලාම පවසනවා. ඒ නිසා වෛරසය අතීතද අනතීතද යන්න කිසිම තර්කයක් නැති පුස්සක් බව මේ බක පඬි දොස්තර තුමාට කියා දෙන්නට WHO ඕනද?

තෙවනුව, තවද පෙරුම්කායන් පමණක් පළඳා අනෙකුත් සියල්ල නොකර සිටීමක් ගැන බොරු කතාවක් දොස්තර පඬිතුමා ගොතයි. සිංහල බේත් බොන හැමෝම වගේ දන්නා දෙයක් ඇත. එනම් බේත පත්තියම් වීමට ඒ අනුව පැවැත්ම අවශ්‍ය බවයි. කෑම බීම, නෑම, නින්ද පමණක් නොව ඇතැම් බේත් බොන විශේෂිත කාල (නැකත්) ද ඇත.

සිව්වනුව, අද මුළු ලොව පුරා මේ ව්‍යසනයට මුහුණ දෙන්නේත් අපේ පැරැණ්නන් ගේම ක්‍රමයකිනි. එනම් දෙයියන්නේ ලෙඩ හැදුනම අනුගමනය කල වෙන් කිරීම, තනි කිරීම තුළිණි. (බලන්න quarantine, Lockdown උපාය)

බටහිර වෛද්‍ය විද්‍යාව කෙසේ වෙතත් බටහිර වෛද්‍ය තාක්ෂණය පසුගිය අවුරුදු තුන් හාරසීය තුළ (විශේෂයෙන් යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවයෙන් පසු) විශිෂ්ඨ දියුණුවක් ලබා තිබේ. 15 වැනි ශතවර්ෂයේ පමණ පසු යුරෝපයේ සිදු වූ චින්තන විප්ලවය (කතෝලික චින්තනය (ආගම නොවේ) බිඳ වැටී ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය බලවත් වීම) හේතුවෙන් බටහිර යුධ, ආර්ථික, සංස්කෘතික හා විශේෂයෙන් බටහිර දැනුම් ආධිපත්‍ය ලොව පුරා පැතිරෙන්නට වුණා. එහි ඵල විපාකයන් හැටියට ඉහත සඳහන් වඳ අනුකාරක පඬියන්, පඬි නැට්ටන් හා නැට්ටියන් බටහිර අධ්‍යාපනයෙන් බිහි කෙරී ඇත. මේ දැනුම නිර්මාණාත්මක සාපේක්ෂතා වාදී ප්‍රවාදයන් නිපදවමින් ජාතියට දායාද කළ දිවයිනේ අග්‍රගන්‍ය ප්‍රාඥයා වනුයේ නලින් ද සිල්වා මහැදුරුතුමාය. අපි එතුමාට ද නිරෝගී චිර ජීවනය පතමු.

අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන
මෙය ‘දෙරණ නාළිකාවේ ආදර්ශ පාඨය බවයි මා අසා ඇත්තේ. ‘දෙරණ’ එය එළෙස සිදු කළත් නොකළත් විය යුත්තේ එයයි.

අපේ පැරණි දැනුම, තාක්ෂණය, සිංහල වෙදකම, වස විස නැති ගොවිතැන මතුකර ගමු. නගා සිටුවමු. අදට අවැසි පරිදි දියුණු කර යොදා ගනිමු. අපට අවැසි දේ අවැසි අයුරින් එතෙරින් ගෙන අපේ දියුණුවට යොදා ගමු.
නිවනින් නිවෙන තුරු නිවී සැනසිල්ලේ ඉන්නට මගක් හෙළි පෙහෙළි කර ගමු.
කොරෝනා උවදුර වහා නිමවී සියලු ලෝ වැසියන් සුවපත් වේවා!

සටහන: මෛත්‍රී ඉඳුරුව (ඩුබායි එමිරේටයේ සිට)
4-4-2020



One thought on “විපරීත බුද්ධිය නොහොත් දොස්(තර) වන බක පඬි කතා”

  1. This is very versatile article with true facts.It is the right time to think about our own values & strengths.Thank you for your valuable time.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More