පුරවැසි කොලම

‘කොරෝනා’ පසුගිය සති කිහිපය පුරාවට අපේ කන් පිරෙන්නට දෝංකාර දුන් වචනය විය. ඕනෑම මාධ්‍යයක ප්‍රවෘත්ති ප්‍රකාශය නැරඹීමට, සවන්දීමට හෝ ඒවායින් ලැබෙන කෙටි පණිවිඩයක් විවෘත කිරීමටයාමේදී,  ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදිත පුද්ගලයන් ගේ වැඩිවීම පිළිබඳව අසුභ ආරංචියක් ලැබේදෝ යන බියෙන් අපේ සිත් පිරී යයි. මේ ව්‍යාධියෙන් මෙන්ම මානසික අසහනයෙන් මිදීමට ඉතා කෙටි කාලයකින් අපට හැකිවනු ඇති බව මගේ බලවත් විශ්වාසයයි. ඒ වෙනුවෙන් ඇප කැපවී ක්‍රියාකරන සැමට ප්‍රණාමය පුද කරමි.

මෙම ලිපිය ලියන්නට පටන්ගත්තේ 2020 මාර්තු 25 දිනය.දින දෙකකට පෙර,මුහුණු පොතේ වෙබ් අඩවියක කොරෝනා වයිරසය සහ කෘෂිකර්මාන්තයේ ඉදිරිය පිළිබඳව කතා කලෙමි.වත්මන් තත්ත්වය හේතුවෙන් ගොවිපල නිෂ්පාදන වෙළඳ පලට යොමු කිරීමට ඇති දුෂ්කරතාවය, නොයෙකුත් සේවා සපයන්නන් විසින් පාරිභෝගිකයින් ගසා කෑමට පෙළඹී තිබීම (දිගු කලක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ආයතන ද ඇතුළුව), ගෝලීය වශයෙන් කොරෝනා වයිරස ව්‍යාප්තිය ජාත්‍යන්තර වෙළඳාම ට කර ඇති බලපෑම (ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳාම ද ඇතුළුව), ඉන්දියාව සිය දේශසීමා වසා දැමීමට අමතරව අභ්‍යන්තර සංචරණයසීමා කිරීම තුලින් කලාපීය භාණ්ඩ වෙළඳාමට සහ සංසරණයට කළ හැකි බලපෑම,වැනි කාරණා කෙටි කාලීනව හෝ සිදුවිය හැකි ආහාර අර්බුධයක පෙරනිමිති නිර්මාණය කර ඇත. කොරෝනා වයිරසයට බියවී ඉන් ඈත් වීසිටීම කල හැකි වුවද,අත්‍යවශ්‍ය ආහාර වලින් ඈත් වී සිටීම දුෂ්කර ක්‍රියාවකි. කොරෝනා බලපෑම් ඇති කාලයේ මෙන්ම ඉන් මතුවටත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඇති කර ගැනීමට අප උත්සුක විය යුත්තේ එබැවිනි. ආහාර සුරක්ෂිතතාව යනු ජාතික ආරක්ෂාවයි.

අපට රටක් ලෙස තනිව ජීවත්වීමට නොහැක. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වුවද, ගෝලීය පුරවැසිභාවයෙන් ඉවත් වීමට අපිට නොහැක. එසේ වුවද, ගෝලීයකරණය අපේ සියලු ප්‍රශ්න විසඳන මෙවලමක් නොවේ. කොරෝනා ව්‍යසනයෙන් සියලු රාජ්‍යයන් නුදුරේදීගැලවුන ද, ගෝලීයකරණයනම්වූ දැවැන්ත ආර්ථික පෙරලිය වෙත නැවත පිවිසීම,සහ සංචාරක කර්මාන්තය සහ ජාත්‍යන්තර වෙළඳාමේ පුනරාගමනය කෙටි කාලීනව හෝ ගන්දබ්බ අවධියක් පසු කරනු ඇත. ජාත්‍යන්තර වෙළඳාම නැවත යථා තත්ත්වයට පත්වීමට කොපමණ කලක් ගත වේදැයි පුරෝකථනය කිරීමට කිසිවෙකුට නොහැක. නැවත පෙර තිබු තත්ත්වයට පත්වුවද, සමස්ත ජාත්‍යන්තර වෙළඳපල යාන්ත්‍රනය කෙතරම් වූ වෙනස්වීමකට භාජනය වේදැයි උපකල්පනය කිරීමට පවා නොහැක.මෙවන් තත්ත්වයක් තුල දේශීය (‘සම්ප්‍රදායික’ ලෙස වරදවා නොසිතන්න) කෘෂිකර්මාන්තය අළු ගසා නැගිටීමට කෙටි කාලීනව හෝ වෙර දරනු ඇත. එයට දිරි දිය යුතුය.කොරෝනා ව්‍යසනයෙන් පසුව, ජව සම්පන්න සහ ශිග්‍රගාමී කෘෂිකාර්මික වර්ධනයක් කරා යොමුවීමට නම්, අත්‍යවශ්‍ය ආහාර ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමුඛකරණයක් තුලින් තෝරාගත්,වැඩි විභවයක් ඇති ආහාර බෝග සහ සත්ත්ව පාලනය, සහ ආර්ථික වශයෙන් වැදගත් වන අපනයන කෘෂිකර්මාන්තය නව තාක්ෂනය තුලින් නගා සිටුවීම කළ යුතුව ඇත.නිසි අරමුණකින්,වෙනස් නොවන්නාවූ ප්‍රතිපත්තියකින් කටයුතු කළහොත්, අප බලාපොරොත්තු වන ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ සංවර්ධනයමෙන්ම, අතීතයේදී අපෙන් ගිලිහි ගිය අපනයන වෙළදපළවල් නැවත අප සතු කරගැනීමට හැකිවනු ඇත.

මේ මොහොත වනවිටත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, යම් බාධා මධ්‍යයේ වුව ද, සක්‍රියව සිදුවෙමින් තිබෙන බව දසතින් ලැබෙන තොරතුරු පවසයි. ගොවි ජනතාවට තම ජීවනෝපාය කරගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් ඇඳිරි නීති සමය තුල වුවද ලබා දෙන ලෙස රජය මගින් නියෝග කර ඇත. එහෙත්,එළවලු වගා වල අස්වනු නෙලා ගැනීමට ප්‍රමාද වීම සහ ඒ සඳහා ඇති මානව සම්පත අඩුවීම (ඇඳිරි නිතිය හේතුවෙන්), ආහාර බෙදා හැරීම ඇතුළුව වෙළඳපල අක්‍රමිකතාවැනි කරුණු, ආහාර සුරක්ෂිතතාවයේලඟා වියයුතු ඉලක්ක වලින් අපව මදක් ඉවතට ගෙනගොස් ඇත. පසුගිය දශක ගණනාවකදීම අපේ ආහාර නිෂ්පාදන ක්‍රමවේදයන් කෙතරම් සාර්ථක වුවද වෙළඳපල යාන්ත්‍රණයේ ඇති අකාර්යක්ෂමතාවන් නිසා, කෘෂිකාර්මික නවෝදයක වාසිදායක තත්ත්වය පාරිභෝගිකයාට මෙන්ම නිෂ්පාදකයාටද නිසි අයුරින් විඳ ගැනීමට ලැබුනේ නැත.

ගෙවතු මිලියනයක වගා වැඩසටහන, රජයේ “රට ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව, මාර්තු 26 ආරම්භ කල බව වාර්තාවේ. පවතින තත්ත්වය තුල ගෙවතු වගාව ආහාර අවශ්‍යතාවන් සපුරා ලීමට යම් පමණකට දායකත්වය දක්වනවා මෙන්ම මානසික වින්දනය සහ සහනය වෙනුවෙන්ද දායක වන බව අමතක කලයුතු නැත.එහෙත් මෙවන් ගෙවතු වගා වැඩ සටහන් මින් පෙරද රාජ්‍ය අනුග්‍රහය ඇතුව කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ජාතික සහ පළාත් මට්ටමින් කෙරුණු බව අප මතක තබා ගත යුතුය. උදාහරණයක් ලෙස, නොමිලේ හෝ ඉතා සහන මිලකට ලබාදෙන තෝරාගත් බෝග වර්ගවල ‘බීජ පැකට්ටු’ සහ ඒවායේ ගුනාත්මය, ප්‍රරෝහණ ප්‍රතිශතය අඩුවීම පිලිබඳ පැන නැගුනු තර්ක විතර්ක සහ විලාප පිලිබඳ මතකය අපෙන් ගිලිහී ගොස් නොමැත.ඒවායින් උගත් පාඩම් මෙම වර්තමාන වැඩ සටහනට දායක කරගනු ඇතැයි විශ්වාස කරමි.

ගෙවතු වගා වැඩසටහන් පසුගිය දශකය පුරාවට රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කලද, තවමත් එම ක්‍රියාවලියටම අවතීර්ණ වීමට සිදුව ඇත්තේ මන්දැයි පැහැදිලි කරගත යුතුය. මෙවන් විශාල ඉලක්ක කරා යාමේදී ඒ සඳහා අවශ්‍ය වන හොඳ ගුණාත්මයෙන් යුත් සහතික කල බිජ වැනි යෙදවුම් අවශ්‍ය පමණින් කෙටි කාලයක් තුල සැපයීමටද, ජාතික සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු සහ අනිකුත් රේඛීය ආයතන වල නිලධාරින් හට නියමිත කාර්යයන් ඉටු කිරීමට සහ වාර්තා සැපයීමට ඇතිවන පීඩනය විශාල ය. ඉහලින් පමුණුවන නියෝග වලට අනුව අසීරු ඉලක්ක ලඟා කර ගැනීමට සීමිත පහසුකම් යටතේ ක්‍රියාත්මක වීමේදී,ජාතික වැඩසටහනක සාර්ථකත්වයට බොහෝ දෙනාගෙන් ලැබෙන දායකත්වය නාමමාත්‍රික පමණක් වන්නේ එබැවිනි. මෙයින් සිදුවන්නේ මානව සම්පතෙහි ඵලදායිතාවය තවත් හීන වීම පමණි. හොඳින් විශ්ලේෂණය කර නොබැලුවහොත්,ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් නොමැතිව මෙය තවත් රාජ්‍ය මුදල් කාබාසිනියා කිරීමක් වනු ඇත.කොරෝනා මැඩ පැවැත්වීමේසටනෙහි දැක්වූඋසස් දායකත්වය උදාහරණයට ගෙන රටේ ආරක්ෂක අංශ  බල මුළු ගැන්වීම තුලින් මෙම කෘෂිකාර්මික කටයුත්තද සාර්ථකව කරගත හැකි යයි සමහරෙකුටමෙහිදී සිතෙන්නට පිළිවන.එය වෙනම මාතෘකාවකි

foods

උක්ත ගෙවතු වගා වැඩසටහනට පරිබාහිර වුවද,පසුගිය කාලය තුල කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වූ සමහර ජාතික යයි හඳුන්වා ගත් වැඩසටහන් වල අවසන් ප්‍රතිඵලය වුයේ කිහිප දෙනෙකු ගේ අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමට රාජ්‍ය මුදල් වැයවීම පමණක් බව මගේ හැඟීමයි.කොරෝනා ව්‍යසනයෙන් පසුව ඇති කලයුතු කෘෂිකාර්මික සංවර්ධන ක්‍රියාවලිය මෙවන් අදුරදර්ශී  පිළිවෙත් සහ හිතළු වලින් බැහැර වුවක් විය යුතුය.

මෙවන් ව්‍යසනයන් තුලදී, ඕනෑම රජයක් සහ සමාජයක් නව්‍යතාවයකින් යුත්, වෙනදා කල නොහැකි යයි සිතු ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ දරයි. නිවසේ සිට රාජකාරි කිරීමට ජනතාව යොමු කිරීම එවන් එක පියවරකි. එහි සාර්ථකත්වය පසු විපරමකින් මිනිය යුතු වුවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනයන් උපයෝගී කරගනිමින් බොහෝ දෙනෙක් තම සේවාවන් සිය ආයතන වෙනුවෙන් නිවසේ සිට ඉටු කරමින් සිටී. ආයතන කිහිපයක් පමණක් සිය ආධිපත්‍යය විදහා තිබූ අන්තර් ජාලය උපයෝගී කරගෙන සහ පසු ගෙවුම් පදනම මත තමන්ට අවශ්‍ය ආහාර තම නිවසටම ගෙන්වා ගැන්මේ සේවාවන් රජයේ යොමු කිරීම මත ප්‍රධාන සුපිරි වෙළඳ සැල් ජාල මගින් ආරම්භ කිරීම තවත් එවන් පියවරකි. මෙය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීමකින් යුතුව නියමු ව්‍යාපෘතියක් ලෙස මුලිකව සිදු කලද, පාරිභෝගික ඉල්ලුම අධිකවීම නිසාමාර්තු 26 වන විට දිවයිනේ පිළිගත් පෞද්ගලික සුපිරි වෙළඳසල් ජාලයක් තම වෙබ් අඩවිය තාවකාලිකව වසා දමා තිබුනේ ඉල්ලුමට සරිලන සැපයුමක් ඔවුනට දැනට ලබා දිය නොහැකි බව පවසමිනි. ක්‍රියාවලියේ ආරම්භය එතරම් සාර්ථක නැතැයි සිතුන ද, මෙම කටයුත්ත තව දුරටත් විවිධ ආයතන සහ සංවිධාන හරහා සමස්ත ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වනු ඇතැයි සිතමි. එමෙන්ම මෙයින් අයුතු ප්‍රයෝජන ගත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ හොඳ නමක් රඳවාගෙන සිටි ආයතන දෙකක් ගැන විස්තර පසුගිය දිනවලඅපට අසන්නටද ලැබුණි. පාරිභෝගික සේවා  අධිකාරිය ඉන් එක ආයතනයක් වැටලු ආකාරයද ප්‍රචලිත විය. දිගු කාලයක් දිනාගත් ව්‍යාපාර නාමය මෙවන් කිසිසේත් අනුමත කල නොහැකි ක්‍රියා හේතුවෙන් එක රැයින් වැනසී යාම නොවැලක්විය හැක. රාජ්‍ය මැදිහත් වීම වඩාත් අවශ්‍යවන්නේ මෙවන් සුරාකෑම් තව දුරටත් සිදු නොවීමටය.

කොරෝනා ව්‍යසනයෙන් පසු, ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ දිගු පිම්මක් පැනීමට නම්, සමස්ත කෘෂිකර්ම ක්‍රියාවලියට තාක්ෂනය වඩා දැඩි ලෙස සහ උචිත ලෙස යොදා ගැනීම අත්‍යවශ්‍ය වේ. තාක්ෂනය භාවිතය ප්‍රවර්ධනය කිරීම ආනයනිත නව තාක්ෂනයට අධික බදු පැනවීම මහින් සිදු කල නොහැක. එමෙන්ම දේශීය වෙළඳපල ඵලදායි ලෙස යාමනය කිරීම මීටවඩා රාජ්‍ය මැදිහත් වීමකින් ශක්තිමත් ලෙස කල යුතුය. රජය මගින් පෞද්ගලික අංශය සමග තරඟකාරීව කෘෂි ව්‍යාපාර/වෙළඳාම කලයුතු යයි හෝ සම්පුර්ණ සැපයුම් හෝ අගය එකතු කිරීමේ දාමය ආක්‍රමණය කලයුතු යයිමෙයින් අදහස් නොකෙරේ. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශයට ආදේශකයක් නොවේ. එවැන්නක් කිරීමට යාම තුල මුළු කෘෂිකාර්මික පද්ධතිය බිඳ වැටීමකට ලක්වනු ඇත.

නව තාක්ෂනය ලැබ නැත. “ලාබ බඩුවේ හිලක් ඇත”. රජය වැඩි අවධානයක් යොමුකළ යුත්තේ ගොවි ප්‍රජාවට පහසුවෙන් ලඟා විය හැකි අයුරින් නව තාක්ෂනික පැකේජයන් බදු පැනවීමෙන් කාලයකට හෝ නිදහස් කිරීමය. තෝරාගත් ප්‍රමුඛතා ගත කරන ලද බෝග සඳහා විවිධ වගා තත්ත්ව යටතේ තාක්ෂණික පැකේජයන් තවමත් සකසා නැත්නම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම පීඨ වල සහයද ඇතිව, ඒ සඳහා වැඩි අවධානයක් යොමුකරමින් නිර්දේශ ඉදිරිපත් කිරීම ඉදිරි මාස 5-6 දක්වා කාලයකදී සිදුකල යුතුය. මෙම නව තාක්ෂනයන් ප්‍රචලිත කිරීම සඳහා පුද්ගලික අංශය,රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණයකින් යුතුව, දැනටත් වඩා ඵලදායි ලෙස යොදා ගැනීම කල යුතුය.

සියලූ ජනතාවට ප‍්‍රමාණවත් පරිදි, නිසි පෝෂණයෙන් යුක්ත සෞඛ්‍යාරක්ෂිත ආහාර තිරසර ලෙස ලබාගැනීමට ඇති හැකියාව සහතික කිරීම ආහාර සුරක්ෂිතතාවයි. කලින් ලිපියේ සඳහන් කල පරිදි, දේශීය කෘෂිකර්මාන්තය මගින් පමණක් ආහාර සුරක්ෂිතතාව කරා ලඟාවිය නොහැක. කල යුතු වන්නේ ආහාර සුරක්ෂිතතාවට කෘෂිකර්මයේ ඇති දායකත්වය උපරිම කිරීමය. මෙහිදී කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වය තක්සේරු කළ යුත්තේ, ආහාර ආනයනය කිරීම ලාභදායී ද නැද්ද යන්න සිතා නොව, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තව දුරටත් සංවර්ධනය කිරීමට ඇති විභවය සහ ජාතික ආර්ථිකය පිලිබඳ අනාගත දැක්ම සලකා බැලීම තුලිනි.

කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ලබා දෙන රාජ්‍ය අනුග්‍රහය දිළිඳුකම තුරන් කිරීමේ වැඩ සටහන් වලින් වෙන් කල යුතුය. නිදහස ලැබූ දා සිට සිදු කල ආකාරයට, ‘නැති – බැරි ‘ (හැකියාවක් නැති සහ ආයෝජනයක් යම් පමණකට හෝ ධාරිතාවක්නොමැති) සමාජයකට සහන සහ දීමනා ලබාදීමෙන් දිළිඳු කම යම් තරමකට තුරන් කල හැකි වුවත්ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අපේක්ෂිත ලෙසනගා සිටුවීම කල නොහැක. මෙවන්  ව්‍යසනකාරී තත්ත්වයකදී සමෘධි සහනාධාරය වැඩි කිරීම හෝ ආහාර නොමිලේ ලබාදීම මගින් කෘෂිකර්මාන්තය දියුණු නොවේ. එමගින් දේශපාලන ක්‍රීඩාවක් සහ රාජ්‍ය පාලන අසාර්ථකත්වයක් විනා තිරසාර ආහාර සුරක්ෂිතතාවක් අදහස් නොකෙරේ.

එහෙත් ව්‍යසනකාරී තත්ත්ව තුල කෙටිකාලීන සහන පැකේජයන් ගේ අවශ්‍යතාවසැමවිටම පැන නගී. රජය මගින් ඒ සම්බන්ධව ගෙන ඇති තීරණ සහ ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව මගේ හැඟීමයි. සත්‍ය වශයෙන්ම කල යුත්තේ කෘෂිකර්මාන්තයේ නියැලී සිටින හෝ ඉලක්කගතව නියැලෙන්නට බලාපොරොත්තුවන “ඇති – හැකි” කණ්ඩායම් (ගොවි සංවිධාන,  ගොවි සමුපකාර, ගොවි සමාගම්,සංවිධානය වූ පෞද්ගලික අංශය, වැඩි ආයෝජන ශක්තියක් ඇති ගොවි ප්‍රජාව,වැනි) වඩාත් ශක්තිමත් කිරීමය. මෙයින් කිසිසේත්ම ‘දුප්පත්’ ගොවියා වනසා දැමිය යුතුය යන පුහු ආකල්ප ය ඇති කරගත යුතු නැත. “දිළිඳු” ගොවි ප්‍රජාව එම තත්ත්වයෙන් ගොඩ ඒමට ගත යුතු ක්‍රියාමාර්ග සමස්ත කෘෂිකර්මාන්තය දීයුනු කිරීමට ගන්න ක්‍රියා පටිපාටියෙන් වෙනස් වේ. මීටත් වඩා වැදගත් වන්නේ ගොවි ප්‍රජාවට ‘දිළිඳු’ හෝ ‘දුප්පත්’ ලේබල ඇලවීමෙන් වැළකීමය.

සමස්ත ලෝකයාම මෑතකදී අත් නොවිඳි ආකාරයක වයිරස් රෝගයකින් මිදීමට කටයුතු කරමින් සිටී. ඉදිරි කාලයේ ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකර්මාන්තයේ උන්නතිය අපේක්ෂා කරන්නේ නම්, මෙම ලිපියෙහි සඳහන් වූ කරුණු හැරුණුවිට, හදිසියේ නින්දෙන් ඇහැරුනාක් මෙන් කටයුතු නොකොට, විද්‍යාත්මක පදනමකින් යුත්, කාලීන වැදගත්කමක් සහ හොඳ දර්ශනයකින් සැදුම් ලත් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක අවශ්‍යතාව පැන නැගී ඇත. එවන්  ප්‍රතිපත්තියක් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලු අංශ (උදා: ආහාර බෝග, කුරුඳු ඇතුළු කුළුබඩු බෝග, වැවිලි බෝග, පශු සම්පත්, මත්ස්‍ය සම්පත්, ගොවිජන සේවා, වාරි ජල සම්පාදන, සහ පරිසර) ආවරණය කලයුතු අතර, පැහැදිලි උපාය මාර්ගිකමෙන්ම ක්‍රියාකාරී සැලැස්මකින්ද, ප්‍රධාන කාර්ය සාධන නිර්නායකයන්, වගකිව යුතු ආයතන,සහ අපේක්ෂිත මුල්‍ය ප්‍රතිපාදන වලින් සමන්විත යුතුය. ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනයක් මෙහි නියමුවා වීම තුලින් එවන් ප්‍රතිපත්තියක තිරසාර බව වඩාත් තහවුරු වන අතර රාජ්‍ය භාණ්ඩාගාරයට එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අනාගත සැලසුම් සාර්ථකව සකස් කරගැනීමට උපකාරී වනු ඇත. ජාතික ප්‍රතිපත්ති රාමුවක් වර්තමානයේ ශ්‍රී ලංකාව සතුව ඇත. දැන් ඇත්තේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සැකසීමේ ඊළඟ පිම්ම පැනීමට ය.සමස්ථය ආවරණය කරන ලද කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සැකසීමෙන් පසු, අදාළ රේඛිය අමාත්‍යංශ මගින් ඊට අනුගත වෙමින් ආංශික ප්‍රතිපත්ති සකස් කිරීම කල හැක.

ජාතික ප්‍රතිපත්ති සැකසීමට අපි රුසියෝවෙමු. අනෙක් සෑම ප්‍රතිපත්තියකදී මෙන්ම, කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්පාදනයෙන් පසු ඒවා ක්‍රියාත්මක කිරීම, බලයට පැමිණෙන දේශපාලන පක්ෂ වල පටු දේශපාලනික අරමුණුවල බලපෑමෙන් නිදහස් විය යුතුය. ජාතික ප්‍රතිපත්ති කාලීනව වෙනස් විය යුතු බව පිලිගනිමි. එහෙත් එය වසරින් වසර හෝ දේශපාලන බල පෙරළියක් සිදුවූ සැනින් වෙනස් විය යුතු නොවේ. මනාව සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් මගින් ශ්‍රී ලංකාවේ අනාගත කෘෂිකාර්මික සංවර්ධන ඉලක්ක පැහැදිලි කරයි.  එහිදී රජයක වගකීම වන්නේ සම්පාදනය කර ඇති ප්‍රතිපත්තිවල සඳහන් සංවර්ධන ඉලක්ක සපුරාලීමට අවශ්‍ය සැලසුම් සැකසීම සහ ඒවා ක්‍රියාවට නැගීමය. එහෙත් ජාතික ප්‍රතිපත්ති සැදීමේදී මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා නිසා කෙතරම් සාර්ථක ප්‍රතිපත්තියක් වුවද එහි වාසිය,අවාසනාවන්ත ලෙස සමස්ත ශ්‍රී ලංකාවටනොලැබී යා හැක. විද්‍යාත්මක ව තහවුරු වූ කරුණු ආශ්‍රිතව සහ ප්‍රායෝගිකව ඇති තත්ත්වයන් පිලිබඳ නිසි අවබෝධයකින් තොරව, හුදෙක් මවාගන්නා ලද තහවුරු නොවූ තොරතුරු ආශ්‍රයෙන් කරන ලද ප්‍රතිපත්තිසම්පාදනයන් පිලිබඳ අපි නොයෙක් වර අසා ඇත්තෙමු.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ දේශගුණික විපර්යාස වලට පොදු වූ ලාක්ෂණික ගුණාංග කිහිපයක් මම දකිමි. ඉන් පළමුවැන්න, මේ දෙකම මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල වීමයි; දෙවැන්න, ඒවායේ ඇති නිරතුරුවම  වෙනස් වන ස්වභාවයයි; තුන්වැන්න,පසුගිය කාලය තුලදීඒවායේ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගාමීතත්ත්වයකට පත් කර තිබීමයි. කොරෝනා බලපෑමෙන් පසු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලිය හැක්කේදැනුම, බුද්ධිය සහ ප්‍රඥාව පෙරදැරි කරගැනීමෙනි.

මහාචාර්ය බුද්ධි මාරඹේ
බෝග විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
කෘෂිකර්ම පිඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

(දිවයින )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More